“තනි නීතියක්” විදිහට කම්කරු නීති අලුත් වෙන්නේ ඇයි?

පුද්ගලික අංශයේ සේවකයින්ගේ අවම සේවා කොන්දේසිවලට අදාල මූලික නීති 4 ක් අහෝසි කර එක් නීතියක් සෑදීමට ආණ්ඩුව පියවර ගෙන ඇත. මෙම නීති කෙටුම්පත් කිරීමේ කාර්ය සිදු කෙරුණේ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතියකිනි.

මේ තනි නීතිය කුමක්ද?

මෙම ලියැවිල්ලෙන් කියන්නේ ශ්‍රී ලංකාවේ ‘‘කම්කරු නීති පද්ධතිය ඉතාම අවුල් සහගතය. විවිධ කාර්මික අංශ සඳහා එකිනෙකට වෙනස් නීති අදාළ  කෙරෙන අතර, කම්කරුවන් සඳහා එකිනෙකට පරස්පර බොහෝ නීති හා රෙගුලාසි පවතින්නේය.’’ යනුවෙනි. එනිසා ඔවුන් කියන්නේ සේවකයින්ගේ සහ හාම්පුතුන්ගේ යහපතට මේ නීති සියල්ල පිරිසිදු කර “තනි නීතියකට” ලිවීමට ඔවුන්ගේ සහාය දෙන බවය. එවැනි ප‍්‍රතිසංස්කරණ සඳහා හාම්පුතුන්ගේ සම්මේලනය කලෙක සිට පෙනී සිටින බවද ඔවුන් කියයි.

තනි නීතියක් ලෙස ලියා ඇති ඒ යෝජිත ප‍්‍රතිසංස්කරණ ගැන ඉතාම කෙටියෙන් කතාව මෙය ය.

පට්ට කතාවක්

මේ යෝජිත තනි නීතියෙන් ‘‘පඩි පාලක සභා අහෝසි කෙරෙන්නේය’’.

  • ඒ අනුව මේ තනි නීතිය ක්‍රියාත්මක කෙරුණොත් මේ රටේ පෞද්ගලික අංශයේ සියලූ සේවකයින්ගේ අවම මාසික වැටුප රු. 13,500 ක් වනු ඇත. එයට හේතුව ඒ ඒ කර්මාන්තයෙහි හැකියාව අනුව ගෙවිය හැකි වැටුප් තීරණය කිරීමට එතැන් සිට පඩි පාලක සභා නොමැති වන නිසා ය.
  • පැය 08 ක වැඩ දිනය ද අහෝසි වන්නේය. දැන් තියෙන නීතියට අනුව පැයක ආහාර විවේකය ගණන් නොගෙන පැය 08 ක වැඩ දිනයට අමතරව කරනු ලබන අති කාල සේවයට අතිකාල ගෙවිය යුතුය. නව පනත යටතේ ආහාර විවේකයට පැයක් සහිතව පැය 12 ක සේවා දිනයක් හාම්පුතාට තීන්දු කළ හැක. ඒ වැඩිපුර සේවා කාලයට අතිකාල ගෙවීම් නැත. එවැනි දින 04 ක් ඇතුලත පැය 45 ක වැඩ සතියක් තීන්දු කළ හැක. එනිසා ඉතිරි දින 03 වැටුප් රහිත නිවාඩු දින වේ.
  • සේවා භූමියේ නවාතැන් සපයන්නේ නම් ඉහත පැය 12 වැඩ මුරය පැය 14 දක්වා දිගු කළ හැකිය.
  • එලෙස නවාතැන් සැපයීම හාම්පුතා විසින් සිදු කරන විටදී සහ ඒ සඳහා සේවකයාගෙන් මුදලක් අය නොරකන විටදී එහි මූල්‍ය අගය සේවකයාගේ වැටුපෙහි දැක්විය (ගෙවීමක් නොකළත්) යුතුය. ඒ සඳහා සේවකයාගේ වැටුපෙන් උපයන විට ගෙවීම් වැනි බදු මුදල් රජයට අයකර ලබා දිය යුතු වේ.
  • හාම්පුතාට අවශ්‍යනම් අතිකාල වෙනුවට හිලව් නිවාඩු ලබා දිය හැක. මෙම කාලය සඳහා සේවකයින්ට අමතර මුදල් ගෙවීමක් පිළිබඳව යෝජිත පනතේ සඳහන් නොවේ.

හෑන්ඞ් බෑග් පර්ස්වලට බහින කලාවක්

  • දැනට සෙනසුරාදා දිනය පැය 05 1/2 ක අර්ධ වැඩ දිනයකි. එහෙත් එදිනට සම්පූර්ණ දිනයක වැටුප් හිමි වන්නේය. සාප්පු හා කාර්යාල සේවකයින්ට සති අන්ත ඉරිදා දිනය වැටුප් සහිත නිවාඩු දිනයකි. සමහර කර්මාන්තවල සේවක සේවිකාවන්ට ද සති අන්ත ඉරිදා දින වැටුප් සහිත නිවාඩු දිනයක් හිමිය. නව පනත යටතේ මේ සියල්ල අහෝසිවේ. පවතින නීතිය යටතේ සති අන්ත නිවාඩු දිනවල අතිකාල සේවයෙහි යෙදුනහොත් පැයට පැය 01 1/2 ක අතිකාල හිමිය. ඊට අමතරව හිලව් නිවාඩුවකට ද හිමිකම් ඇත. නව නීතිය යටතේ එවැනි කිසිවක් නොලැබෙනු ඇත.
  • පුහුණු වන්නන් සඳහා මාස 12කින් පසුව ඔවුන්ට ස්ථිර රැකියාව දීම සහතික කරණ කොන්දේසිය හා එසේ නොමැතිව සේවය අවසන් කරන්නේ නම් ඒ සඳහා කම්කරු කොමසාරිස් වරයාගේ ලිඛිත අනුමැතිය අනිවාර්ය කරන ප‍්‍රතිපාදන සහිත 1978 අංක 8 දරන රැුකියා පුහුණුවන්නන් (පුද්ගලික අංශ) පනත හි ප‍්‍රතිපාදන මගහැර යාමට අවකාශය සලසමින් රැකියා ස්ථිරත්වය රහිතව අවම සේවා කොන්දේසි හා නියමයන් මත විවෘත ශ‍්‍රම සූරාකෑමට ඉඩ සලසන ආකාරයෙන් පුහුණුවන්නන් සහ ආධුනිකයින්ගේ ශ‍්‍රමය උකහා ගැනීමට ප‍්‍රතිපාදන සැලසීම.
  • පවතින නීතිය යටතේ දිනකට පළමු සේවා පැය 08 න් පසුව අතිකාල සේවයෙහි යෙදුනහොත් එම කාලයට පැය 01ට පැය 01 1/2 ක වැටුපක් හිමිවේ. ඉන් පසුව දෙගුණයක අතිකාල සඳහා හිමිකම් ඇත. නව පනතින් කොපමණ අතිකාල පැය ගණනක් සේවය කළ ද හිමිවන්නේ පැය 01ට පැය 01 1/2 ක අතිකාල දීමනාවක් පමණි.
  • පෝය දිනයෙහි සේවය සඳහා දින 01 1/2 ක වැටුපක් ගෙවීම බොහෝ කර්මාන්ත ශාලාවල කි‍්‍රයාත්මකවන නමුත් මෙම නව නීතිය යටතේ එය සියයට 50 ක් ලෙස නියම කර ඇත.
  • පවතින නීතිය යටතේ සේවය ලබා දීමට හාම්පුතා අපොහොසත් වීමේ හේතුව මත එක් පැයක් පමණක් හෝ සේවය කළද සම්පූර්ණ දෛනික වැටුපට ඒ සේවකයාට හෝ සේවිකාවට හිමිකම් ඇත. යෝජිත තනි නීතිය යටතේ කෙටි කාලීන සේවයේ යෙදවීම නීතිගත කරන බැවින් වැඩ කළ පැය ගණනට පමණක් වැටුප් ගෙවීමට හාම්පුතාට ඉඩ ඇත.

හාම්පුතාට ෆුල් පවර්

  • ආයතනයේ යන්ත‍්‍රසූත‍්‍ර අක‍්‍රියාත්මක වුවහොත් හෝ විදුලිය ඇණ හිටීමක් වුවහොත් පඩි ගෙවීමක් නොකර සේවයට වාර්තා නොකරන මෙන් සේවකයින්ට නියෝග කිරීම සඳහා හාම්පුතාට යෝජිත නව පනතින් අවසර දෙන්නේය.
  • රටේ දැන් පිළිලයක්ව පවතින මෑන් පවර් ඒජන්සි හරහා නිත්‍ය සේවාවන්ට පවා සේවකයින් සපයා ගනිමින් කිසිදු සේවා අයිතියක් එම සේවක සේවිකාවන්ට නොලැබෙන නීතිමය ප‍්‍රතිපාදන යෝජිත නව නීතියෙහි ඇතුළත්කර ඇත.
  • හදිසි නිෂ්පාදන ඉල්ලූමක් ඇතිවිට ඒ සඳහා අවශ්‍ය මූලික කාර්යයන් සඳහාද මෑන් පවර් සේවකයින් යෙදවීම නීති ගත කර ඇත.
  • කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමේ දී ඔවුන්ගේ කැමැත්ත ලබා ගත යුතු බව, දිවා සේවා මුරයෙහි සේවයෙහි යෙදුන සේවක සේවිකාවන් එදිනම රාත්‍රී සේවයෙහි නොයෙදවිය යුතු බව, මසකට එක් අයෙකුට රාත්‍රී  සේවය දින 10 ට වඩා වැඩි නොවිය යුතු බව සහ රාත්‍රී සේවයෙහි යොදවන විට පැයට පැය 01 1/2 ක වැටුපක් ගෙවිය යුතු බව පවතින නීතිමය කොන්දේසීන්ය. ඒ සියල්ල මෙම යෝජිත නව පනතින් අහෝසිකර කිසිදු සීමාවකින් තොරව හා ආරක්‍ෂිත කොන්දේසි නොමැතිව සේවිකාවන් අසීමිත ලෙස රාත්‍රී  සේවයෙහි යෙදවීමට අවසර දෙනු ඇත. මේ සඳහා අදාළ නියාමනයන් සඳහාවන කර්මාන්තශාලා ආඥා පනත අහෝසි කොට නැති හෙයින් නෛතික ගැටළු මතු විය හැක.

දරුමල්ලන්ටද කෙළිනවලූ

  • නව පනතෙහි සාමාන්‍ය දිනක වැටුප ගෙවා ඉරිදා දිනයේද සේවය ගැනීමට ඉඩ තබා ඇත. ඒ අනුව හාම්පුතාට අවශ්‍ය නම් දින 07 ක් ඇතුළත ඕනෑම දිනක ඉරිදා නිවාඩුව හිලව් කළ හැක. කෙටියෙන් කියන්නේ නම් දරුවන් සමග වන සති අන්ත පවුල් ජීවිතයද මේ නව නීතියෙන් අහෝසි කළ හැක.
  • මාතෘ ප‍්‍රතිලාභ පිළිබඳව දැනට ඇති මූලික අවම කොන්දේසි අහෝසි කිරීමට යෝජනා කෙරේ. දැනට දරු ප‍්‍රසූතියෙන් පසු සේවිකාවක ප‍්‍රසූතියෙන් යම් නිශ්චිත දින සංඛ්‍යාවක් ඉක්මවීමට පෙර ඇයගේ කැමැත්ත මත හෝ සේවයේ යොදා ගත නොහැක. එනමුත් මෙම යෝජිත නීතියෙන් ඇති කෙටි කාලින සේවයේ නියුතු සේවක සේවිකාවන් සඳහා එම රැකවරණය අහිමි වේ.
  • හාම්පුතාගේ කොන්දේසි මත සකසන සේවා ගිවිසුමේ ඕනෑම කොන්දේසියක් නීතියෙන් ක‍්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍ය ප‍්‍රතිපාදන යෝජිත නීතියෙන් සලසා ඇත.
  • හාම්පුතාට අවශ්‍ය පරිදි විෂමාචාර ක‍්‍රියාවන් නිර්වචනය කිරිමටත්, ඒ මත පදනම්ව සේවය අවසන් කිරීමටත් යෝජිත පනතින් ප‍්‍රතිපාදන සලසා ඇත.
  • ළමා හා තරුණ කාන්තාවන් සේවයේ යෙදවීමේ දී පවතින නීතිය යටතේ තිබෙන්නා වූ ආරක්‍ෂණ කොන්දේසි සියල්ල අහෝසි වන අතර, ලිංගික අතවර සහ අනෙකුත් හිරිහැරවලින් වැළකීම යන කොන්දේසියට මුවාවී ළමයින් හා තරුණ කාන්තාවන් කොන්දේසි විරහිතව සේවයේ යෙදවීමට නව පනතින් අවකාශ ලැබෙනු ඇත.

 

නඩුයි බඩුයි සේවකයොයි ඔක්කොම හාම්පුතාගේ

  • “අවසරලත් අඩුකිරීම” සඳහා ඇති නෛතික ප‍්‍රතිපාදනයන්හි හරය සම්පූර්ණයෙන්ම හාම්පුතාට හිතකර වන ලෙස කප්පාදුකර ඇත. යෝජිත පනතේ දක්වා ඇති ශීර්ෂයන් සඳහාවන අඩුකිරීම් වෙනුවෙන් සේවකයාගේ කැමැත්ත අවශ්‍ය නොවේ.
  • දඬුවමක් ලෙස පඩි නැතිව සේවය අත් හිටුවීම සඳහා නීතිමය ප‍්‍රතිපාදන යෝජිත පනතින් සලසා ඇත. එබැවින් සේවය අත්හිටුවිමේ දී පඩි ගෙවිය යුතු බවට 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව මෙයින් නිශේදනය වේ.
  • අනුන්ගේ කුලී ශ‍්‍රමය කේවල් කොට මුදල් උපයන රැකියා ඒජන්සි සඳහා නෛතික රැකවරණය යෝජනා වී ඇත.
  • යෝජිත පනත උල්ලංඝණයට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුවට එකවර පැමිණිලි කළ නොහැක. හාම්පුතාගේ අභ්‍යන්තර ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත‍්‍රණයෙහි පිහිට පතා ඉන් පසු එහි තීරණයට එරෙහිව පමණක් පැමිණිලි ඉදිරිපත් කළ හැක.
  • යෝජිත පනතින් කම්කරු සුපරීක්ෂණය දියකර හැරේ. මේ අනුව ඉදිරියේදී පූර්ව දැනුම් දීමකින් තොරව ආයතන පරීක්ෂාවට ලක් කිරිමට හෝ නිර්නාමික පැමිණිලි විභාග කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවට නොහැකි වේ.
  • පවතින කම්කරු නීතිය යටතේ පුද්ගලික අංශයෙ සේවක, සේවිකාවන්ට හිමි විය යුතු ඉහත දැක්වෙන අවම සේවා කොන්දේසි සහ ආරක්‍ෂණයන් මෙම නව පනත මගින් අහෝසි කරන අතර ඒ අනුව හාම්පුතා සහ සේවකයා අතර එළඹෙන සේවා ගිවිසුම මත පදනම්ව එළඹෙන සේවා කොන්දේසිවලට සියල්ල යටත් කර ඇත.

මොකාටද මේ අඳින්නේ?

හූරගෙන හම්බ කරගන්න ලාභයෙන් සෑහීමකට පත්වන හාම්පුතුන් ඇත්තේ නැහැ. ඒ නිසා සේවක සේවාකාවන්ට හැකි තරම් අඩු වැටුප් ගෙවන්න හාම්පුතාලා දන්නා සෙල්ලම් සියල්ල දමති. ඔවුන් වෙනුවෙන් හාම්පුතුන්ගේ සංවිධාන මේ ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටී. හැකි තරම් අඩු වැටුපට සේවකයින් බඳවා ගන්න ඔවුන්ට වෘත්තීය සමිති ලෙස සංවිධානය වන්නටත් සාමුහිකව කේවල් කිරීමටත් ඇති හැකියාව සහ අයිතිය අහෝසි කළ යුතුයි. මේ යෝජිත තනි කම්කරු පනතින් සම්මත කර ගැනීමට යන්නේ ඒ අරමුණ ය. එනිසා මේ පනතින් –

  • සේවා කොන්දේසි සැකසීමේ පූර්ණ අයිතිය හාම්පුතාට දීමට යයි
  • ඒ කොන්දේසි සඳහා නීතිමය බලයක්ද ලබා දෙයි
  • හාම්පුතාට රිසි ආකාරයෙන් සේවයේ යොදවා ගැනීමට නීති සකස් කෙරෙයි
  • රිසි සේ සේවයේ යොදවා ගැනීමට වගේම රිසි සේ සේවයෙන් අස් කිරීමට හැකිවන නීති ප‍්‍රතිපාදනද හැදෙන්නේය
  • එවැනි කොන්දේසි වලට සූදානම් නැතිනම්, කිසිදු අයිතිවාසිකමක් මේ රටේදී කතා කළ නොහැකි විදේශ ශ‍්‍රමිකයින් ගෙන්වා ගැනීමේ ඉඩ ප‍්‍රස්ථාවන්ද මේ යෝජිත පනතින් හැදෙන්නේය.

අන්තිම වශයෙන් කිව යුත්තේ දරුමල්ලන්ද නොතකා හාම්පුතුන්ගේ ලාභ රේට්ටු වැඩිකර දීමට සේවයේ යෙදන්න සූදානම් සේවක පිරිස් හැදීම මේ යෝජිත පනතේ මූලික හා ප‍්‍රධානම අරමුණ බවය.

එය පරාජය කළ හැක්කේ වෘත්තීය සමිති හැටියට හෝ පාට පක්‍ෂ ලෙස හෝ සිංහල, දෙමළ, මුස්ලිම් යැයි බෙදී වෙන්වී නොව එකා වන්ව එකට සිට ගැනීමෙන් පමණි. එබැවින් මේ අභියෝගය අප බාර ගත යුතුය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435