ත්‍රස්ත ක්‍රියා පසුබිම හමුවේ වැඩකරන ජනයා තව තවත් සූරාකන්නට නීති හැදෙයි!

රෝම ලන්දේසි නීතියෙන් ප‍්‍රභවය ලද ජාතික හා ජාත්‍යන්තර භාවිත නීතිමය විධිවිධානයන් තුළ යම් දෙපාර්ශවයක් යම් ගිවිසුමකට එළඹෙන්නේනම් එකී පාර්ශවයන් දෙකම සමාන මට්ටමක සිටිය යුතුය. ගිවිසුමේ සඳහන් කරුණු වසං කිරීම හෝ ව්‍යාකූල කොට එක් පාර්ශවයක් විසින් අනවබෝධයෙන් ඊට ඇතුළත් වුවද, එය තම පාර්ශවය නොදැන අත්සන් කළ බවට නිදහසට කරුණු කිව නොහැකිය. එසේම යම් රටක සේවා-සේව්‍ය යෝජක ගිවිසුම් අත්සන් කිරීමකදී, ඒවා එවැනි සම මට්ටමින් අත්සන් නොකරන ගිවිසුම් ලෙස දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගැනීමක් තිබේ. එකී පොදු පිළිගැනීමට හේතුවී ඇත්තේ සේවකයා/කම්කරුවා, ස්වකීය හාම්පුතාට හෙවත් සේවා යෝජකයාට වඩා දැනුවත්භාවයෙන් අඩු යයි සම්මතයක් පවතින නිසාය. එබැවින් සේවකයා හා සේවා යෝජකයා අතර පවත්නා අනවබෝධයේ දුරස්ථභාවය අවම කරලීමටත්, කම්කරුවාට සාධාරණයක් ඉටුවිය යුතු නිසාත් කම්කරු නීති වැඩි වැඩියෙන් සකස් කොට සම්මත කරගෙන තිබේ. පාලකයින් එම නීති ආරක්ෂා කිරීමට බැඳී සිටියි. එහෙත් මෙරට පාලකයින් බැඳී සිටින්නේ මෙරට වැඩකරන ජනයා ආරක්ෂා කිරීමට නොව හාම්පුතුන් ආරක්ෂා කිරීමට පමණක් බැව් දිනෙන් දිනම තහවුරු කරමින් සිටියි. හොර රහසේම සකස් කොට ක‍්‍රියාත්මක කිරීමට සැරසෙන ”රැකියා සහ සේවා සැපයුම් කොන්ත‍්‍රාත් සතු අයිතිවාසිකම් පනත”(Employment Service and Contracting Rights Act) යනු එහි අලූත්ම ප‍්‍රකාශනයයි.

පනතේ ගමන් මග

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ඇතැම් මාධ්‍ය ඔස්සේ විවිධ කරුණු අනාවරණයවීම් දැකිය හැකි වුවත් ඒවා බොහොමයක් දෝෂ සහිතය. නිදසුනක් ලෙස මෙම පනත් කෙටුම්පත පිළිබඳ කම්කරු අමාත්‍යංශය හෝ කරුණු නොදන්නා බවත්, මෙය මුළුමනින්ම මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයාගේ ‘‘සංවර්ධනන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යංශය’’ පමණක් දැනුවත්ව ක‍්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියක් බවත් ඇඟවෙන පුවත් පළවී තිබිණි. මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා ද ආයෝජකයෙකු නිසාත්, කම්කරුවන් ආරක්ෂා කරලීම වෙනුවට හාම්පුතුන් ආරක්ෂා කරලීම කවදත් එජාප-ශ‍්‍රීලනිප රජයන්ගේ ප‍්‍රතිපත්තිය නිසාත් හෙතෙම මෙහි මූලිකත්වය ගෙන ඇති බව අසත්‍යයක් නොවූවද, සෙසු ඇමතිවරුන් හෝ රජයේ වගකිව යුතු නිලධාරීන් මෙය නොදැන සිටියායයි පැවසීම වැරදිය. මන්ද යත් මෙම පනත් කෙටුම්පතට අදාළ යෝජනාවන්ට 2018 මැයි-ජූනි කාලයේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2018 ජූනි මස 05 වන දින රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් නිකුත් කරන ලද ප‍්‍රකාශනයේ 15 වන වගන්තියේ ශ‍්‍රී ලංකා ආර්ථිකයේ කොටසක් ලෙස ශ‍්‍රම බලකාය ආරක්ෂා කරනු පිණිස නව නීතියක් හඳුන්වාදෙන බව (Introducing a New Act to Stake Sri Lankan Labour Force a part of the Economy) දක්වා තිබේ. මෙම පනත් කෙටුම්පත, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර කම්කරු නීති හා බැඳුණු නීතිමය අණ පනත්, විධිවිධාන 61ක් ආශ‍්‍රිතව නව කෙටුම්පත ගෙන ඒමට සැලසුම් කර ඇති බවද එහි දැක්වෙයි.

මෙම කෙටුම්පත සකස් කිරීමට දායක වූ විනිසුරු සුරේෂ් චන්ද්‍රා විසින් 2018 ඔක්තෝම්බර් 12 සම්මන්ත‍්‍රණයක් පවත්වා මේ පිළිබඳව රජයේ අමාත්‍යවරුන්, රජයේ හා පුද්ගලික අංශයේ වගකිවයුත්තන්, වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කර තිබේ. එහෙත් එහිදී ‘‘කම්කරු නීති සංශෝධන’’ යන තේමාව ප‍්‍රමුඛ කරගෙන නොමැති අතර ඒ වෙනුවට ශිෂ්ට රැකියා අභිලාෂයන් පෙරට දමා ශ‍්‍රම බලකාය ශක්තිමත් කිරීමේ අභිලාෂය පෙන්වා ඇත. එහෙත් එහිදී ප‍්‍රධාන අංශ 16ක් යටතේ මෙම පනත් කෙටුම්පතේ සඳහන් සියලූම කරුණු ඉදිරිපත් කර ඇත. ඊට පෙරාතුව 2018 මැයි-ජූනි කාලයේ රජය, වෘත්තීය සමිති හා ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධව අත්සන් කරන ලද ශිෂ්ට රැකියා වැඩපිළිවෙළට (Introducing a New Act to Stake Sri Lankan Labour Force a part of the Economy) අදාළ ගිවිසුමේදී මේ පිළිබඳ එකඟතාවක් ඇති කරගත් බවත්, ඒ අනුව කම්කරු නීති සංශෝධන ක‍්‍රියාවලිය ඉදිරියට ගමන්කරනු ඇති බවත් එහි විශේෂඥ (commity of expert report) ) වාර්තාවේ දැක්වෙයි. මෙම ශිෂ්ට රැකියා වැඩපිළිවෙළට අදාළ ගිවිසුම 2018-23 දක්වා කාලයකට වලංගුව පවතින අතර ජාතික කම්කරු සභාව නියෝජනය කරන වෘත්තීය සමිති අතුරින් වතු සේවා සංගමය, ලංකා බැංකු සේවක සංගමය, වෙළෙඳ හා කාර්මික සේවා සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් කම්කරු සම්මේලනය යන වෘත්තීය සමිති ඊට අත්සන් තබා නැත. ශිෂ්ට රැකියා වැඩපිළිවෙලට මුවාවී ජාත්‍යන්තර කම්කරු සංවිධානයද නොමග යවමින් වැඩකරන ජනයාට වඩාත් හානිකර අන්දමින් මෙම කම්කරු සංශෝධන පනත් කෙටුම්පත ගෙන ඒමට රජය ක‍්‍රියා කර ඇති බව පෙනී යයි. ඒ නිසාම ඊනියා ශිෂ්ට රැකියා වැඩපිළිවෙළට එකඟ නොවූ අදාළ වෘත්තීය සමිති පහ විසින් මේ පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. කෙසේ වෙතත් ප‍්‍රකාශයට පත්ව ඇති පනත් කෙටුම්පත් පිටපතේ දැක්වෙන්නේ එය සකස් කරන ලද්දේ 2018 නොවැම්බර් මස 02 දා යනුවෙනි. මේ අයුරින් පවත්නා නීතිමය විධිවිධාන වලම පවත්නා හිඩැස්වලින් රිංගා, ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ඇස්වලට වැලි ගසා වැඩකරන ජනයාට වඩාත් හානිදායක හා හාම්පුතුන්ට වඩාත් වාසිදායක මෙම පනත් කෙටුම්පත පිළිබඳ වෘත්තීය සමිති ක්ෂේත‍්‍රයේ හෝ සිවිල් සමාජයේ හෝ ප‍්‍රමාණවත් සංවාදයක් මතු නොවුණේ මන්ද?

අන්තර්ගතයෙන් බිඳක්

එම පනත ක‍්‍රියාත්මක වන දින සිට පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතතාවට අදාළ පොදු කොන්දේසි ඇතුළත් වන ‘පඩි පාලක සභා පනත’, ‘සාප්පු හා කාර්යාල පනත’, කාර්මික ආරාවුල් පනත, සේවය අවසන් කිරීමේ පනත ආදී බොහෝ පනත් අහෝසි වීමට නියමිතය. කාර්මික හා සේවා ක්ෂේත‍්‍ර වෙනුවෙන් දැනට පඩිපාලක සභා 44ක් ක‍්‍රියාත්මක වෙමින් පවතියි. ඒවායේ දුර්වලතා නැතුවා නොවේ. මීට පෙරාතුව අවම වැටුප් තීරණය කිරීමට අදාළව පඩිපාලක සභාවල ගැටළු සහගත තත්ත්වය, ‘වැඩබිම“ වෙබ් අඩවියෙන් මෙම ලියුම්කරු විසින්ම හෙළිදරව් කරන ලදී. එසේ වුවද, මාසික වැටුප් ගණනය කිරීම, සේවක පත්වීම් වලට අදාළ මූලික හා අවම කොන්දේසි නියම කිරීම, වැඩකරන සතිය හා පැය ගණන තීන්දු කිරීම, සේවකයින්ට හිමි නිවාඩු ගණනය කිරීමත්, පෞද්ගලික අංශයට අයත් වෙළෙඳ නිවාඩු ගැසට් කිරීමත්, පඩිපාලක සභා සතු නීතිමය බලතලයන්ය. කම්කරු ආරාවුල් නිරාකරණය කිරීමේදී සේවකයින්ට අගතියක් නොවන සේ පියවර ගැනීමට කමුකරු දෙපාර්තමේන්තුව සතු නීතිමය විධිවිධානයන් පවතින්නේ මෙම නීතිමය අණ පනත් හේතුවෙනි. සේවකයින්ගේ සේවා කොන්දේසි තීන්දු කිරීමේදී මෙම නීතිමය විධිවිධාන අභිබවා කටයුතු කිරීමට හාම්පුතුන්ට හැකියාවක් නොලැබේ. එහෙත් පවත්නා නීතිමය විධිවිධාන සම්පූර්ණයෙන් අහෝසි කොට ගෙන ඒමට නියමිත නව පනත අනුව සේවා කොන්දේසි තීන්දු කිරීමේ සම්පූර්ණ බලය හාම්පුතාට නිතැතින් හිමිවේ.

පසුගිය සති කිහිපයකට ඉහත සති අන්ත පුවත්පතක සඳහන් වූයේ මෙම යෝජිත පනතට අනුව ‘අවුරුදු-නත්තල් නිවාඩු නෑ’ ‘සෙනසුරාදා-ඉරිදා නිවාඩු නෑ’ ආදී ආන්තික, දෝෂ සහිත කරුණුය. නව නීතිය මගින් සේවක නිවාඩු සඳහා දැඩි තර්ජනයක් හා බලපෑමක් එල්ල කර ඇති බව සැබෑවක් වන නමුදු ඒ කෙසේදැයි නිවරදිව වටහා නොගැනීම තුළ අදාළ චෝදනා හුදෙක් ‘මඩ ප‍්‍රචාර’ ලෙස සලකා බැහැර කිරීමට බලධාරීන්ට පහසුය.

යෝජිත පනත අනුව මෙතෙක් සේවකයින්ට පැවති අනිවාර්ය නිවාඩු (statutory holidays) කෙරෙහි බලපෑම් එල්ල කර ඇති අයුරු අප විසින් අවධානයට ලක් කළ යුතුය. පෝය, තෛපොංගල්, අවුරුදු, නත්තල්, මැයි දිනය ආදී නිවාඩු පැවති නීතිමය ප‍්‍රතිපාදනයන් යටතේ අනිවාර්යෙන් ලැබේ. එහෙත් යෝජිත නීතිය අනුව මෙම නිවාඩුව ලබාදීමට නම් එක සතියකට පැය 20ක් වත් අවම වශයෙන් වැඩ කර තිබිය යුතුය. නිදසුනක් ලෙස කම්කරුවෙකු මැයි දින සමරුවට යාමට නිවාඩුව ගත යුතු බව සත්‍යයක් මෙන්ම අයිතියක් වන නමුත් නම් මැයි දිනයට ප‍්‍රථම පඩි රහිත නිවාඩු ගොස් ඇත්නම් (no pay) මැයි දිනයට නිවාඩුවක් ලබාගත නොහැකිය. මීට පෙරාතුව සේවකයෙකුට වාර්ෂිකව කැෂුවල් නිවාඩු 7ක් පැවති අතර යෝජිත පනත මගින් එම කැෂුවල් නිවාඩු 3 දක්වා අඩු කර ඒ වෙනුවට මෙඩිකල් නිවාඩු 5ක් අනිවාර්යයෙන් එකතු කර තිබේ. එයින් බැලූ බැල්මට සේවකයෙකුගේ නිවාඩු 8ක් දක්වා වැඩිවෙන බව පෙනී ගියද, කැෂුවල් නිවාඩුවක පවත්නා යනු ගුණාත්මය මෙඩිකල් නිවාඩුවක නැති බව වටහා ගත යුතුව ඇත. එනම් කැෂුවල් නිවාඩු ලබා ගැනීමට සේවා යෝජකයාගේ පූර්ණ අනුමැතිය අවශ්‍ය නොවන නමුත් මෙඩිකල් ලබා ගැනීමට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට හා සේවා යෝජකයාට කැමැත්ත ඊට හිමිවිය යුතුය.

අනෙක් අතට යෝජිත පනත මගින් සෙනසුරාදා ඉරිදා නිවාඩුව සම්පූර්ණයෙන් අහිමි කරන බවට පළ වන වාර්තාවන්ද දෝෂ සහිතය. පවත්නා නීතිමය විධිවිධානයන්ට අනුව සෙනසුරාදා හා ඉරිදා සති අන්ත නිවාඩුව ගෙවන නිවාඩුව (paid holiday) කි. සතියේ පැය 28ක් හෝ සතියකට දවස් තුන හමාරක් යන දෙවිධියෙන් ඕනෑම ස්වරූපයකින් අඛණ්ඩව වැඩ කරන සේවකයෙකුට සෙනසුරාදායින් ආරම්භවී ඊළඟ සතියේ සෙනසුරාදා වන තෙක් වන කාලය තුළ දින එක හමාරක අඛණ්ඩ නිවාඩුවක් ලබාදිය යුතුය. එවිට වැටුප් සහිත නිවාඩුවකි. සතියට අවම දින තුන හමාරක් / පැය 28ක් වැඩ කිරීමෙන් උපයාගන්නා ලද නිවාඩුවකි. කම්කරුවාට වාසිදායක මෙම නීතිමය තත්ත්වය යෝජිත පනත මගින් ‘‘උපයාගන්නා නිවාඩුවක් නොවන’’ තැනට පත් කරනු ලැබේ. එය හාම්පුතාට වාසිදායක වන බැව් අමුතුවෙන් කිය යුතු නොවේ.

කම්කරු නීතිමය ප‍්‍රතිපාදනයන්ට අදාළව ලෝකයම පිළිගත් අනිවාර්ය නියමයන් (statutory requirement) තිබේ. චිකාගෝ හි හේමාකට් චතුරස‍්‍රයෙහි කම්කරුවන් විසින් ජීවිත පූජාවෙන් දිනා දුන් පැය 8ක වැඩ කාලය යනු එකී අනිවාර්ය කොන්දේසියකි. එයින් ඉදිරියට තව වැඩිදුර කාලයක් ශ‍්‍රමය ලබාදෙන්නේ නම් ඊට අදාළව ගෙවීම් කළ යුතුමය. ජාත්‍යන්තර කම්කරු ප‍්‍රඥ්ඥප්තියේ පළවෙනි කොන්දේසිය ද එයයි. යෝජිත පනත මගින් එකී පැය 8ක සේවා මුරය, පැය 14 දක්වා වැඩ කිරීමට ප‍්‍රතිපාදන සකසා දී තිබේ. එයින් දැනට පවත්නා සේවා ගිවිසුම අභියෝගයට ලක්වෙයි. එහෙත් මෙහිදී යෝජිත පනත අප පරෙස්සමින් යුතුව කියවා ගත යුත්තේ එහි ‘‘ දැනට පවත්වා සේවා ගිවිසුම් පවත්වාගෙන යා හැක’’ යයි සඳහන් වන බැවිනි. බැලූ බැල්මට නව පනතින් පවා කම්කරුවා ආරක්ෂා කරනු පිණිස පැවති විධිවිධානයන් ඉදිරියට ගෙනවිත් ඇති බවක් පෙන්නුම් කළද, සත්‍යය එය නොවේ.

‘කාර්මික ආරාවුල පනතේ’ දැක්වෙන පරිදි එම ගිවිසුමේ වගන්ති උල්ලංඝණය කරනු ලැබුවහොත් ඒ ගැන පැමිණිලි කරන්නේ කෙසේද?, කාටද, කොහොමද, පැමිණිල්ල ගෙන යන බලධාරියා කවුද? දඬුවම් මොනවද? ඒවා ක‍්‍රියාත්මක කිරීමට පවත්නා බලතල මොනවාද යන්න සවිස්තරාත්මකව දක්වා තිබේ. යෝජිත පනතින් පැවති නීති අහෝසිවීමෙන් (කාර්මික ආරාවුල් පනත) හුදෙක් ‘‘සේවා ගිවිසුම පවත්වාගෙන යා හැකි’’ යයි සඳහන් වීම සක‍්‍රීය ප‍්‍රතිපාදනයක් බවට පත් නොවේ. එනම් සේවකයෙකුට සිය හිමිකමක් උල්ලංඝණය වුවද, එය ඇතැම්විට වරදක් ලෙස පිළිගනු ලැබුවද, සාධාරණයක් ඉටුකර ගත හැකි විධිවිධානයක්, ක‍්‍රියා පිළිවෙළක් නොදැක්වීමෙන් කම්කරුවා අන්ත අසරණ තත්ත්වයට ඇද දමා තිබේ.

ලිහිල් වැඩ නොව ලිහිල් වගකීම

‘‘ලිහිල් වැඩ පැය’’ නම් ප‍්‍රතිපාදනයක් මගින් හාම්පුතාගේ අභිමතය පරිදි දවසේ වැඩකරන පැය ගණන අතිකාල නොමැති පැය 12ක උපරිම කාලයක් දක්වා දීර්ඝ කර ඇත. සතියකට වැඩ කරන පැය ගණන පැය 45ට නොවැඩි විය යුතු යයි දැක්වීමෙන් දින 4ක් තුල හාම්පුතාට අවශ්‍ය ආකාරයට වැඩ ගැනීමේ නීතිමය අවසරයක් එහි ඇත. ඉතිරි දින තුන සඳහා සේවකයින්ට වැටුප් ගෙවීමට පවා හාම්පුතා බැඳී නැත. මේ නිසාම ඇතැම් කර්මාන්ත ශාලාවල දිනකට පැය 12 බැගින් ශ‍්‍රම සූරාකෑමක් සිදුකොට එයින් සතියේ පැය 45ක ඉලක්කය දින තුනකින් පමණ සම්පූර්ණ කොට ඉතිරි කාලය පඩි රහිත නිවාඩු බවට පත් කළ හැකිවෙනු ඇත. යෝජිත පනත මගින් දිනකට පැය 2 බැගින් අර්ධ කාලීන රැකියා නීතිගත කිරීමට යෝජනා කරනු ලැබේ. අනෙක් අතට නූතන වහල් ක‍්‍රමයක් බඳු, කාලයක් තිස්සේ මෙරට වෘත්තීය සමිති විසින් විරෝධය දැක්වූ ශ‍්‍රම සැපයුම් ඒජන්සි මගින් කොන්ත‍්‍රාත් ක‍්‍රමයට සේවකයින් සැපයීම හෙවත් ‘මෑන් පවර්’ ක‍්‍රමයට නීතිමය සුජාතභාවයක් ලබාදී තිබේ. ‘‘මෑන් පවර්’’ මගින් සේවකයින්ගේ සේවය ලබාගන්නා කාලය තුළ හාම්පුතා, එම සේවකයින් පිළිබඳ වගකීමෙන් සම්පූර්ණයෙන් නිදහස් තිබීම නිසා එක්තරා ආකාරයට වහල් ශ‍්‍රමය යළි නීතිගත කිරීමක් කර ඇති අතර නූතන කම්කරුවා තවදුරටත් අනාරක්ෂිත තත්ත්වයකට ඇද දමා තිබේ.

පැවති නීතිමය විධිවිධාන අනුව මෙතෙක් සේවා අවසාන පාරිතෝෂික ගෙවීම් වලංගුව තිබුණේ සේවක සංඛ්‍යාව 15ක් හෝ ඊට වැඩි පෞද්ගලික සමාගම්වලටය. එහිදී පාරිතෝෂිකය ගණනය කිරීමේ සේවා කාලයෙහි සීමාවක් නොතිබිණි. එහෙත් යෝජිත පනතින් පාරිතෝෂික ගෙවීම් වලංගු කෙරෙන්නේ සේවකයින් 50ක් හෝ ඊට වැඩි නම් පමණි. අනෙක් අතට සේවා කාලය ගණන් තැබෙන්නේ උපරිම අවුරුදු 20 ක් දක්වා පමණි. අවුරුදු 25-30 වැනි කාලයක් සේවය කර තිබුණද, පාරිතෝෂිකය ලැබෙන්නේ අවුරුදු 20ට පමණක් වීමෙන් සේවකයා කෙතරම් පහත් තත්ත්වයකට ඇදදමා ඇත්දැයි කල්පනා කළ යුතුය. විශ‍්‍රාම වැටුපකට හෝ හිමිකම් නොකියන පුද්ගලික අංශයේ සේවකයෙකුට තමා ජීවිත කාලයේ වසර 30- 40 ක් පමණ ශ‍්‍රමයෙන් වැඩිම කාලයක් සමාගමකට ලාභ උපයාදීමෙන් ජීවිතයේ සැදෑ සමය ගත කිරීමට ලැබෙන සොච්චම් පාරිතෝෂිකය වුවද, මේ අයුරින් වසර 20ට පමණක් සීමා කිරීම සහගහන අපරාධයක් විනා අන් කුමක්ද? ආණ්ඩුවේ මැදිහත්වීමෙන්, කම්කරු දෙපාර්තමේන්තුවේ දැනුවත්භාවයෙන් හා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අරමුණුවලට පවා මුවාවී පුද්ගලික අංශයේ කම්කරුවා දංගෙඩියට දැක්කීමට පිඹුරුපත් සකසන මෙම ක‍්‍රියාදාමය පිළිබඳ ‘වැඩබිම‘ වෙනුවෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මෙවැන්නකි.

‘‘ ඕක මඩ ප‍්‍රචාරයක්. එහෙම කම්කරුවන්ට අයිති සියලූම අණ පනත් එකම පනතකට ගෙන එන්නට කටයුතු කරන තීරණයක් තියෙනවා තමයි. ඒ ගැන තාම තියෙන්නේ සාකච්ඡාවක් විතරයි.“ කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා එසේ සඳහන් කළද, රාජ්‍ය සේවා කම්කරු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අයි.සී ගමගේ මහතා මෙසේ පවසයි.

“අපි මේ ගැන කම්කරු කොමසාරිස් ජනරාල්ගෙන් ඇහුවම එවැනි පනත් කෙටුම්පතක් සකස් කරගෙන යන වග එතුමා පිළිගත්තා. එහි මූලික කටයුතු සිදුකර ඉවර වුණාම ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට ප්‍රථම කම්කරු නිලධාරීන්ගේ සංගමයට දැනුම්දෙන බවත්, ඒ පිළිබඳ ඉදිරියේදී විධිමත් සාකච්ඡාවක් ගන්නා බවත් ඔහු දැනුම් දුන්නා“

කුමන ආලවට්ටම් වචනවලින් කිව්වද, මෙම පනත් කෙටුම්පත වැඩකරන ජනයාට අහිතකරය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සමස්ත රටේම අවධානය වෙනතක යොමුවී තිබෙන අතරවාරයේ ප්‍රති ත්‍රස්ත පනත මෙන්ම කම්කරු ජනයාට මර්දනයේ හස්තයම දිගුකරන මෙවන් පනත් ලහි ලහියේ සම්මත කර ගැනීමට පාලකයින් කටයුතු කරමින් සිටින බැව් පෙනෙන්නට තිබේ. මෙය රටේ අනාගතයට බිහිසුණු දොරටුවකි. පාලකයින්ගේ මෙම අමනෝඥ ක‍්‍රියාදාමය ආපහු හැරවිය යුත්තේ මෙම පනත් කෙටුමපත පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුකර, මේ පිළිබඳ රටේ ජනයා දැනුවත් කිරීමෙන් ප‍්‍රමාණවත් කතිකාවක් නිර්මාණය කොට, වෘත්තීය සමිති ප‍්‍රමුඛ වැඩකරන ජනයා සංවිධානයවී මීට එරෙහිව අරගල කිරීමෙන්ම පමණි.

-පී.ඩබ් මුතුකුඩආරච්චි

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435