ත්‍රස්තවාදයේ නවයුගය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා ප්‍රතිත්‍රස්ත පනත

ශ්‍රී ලංකාව නවීන ත්‍රස්තවාදයේ යුගයට පිවිස ඇති බව අප්‍රේල් 21දා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ඔප්පු විය. එය සයිබර් ත්‍ර‍ස්තවාදය ද ඇතුළුව මින් පෙර පැවති ත්‍රස්තවාදයන්ගෙන් සම්පූර්ණයෙන් ම වෙනස් තත්වයකි. මින් පෙර පැවති ත්‍රස්තවාදයන් යම් සාධාරණත්වයක් සහිත ඉල්ලීම් වෙනුවෙන් කරනු ලබන අරගලවල එක් මාදිලියක් ලෙස මතු වූ ඒවායි. එම ඉල්ලීම් සාකච්ඡාමය විසඳුමකට පැමිණීමට බැරි ඒවා නොවේ. 1971, 1989 කැරැලි හා 1980 දශකයේ පමණ සිට 2000 දශකය දක්වා ඇදී ගිය දෙමළ කැරැල්ලේ ද තිබුණේ මෙම ලක්ෂණයි.

දෙමළ කැරැල්ල පරාජයෙන් පසු අධිපතිවාදී සිංහල බලවේග මුස්ලිම් ජාතිය පසුපස පන්නන්නට පටන් ගත්තේ ය. මුස්ලිම් ජාතිය අන්තවාදය දෙසට තල්ලු වෙමින් සිටින බවට චෝදනා නැගිණි. මුස්ලිම් ජාතිය අන්තවාදයට තල්ලු වුණේ සිංහල ජාතිවාදීන්ගෙන් එල්ල වූ පීඩනය නිසා ද සිංහල ජාතිවාදීන්ගේ මුස්ලිම් විරෝධය මතු වුණේ මුස්ලිම් ජාතිය අන්තවාදය දෙසට යොමු නිසාද යන්න සෙවීම කලින් උපන්නේ කිකිළි ද බිත්තරේ ද සොයනවා වැනි ය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මතු වී තිබෙන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය යනු දේශපාලනික විසඳුම් මගින් හෝ සාකච්ඡා මගින් හෝ සම්මුතියකට පැමිණිය හැකි එකක් නොවේ. එය දේශපාලන ඉල්ලීමක් හෝ සමාජ පීඩනයක් මත පදනම් වන්නක් ද නොවේ. එහි ඇත්තේ යම් ආධ්‍යාත්මික ස්වරූපයකි. නූතනත්වය මත පදනම් වූ සමාජ ක්‍රමයකට ඒ සම්බන්ධයෙන් දිය හැක්කේ යුදමය විසඳුමක් පමණි.

එහෙත්, මර්දනය වුව මෙම ප්‍රශ්නයට අවසාන විසඳුම නොවේ. මර්දනය විසින් මෙම වර්ගයේ ත්‍රස්තවාදීන් තව තවත් බෝ කරන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම ද වැළැක්විය නොහැකි ය. එබැවින් ශ්‍රී ලංකාවේ අනාගතය ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය සමගත්, එයට ප්‍රතිචාර ලෙස බිහි විය හැකි බෞද්ධ, ක්‍රිස්තියානි ආදී වෙනත් ත්‍රස්තවාදයන් සමගත් කරන භයානක ගනුදෙනුවක් මැදින් ඇදී යන්නක් වනු ඇත.

එහිදී එක පැත්තකින් මහජනතාවට ත්‍රස්තවාදය සමග ජීවත් වීමේ අභියෝගයට හැඩගැසෙන්නට සිදු වේ. ඒ සම්බන්ධයෙන් සමාජය, රජය හා ආයතන සූදානම් කළ යුතු ය. අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදය සමග ගනුදෙනු කිරීම සඳහා ආරක්ෂක හමුදා, පොලිසිය හා නීති පද්ධතිය සූදානම් කළ යුතු ය.

ඇතැම් ගැටලු දැනටමත් පෙන්නුම් කර තිබේ. විදේශ රටවල ත්‍රස්ත ක්‍රියාවල යෙදුණු අයට එරෙහිව කටයුතු කිරීම සඳහා නීති ප්‍රමාණවත් නැති බව අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා පෙන්වා දුන්නේ ය. ඔහුගේ ප්‍රකාශයේ බරපතල ගැටලුවක් තිබේ. රාජ්‍ය පාලනය යනු නීතිය සමග කරන හොරා පොලිස් ක්‍රීඩාවක් නොවේ. එය තත්කාර්යවාදී වැඩකි. රට වෙනුවෙන් අවදානම් ගැනීමට රාජ්‍ය පාලකයන්ට හැකි විය යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය යම් පරමාදර්ශයක් මිස අනිවාර්යයෙන් ම 100%ක් ක්‍රියාත්මක කළ යුතු එකක් නොවේ. එහෙම එකක් එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ හෝ නැත. රාජ්‍ය පාලනයේ මහ බැංකු ගනුදෙනුව හා පළාත් සභා ඡන්ද කල් දැමීම වැනි කටයුතුවලදී පවා නොතිබුණු ප්‍රජාතන්ත්‍රවාදයක් විදෙස් ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් තිබීම විකාර සහගත ය. රජය ම කියන පරිදි සිරියාවේ ත්‍රස්ත සංවිධාන සමග එක්ව සිටි, ඔවුන්ගෙන් පුහුණුව ලැබූ පිරිස් අදත් ශ්‍රී ලංකාවේ යහතින් සිටිති. ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට නීති නැතැයි කියා රජය අත් පොරවාගෙන බලා සිටිති. මෙය විසුළුසහගත තත්වයක් නොවේ ද? සියදිවිනසාගන්නා බෝම්බකරුවන් තිදෙනෙකුගේ පවුලට අයත් බෝම්බ කම්හලක් යයි පොලිසිය හා මාධ්‍ය විසින් නම් කරන ලද කම්හලක සේවය කළ සේවක පිරිසකට ඉතා ඉක්මණින් ඇප පිට නිදහස ලැබීම ද තවත් ගැටලු සහගත අවස්ථාවකි. ඔවුන් නිවැරදිකරුවන් බව මෙතරම් ඉක්මණින් තහවුරු කරගන්නට පොලිසිය සමත් වූයේ කෙසේ ද?

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන නීති සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළ යුතු ය. දැනට ක්‍රියාත්මක, 1979දී හදිසියේ හඳුන්වා දෙන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත එදා තත්වයන්ට අනුකූලව නිර්මාණය කරන ලද එකකි. විදේශ රටකදී ලාංකිකයකු සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් එකී නීතියෙහි අවධානය යොමු වී නැති බව ඇත්තකි. හඳුන්වා දී තිබෙන ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතෙහි හැඳින්වීමෙහි ම ශ්‍රී ලංකාව තුළ හෝ පිටත හෝ සිදුකෙරෙන ත්‍රස්ත ක්‍රියා ආවරණය කරනු ලබන බව දැක්වේ. පනත් කෙටුම්පතෙහි පළමු කොටසෙහි පනත අදාළ වන පුරවැසි තත්වයන් හා භූමි සීමාවන් ඉතා පැහැදිලිව නිර්වචනය කර තිබේ.

එසේම, ප්‍රති ත්‍රස්ත පනත අදාළ වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහය සහ අනෙකුත් අදාළ ලිඛිත නීති යටතට නොවැටෙන චෝදනා සම්බන්ධයෙන් බව ද එහි ඉතා පැහැදිලිව දැක්වේ.

වාමාංශික අදහස් දරන බොහෝ අය ප්‍රති ත්‍රස්ත පනතට විරුද්ධ වන්නේ කෙටුම්පතෙහි 2(1) උපවගන්තිය යටතේ ත්‍රස්තවාදය අර්ථකථනය කෙරෙන ආකාරය හේතුවෙනි. එය සංයුක්ත නොවන අර්ථකථනයක් බව ඇත්තකි. ඒ අනුව, විශේෂයෙන් ම වෘත්තීය සමිති අරගල, වැඩ වර්ජන ආදිය ත්‍රස්තවාදය යටතට වැටෙන්නට ඉඩක් තිබෙන බවට බිය පළ කෙරෙමින් තිබේ. එහෙත්, එම අර්ථකථනය ඇතුළට වැටෙන්නේ එපමණක් නොවේ. මහ බැංකු බැඳුම්කර මගඩිය, ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය වැනි ඒවා ද එම නිර්වචනය ඔස්සේ අර්ථ නිරූපණය කළ හැකි ය. කොහොමත් වෘත්තීය සමිති, ශිෂ්‍ය, පාරිසරික, සංවර්ධන විරෝධී ත්‍රස්තවාදයක් මෙන් ම, මාධ්‍ය ත්‍ර‍ස්තවාදයක් ද ලෝකයේත්, ලංකාවේත් තිබේ. ශ්‍රී ලංකාවේ ඉතා පැහැදිලිව ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දුම්රිය රියදුරන්ගේ වෘත්තීය සමිති, ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, බස් හිමියන්ගේ සංගම්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය වැනි සංවිධාන මෙන් ම ජනමාධ්‍ය ද ත්‍රස්තවාදය ලෙස සැලකිය හැකි ක්‍රියාවල නිරතව තිබේ. එහෙත්, ඉහත දක්වන ලද උදාහරණ අනිවාර්යයෙන් ම මෙම පනත යටතේ සැලකීමේ අවශ්‍යතාවක් නැත. එසේම, මෙම පනත යටතට ගැනීම මෙම පනත යටතේ ම අභියෝගයට ලක් කිරීමේ ඉඩක් ද තිබේ.

අති වාමාංශික කොටස් නියෝජනය කරන බව පෙනෙන විමුක්ති ව්‍යාපාරය ලෙස තමන් හඳුන්වාගන්නා කණ්ඩායමක් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන මෙම කොටස ඔවුන්ගේ අරමුණ හඳුනාගැනීමට ඉවහල් වේ. “සෑම ත්‍රස්ත නීතියක්ම එහි නාමයෙන්ම පුරවැසියන්ට එරෙහිව ක්‍රියාත්මක වන අතර එහි කිසිදු ප්‍රගතිශීලි අඩංගුවක් පැවතිය නොහැක. ත්‍රස්ත විරෝධී පනත මගින් මහජනතාව මත මුදා හරින ලද ත්‍රස්තය අප ඉතිහාසය තුල අත්විද ඇත්තෙමු. නව ත්‍රස්ත පනත මගින්ද නොඅනුමානව එය සිදු කරනු ඇත. ප්‍රචණ්ඩ ගැටුම් අවසන්ව දශකයට ආසන්න කාලයක් ගතව ඇති මොහොතක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම හා නව ත්‍රස්ත නීති හකුලා ගැනීමට මෙපිටින් කිසිදු දෙයක් ශ්‍රී ලංකා ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා පිලිගත හැකි ක්‍රියාවන් නොවන්නේය. විමුක්ති ව්‍යාපාරය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙසට දැඩිව ඉල්ලා සිටින අතර නව ත්‍රස්ත පනත් හදුන්වා දීමට රජය දරන උත්සහය හෙලා දකී!”

මෙයට ප්‍රතිපක්ෂව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙම පනත ගැන දක්වන කරුණු ද රසවත් ය. ඔහුට මූලික ගැටලුව තිබෙන්නේ මෙම පනතෙහි තිබෙන මානව හිමිකම් ආරක්ෂා කරන විධිවිධාන සම්බන්ධයෙනි. අති වාම කොටස් ප්‍ර‍ති ත්‍ර‍ස්ත පනත පිළිබඳ මතු කරන කාරණාවලට කොමා දාන ගමන් ඔහු මෙම පනතෙහි ගැටලු පෙන්වා දෙන්නේ අන්ත දක්ෂිණාංශික පදනමකින් වීම උත්ප්‍රාසජනක ය. ඔහුට පනතෙහි ඇති ප්‍ර‍ධාන ගැටලු වන්නේ, “යෝජිත ප්‍ර‍තිත්‍ර‍ස්ත පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන ත්‍ර‍ස්තවාදී සැකකරුවන්ට ඉතාමත්ම යහපත් ලෙස සැලකීම, සැකකරුවන් පැය 24ක් ඇතුළත ළඟම තිබෙන පොලිසියේ ස්ථානාධිපතිවරයාට භාර දීමට සිදුවීම, සැකකරුගේ තුවාල තිබේ නම් අධිකරණ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීම, මානව හිමිකම් කොමිෂම වෙත වාර්තා කිරීම, අත්අඩංගුවට ගන්නා නිලධාරියා තම අනන්‍යතාව සැකකරුට සහ පවුලේ අයට දැනුම් දීම, සැකකරු බැලීම සඳහා සාධාරණ අවස්ථා ලබා දීම, පැය 48ක් ඇතුළත මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීම, මහේස්ත්‍රාත්වරයකුට ඔහු රැඳවුම් භාරයේ තබාගත හැකි උපරිම කාලය සති අටක් වීම, නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් භාරයේ තබාගත හැකි කාලසීමාව 12කට සීමා වීම, නඩු පැවරීමක් සිදු නොවුවහොත් සැකකරුට ඇප දෙන්නට සිදුවීම, රැජ්‍ය ආරක්ෂාවට බරපතල අගතියක් හෝ මරණ වැනි දේ සිදු වී නැති සංදර්භයක් තුළ වන්දියකට හා පුනරුත්ථාපනයට යටත්ව නීතිපතිවරයාට නඩුවක් ඉල්ලා අස්කරගැනීමට හැකි වීම” වැනි කාරණා ය. “යෝජිත ප්‍ර‍තිත්‍ර‍ස්ත පනත ත්‍ර‍ස්තවාදීන්ට ලබාදෙන අංග සම්පූර්ණ සහන පැකේජයකි,” යි ඔහු සිය නිවේදනයේ පවසයි. මෙකී කාරණා අති වාම කොටස්වල අවධානයට යොමු නොවීම විස්මිත ය.

සමස්තයක් ලෙස ගත් කල තාවකාලික විධිවිධාන පනතක් වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සාපේක්ෂව ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත විධිමත් පනතකි. එහෙයින් ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි තිබුණ කෘරත්වය පාලනය වේ. මෙම ලිපිය ලියන මා ද 1989 සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 18ක කාලයක් නඩු විභාගයකින් හෝ අධිකරණයකට ඉදිරිපත් කිරීමකින් හෝ තොරව නිති විරෝධී රැඳවුම් ස්ථානයක් වන එළියකන්ද වධකාගාරයේ පවා රඳවා තබාගැනීමට ලක් වූ අයෙක්මි. ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන ලද නඩු දීර්ඝ කාලයක් තිස්සේ විභාග වෙමින්, වසර 10ක් පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි අය ගැන තොරතුරු ඕනෑ තරම් තිබේ.

නල්ලරත්නම් සිංහරාසා යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 35ක සිර දඬුවමකට නියම වූවෙකි. ඔහුට දඬුවම් කිරීම පිණිස යොදාගෙන තිබෙන්නේ ඔහු වධහිංසනයට ලක් කර, ඔහුගේ ඇඟිලි සලකුණ ලබා ගත්, ඔහුගේ ම කටඋත්තරය බව ඔහු පවසයි. මේ වනාහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෘර ස්වභාවය නිරූපණය කිරීමට කදිම සාක්ෂියකි. මේ සම්බන්ධයෙන් සිංහරාසා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික මානව හිමිකම් පෙත්සම ද ප්‍රතික්ෂේප කරන ලදී. ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ප්‍රකාරව සිවිල් අයිතීන් සහ දේශපාලන අයිතීන් සම්බන්ධයෙන් මෙරට ඉහළ ම අධිකරණයේ නඩු තීන්දුවකින් සෑහීමකට පත් නොවන අයෙකුට සාධාරණය පතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට පැමිණිලි කළ හැකි ය. සිංහරාසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල සලකා බැලූ එම කොමිසමේ මානව හිමිකම් කමිටුව යම් අදහස් ප්‍රකාශ කිරීමක් කර ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ 2016 ජුලි මස 07 වන දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් සිංහරාසා නඩු තීන්දුව පිළිබඳ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් නඩු තීන්දුව පිළිබඳ නැවත සලකා බැලිය යුතු බව කතානායකවරයාට දන්වා සිටියේය. එහෙත්, මේ කිසිවකින් විත්තිකරුට සාධාරණයක් ඉටු වුණේ නැත. මාධ්‍යකරුවකු වූ ජේ.එන්. තිස්සයිනායගම්ට ඔහු ලියූ ලේඛන සම්බන්ධයෙන් ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විසි අවුරුදු සිර දඬුවමක් නියම කර පසුව ලෝක විරෝධය නිසා සමාව දී නිදහස් කරන ලදී.

ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත යල්පැනගිය නීතියකි. එය සංශෝධනය කළ යුතු ය. රජය ඒ සම්බන්ධයෙන් ගෙන එන ලද ප්‍ර‍ති ත්‍ර‍ස්ත පනත වඩා විධිමත් නීති කෙටුම්පතකැයි අපි විශ්වාස කරන්නෙමු. නීති විශාරදයන් නොවන පුරවැසියන් නියෝජනය කරමින් මා පවසන්නේ මේ පිළිබඳ හරවත් සමාජ සංවාදයක් නැති අතර, නීති විශාරදයන් කටයුතු කරන්නේ තුලනාත්මක විග්‍ර‍හ සිදුකිරීමට නොව දේශපාලනික න්‍යාය පත්‍රානුකූලව ආස්ථානයන් තේරීමට බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධ විරෝධය කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර, ඒ පිළිබඳ පුළුල් සංවාදයක් ඇති විය යුතු ය. ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ත්‍ර‍ස්තවාදයට එරෙහි නීති විධිමත්ව හා නවීන තත්වයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කළ යුතු ය. ඒ ගැන සමාජයේ විවෘත සාකච්ඡාවක් තිබිය යුතු ය. සංවාද සභාව අන්තවාදීන්ට පමණක් භාර දී උඩ බලාගෙන සිටින රජය හා සිවිල් සමාජය ද, අන්තවාදීන් ද අවසානයේදී කරන්නේ එක ම දෙයකි. එනම්, කෘර නීතියක් ලෙස සැලකිය හැකි ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පනත තිරසර කිරීමයි.

අජිත් පැරකුම් ජයසිංහ

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435