ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත වැඩකරන ජනයාට වඩා බිහිසුණුයි!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (ඵ්‍රෙවෙන්ටිඔන් ඔෆ් ඨෙර්‍රොරිස්ම් ඇශ්ට්-ඵ්ඨැ)යනු අවුරුදු හතළිහකට වැඩි කාලයත් තිස්සේ රටේ බලපැවැත්වූ නීතියකි. ඒමෙන්ම ‘ත්‍රස්තවාදය වැළැක්වීම” නම් අලංකාරික වචනයට මුවාවී පැහැරගැනීම්, වධහිංසා කිරීම්, ලිංගික හිංසනයන්, අතුරුදහන් කිරීම්, මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, දේශපාලන පලිගැනීම්, දිගු කාලීනව රඳවා තබා ගැනීම් සඳහා නීතියෙන් අවසර ලබාදී තිබුණු වරදානයකි. මේ නිසාම එම නීතිය ක්‍රියාත්මක වූයේ ත්‍රස්ත ක්‍රියාවන්ට අදාළවූ සැකකරුවන් කෙරෙහි පමණක් නොවේ. මානව හිමිකම් ක්‍රියාකාරීන්, සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යෙව්දීන්, කලාකරුවන් ආදී බොහෝ දෙනෙකුගේ භාෂණයේ ප්‍රකාශනයේ හා සිවිල් ක්‍රියාකාරකම් මර්දනය කිරීමත්, පුරවැසි නිදහස උදුරා ගැනීමටත් භාවිතා කරනු ලැබුවේ මෙම නීතියමය. ඒ නිසාම මෙම නීතිය ඉවත් කරන ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මානව හිමිකම් සංවිධාන විසින් දැඩි ඉල්ලීමක් කරනු ලැබිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පවා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට විටෙන් විට කරුණු දක්වනු ලැබිණි. එහිදී ශ්‍රී ලංකාවේ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් ‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත“ අත්‍යවශ්‍ය බවට ඇතැම් අන්තවාදීන් මෙන්ම ශ්‍රී ලංකා රජයද දැඩි ස්ථාවරයක සිටීම නිසා එය දිගින් දිගටම ශ්‍රී ලාංකේය සමාජය මත අභ්‍යාසවී සාමාන්‍යකරණය වී තිබිණි. යුද්ධය නිමාවී දශකයට ආසන්න කාලයක් ගෙවී ගිය තැනද, තව දුරටත් එකී මර්දන නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳ ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම සුළුපටු නොවන නිසාම ඇතැම් අවස්ථාවන්වලදී ශ්‍රී ලංකා රජය ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ නුදුරු කාලය තුළ එය අහෝසි කිරීමට කටයුතු කරන බවයි. මේ දිනවල එක් පසෙක ජිනීවාහි ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භවී පවතින අතර අනෙක් පසින් මෙම ඊනියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව රටේ සිවිල් සමාජයෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතියි. මෙවන් පසුබිමක බලධාරීන්ගේ අවධානය යොමුවී ඇත්තේ එක ගලින් කුරුල්ලක් දෙදෙනෙකු දඩයම් කර ගැනීමේ ග්‍රාම්‍ය පිළිවෙතක් කෙරෙහිය. එනම් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින්, මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා තැබූ ඉදිරි පියවරක් ලෙස ජාත්‍යන්තරයට හුවා දැක්වීම එක් කාරණයකි. අනෙක් කාරණය නම්
පැවති පනතේ නම වෙනස් කොට ‘‘ප්‍රති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත“(Cඔඋන්ටෙර් ඨෙර්‍රොරිස්ම් ඇශ්ට්-Cඨැ)නමින් නව පනතක් ගෙන එමින් පැවති මර්දනකාරී විධිවිධාන ඒ අයුරින්ම පවත්වාගෙන යාමටත් , ඇතැම්විට පැවතියාටත් වඩා දැඩි බිහිසුණු මර්දනයක් දියත් කිරීමට හැකි පරිදි නව විධිවිධාන ඊට ඇතුළත් කරමින් පවත්වාගෙන යාමට ක්‍රියා කිරීමත්ය. ඒ සඳහා මේවන විට මෙම නව ‘‘ප්‍රති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත“ කෙටුම්පත් කර ඇති අතර එය ඉදිරි කාලය තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය. අප විසින් මේ පනත කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුත්තේත්, එය හකුළා ගන්නා තැනට කටයුතු කළ යුත්තේත් මෙමගින් වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම්වලට මෙන්ම වෘත්තීය සමිති ක්‍රියාධරයින් ඇතුළු බහුජන ක්‍රියාකාරීන්ට එල්ල කිරීමට නියමිත මර්දනය හා පීඩනය සුළුපටු නොවන නිසාය.

තත්ත්වය එසේ වුවද මෙම යෝජිත ‘‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත“ට එරෙහිව සංවිධානාත්මකව ප්‍රතිචාර දැක්වීමට තරම් වෘත්තීය සමිති ක්‍රියාධරයින් හා බහුජන ක්‍රියාකාරීන් ඒ පිළිබඳ කෙතරම් සවිඥානකද යන්න අපගේ අවධානය යොමුවිය යුතුය. පසුගියදා නාරාහේන්පිට පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු දැක්වූයේ මෙවන් අදහසකි.

“ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආරම්භ කරන ලද්දේ අවුරුදු හතළිහකට ඉස්සර තාවකාලික විධිවිධානයක් විදිහටයි. ඒත් ඒක අවුරුදු හතළිහකට වඩා වැඩි කාලයක් භාවිතා කෙරුණා. සුළුතර ජන කොටස්වලට, ජනමාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ක්‍රියාධාරීන්ට අමිහිරි අත්දැකීමක්. මේක අවුරුදු තුන හමාරකට කලිනුත් අහෝසි කරන බවට වත්මන් රජය පොරොන්දුවෙලා තියෙද්දී තමා අලුත් එකක් ගෙනෙන්නෙ. මෙහි නිර්වචනයේම බොහෝ ගැටළු තියෙනවා. ජාතික ආරක්ෂාවට හානි කිරීම, ජන කොටසකට තර්ජනය කිරීම, රජය හෝ ජාත්‍යන්තර සංවිධානයකට එරෙහිව යමක් කිරීම හෝ නොකර සිටීමට බලපෑම් කිරීම“ ආදී වශයෙන් තමා ත්‍රස්තවාදය හඳුන්වලා තියෙන්නෙ. ඒ නිසාම රජයට එරෙහිව හෝ ජාත්‍යන්තර බලපෑමකට එරෙහිව උද්ඝෝෂණය කිරීමක්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වුණත් ත්‍රස්තවාදී වරදක් ලෙස සලකා අත්අඩංගුවට ගන්නට පුළුවන්. සැකකරුවන්ට සාමාන්‍ය නීතිය යටතේ කිසිදු රැකවරණයක් ලැබෙන්නෙ නෑ. මෙහි 10 වැනි වගන්තියේ මෙහෙම තියෙනවා. ‘මහජනයාට තොරතුරු හිතමතාම හෝ නීත්‍යනුකූල නොවන ලෙස බෙදා හැරීම‘. මෙහිදී ‘නීත්‍යනුකූල නොවන‘ කියන්නේ මොකක්ද පැහැදිලි නෑ. ලීෆ්ලට් එකක්, පෝස්ටරයක් පවා මේ ගණයට දැමිය හැකියි. කවුද ඒක නිර්වචනය කරන්නෙ. කොහොමද නිර්වචනය කරන්නේ ? “ වරදක් සිදුකිරීමට පෙළඹවීමේ අරමුණෙන් සහ එම වරද සිදුකරනු ලැබීම පිළිබඳ බියවැද්දීමේ අරමුණෙන්, පනත යටතේ වරදක් සිදුකරන, සිදුකිරීමට කුමන්ත්‍රණය කරන, සූදානම් වන අනුබල දෙන හෝ තැත් කරන තැනැත්තෙකුට යම් තොරතුරු සැපයීමේ කාර්යයක් හෝ සැපයීමේ අරමුණෙන් යමක් කිරීම, නීති විරෝධී හෝ රහස් තොරතුරු රැස්කිරීම..“වරදක් කියලත් කියනවා. මෙතන සිටින මං යම් කෙනෙකුට තොරතුක් දුන හොත් මං එකී පුද්ගලයාට වැරැද්දක් කිරීම සඳහා තොරතුරු ලබාදුන් බවට පොලිස් නිලධාරියෙක් හිතනවානම් මාව මේ පනත යටතේ අත්අඩංගුවට ගන්න පුළුවන්. කොහොමද ඒක ඔප්පු කරන්නේ. ඒක පොලිස් නිලධාරියා තමා තීරණය කරන්නේ. අවනීතියත් විදිහට පාවිච්චි කළ හැති හොඳ ඉඩකඩක්. මෙතන තියෙනවා. මෙහි තවදුරටත් මෙසේ දැක්වෙනවා. “මහජන යහපත හෝ ජාතියේ සුබ සිද්ධිය පිණිස නොවන“ කවුද මේක අර්ථකථනය කරන්නේ. අදාළ පුද්ගලයාගේ අරමුණ අනුව හර්තාලයක් සංවිධානය කිරීම, පවා මේ යටතේ ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙන්න පුළුවන්. වෘත්තීය සමිති ක්‍රියාවක් වෙන්න පුළුවන්. අපේ රටේ හමුදාව, පොලීසිය, දේශපාලනඥයින් මේ නීතිය සද්භාවයෙන් පාවිච්චි කරාවි යයි විශ්වාස කරන්න පුළුවන්ද? මට නම් බෑ“ රුකී ප්‍රනාන්දු මහතා පවසන්නේ සත්‍යයකි.

රටේ ආරක්ෂක අංශ හෝ පොලීසිය පිළිබඳ ලාංකේය අත්දැකීම් ඉතා ඛේදජනක තත්ත්වයන්ය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ අනුදැනුම මත රත්ගම පොලීසියේ ඉහළ නිලධාරීන් කළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ මේ දිනවල යම් කතා බහක් මතුවී තිබේ. සාදයක් අවස්ථාවකදී තමාට මත්පැන් ලබා නොදීමෙන් කුපිත වූ ඇඹිලිපිටිය පොලීසියේ ප්‍රධානියෙකුද ටික කලකට ඉහතදී එක් දරු පියෙකු ඝාතනය කරන ලදී. අපරාධකරුවන් යයි කියන පුද්ගලයින් (සැකකරුවන්) හිතුමනාපෙට ඝාතනය කොට අධිකරණය නොමග යවා පොලීසිය විසින් ක්‍රියා කරමින් සිටින්නේ පවත්නා සාමන්‍ය නීතිය හා අපරාධ නීතිය යටතේය. එසේ තිබියදී මෙවන් අධි බලයක් පොලීසියට හා ආරක්ෂක අංශ වෙත ලබාදීම කෙතරම් අමිහිරි අත්දැකීමක් වනු ඇත්දැයි අනුමාන කිරීම පවා බිය ජනකය.

“ මෙයින් පොලීසියට, හමුදාවට මෙන්ම වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවටත් යම් ප්‍රදේශයක්, තහනම් ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කිරීමටත්, ඕනම සංවිධානයක්, තහනම් සංවිධානයක් බවට පත් කිරීමටත් බලය ලැබෙනවා. ඒ බලය ඇමතිවරයෙකුටත් තියෙනවා. ඊට කලින් අදාළ සැකකරුවන්ට හෝ සංවිධානයට කරුණු ඉදිරිපත් කරන්නට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.“

තවමත් ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සක්‍රීය කළ හැකි ‘හදිසි නීති“ විධිවිධාන පවතී. එකී හදිසි නීතිය යටතේ දේශපාලන පක්ෂ හා සංවිධාන තහනම් කිරීමත්, එම තහනම් කිරීම නිසාම එකී සංවිධාන ආයුධ සන්නද්ධ ක්‍රියාදාමයන් කරා යොමුවීමේ ප්‍රවණතාවක් පැවති අතීත නිදසුන් බොහෝය. එහෙව් තත්ත්වයක් තිබියදී එවැනිම බලයක් පොලීසිය, ආරක්ෂක අංශ මතු නොව දේශපාලනඥයින්ට පවා හිමිවීම කෙතරම් බිහිසුණු ආරම්භයක් වනු ඇතිදැයි මොළය කළඳක් වුව පවත්නා ඕනෑම පුරවැසියෙකුට අවබෝධ කරගත හැකිය. තමා වුවද නිහඬව නොසිටින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘‘මේ පනතට එරෙහිව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. ඒ පෙත්සම් නිෂ්ප්‍රභ වුණා. උතුරු නැගෙන හිර සාකච්ඡා පැවැත්වුණා. එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ට ලිපි මගින් කරුණු දක්වා තිබෙනවා. දේශපාලන නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළා. ඉදිරියටත් පවත්වනවා“ රුකී ප්‍රනාන්දු මහතා වැඩිදුරටක් කියා සිටියේය. එවන් සාකච්ඡා වඩා ඵලදායි හා සංවිධානාත්මක බලපෑමක් දක්වා ගොනුකරගත හැකි වැඩපිළිවෙළක් ඇති කරගත යුතුය.
දැන් දැන් මේවන විට වෘත්තීය සමිති ක්ෂේත්‍රෙය් නායකයින්ද, මේ පිළිබඳ ගැඹුරින් අවධානය යොමු කොට ‘ප්‍රති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට‘ එරෙහිව තම සාමාජිකයින් හා වෙනත් වෘත්තීය සමිති දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබීම සතුටට කරුණකි. ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU) ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක මෙසේ දැක්වෙයි.

‘‘1979 දී ජේ ආර් ජයවර්ධන රජය සම්මත කල ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කොට නව පනතක් ගෙනඒමට මෙම රජය උත්සාහ දරන බව ඔබ දන්නවා ද ?. වසර 40 ක් මුළුල්ලේ ඊනියා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) විධිවිධාන පනත යටතේ සිදුවූ බරපතළ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා රටෙහි සාමාන්‍ය නීතිය යටතේ ක්‍රියාකළ හැකිව තිබියදී බොහෝ වැරදි පිළිබඳව වඩාත් අමානුෂික හා අසාධාරණ ලෙස ක‍්‍රියා කිරීමටත් අහිංසක ජනතාව තලාපෙළා මර්දනය කිරීමටත් මේ පනත උපයෝගි කරගත් බව සනාථ වු හෙයින් ජාතික හා ජාත්‍යන්තර තලයේ විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් කරන ලද බලපෑම් හේතු කොටගෙන මෙම අපකීර්තිමත් පනත ඉවත්කර ගැනීමට ආණ්ඩුවට සිදුව ඇත. එම පනත ඉවත්කර ඊට වඩා දරුණු වෙනත් පනතක් මගින් මේ රටේ පීඩිත ජනකොටස්, විශේෂයෙන් කම්කරු ගොවි හා පොදුජනයා මර්දනයකර, වෙනස් හෝ විරුද්ධ මතවලට ඉඩ නොතබා ධනේශ්වරයේ රාජ්‍ය ආධිපත්‍යයට යටත්කොට තම අභිමතය පරිදි රට පාලනය කිරීමේ උවමනාව ඉටුකර ගැනීමට ආණ්ඩුව දැන් උත්සාහ දරමින් සිටී.
නව පනත සම්මත වුවහොත් අපට සිදු වන්නේ කුමක්ද?

* පොලීසිය, හමුදාව හෝ වෙරළ ආරක්ෂක භටයන්හට සැකයැයි සිතන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගෙන සිරගත කළ හැකිය. සැකකිරීම සදහා නිශ්චිත හේතු අවශ්‍යය වන්නේ නැත.

* අත්අඩංගුවට ගත්තායින් පසුව පැය 48 ක් පොලිස් භාරයේ තබාගෙන ප‍්‍රශ්න කළ හැක. (සාමාන්‍ය නීතිය අනුව පැය 24ක් තුළ මහේස්ත‍්‍රාත් වරයෙකුට ඉදිරිපත් කළ යුතු නීතිය බලාත්මක නොවේ)

* ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට සැකකරු පොලිස්භාරයේ රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කළ හැක . ඒ අනුව මෙම නියෝගය සති 8 ක් දක්වා දිර්ඝ කිරීමට ඔහුට බලය ඇත.

* මේ අතරේ පරීක්ෂණය සඳහා බැංකු ගිණුම් හුවමාරු ගැන දැනගැනීමට හා සැකකරු හා වෙනත් අය අතරවු ඕනෑම අදහස් හා පණිවිඩ හුවමාරු කිරීම සියල්ලක්ම පාහේ පරික්ෂා කිරීමට පොලීසියට බලතල ඇත. මේ වැනි දේවල් කිරිමට නීතිමය අවසර ගතයුතු නැත.

මේ පනත යටතේ ජනතාවට පණවා ඇති තහනම් අතර පහත සඳහන් ඒවාද වේ.

1. අත්‍යාවශ්‍යය සේවා හෝ සැපයීම් සමග සම්බන්ධවන යම් තීරණාත්මක යටිතල පහසුකමකට හෝ ප‍්‍රවර්ධන පහසුකමකට අලාභ හානි සිදුකළායැයි යන චෝදනාව මත, පෙළපාළියාම, පිකටින් කිරීම, රැස්වීම් පැවැත්වීම, වැඩවර්ජන වල යෙදීම, මාධ්‍ය සාකච්ජා පැවැත්වීම, ප‍්‍රකාශන නිකුත් කිරිම, පෝස්ටර් ඇලවීම, පත‍්‍රිකා බෙදීම, අභ්‍යන්තර හෝ ප‍්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීම ආදිය ”ත‍්‍රස්ත ක‍්‍රියාවන්” ලෙස හැඳින්විය හැක. මෙය වෘත්තිය සමිති හෝ බහුජන සංවිධාන මෙල්ල කිරීමේ අරමුණින් ගෙනඑන බවට කිසිම සැකයක් නැත.

2. එවැනි චෝදනා ලබන පුද්ගලයන්ගේ හෝ සංවිධානවල ක්‍රියාකාරකම් තහනම් කිරීමට, බැංකු ගිණුම් භාවිතාකිරීම තහනම් කිරීමට, ආරක්ෂක ඇමතිවරයාට බලයදී ඇත .

3. මෙම පනත යටතේ පුද්ගලයන්ගේ හෝ පුද්ගලයින් සමුහයකට යම්කිසි ස්ථානයකට හෝ ප‍්‍රදේශයකට ඇතුළු වීමට හෝ එම ප‍්‍රදේශයන්වල ඇති සේවාවන් ලබා ගැනීමට හෝ වැළැක්වීමට ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට බලය ඇත. එසේ කිරිමට සාධාරණ සැකයක් නොව තොරතුරු ලැබුණායැයි කියන හේතුව ප‍්‍රමාණවත්ය.

4. රජයේ ක්‍රියාකාරකම්වලට බාධා පැමිණවීම, මහජනයාට අවහිරතා ඇතිකිරීම, භාණ්ඩවලට අලාභ හානිකිරීම, අත්‍යවශ්‍යය සේවාවන්වලට බාධා පැමිණවීම, ජනතාවගේ ආරක්ෂාව අවධානමට ලක් කිරීම යන කරුණුද ‘ත‍්‍රස්තවාදය’ ලෙස හඳුන්වාදී ඇත.

මෙහි ඉහත සඳහන්කර ඇත්තේ පෙර පැවැති ත‍්‍රස්තවාදී පනතෙහි අඩංගු නොවු හා අලූතෙන් හඳුන්වාදී ඇති සමහර ‘ත‍්‍රස්තවාදී’ නිර්වචනයන්ය.“

මේ අනුව නව පනත යටතේ පෙර පැවතියාටත් වැඩි මර්දනකාරී හා පැහැදිලි නොවන විධිවිධාන රාශියක් ඇතුළත් කරමින් එය සම්මත කර ගැනීමට ආණ්ඩුව විසින් පිඹුරුපත් සකසන බැව් අවිවාදිතය. දිගින් දිගටම වැඩ කරන ජනයා පීඩාවට පත් කරමින් ඔවුන් මත මර්දනයේ හස්තය වඩ වඩාත් දැඩි කිරීමට නියමිතය. කම්කරුවන් තලා පෙළා හාම්පුතුන් සනසන වැඩපිළිවෙළක් දියත් කෙරෙනු ඇත. ඊට එරෙහිව සංවිධානය වීමට තැත් කරන කුමන තරා තිරමක වෘත්තීය සමිති ක්‍රියාධරයෙකු හෝ මෙම පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු නොඅසා වධ හිංසාවට භාජනය කිරීමට පොලීසිය, ආරක්ෂක අංශ, දේශපාලනඥයින්ට මෙමගින් හැකියාව ලැබෙනු ඇත. ඒ නිසාම ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් වැඩකරන ජනයා ප්‍රමුඛ අසාධාරණයට එරෙහිවන කුමන හෝ පුරවැසියන් හිංසනයට ලක්කිරීමට හෝ තාඩන පීඩන කිරීමට සැරසෙන නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරාජය කිරීමට පෙළ ගැසීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තකි. ලංකා වෙළෙඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU)ප්‍රධාන ලේකම් සිල්වෙස්ටර් ජයකොඩි මහතා මෙසේ පවසයි.

“මේ පනත සම්බන්ධයෙන් අපගේ විරෝධය පෙන්වීමට වෘත්තීය සමිතිවල ජාතික සම්මේලනයක් කැඳවීමට අපි සූදානමින් ඉන්නවා. එහිදී පළමුවෙන්ම අපගේ වෘත්තීය සමිති දැනුවත් කිරීමටත්, අනතුරුව රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, වතු ක්ෂේත්‍රය ආදී සියලු ක්ෂේත්‍රයන් ඒකරාශි කර ගැනීමින් පුළුල් පෙරමුණක් ගොඩනඟා ගැනීමේ උත්සාහයක ඉන්නවා. රටේ ත්‍රස්තවාදයක් නැතත් ඒ වචනයට මුවාවෙලා ඕනෑම දෙයක් ත්‍රස්තවාදයක් හැටියට අර්ථ නිරූපණය කරලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න ආණ්ඩුව මාන බලනවා. ඒ නිසා මේක ත්‍රස්තවාදයටත් වඩා භයානකයි. ලෙඩේට වඩා බෙහෙත භයානකයි“ ඔහු අවධාරණය කරයි.

දැන් අප විසින් කළ යුත්තේ මෙම ‘ප්‍රති ත්‍රස්තවාදය වැළැක්වීම‘ නමින් ගෙන ඒමට නියමිත පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතටත් වඩා බිහිසුණු පනත නීතියක් වීම වළක්වා ගැනීමය. එය වැඩකරන ජනයා හමුවේ මේ මොහොතේ පවත්නා අභියෝගයක් බැව් නොකිවමනාය. එහෙත් මේ මොහොත නොතකා හරිනු ලැබුවහොත් එහි අනිටු ඵලවිපාක හෙට දවසේ භුක්ති විඳින්නට සිදුවීම නොවැළැක්විය හැකිය.

– පී.ඩබ්ලිව් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Samarajeea says:

    Ma panatha vaha paraja kala yuthi

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435