ටියුෂන් ගුරුන්ට ඉඩ දෙන විදුහල්පතිවරුන්

මා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ පාසලක සේවය කරන ගුරුවරියක් වෙමි.

පසුගිය සතියේ අප පාසලේ ගුරු සාකච්ඡාවක් පැවති අතර පැය දෙකකට ආසන්න කාලයක් ඊට සහභාගී වීමෙන් අනතුරුව මා විදුහල්පති තුමා ගෙන් රැස්වීම අතර තුර ගෙදර යාමට අවසර පැතුවේ සවස 3.30ට පමණය.

මා එසේ අවසර පැතුවේ මා හට වයස අවුරුද්දක දරුවෙකු සිටීමත්, දරුවාට කිරි දීමට අවශ්‍ය නිසාත්, තවත් පැය දෙකකට වැඩි කාලයක් නිවසට යාමට ගත වන නිසාත්ය.

මාගේ ඉල්ලීම විදුහල්පතිවරයා එක හෙලාම ප්‍රතික්ෂේප කලේය. මා ඉල්ලීමට හේතු දැක්වූ නමුත් ඉන් පලක් නොවීය.

ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරු කිහිප දෙනෙකුම පාසලේ සේවය කරති. ඔවුන්ගේ පෞරුෂය සහ ආර්ථික තත්ත්වය අනුව විදුහල්පතිතුමා තබා අධ්‍යක්ෂවරු පවා ඔවුන්ට කිසිවක් පවසන්නේ නැත. ඔවුහු බොහෝ විට රාජකාරි වේලාවෙන් බැහැරව පාසලේ කටයුතු වල නිරත වන්නේ නැත. එදිනද ඔවුහු කල්තබා විදුහල්පතිවරයා දැනුවත් කොට 1.30ට පිටව ගොස් තිබුණි.

රැස්වීම අතර තුරම අම්මාගෙන් ලැබුණු දුරකතන ඇමතුම පිළිගත්තේ එයටද දොස් ඇසීමට සූදානමින් ආත්මානුකම්පාවෙන් පීඩිතවය.

“දුව කොහෙද ඉන්නේ ?”

“ඉස්කෝලේ අම්මා, තව ටිකක් පරක්කු වෙනවා”

ඉකි ගසමින් හඬන දරුවාගේ හඬ දුරකතනය ඔස්සේ පැමිණ හදවත සිදුරු කළේය. මා හට උන් හිටි තැන් අමතක වී හැඬුනි. එය අම්මාට ඇසෙන්නට පෙර යාන්තම් දුරකතනය විසන්ධි කර ගත්තෙමි.

නිවසින් උදේ පහට පිටවන මා සාමාන්‍ය පාසල් දින වල නැවත නිවසට පැමිණෙන විට සවස හතර පසු වන අතර ඒ අනුව දරුවාගෙන් ඈත්ව පැය දොළහක් ගත කරන්නේ අන් විකල්පයක් නැති නිසාමය.

ගුරු සාකච්ඡාව අවසන්ව නිවසට පැමිණෙන විට රාත්‍රී 7.30 ද පසුවී තිබිණි. දරුවා හෙම්බත් වී ඇති ආකාරය දුටු මා හට ආසාවෙන් තෝරාගත් රැකියාව පිළිබඳව ඇති වූයේ දැඩි කලකිරීමකි. මෙවැනි රැස්වීමක් නැවත පැවැත්වෙන දිනය කල් ඇතිව දන්නේ නම් අසනීප නිවාඩුවක පිහිට පතනු හැර අන් විකල්පයක් නැති බව සිතෙයි.

(සත්‍ය පුවතක් ඇසුරිනි. නම් ගම් කල්පිතය.)

අධ්‍යක්ෂතුමනි, විදුහල්පතිතුමනි, ජ්‍යෙෂ්ඨ ගුරු භවතුනි, සියල්ලට ප්‍රථම ඔබේ මිනිස්කම රැකගන්න. නොඑසේ නම් දැයේ දරුවන්ට අධ්‍යාපනය ලබා දී ඔබ ගොඩ නගන්නේ බලාපොරොත්තු වන මිනිස්කමින් පිරුණු ලොව සිහිනයක්ම වනු නොඅනුමානය. දැනටමත් අප අත් විඳින්නේ අප බලාපොරොත්තු වන ප්‍රතිඵලයට සපුරා වෙනස් තත්වයකි.

ගුරු භවතුනි. මෙවන් අවස්ථාවලදී ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්නයක් ලෙස සලකා සාමූහිකව කටයුතු කිරීම වැදගත්ය. කිරි දෙන මවක් නිදහස් කිරීමට අකමැති විදුහල්පතිවරයකු සමඟ පාසල් රාජකාරි වේලාවෙන් පරිබාහිරව සිදුකරන සාකච්ඡා සම්මන්ත්‍රණ වලින් පලක් නැත. කළ යුත්තේ සියළු දෙනා නැගිට පිටවී යාමයි. අත්සන් පොත ලාච්චුවේ දමා යතුරු ලා ඇත්නම් කළ යුතු දේ සංගම් වලින් විමසා ඒ අනුව කටයුතු කරන්න. අවම වශයෙන් තම සංගමයේ පාසල් නියෝජිතයා ලෙස ස්වේච්ඡාවෙන් වගකීමක් භාරගන්න.

(සංස්කරණය නොකර පළ කරන ලදී)

Teacher Service ගුරු සේවය මුහුණ පොතිනි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435