තවත් කාන්තා දිනයක් ලඟ

  • ලංකාවේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන්…
  • වැඩ කරන ජනතාව අතර මෙන්ම…
  • විශේෂයෙන්ම රාජ්‍ය සේවය තුළ වැඩි කොටසක් කාන්තාවන් වන අපේ රට…

සෑම වසරකම ජ්‍යාත්‍යන්තර කාන්තා දිනය මහ ඉහලින්ම සමරනු ලබන්නේ එක් දිනයක් පමණක් කාන්තාවන්ට තිබීම ප්‍රමාණවත් යැයි සිතමින්ද?

සැබෑවටම කාන්තාවකට දිනයක් අවශ්‍යද?

උප්පත්තියෙන්ම කාන්තාවකට ලැබෙන දායාදය, ලද බොලඳ සුකුමල වත කමල යන ලස්සන වදන් ටික කාලයක් යන විට ඇය තරුණියක වනවාත් සමගම ටිකෙන් ටික ඈත් වන අපූරුව වගේම විවාහයට පත්වන කාන්තාවක් එම ලස්සන වදන් වලින් ඉබේම ඈත් වී දිවි පරදුවට තබා තම දරුවන් රකින පෝෂණය කරන දරැවන්ට අනාගතයක් සඳන්නට දිරිය ගන්නා අයුරු සැබැවින්ම අරුමයක්මය.

ඉනුත් ඔබ්බට යමින් තම දරුවන්ගේ, ස්වාමියාගේ අඩුපාඩු පිරිමහන්නට ලැබෙන සොච්චම මදි වූ විට ඒබරද දරමින් රැකියාවක් සොයා යන කාන්තාවන් ඇත්තටම තම ශ්‍රමය දහඩිය සලමින් කරන සේවය වදන් වලින් පැවසිය හැකිද?

හිමිදිරි පාන්දර නැගිට ගනිමින් ක්‍රියාකරන යන්ත්‍රයක් බඳු ඇගේ අත් දෙකෙන් ඉටුකරන වැඩ කොටස නිවසේ සියලු කාර්යයන් අකුරටම ඉටුකරමින් වහ වහා තම කාර්යාලය බලා යන කාන්තාවන්ගේ වටිනාකම ගැන කතා කිරීමට ඇත්තටම එක දිනයක් ප්‍රමාණවත්ද?

එසේ නම් ඇය ගැන කතා කළ යුත්තේ කුමක්ද?

රැකියා කරන කාන්තාවන්ගෙන් සියයට දශමයක් දෙනාවත් සතුටින් රැකියාවේ යෙදෙන බවට කිනම් හෝ කෙනෙකුට ඔප්පු කළ හැකිද? – නැත.

කිසිම කාන්තාවක් රැකියාවට යන්නේ හෝ රැකියාව කරන්නේ හෝ ආපසු එන්නේ හෝ සතුටින් නොවන බව පසක් කළ යුතුමය. උදයට පාසලට, දිවා සුරැකුම් මධ්‍යස්ථානයට හෝ මෙහෙකාරියකට භාර කරන දරුවා ගැන ඒ මව/කාන්තාව දක්වන අනුපමේය සෙනෙහස දෝරෙ ගලා යන ආදරය නිසාම, කාර්යාලයට/වැඩබිමට පැමිණි මොහොතේ සිට වරින් වර තම දරුවන් ගැන සොයන්නේ සිය රාජකාරියට නොව දයාබර දරුවන් වෙනුවෙන් මුල් තැන දෙමින් බව ඔබට ම දැක ගනු හැකිය. ඇයට හරියට රාජකාරියක් කිරිමට හැකියාවක් නැති බව හොදාකාරවම දැන දැනත්, හිතේ කැකෑරෙන වේදනාව යටපත් කර ගනිමින් දවසේ වැඩ කොටස නිමා වන තෙක් ඇය මානසික පිස්සියක් බව ඔබ නොදන්නවාද?

එමෙන්ම, මහමග ගෙවා දමන ඇගේ කාලය ඇය මහත් වූ විඩාවෙන්, අසහනයෙන් ගත කරන බව මනාව දැක ගන්නට හැකිය. මේ අතරතුර තම ස්වාමියාගේ අඩම්තේට්ටම් විදින්නට ගෙදර දොර අඩුපාඩු, දරුවන්ගේ සැප දුක්, දෙමාපිය යුතුකම් ඉටුකරන්නට තරම් ඇය මහා කුණාටුවකට නොසැලෙන මහත් උස් වූ රුකක් මෙන් පැහැදී සිටින අයුරු ඇත්තටම හරිම පුදුමාකාරය.

මෙහෙව් වූ කාන්තාවකට, ඇය ගැන කතා කරන්නට වසරකට එක් දිනක් පමණක් යොදා ගැනීම ඇත්තෙන්ම විහිළුවකි. මගතොටදී සිදුවන අසාධාරණයක් මොන තරම් නම් කාන්තාවන් විදගෙන නිහඩ වනවාද? නිවසේදී ඇයට ලැබෙන අසාධාරනකම්, දරුවන්ගේ නොසැලකිලිකම් කාන්තාවක් දරා ගන්නේ මොන තරම් වේදනාවකින්ද?

මහ ලොකුවට කාන්තා දිනයේදී කතා කරන කාන්තා විමුක්තිය නිදහස අයිතිය ඇත්තෙන්ම අපේ රටේ කාන්තාවන්ට හිමිද? එය එක් දිනයකට පමණක් කතාවට පමණක් සීමා වී තිබීම ප්‍රශ්නාර්ථයක්මය…..රටේ සංවර්ධනයෙන් වැඩි කොටසකට දායක වන විදෙස් විනිමය රටට සපයන්නට අත දෙන වැඩ බිමේ, කම්හලේ, කන්තෝරුවේ, පාසලේ, රෝහලේ මෙන්ම සිදාදියේ, පාරේ තොටේ තම ශ්‍රමය ශක්තිය උපන්  රට වෙනුවෙන් යොදවන කාන්තාව ගැන එක් දිනයකදී කතා කරන්නේ අහවල් දෙයක් දැයි ඇත්තටම දුකකි.

ඇය විදින දුක් කම්කටොලු වේදනා අසාධාරණකම් හමුවේ ජීවිතය විදවන ඇය ගැන කතා කල යුත්තේ වසරකට එක් දිනයක් පමණද? එය එක් දිනකට පමණක් සීමා කිරීමම ඇයට තවත් කරන මහත් අසාධාරණයක් බව පැවසිය යුතුමය. එක් දිනකදී රැස්වී කතා බහ කර කා බී රටට ලෝකයට පේන්නට කාන්තාවන් ගැන උදම් අනනවාට වඩා ඇය වෙනුවෙන් සදාකාලික යුක්තිය පසක් කිරීම සඳහා වැඩ පිලිවෙලක් ස්ථාපිත කිරීම වහ වහා සිදු විය යුති බව වැඩිදුරත් පසක් කළ යුතු වන්නේය.

තමරා දයානි හෙට්ටිමුල්ලගේ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435