තරුණ පරම්පරාවට වෘත්තීය සමිති අබිං ද ? -ඇත්ත නැත්ත දැනගන්න කියවන්න

තරුණ පරම්පරාවට වෘත්තීය සමිති අබිං ද ? යන මැයෙන් තරුණ පරම්පරාව වෘත්තීය සමිති සඳහා සක්‍රීය මැදිහත් වීමක් උදෙසා ගත යුතු ක්‍රියා මාර්ග පිළබද සාකච්චාවක් පසුගියදා වැල්ලවත්ත Global Towers ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එය සංවිධානය කර තිබුණේ වැඩබිම (Wedabima) හා වේලියිත්තලම් (Velaiththalam) වෙබ් අඩවි මගිණි.

එම වැඩසටහනේදී තරුණ වෘත්තිය සමිති සාමාජිකත්වය උදෙසා අගනා දැනුම් සම්භාරයක් ලබා ගැනීමට ඉඩ සැලසුණු අතර එය වෘත්තිය සමිති කරා තරුණ කොටස් ඇදී ඒම කෙරෙහි මනා පිටුවහලක් වනු ඇත. පැමිණ සිටි ආරාධිත දේශකයින් ගේ වෘත්තීය සමිති අත්දැකීම් හා ඔව්න්ගේ වෘත්තීය සමිති ජිවිතයේ සංසිද්ධීන් හා ප්‍රායෝගික භාවිතාවන් ඉදිරි පරපුරක් කරා  අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වනු ඇත. මන්ද  එම මාවතේ කටුකොහොල් පීඩාවන් හා බාධක පිළිබඳ වත් ඒවාට ශක්තිමත්ව මුහුණ දිය හැකි ආකාරය පිළිබඳවත් සුවිසල් දැනුම් පද්ධතියක් ඒ තුළ අන්තර්ගතව ඇති බැවිණි . තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාකාරී නියෝජිතවරියක් හා දැනට ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමයේ ක්‍රියාකාරි නියෝජිතවරියක් වන නිලන්ති රණසිංහ දැක්වූ ඇගේ වෘත්තීය සමිති අත්දැකීම් සමුදාය මෙසේ කැටි කොට දක්වන්නේ එම කතාව වැටි වැටී නැගිටින තරුණ පරම්පරාවකට මහත් රුකුලක් විය හැකි බැවිණි.

වැඩබිම, නිවස , ජීවිතය එකට බද්ධ වෙලා තියෙන්නෙ. ජීවත් වෙන්න කරන රැකියාවක් වඩා යහපත් ජීවන තත්ත්වයක් ලෙස හැඳින්විය හැකිය. වෘත්තිය සමිතියක් මගින් රැකියාවේ සුරක්ෂිතතාවය පමණක් නොව සමාජයේ පවතින අනෙකුත් ගතිකයන් පිළිබඳවද තමා තුල ඇති අදහස් හා හැඟීම් ප්‍රකාශ කිරීමට අවකාශයක් නිර්මාණය කරනු ලබයි. තාක්ෂණයත් සමග පැමිණි මෙවලම් මෙන්ම වර්තමානය වන විට සමාජ මාධ්‍යයන් ඔස්සේ ද ඒ සඳහා පුළුල් අවකාශයක් නිර්මානය වී ඇත.

වෘත්තීය සමිතිය තුළට අළුතින් සාමාජිකයෙක් ගෙන්වා ගැනීමද  සුවිශේෂී කාරණයක්. වෘත්තීය සමිතිය කියූ විට සිහියට නැගෙන චිත්‍රයක් තියෙනවා. එනම් රතු කමිස ඇදගත්, රතු තොප්පි පැළදු  පිරිස්, උද්ඝෝෂණ, ජල ප්‍රහාර, කඳුළු ගෑස් යන ඒවා පමණක් වෘත්තීය සමිති ලෙස අර්ථගන්වා ගත බොහෝ පිරිස් සිටී. නමුත් එය උක්ත මතුපිට ප්‍රකාශනයන්ට  වඩා ඉතා ගැඹුරු සංවිධාන ව්‍යුහයකි.

වත්මන් තරුණ පරපුර සීඝ්‍රයෙන් මෙම වෘත්තිය සමිති ක්‍රයාකාරිත්වයන්ගෙන් ඈත් වීම සුලභ කාරණයක් ඇත. නව තාක්ෂණික මෙවලම් සමග හුදකලා වූ එම ජීවිත නිරන්තරයෙන් ජංගම දුරකථනය, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය වැනි දේ තුළ අතරමං වූ ස්වභාවයක් දකනට ලැබේ. එසේම බොහෝ රැකියා ස්ථාන වලද ඔවුන්ගේ සමාජ සම්බන්ධතා සීමා කොට දමා ඇති අතර සියලුම මානව ගණුදෙණු පර්ගණකය තිරයකට, මෘදුකාංගයකට හෝ අන්තර්ජාල සම්බන්ධතා දක්වා ලඝුකොට ඇත. එහිදී ඔවුන් අවට ලෝකය දකින්නේද පරිගණකය තුළින් හෝ ඇප් එකක් මගින්වන අතර ප්‍රායෝගික සමාජ ජීවිතයක හා එහි නිරත වෘත්තීය සුරක්ෂිතතාවයක් පිළිබඳ අදහසකට එහි ඇති ඉඩ ප්‍රස්ථාව අතිශය සීමිතය.

සාමූහික ජීවිතයක් පිළිබඳ අදහස සමස්ත සමාජය තුළින්ම ගිළිහී යන තත්ත්වයක් තුළ තාරුණ්‍ය එහි අනාගතය පිළිබඳ ඇති බලාපොරොත්තු වියැකී යන තත්ත්වයක් කරා ගෙන යන ආකාරයක් දැකිය හැකිය. වෘත්තිය සමිතියක් තුළ පැවතිය යුතු තවත් සුවිශේෂී කරුණක් වන්නේ සමිතිය තුළ “සහ කම්පනය” යි. සමිතිය තුළ තියා ජීවිතය තුළින්ද මෙය ගිළිහී යන ආකාරයක් මේ වන විට දක්නට ලැබේ. මෙය වර්ධනය කළ යුතු අතර මෙම සාමූහික ක්‍රියාකාරිත්වය පිළිබඳ තරුණ වෘත්තිකයන් දැනුවත් කළ යුතුය.

නිලන්තිගේ වෘත්තීය සමිති ජීවිතය පිළිබඳ කතාව ඇය මෙසේ ද අවධි කළාය.

“මම රස්සාවට එන්නෙ වයස අවු. 19 න්. ඒ හිරිමල් තරුණවිය.මම සේවයට ඇතුල් වෙද්දිම වෘත්තීය සමිති ජීවිතයට ඇතුල් වුණා. නමුත් ඒ පිළිබඳව ලොකු අදහසකින්ම නෙවේ. ලංකාවේ නීතියට අනුව වෘත්තීය සමිති ආඥා පනතට අනුව වයස අවුරුදු 16ක් සැපිරීමෙන් පෞව වෘත්තීය සමිතියකට ඇතුළත්     විය හැකි අතර එහි කාරක සභිකයකු හෝ නිළදාරී මණ්ඩලය නියෝජනයට වයස අවු. 21 සැපිරිය යුතු වේ. මමත් අවු.21  පිරෙද්දිම වෘත්තීය සමිතියේ කාරක සභාවට ඇතුළත් වීමේ භාග්‍ය ලදිමි.  ඒ තැපැල් හා විදුලි සංදේශ නිළධාරීන්ගේ සංගමයේය. පසුව එම වෘත්තීය සමිතියේ ගම්පහ ශාඛා සමිතියේ ලේඛම් තනතුරට පත් වන්නේ ප්‍රතිවාදී තරඟ කරුවාට ඔහුගේ ඡන්දය පමණක් ඉතිරි කරමින් ඉතිරි සියලුම ඡන්ද ලබා ගන්නා ලද ඡන්ද විමසීමකින්ය. ඒ මොහොතේ මට අවශ්‍යය දෙයක් වුණේ මාත් එක්ක ඉඳපු පිරිස වෙනුවෙන් දෙයක් කරන්න එහෙම ආරම්භ කරමින් පැමිණි වෘත්තීය සමිති ජීවිතයට දැන් අවු.23ක්.

තරුණියක්, මවක්, බිරිඳක් ලෙස වෘත්තීය සමිති කටයුතු කරද්දී ගැටළු රැසකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක ලේසි කටයුත්තක් නෙවෙයි.නමුත් මම ඒකට මුහුණ දුන්නා. අවුරුදු 19න් රැකියාවට බැඳුණු මං අවු. 20 දී ස්ට්‍රයික් එකකට සම්බන්ධ වීම හේතූවෙන් වැඩ තහනමකට ලක් වෙනවා. ඒ පරිවාස කාලයේදී.

1997- 98 කාලයේදී රජයේ ආයතන පෞද්ගලීකකරණය කීරීමේ ක්‍රියාදාමය යටතේ තැපැල් දෙපාර්තමේන්තුව ද පෞද්ගලිකකරණයට පිඹුරුපත් සැකසීය. ඊට එරෙහිව අප වෘත්තීය සමිතිය නැගී සිටිමින් දැවැන්ත අරගලයක නිරත වූ අතර එම කැප කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව බේරා ගැනීමට හැකි විය. එම අරගලයේදී කැපී පෙනෙන සක්‍රීය මැදිහත් වීමක් සිදු කරමින් සටන් කිරීම නිසා වැඩ තහනමට ලක් වීමට සිදු විය.

වැඩි දූරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ මෙම මැදිහත් වීම් සඳහා සමාජ අවබෝධය ලබා ගන්නා ලද්දේ අන්තර්ජාලයේ වහලුන් වීම මගින් නොව පොත පත කියවීම, පුවත්පත්, රූපවාහිණිය, ගුවන්විදුලිය මගින් බවයි. තරුණ පරපුරට වර්තමානයේ සිදු වී ඇති තත්ත්වයත් වෘත්තීය සමිති සඳහා ඔවුන්ව සම්බන්ධ  කර ගැනීමේ වැදගත් කමත් පිළිබඳ නිලන්ති විසින් නැවත නැවත මතක් කර සිටින්නේ එය ඒ තරම්ම සමාජ ගැටළුවක් බවට පත්වෙමින් ඇති නිසාවෙනි.

ඇත්තටම තරුණ පරපුරට වෘත්තීය සමිති අබිංද? වෘත්තීය සමිති කෙරෙහි තරුණ පරම්පරා ඇදී ඒමට ඇල්මක් නොදැක්වීම හා සම්බන්ධ නොවීම කෙරෙහි බලපාන කාරණා රැසක් දැකිය හැකිය. ඉන් එකක් තමා වෘත්තීය සමිති යාවත්කාලීන නොවීම. එසේම වෘත්තීය සමිති දෙස බැලීමේදී දක්නට ලැබෙන තවත් සුලභ ලක්ෂණයක් වන්නේ ඒවායේ තරුණ නායකත්වයන් දක්නට නොලැබීමයි.මීට හේතුව වී ඇත්තේ බොහෝමයක් වැඩිහිටි වෘත්තීය සමිති නායකයන් නායකත්වය අත් හැරීමට මැලිකමක් දක්වමින් මරන මංචකය දක්වාම එම ධූරයේ කටයුතු කිරීමයි. නමුත් ඔවුන්ගේ වගකීම විය යුත්තේ තරුණ තරුණියන්ට අවස්ථාව ලබා දීම හා ඔවුන් පුහුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීමයි. එසේම දෙවෙනි පෙළක් සකස් කළ යුතු අතර වෘත්තීය සමිති අඛණ්ඩව ඉදිරියට සක්‍රීයව පවත්වාගෙන යාමට දෙවෙනි පෙළකින් නොනැවතී තුන්වන පෙළක්ද සකස් කළ යුතුව ඇත.එයින්ද නොනැවතී තරුන පරපුර්‍රෙ වෘත්තිකයන්ට වැඩිහිටි පරම්පරාව විසින් ඉගැන්විය යුත්තේ වෘත්තීය සමිතියක් යනු රැකියාවේ සුරක්ෂිතතාවය සඳහා පමනක් පවතින්නක් නොවන අතර සමස්ත ජීවිතයේම කොටසක් වන අකාරයයි.

ගණනය කර බැලුවහොත් පෙනී යන කාරණයක් වන්නේ අප ජීවත් වන කාලයෙන් වැඩි කොටසක් ගත කර ඇත්තේ වැඩබිම තුළ ය. නමුත් පැය 8 වැඩමුරයට අමතරව අතිකාල සිදු කරමින් වැඩි කාලයක් ගත කරන වැඩ බිම තුළ් කිසිවෙක් ජීවත්වන ආකාරයක් දක්නට නොලැබීම කනගාටුවට කාරණයකි. එසේම තරුණ තරුණියන්ට මේ සියළු කාරනා පිලිබඳ දැනුම ලබා දීම හා ඔවුන්ව වැඩකටයුතු කෙරෙහි සම්බන්ධ කර ගැනීම සිදු කළ යුතු වේ.ඒ සඳහා අවශ්‍යය සියළු අවස්ථාවන් නිර්මාණය කිරීමෙහිලා මැදිහත් වෙමින් කටයුතු කිරීමට සොලිඩරිටි සෙන්ටර් නිරන්තරයෙන් පෙනී සිටින ආකාරයක් දැකිය හැකිය. අවසන් වශයෙන් තරුණ පරම්පරාවන්ට කියා දිය යුතු වන්නේ වෘත්තීය සමිති කියන්නෙ ජීවත්වන පරිසරය තුළ වැඩබිම තුළ අපට ජීවිතය ලබා දෙන එකම සංවිධානය බවයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435