ජීවිතේ සුවය නැත නිම්මා වේවැල් පුටු විවු අම්මා

පුතා මේ බෑග් එක අර ගේට්ටුව ළඟට ගෙනිහින් දෙන්න පුළුවන්ද…

මගෙත් එක්ක ළඟින් ගියේ අපේ රියැදුරු මහත්තයෙක්. චානකගෙනුයි එහෙම සුදුවතින් සැරසුණු වයෝවෘද්ධ අම්මා කෙනෙක් ඉල්ලීමක් කළේ… චානක වහාම ඒ පන් බෑග් එක එල්ල ගත්තා…

අම්මා ශ්‍රී මහා බෝධිය වඳින්න ආවද…

මං මෙහේ ඉන්නේ නැවතිලා පුතා… ඔයාලා කොහේද… අපි දැන් වයසක මිනිස්සුනේ. පුතාලාට වගේ කාලයක් අපටත් තිබුණා. මං ඒ කාලේ අරලියගහ මන්දිරේ පුටු හිටන් වියලා තියෙනවා…

චානක මගේ මූණ දිහා බැලුවා. ඒ මද්දහන් වෙලාවේ අපි ශ්‍රී මහ බෝධිය ළඟ ඉඳලා නවාතැනට යන්න වාහනේ ළඟට එමින් හිටියේ. අපි ළඟින් එහෙට මෙහෙට යන සිය ගණනක් බැතිමතුන්… ඒ හැමෝම අතරින් මගේ පෑනට අහුවෙන්න දෙවියෝ එව්වේ මේ අම්මද…

අම්මා කොහේද නැවතිලා ඉන්නේ…

අර විශ්‍රාම ශාලාවේ..

අපි හවස් වෙලා එන්නම්.. ටිකක් කතා කරමුද…

මොනවද…

අපි ‘මව්බිම’ පත්තරේ අය… වැඩ වගයකට අනුරාධපුරේ ආව ගමන්. අපි හවසට එන්නම් අම්මා බලන්න…

හා එන්න එහෙමනම්…

මේ දැන් ඔබ කියවන්න හදන්නේ ඒ මහලු මාතාවගේ ජීවිත අන්දරේ… කටු කොහොලින් පිරිච්ච පඳුරුවල ලස්සන සුවඳ මල් පිපෙන හැටි ගැන…

ඉතින් කොහොමද අම්මා…

හොඳින් ඉන්නවා.. පිනක් දහමක් කරගෙන යන තැනකට යන්න මොනවා හරි එකතු කර ගන්නවා…

පුටු වියන්න පුරුදු වුණේ කොයි කාලේද…

අවුරුදු දහයේදි. අපි හරිම දුප්පත්… අම්මයි තාත්තයි මාළු වෙළෙ¼දාම් කරන්නේ. ඉස්කෝලේ යන්නත් අමාරුයි. මං ඉස්කෝලේ ගියේ මගේ අම්මාගේ නංගිගේ බුලත් අත අරගෙන අම්මාගේ බාලම නංගි මගේ වයස වගේ…

කොහෙද ඉස්කෝලේ…

විද්‍යාධාර විද්‍යාලය දැන් කියන්නේ… ඉස්සර කිව්වේ බෝගහ මුල පන්සල කියලා. මොරටුමුල්ලේ… පුතාලට කියන්න අවුරුදු දහයේදි විතර තමයි අපි රෙදි කෑල්ලක්වත් ඇන්දේ හරියට නිර්වස්ත්‍ර වහන්න. ගවුමක් මහලා දෙන්නවත් අම්මලාට වත්කමක් නෑ…

මාළු වෙළෙ¼දාම් කරලා බැරිද ඉතිරියක් කරගන්න…

ඒ කාලේ අපේ පවුලේ ළමයි පස් දෙනයි. අපේ අම්මා කඩ තුනකින් රුපියල් දහය ගාණේ ඉල්ලාගෙන තමයි මාළු ගේන්න යන්නේ. ගෙනල්ලා තමයි සුද්ද බුද්ද කරලා දෙන්නේ. මං හබරලා කොළ කපලා දෙන්න ඕනේ. වතුර ගෙනත් දෙන්න ඕනේ. ඉස්කෝලේ යද්දි පවා එහෙමයි. මොරටුමුල්ලේ හන්දියේම තමයි මාළු වික්කේ. ඒ කාලේ අවුරුදු දහයක් විතර ඇති මට.

වෙන රස්සාවක් නෑ…

මං ඒ ගෙවල් ළඟ ගෙදරක ජඹුර ළිඳකින් වතුර ඇදලා දෙනවා ගෙදරකට. ඒ ගෙදරින් මට ශත දෙකක් දෙනවා. ඒ වගේ ශත දෙක දෙක එකතු කරලා තමයි මං පොත් ගන්නේ ඉස්කෝලේ යද්දි ලියන්න…

ඉගෙන ගත්තද..

ඉගෙන ගත්තා. එක්දහස් නවසිය පනස් හතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට වාඩිවෙලා පාස් වුණා. පනස් අටේ මට ගුරු පත්වීමක් හම්බවුණා. බස්නාහිර පළාතේ. ඒ වුණාට අම්මලා කලබල වෙලා. අපිට ඉන්න ගෙයක් ‍ෙදාරක් තිබුණේ නෑ, මං කවදාවත් දැකලා නැති මට වඩා අවුරුදු දහයක විතර වැඩිමහල් කෙනෙක්ට බන්දලා දුන්නා. ඒ මනුස්සයා ඇත්තටම දෙවියෙක් වගේ. ගෙයක් ‍ෙදාරක් තිබ්බා. ලී වැඩ කළේ. මේ මෑතකදි අන්ත්‍රා වුණා. අවුරුදු අසූ හතරක් ජීවත් වුණා. සමාජ සේවා වැඩ ගොඩක් කළා. සමහර විට පුතා අහලා ඇති ඩික්සන් පනාගොඩ කිව්වහම දන්නවා. ඉඳිබැද්්දේ…

එතකොට පුටු වියන එක…

පුටු වියන එක පුරුදු වුණේ ඒ අපේ ගෙවල් ළඟ පදිංචියට ආව කට්ටියක් නිසා. ඒ ගෙදර අයට මං වතුර ඇදල දෙනවා. ඒ අය රත්තන… මොරටුමුල්ලේ. ඒ අයගේ නෑදෑයෝ හිටියා වේරහැරත්… ඒ අය තමයි ඉගැන්නුවේ… කෑම මේස පුටුවකට ශත දහයයි ගෙවන්නේ…

එහෙම වියන්න පුටු තියෙනවාද…

තියෙනවා. අතේනේ ඒ කාලේ හදන්නේ. ඕන තරම් තියෙනවා. මාත් ඉතින් මගේ මහත්තයා එක්ක වඩු වැඩ කරන්න පටන් ගත්තා. එහෙම ඉන්න අතරේ දරුවෝ ඉපදුණා. සතුටින් හිටියා. මමත් නොදැන මහත්තයා අපේ ඉඩම උකස් කරලා තිබිලා. පස්සේ බැලින්නම් රුපියල් හාරදහක් අරගෙන. මං තනිවුණා වගේ කියලා හිතුණා. මං පොඩි කාලේ රුපියල් දහයක්වත් දැකලා නෑ… මං හිතා ගත්තා මේක කොහොම හරි විසඳගන්නවා. ධෛර්යවන්ත වෙලා මේ ප්‍රශ්නෙන් මං මහත්තයාවත් ගලවාගෙන මාත් ගැලවෙනවා කියලා හිතාගත්තා. ඊට පස්සේ මං ඉලෙස්ටෝ කොම්පැනිය තියෙන්නේ අලුත්ගම බෙන්තොට… මං එහෙට ගිහින් පර්මිට් එකට පුටු වියන වැල් දෙන්නේ එතැන. ඒ ගමන මං කල්පනා කළා කොහොමද පර්මිට එක හදාගන්නේ කියලා. එහෙම ඉන්නකොට ඉලෙස්ටෝ එකෙන් මහත්තයෙක් ආවා මහ පාන්දර මේ පැත්තේ… එයාගේ ෂෝ රූම් එකක් විවෘත කරනවා කොල්ලුපිටියේ. ඒකේ නැකැතට වැල් ගන්න කෙනෙක් හොයාගෙන ආවේ…

එතකොට පර්මිට් එක…

ඒක තමයි එතැන ඉස් ඉස්සෙල්ලා වැල් ගන්න අයට පර්මිට් එකක් ලැබෙනවා. මං අතේ තිබුණු රුපියල් හතළිහයි. ඒ ගමන දන්න බාස් කෙනෙක්ගෙන් මං රුපියල් පනහක් ණයට ඉල්ල ගත්තා. පුතා පොඩියි එයාවත් ලෑස්ති කරගෙන මාත් ගියා වැල් ගන්න…

ඒ පුටු වියන වැල් කීයද…

රාත්තලක් රුපියල් හතයි ශත විස්සයි. රාත්තල් දහයක් ගන්න ඕනේ අවම. එතකොට රුපියල් හැත්තෑ දෙකයි. එහෙම ගිහින් නැකැතට කිරිබත් එහෙම කාලා මාත් වැල් ගත්තා රාත්තල් දහයක්…

ආ… මට අහන්න බැරි වුණා. එතකොට අම්මාට අර ගුරු පත්වීමක් ලැබුණා කිව්වා නේද…

මං ගත්තේ නෑනේ… පනස් අටේ අගෝස්තු පස් වැනිදා එන්න කියලා තිබුණේ මං ගියේ නෑනේ.. විවාහේ ඊට වඩා ඉක්මන් වුණානේ…

හරි හරි ඊට පස්සේ…

ඊට පස්සේ වැල් අරගෙන ඇවිත්, මට පර්මිට් එකක් ලැබුණා. ඔය අතරේ මං දැක්කා මං වගේම වැල් අරගෙන බෙන්තොටින් රාත්තල රුපියල් හතයි විස්සට, නවයට නවයයි පනහට දහයට එතැන ඉන්න මුදලාලිලට දෙනවා. ඒ අය ඒ වැල් මෙහේ මොරටුවට ගෙනත් ‍ෙදාළහට දහතුනට දෙනවා. මට හිතුණා මේක හොඳ රස්සාවක්… මං සල්ලි එකතු කරලා ටික ටික වැඩියෙන් අරගෙන විකුණන්න ගත්තා. ඒ අතර මේ ගේන වැල් මං ලෙහලා ගණන් කරන්න ගත්තා. එහෙම ගණන් කරලා වැල් එකසිය පනහ ගාණේ වගේ රෝල් හදලා වික්කා. අදටත් ඔය මොරටුවේ, ඒ පැත්තේ එහෙම වැල් ගණන් කරලා විකුණන්නේ මං හැදුව විදියේ රෝල් ක්‍රමේනේ. එහෙම ගිහින් ටික ටික ණය ගෙවලා දැම්මා. සල්ලි ඉතිරි කළා.

එතකොට පුටු වියන එක…

ඒකත් කරගෙන ගියා. අර කිව්ව ෂෝරූම් එකේ මං වැල් ගන්න ගිය දවසක මට මහත්තයකුයි නෝනා කෙනෙකුයි මුණගැහුණා. එයාලා කාපට් එහෙම පොලිෂ් කරන කට්ටියක්. ඒ කට්ටිය තමයි මට කිව්වේ අරලියගහ මන්දිරේ පුටු වගයක් තියෙනවා වියන්න… ඔයාට හොඳට පුටු වියන්න පුළුවන්නේ… ඔයා යන්න කියලා කිව්වා…

කොයි කාලේද…

අසූ පහේ විතර… ඒ වුණාට මං වැඩියෙන් සල්ලි හෙව්වේ අර වැල් බිස්නස් එකෙන්… මං කඩවලටත් දාන්න ගත්තා. ප්ලාස්ටික් වැල්නේ. රට වටේම කඩවල් එක්ක මං වැල් බිස්නස් එක කළා. මහත්තයාට කියන්න මං රුපියල් දහතුනට ගත්ත වැල් තිස්තුනටත් දුන්නා. එහෙම සල්ලි ගොඩක් හම්බ කළා. ඊට පස්සේ මං මගේ මහත්තයා එක්ක ලී බිස්නස්වලට බැස්සා.

අරලියගහ මන්දිරේ පුටු විවුවේ ප්ලාස්ටික් වැල්වලින්ද…

නැහැ… ඒකේ විවුවේ වේවැල්වලින්. කුරුණෑගලින් ගෙනාවේ. එතකොට මට පුතයි දුවයි හිටියේ… අද පුතා ඉන්නේ දෝහාකටාර්වල. දුව ඉන්නේ මොරටුවේ… එයාට ලොකු ලී බඩු සාප්පුවක් තියෙනවා…

කොච්චර කල් විවුවද අරලියගහ මන්දිරේ පුටු…

අසූ හතේ ඉඳලා අනූ හතර විතර වෙනකම් විවුවා…

එච්චරට තියෙනවද පුටු…

අපෝ ඔව්… ගොඩක් තියෙනවා… කාමරවල ඇවිද ඇවිද තමයි හෙව්වේ. කැඩුණු පුටු සේරම අරගෙන ඇවිත් වියනවා. එහෙම එහෙම හුඟක් සල්ලි හම්බු කළා. ණය තුරුස්වලින් ගොඩ ගියා…

ඉතින් දැන් මොනවද හිතෙන්නේ…

මොනවා හිතන්නද මහත්තයා… හොඳට හිටියා… හොඳ වැඩ කළා. හොඳට සල්ලි අත ගෑවා… වියදම් කළා. දැන් ඉතින් ජීවිතේ අවසාන කාලෙනෙ… පින් දහම් කරගෙන ඉන්නවා… ඕක තමයි ජීවිතේ… මගේ මහත්තයා හුඟක් සමාජ සේවා වැඩ කරන්න පටන් ගත්තා. ගෙවල් හදලා දුන්නා. බණ භාවනා කළා… ගෙවල්වලට හාමුදුරුවරු වැඩම කරලා බණ කියෙව්වා…

දැන් පුටු වියන්නේ නැද්ද…

වියනවා… කවුරු හරි කිව්වොත්…

කීයක් ගන්නවද…

දැන් පුටුවක් වියන්න රුපියල් එක්දහස් දෙසීයක් ගන්නවා. තවමත් වියනවා… දවස් දෙකක් තුනක් යනවා සමහර වෙලාවට. අනෙක මෝස්තර තියෙනවා. පැපොල් මල් රටාව, ලූනුමල් රටාව…, මුද්දට තියෙනවා… එහෙම මෝස්තර තියෙනවා. දැන් ඉතින් එහෙම තමයි ජීවිතේ… දුවටත් හොඳයි.. පුතාටත් හොඳයි… මටත් එහෙම කියලා වරදක් නෑ… තවමත් පුටු වියනවට දරුවෝ කැමැති නෑ. ඒත් ඉතින් මගේ කැමැත්තනේ. නිකම් දන්න දේ මොකටද අපතේ අරින්නේ… හැමදාම ශ්‍රී මහා බෝධිය වැඳලා, රුවන්වැලිය වැඳලා පිනක් දහමක් කරගෙන මේ විශ්‍රාම ශාලාවේ ඉඳලා යනවා ගෙදර…මාසයකට විතර සැරයක් මෙහෙන් කෝච්චියේ නැඟලා එහේ මොරටුවෙන්ම බහිනවා.

අම්මගෙ නම මොකක්ද…

මාගරට් ප්‍රනාන්දු…

සංසාරේ වගේ රටා ගොඩක් අස්සේ ගෙවන ජීවිතේ ශත දහයට ඉගෙන ගත්තු පුටු වියන රස්සාව අද ශත එක්ලක්ෂ විසිදහට නැඟලා. අද අඩුම ගාණයි මේ රස්සාවෙ ඒ… කාලය මාරයි නේද… මාත් එක්ක මේ කතා කළ වියපත් මාතාවගේ මියගිය ස්වාමිපුරුෂයාගේ අවුරුද්දේ බණ දානේ අප්‍රේල් මාසේ දෙවැනි සතියේ වගේ තියෙනවා කියලයි කිව්වේ. ඉතින් මටත් පුළුවන්කම තිබ්බොත් මාත් එහෙ යන්නයි හිතාගෙන ඉන්නේ…

කතාව – පින්තූර – අනූ එදිරිසිංහ

මූලාශ්‍රය – මව්බිම

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435