සමාව ඉල්ලන්න අපි වැරදි කළේ නෑ  – එම්. ආර් උපුල්

තොරතුරු හා විදුලි සංදේශ සියලු සේවක සංගමය ප්‍රධාන සංවිධායක 

  • ඔබ වෘත්තීය සමිති ව්‍යාපාරයට එකතුවන්නේ කොහොමද?

2011 දි තමයි මං වෘත්තීය සමිති කටයුතු වලට සම්බන්ධ වුණේ. 2012 අවුරුද්දේ මෑන් පවර් සේවකයින් හැටියට අපි එක් දින වැඩවර්ජනයක් කරනවා. ඊට පස්සේ ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසේ 11 වෙනිදා මාත් ඇතුළුව පස් දෙනෙකුගේ වැඩ තහනම් කරනවා. ඒ තීරණයට විරුද්ධව අපි කම්කරු උසාවියේ නඩු දැම්මා. මේ වෙද්දි නඩුව වසාදමා තියෙනවා.

  • සිද්ධියෙන් පස්සේ කළමනාකාරිත්වය සමග සාකච්ඡාවට යන්න ඉඩක් ලැබුණේ නැද්ද?

ටික දවසකින් කළමනාකාරිත්වයෙන් සමාව ඉල්ලලා ලිපියක් දෙන්න කීවා. ඒත් අපි සමාව ඉල්ලන්න වැරැද්දක් කරලා තිබුණේ  නෑ. අයිතිවාසිකම් ඉල්ලා සිටියා පමණයි. කොහොම වුණත් මගෙත් එක්ක වැඩතහනම් කෙරුණු පස් දෙනාගෙන් එක් කෙනෙක් එහෙම ලියුමක් දීලා තිබුණා.  එයාට රස්සාව හම්බවුණා. අපේ නඩුව තාම ඉවර නෑ.

  • ඒ කියන්නේ කම්කරු උසාවියේ නඩුව තාමත් ක්‍රියාත්මකයි කියන එක නේද?

මේ නඩුව ටෙලිකොම් පාර්ශවයෙන් ආරම්භ කළ යුතු බවට කම්කරු උසාවියෙන් උපදෙස් දී තිබුණා. මොකද අපි ටෙලිකොම් සේවකයින් නිසා. ඒත් ඒක ටෙලිකොම් එකට අවාසියි. අපි ටෙලිකොම් නොවන බවත්, මෑන් පවර් සේවකයින් බවත් තහවුරු කරමින් ඒ අය ඊට පස්සේ මහාධිකරණයේ නඩුවක් ආරම්භ කළා. ඒ නඩුව විභාගවන නිසා කම්කරු උසාවියේ නඩුව තාවකාලිකව වසා දමා තිබෙනවා.

  • මෑන් පවර් ප්‍රශ්නය තාමත් විසඳී නෑ නේද?

ඔව්. අපි පහුගිය ආණ්ඩුව කාලයේ දින 7ක වර්ජනයක් ක්‍රියාත්මක කළා. ඒ කාලයේ ජනාධිපති අපේක්ෂකයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාත්, රනිල් වික්‍රසිංහ මහතාත් මේ ප්‍රශ්නය වහා විසඳිය යුතු ප්‍රශ්නයක් බව පවසා තිබුණා. ඒ වාගේම තමන් බලයට පැමිණියහොත් වහාම මේ ප්‍රශ්නය විසඳන බවටත් පොරොන්දු වුණා. ඒ අනුව පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී අපි සාකච්ඡා කළා. අගමැතිවරයා හමුවීමටත් කටයුතු යොදා තියෙනවා. නමුත් මෙහෙම තියෙද්දී අතුරුඅයවැය ඉදිරිපත් කළ අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා කියා සිටියේ අවුරුදු 7 සම්පූර්ණ කළ අය ස්ථීර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි. මෙච්චර කාලයක් සේවය කරලත් අවුරුදු 7ක් බලාගෙන සිටිය යුතු යයි අපි විශ්වාස කරන්නේ නෑ. නීතිමය විධිවිධානවලට අනුව අනියම් පදනම මත දින 180 ක් සේවය කරලා හොඳටම ප්‍රමාණවත්. ඒ නිසා අපේ සටන් පාඨ තාමත් ‘දින 180 සම්පූර්ණ කළ මෑන් පවර් සේවකයින් සියලුදෙනාම ස්ථීර කළ යුතුයි” කියන එක සහ ‘මෑන් පවර් වහල් සේවය අහෝසි කරනු’ කියන එකයි.

  • ඒත් මේ දිනවල අරගලයේ ජවය තරමක් අඩුවී ඇති බවක් පෙනෙනවා නේද?

පහුගිය ආණ්ඩු කාල‍යේ අපි විහාරමහාදේවි උද්‍යානයේ දැවැන්ත සමුළුවක් කළා.ඒකෙන් අපිට යමක් කළ හැකි බව අපි පෙන්නුවා. අතරින් පතර සාකච්ඡා ක්‍රියාමාර්ග තාමත් ක්‍රියාත්මකයි. අගමැතිවරයා සමග පැවැත්වීමට නියමිත සාකච්ඡාව පිළිබඳවත් අපි සුබවාදී බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. ඒත් යම් විදිහකින් ගැටළුවට විසඳුම් නොලැබුණහොත් නැවත දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අපට සිදුවෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු පැකිළීමක් නෑ.

  • අතරමැද සමගි සන්ධාන යෝජනා ඉදිරිපත් වුණේ නැතිද?

ඇයි නැත්තේ? මෑන් පවර් සේවකයින් හැටියට ඒ තුළම වැටුප් වැඩිකිරීමක් ඇතුළු යම් යම් වරප්‍රසාද යෝජනා වුණා. මං ඒවට කැමති වුණේ නෑ.‍ මොකද මේක මට අදාළ පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි. පොදුවේ මෑන් පවර් සේවකයින් හැමෝටම අදාළ පොදු කාරණයක්. මෑන් පවර් සේවකයින් ස්ථීර කොට මෑන් පවර් සේවය අහෝසිකිරීම වෙනුවට ඒ තුළම යම් යම් ප්‍රතිසංස්කරණවාදී වැඩසටහන් යෝජනා කෙරෙනවා. ඒත් පොදු අරමුණ වෙනුවෙන් මිසක් අතරමැද ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට අපිට එකඟවෙන්න බෑ.

  • මෑන් පවර් සේවකයින් තවත් බොහෝ ක්ෂේත්‍රවල ඉන්නවා. අරගලය පොදු බැවින් මේ හැමෝම පොදුවේ සංවිධානය නොවෙන්නේ ඇයි?

කාරණය ඇත්තක්. මෑන් පවර් සේවකයින් රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේත් ආයතන ගණනාවක සිටිනවා.‍ මේ හැමෝම නූතන වහල් සේවයක් විදිහට මේ කටයුත්ත කරනවා. විදුලිබල ක්ෂේත්‍රයේ රංජන් ජයලාල් සහොදරයා පවත්වපු මහ සමුළුවට මමත් සහභාගිවුණා. ඒත් ඒ පුද්ගලිකව මිසක් සංවිධානයක් හැටියට නෙවෙයි. සංවිධානයක් ලෙස නියෝජනය කරන්න යයි ආරාධනා ලැබුණානම් සියලු ‍සේවකයින් සමග පොදුවේ නියෝජනය වෙමින් සහය දෙන්න තිබුණා. ඒත් එහෙම වුණේ නෑ. මේ ප්‍රශ්නය වෙනුවෙන් අරගල කරන හැමෝම උත්සාහ කරන්නේ තම තමන්ගේ නායකත්වය යටතේ වැඩිබලපෑමක් පෙන්නුම් කරන්නයි. ඒ නිසා පොදු අරගලයක් ලෙස පොදු අවකාශයක් විවෘත කර ගැනීමේ බලාපොරොත්තුව තරමක් දිගු සිහිනයක් කියලයි මට හිතෙන්නේ.

  • ඒ සිහිනය සමීප කර ගැනීමට උත්සාහයක්වත් නොගන්නේ ඇයි?

ඒක තනිව කළ හැකි දෙයක් නෙවෙයි. ඒකට උත්සාහ නොගන්නවාත් නෙවෙයි.මං හිතන්නේ පොදු අරමුණක් වෙනුවෙන් එකට එකතුවෙන්න හැකිනම් මේ බොහෝ දේවල් දිනාගැනීම අපහසු දෙයකුත් නෙවෙයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435