තිරය පිටුපස වැලපෙමින් සුර ළඳුන් දුන් රඟ සොඳින්

කාලයට සමගාමීව සිතුම් පැතුම් මතු නොව ඇවැතුම් පැවැතුම් පවා වෙනස් වන්නා වූ ලෝකයක අතීතයට සමගාමීව වර්තමාන මංගල උත්සවයක පවතින විසමතාව අති ප්‍රබලය. එදා පෝරුව කේන්ද්‍රකොටගෙන විහිද ගියා වූ මංගල උත්සවයක අසිරිය වර්තමානය වන විට විසිතුරුභාවය විසින් සොරා ගනු ලැබ ඇති බව නොරහසකි. මිල මුදල් යහමින් ඇත්තෝ තමා සහභාගි වී ඇති සියලුම මංගල උත්සව හෝ වෙනත් ප්‍රිය සම්භාෂණ පැරදවීමට සමත් වීමට යත්න දරද්දී අතමිට හිඟ හෝ දුකසේ උපයා ගත් යමකින් මඟුලක් කන්නෝ නොහැකියාව සරල බවින් වසා ගැන්මට යත්න දරති. වෙඩින් කේක් වෙනුවට කප් කේක් පිරිනැමීමට බහුතරයක් පෙලඹෙන්නේ වෙඩින් කේක්වලට යන වියදමින් හරි අඩකට කප් කේක් වැඩේ ගොඩදා ගත හැකි නිසා බැව් දන්නෝ දනිති. මිල කෙසේ වෙතත් වෙඩින් කේක්වලට වඩා කප් කේක් රස බැව් පිළිගැනීමට මටද සිදුවන්නේ මා මිතුරියක වූ නයනිගේ මංගල උත්සවයේදී පිරිනැමුණු කප් කේක් කැබැල්ලේ රස මේ ලියන මොහොතේදී පවා මතකයට නැඟෙන බැවිනි.

වැඩකට නැති වැල්වටාරම්වලින් “පාරදිගේ” කියවන අපට කුමන පලක්දැයි මේ වන විට ඔබ සිතන්නට පටන්ගෙන නැතුවා විය නොහැකිය. කෙසේ වෙතත් මා මේ අරඅඳින්නේ උත්සවයක් සංවිධානය කරගන්නා ආකාරයක් හෝ ඊට සමාන වෙනත් කිසිවක් සම්බන්ධව බව දැනුවත් කිරීමට නොවන බැව් පමණක් දැනට පැවැසිය හැකිය.

මෙහිදී දැනට යන වචනයේ වාසිය මා ලබාගන්නේ ලියැවිල්ල අවසානයේ ඔබට නැඟෙන දෑ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළැඹීම අපහසු වූ තැනේදීය. “පාරදිගෙන්” ඔබට කීමට සුදුසු කතාවක් ඇතැයි කිසිසේත් නොසිතූ තැනකදී මට එවන් කතාවක් හමුවිය. ලෝකයේ හැටි විධිය එහෙමය. පුදුමාකාරය. බොහෝ දේ ඇතැයි අප සිතාගෙන සිටි තැන්වල කිසිවක්ම නොතිබීමට කිසිවක් අපේක්‍ෂා නොකළ මොහොතකදී සිතාගත නොහැකි තැනකදී අතිශය වටිනාම දෙයක් හමුවීමටත් හැකිය.

මංගල උත්සවවල විසිතුරුභාවය පිළිබඳ පුරෝකථනයකින් ලියැවිල්ල ඇරැඹීමට සිදුවීමට හේතුභූත වූයේ ලිවීමට ප්‍රස්තුත වූ කාරණය හමුවූයේ එවන් මංගල උත්සවයකදී වීමය. කාලාන්තරයකට පසුව හමුවූ මිතුරු ඇසුරකට ලොල් වූයෙන් මංගල උත්සවයක අමුත්තන් සඳහා වන වැදගත්ම අංගය වන භෝජන සංග්‍රහය භුක්ති විඳීමට යෑම මා ඇතුළු මිතුරු පිරිසට මඳක් පමා විය. පමා වූ අපටත් පමා වී භෝජන ශාලාව තුළට පිවිසියා වූ බාල ළඳුන් කිහිපදෙනා මඳ වේලාවකට ප්‍රථමයෙන් උත්සව ශාලාව නර්තන සිරියෙන් එකලු කළා වූ අය බවට මා හැඳින්නේ මඳ විපරමකින් අනතුරුවය. බොහෝ වත්සුනු තවරා ශෝභාවත් කර තිබූ මුහුණු කීපය ඇල්දියෙන් සෝදා හැර තිබුණෙන් ස්වාභාවික මුහුණු පෙනෙන්නට තිබූ මුත් නර්තනයේ යෙදෙන අවස්ථාව වන විට මුව පුරා විහිද ගොස් තිබුණා වූ මන්දහාසයන් නම් පෙනෙන්නටවත් නොතිබුණු බැව් කිව යුතුමය.

යුවතියන් කිහිපදෙනා අතර ඔවුන් මෙහෙයවමින් සිටි කාල වර්ණයට නෑකම් කියන හමක් තිබූ කාන්තාව තරමක් සැර පරුෂ එකියක බව දුටු මතින් මට සිතිණි. වචන භාවිතයට වැඩි ඉඩක් නොතබා අංග චලනයෙන් හා බැල්මෙන් කෙල්ලන් නඩය හැසිරවූ එකී කාන්තාව නර්තන කණ්ඩායමේ භාරකාරිය වූවාය.

“මං අනෙක් හෝල් එකේ කට්ටිය බලලා එනකම් ඔයාලා මේ මේසෙ වාඩි වෙලා කෑම කන්න.”

භාරකාරියගේ නික්ම යෑම ඔවුන් වෙත ළඟාවීමට කළා වූ ආරාධනයක් ලෙස සැලකූ මා ඇසුරු සැණින් සිටියේ නර්තන කණ්ඩායම අසුන් අරා සිටි ස්ථානයේය.

“ඔයාල ලස්සනට නැටුවා.”

කණ්ඩායමේ සිටි අය අතරින් වචන නෙළා ගැන්ම වඩාත් පහසු යැයි මම උපකල්පනය කළ යුවතිය වෙත පවසා සිටියෙමි.

“තැන්ක් යූ.”

“ඔයාලා වෙඩින්වල විතරද ඩාන්ස් කරන්නේ?”

“දැන් නම් වෙඩින්වල විතරයි ඩාන්ස් කරන්නේ.”

“ඒ කියන්නේ මීට කලින් වෙන තැන්වලත් ඩාන්ස් කරලා තියෙනවද?”

හයදෙනකුගෙන් යුතු කණ්ඩායමේ අනෙක් උන් මා කෙරෙහි වැඩි තැකීමක් නොපෙන්වා තමන් කරමින් සිටි කාර්යයෙහි නිරත වූවා වුවද ඔවුන්ගේ සවන් අප වෙත යොමු වී තිබුණා මෙන්ම අවවාදාත්මක බැල්මක් ‍ෙදාඩමලු යුවතිය වෙත ගලා සිටි බව මේ අතර මම නිරීක්‍ෂණය කළෙමි.

“ඔව්.”

“ඒ කියන්නෙ මොන වගේ තැන්වලද?”

“මියුසිකල් ෂෝවල එහෙම මම වැඩ කරලා තියෙනවා. මෙයාලා නම් නෑ.”

“ඉතින් දැන් වැඩ කරන්නෙ නැත්තෙ ඇයි?”

“ඒවා හරි කරදරයි අප්පා.”

“ඒ කිව්වෙ?”

“නෑ ඉතින් දන්නෙනැද්ද. එක එක විදියෙ තැන්වලට යන්න ඕනෙ. අනෙක රෑනෙ තියෙන්නෙ.”

“වෙඩින්වල ඩාන්ස් කරන එක ඊට වඩා හොඳද?”

“ඔව්. කරදර අඩුයිනෙ.”

“ඉතින් හැමදාම වැඩ තියෙනවද?”

“මඟුල් නැකැත් තියෙන කාලවලට නම් ඉතින් කරගන්න බැරි තරමට අපේ මැඩම්ට වැඩ තියෙනවා. සමහර කාලවලට නම් ඉතින් අඩුයි.”

“දැන් මෙතැන ඉඳල ගියේ මැඩම්ද?”

“අපෝ නෑ. ඒ ශ්‍රියා අක්කා. එයා තමයි අපි දෙගොල්ල බලාගන්න ආවෙ.”

“ඒ කියන්නෙ ඔයාලා එක්ක තව කට්ටියක් ආවද?”

“ඔව්. ඒගොල්ලො තමයි අනෙක් හෝල් එකේ තියෙන වෙඩින් එක කරන්නෙ.”

“මැඩම්ට ඩාන්සින් ගෘෘප් කීයක් තියෙනවද?”

“පහක් හයක් විතර තියෙනවා.”

“ඒ හැම එකකම හය දෙනා ගාණෙ ඉන්නවද?”

“ඔව්. හැම එකකම හයක් ඉන්නවා.”

“මැඩම් නැටුම් ගුරුවරියක්ද?”

“අපෝ නෑ. අපේ මැඩම්ට නටනවා තියා එයාගෙ ඇඟ උස්සගෙන ඇවිදින්නවත් බෑ ලස්සනට.”

“එතකොට ඔයාල පුහුණු කරවන්නෙ කවුද?”

“ලස්සනට නටන්න දන්නා මිස්ලා හතරදෙනෙක් අපේ මැඩම් ළඟ වැඩ කරනවා. එයාලා තමයි අපිට උගන්නන්නෙ.”

“උඩරට, පහතරට වගේ ඒවත් කරනවද?”

“ඒවා මොකුත් නෑ. සමහර වෙඩින්වල නම් කපල් එන වෙලාවට පිළිගන්න වෙනවා. ඒ නැටුමෙ නම් අඩි වගයක් තියෙනවා. ඒවා උඩරටද, පහතරටද කියන්න අපි දන්නෙ නෑ. කියලා දෙන එක පුළුවන් තරම් හොඳට කරන්න තමයි අපි බලන්නෙ.”

“උගන්නන්න එන මිස්ලා නැටුම් ගුරුවරියොද?”

“ඒක නම් කියන්න දන්නෙ නෑ. හැබැයි ලස්සනට නටන්න දන්නවා. ඒ මිස්ලත් ඔය වීඩියෝවලින් බලලා එහෙම තමයි අපිට කියල දෙන්නෙ.”

“දවසකට එක වෙඩින් එකක විතරද ඔයාලා නටන්නෙ?”

“ඔව්. හුඟක් වෙලාවට නම් එහෙම තමයි. ඒත් වැඩියෙන් වැඩ තියෙනකොට දවල් වරුවෙ එකක් කරලා රෑට තව එකකට යන්න වෙන වෙලාවල් තියෙනවා.”

“වෙඩින්වල වැඩ කරන එක කරදර අඩුයි කිව්වෙ ඇයි?”

“මේ වගේ තැන්වලට එන්නෙ ඉතින් නෑයො, යාළුවො වගේ ළඟ සම්බන්ධකම් තියෙන අය විතරනෙ. ඒ නිසා ඒ අය වෙඩින් එක කරන කට්ටියටත් කරදරයක් නොකර අපටත් කරදරයක් නොකර ඉන්නවා හුඟක් වෙලාවට. ඒකයි කරදර අඩුයි කිව්වෙ.”

“කරදර ඇතිවෙලාම නැද්ද?”

“නැත්තෙත් නෑ. බොන්න දෙන වෙඩින්වල කට්ටිය බීපුවාම එහෙම ප්‍රශ්න වෙච්ච තැන් තියෙනවා. ඒ වුණත් අනෙක් අය එයාලව පාලනය කරගන්නවා. අපේ ශ්‍රියා අක්කත් ඉන්නවනෙ. එයා ටිකක් වසයි.”

“වස කාටද ඔයාලටද?”

“අනේ නෑ. එයා අපිට හොඳයි. අපිට කවුරුහරි මොනවා හරි කියන්න කරන්න අවොත් ඒ අයට නම් එයා වසයි.”

“කණ්ඩායම් අටට අක්කලා අටදෙනෙක් ඉන්නවද?”

“නෑ. නෑ. ශ්‍රියා අක්කා විතරයි ඉන්නෙ. එයා තමයි මැඩම්ට හැමදේටම උදවු කරන්නෙ. මැඩම්ගෙ වාහනේ එළවන්නෙත් එයා තමයි. මැඩම්ගෙ වෑන් දෙකෙන් තමයි අපිව වෙඩින්වලට ගෙනිහින් බස්සන්නෙ. එකක් ශ්‍රියා අක්කා එළවනවා. අනෙක් එකට කවුරුහරි ඩ්‍රයිවර් කෙනෙක් ගෙන්න ගන්නවා. වෙඩින් එකේ අයම අපිව ගෙනියන්න එන අවස්ථාත් තියෙනවා. කොහොම වුණත් ශ්‍රියා අක්කා අපි ගැන හොඳටම හොයලා බලනවා. මැඩම්ට නම් ඒවා එච්චර ගාණක් නෑ. හොඳට වැඩ තියෙනවා නම් එච්චරයි එයාට ඕනෑ. මොකද නටන්නෙ අපිනෙ එයා නෙවෙයිනෙ.”

“ඉතින් මේවා පුහුණු වෙන්න ලොකු කාලයකුත් යනවා ඇති නේද? මම බලාගෙන හිටියෙ ඔයාලා කට්ටිය වරද්දන්නෙ නැතිව හැම ස්ටෙප් එකම එකටම කළා.”

“එකම දේ ගොඩක් පාරක් කරනකොට ඉතින් වැරදෙනවා අඩුයිනෙ.”

“ඒ කිව්වෙ?”

“ඒ කිව්වෙ අපි ගොඩක් වෙලාවට එකම සින්දු ටික තමයි හැම වෙඩින් එකකදිම වගේ කරන්නෙ. අර මිස්ලා එන්නෙත් මාස හතර පහකට විතරයි. ඒ ඇවිත් අලුතෙන් සින්දුවක් දෙකක් ප්‍රැක්ටිස් කරවලා යනවා. එහෙම තමයි වැඩේ යන්නෙ. ඒක ඉතින් වෙඩින් අයිතිකාරයන්ට එච්චර අවුලක් නෑ. මොකද අද කට්ටිය නෙවේනෙ හෙට එකේ ඉන්නෙ. අපි තමයි දන්නෙ අපි ඊයෙත් මෙතැනදිම නටපු සින්දු ටිකම තමයි අදත් නටන්නෙ කියලා.”

“මැඩම් හොඳට ගෙවනවා ඇතිනෙ ඔයාලට?”

“වෙඩින් එකකට දාහක් ගෙවනවා එක්කෙනකුට. මැඩම් නම් කියන්නෙ කෑම බීම දීලා දාහක් කියලා.”

ඒ වුණාට සමහර වෙඩින්වලදි අපි වැඩ ඉවරකරලා කන්න යනකොට කන්න දෙයක් නෑ.

අනික අමාරුවෙන් වෙඩින් එකක් කරන කෙනෙකුට හය හත් දෙනෙක් වැඩිවෙනවා කියන්නේ. අමතර බරක්නේ. එතකොට එයාලා අපිව ගෙන්න ගන්න කතා කරගත්තු ගාණට තව හත් අටදාහක් එකතු වෙනවා.පොරොන්දු වෙච්ච ගාණෙන් කෑම ප්ලේට්වල ගාන අඩුකරලා ගෙවපු අයත් හිටියා. ඒ නිසා මැඩම් දැන් වැඩේට කළින් ඔක්කොම සල්ලි ගන්නවා. මැඩම්ටනම් මොකද අපිනෙ වෙඩින්වලට ගිහින් වැඩ කරන්නේ. සමහර මනමාලියන්ගෙ අම්මලාගේ එහෙම මූණ හතරැස්වෙනවා අපි කෑමට යනවා දැක්කම එහෙම වෙලාවට නොදැක්කා වගේ කාලා එනවා මිසක් වෙන කරන්න දෙයක් නෑ. කොහොම වුණත් මිනිස්සුන්ට ‍ෙදාස් කියන්න බෑ. දැන් බලන්නකෙ අපි වුණත් අනුන්ගේ මඟුල්වල නටලා දාහ දාහ එකතු කරන්නේ අපේම මඟුලත් ලස්සනට ගන්නනේ. එහෙම අඩුවෙන් හම්බ කරලා වියදම් කරන කෙනෙක් වියදම් ගැන කරදර වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ ඇත්තටම.

“හැම එක්කෙනකුටම ගෙවන්නෙ ඒ විදියටද?”

“අපෝ නෑ. මියුසිකල්වලට යන අයට හොඳට ගෙවනවා.”

“එහෙම නම් ඔයා මොකද ඒක නැවැත්තුවෙ. සල්ලි හම්බ කළා ඇතිද?”

“ඒකත් මාර විහිළුව. හම්බ කළා ඇති නම් මෙතැන ඉන්න ඕනෙ නෑනෙ මම. සල්ලිම නෙවේනෙ ඉතින් ජීවිතේ කියන්නෙ. මියුසිකල්වල නටන්න යන එක මට නම් අවුල්. ඒකයි මම නැවැත්තුවෙ.”

මේ කතාබහ දිගේ ගොස් ඇගෙන් දැනගත් තොරතුරු සියල්ල එක් පිඬක් කොට ඔබට පිරිනැමීමට ඉක්මන් නොවීම පිළිබඳ කමන්න. නර්තනය ජීවනෝපාය කරගත්තෝ අද ඊයේ මෙන්ම හෙටද සිටින්නෝය. ඔබ මා ඉදිරියට පැමිණ සිනහ මුහුණින් දෙඅත් දෙපා ලෙළවා රඟදෙන රුවැත්තිය සිය හදවත තුළ සඟවාගෙන සිටින්නේ කෙබඳු අදහසක්දැයි කිසිදු දිනෙක ඇගේ රැඟුමින් විද්‍යමාන නොවනු ඇත. ස්වකීය දිවි පෙවෙත ගෙන යෑම උදෙසා හෝ රූමත්භාවය පිළිබඳව පමණ ඉක්මවා වෙහෙස වීම කරණකොටගෙන සිරුරේ හැඩය මනාව පවත්වාගෙන යෑමට යත්න දරන පෙරදිග කාන්තාවෝ දුක් විඳින්නියෝය. ලෝක රූමතියන් බොහෝ විට බිහිවන්නේ ඉන්දියාව, වෙනිසියුලාව, චීනය වැනි පෙරදිග රටවලින් වීම නොරහසකි. මක්නිසාද යත් ඔවුන්ට රූපලාවණ්‍ය යනු වෙනමම විෂයකි. සිරුරේ හැඩය මනාකොට පවත්වාගෙන යෑම ප්‍රධානතම කර්තව්‍යයකි. ඇතැම් විට උපතේ පටන්ම පෙරදිග කතුන්ගේ රූපලාවණ්‍ය කටයුතු ඇරැඹේ. නමුත් ඇමෙරිකාව වැනි රටවල තත්ත්වය මීට ඉඳුරාම වෙනස්ය. ඔවුහු ස්වභාවයෙන්ම පෝෂණීය සමබල ආහාර වේල් ලබාගනිති. සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්නා වූ හෙයින් අනවශ්‍ය මස් ගොබ සිරුරේ දක්නට නොලැබේ. මේ නිසා අමතර දුකක් හෝ වියදමක් නැතිවම ඔවුහු ස්වකීය හැඩ රුව පවත්වාගෙන යති. මංගල උත්සව සඳහා නර්තන දායකත්වය සැපයීම පිළිබඳ කතාබහ තුළින් අතිවිශේෂ හෙළිදරව්වක් නොවූ නමුත් කියූ කතාවෙන් නොකියවෙන දේ ඔබට තේරුම් යන්නට ඇත.

තවදුරටත් අෑහා ‍ෙදාඩමලු වීමට ලද අවස්ථාවෙන් හෙළිදරවු වූ තොරතුරු අෑ නියෝජනය කරන සමාජය ගැන ඔබ මා නොදැන සිටි පැතිකඩක් නිරාවරණය වූ අතර ඒ පිළිබඳ කතා බහ ලබන සතියට……

ඉරෝමි හේවමල්ලිකාරච්චි – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435