ඩිපෝ සේවකයින් නීතියේ පිළිසරණ පතයි

උසස්වීම්වලට අදාළ වැටුප්තලවල නිසි ලෙස නොපිහිටුවීමට එරෙහිව වැඩවර්ජනයක නිරතවූ ජාතික සේවක සංගමයට අයත්  ලංගම සේවක පිරිස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම්ව සිටිති.

දින දෙකක කාලයක් සිරිකොත පක්ෂ මූලස්ථානයේ විරෝධතාවක් පවත්වා අනතුරුව පසුගියදා වැඩ වර්ජනයකට ගිය මෙම සේවක පිරිස හා මේ ප්‍රශ්නයට අදාළ සියලුම නිලධාරීන්, ඇමතිවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය ක්‍රියා මාර්ග අත්හැරීමට එකඟ වුවද, මෙතෙක් තම ගැටළුවට නිසි විසඳුමක් ලැබී නොමැති බව ජාතික සේවක සංගමයේ සාමාජිකයෙකු වන චින්තක මනෝජ් ‘වැඩබිමට‘ සඳහන් කළේය.

එම සාකච්ඡාවේදී නිලධාරීන් වෙත යොමු කරන ලද ප්‍රශ්නවලට නිසි පිළිතුරු නොලැබුණු බවත්, අවසානයේ අනාවරණය වූයේ නිලධාරීන් විසින්ම අදාළ චක්‍ර ලේඛ උල්ලංඝණය කර ඇති බවත් යයි හෙතෙම අවධාරණය කළේය.

කෙසේ වෙතත් තම ප්‍රශ්නවලට නිසි විසඳුමක් නොලැබෙන බැව් තහවුරු වීමෙන් පසු සේවකයින් විසින් අසරණ ස්වරූපයෙන්  මෙම පත්වීම් අවලංගු කර දමන ලෙස හෝ ඉල්ලීම් කළ බව වාර්තාවේ.

මේ පිළිබඳව ‘වැඩබිම‘ වෙනුවෙන් අප විසින් විමසීමේදී චින්තක මනෝජ් කියා සිටියේ මුලින්ම කම්කරු කොමසාරිස්ට පැමිණිලි කොට කම්කරු උසාවියේ නඩු පැවරීමටත්, පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමටත් බලා පොරොත්තු වන බවය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ ජාතික සේවක සංගමය නියෝජනය කරන මෙම පිරිස ඉකුත් 12 වන දින සිට විරෝධතා දැක්වූ අතර වසර 20ට අධික කාලයක් පැවති ශ්‍රීලනිප ප්‍රමුඛ රජයන් නිසා එජාප හිතවාදී තම පිරිසට කිසිදු උසස්වීමක් නොලැබුණු බවත්, මේ වසරේ ජනවාරි මාසයේදී අසාධාරණයට ලක්වූ ලංගම සේවකයින්ට උසස්වීම් ලැබුණද, මාස 6ට අධික කාලයක් ගෙවී ඇතත් අදාළ උසස්වීම් වලට සරිලන වැටුප් වර්ධක ලැබී නොමැති බවත් පවසමින් මෙම සේවකයින්ගෙන් විරෝධය එල්ලවී තිබේ.

පී. ඩබ්. මුතුකුඩආරච්චි

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435