තේ දළු යට සැඟවුණු වතු කම්කරුවන්ගේ කඳුළු කතාව

වතු කම්කරුවන් තමන්ගේ මූලික වැටුප දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වෘත්තීය අරගලයකට යොමුවූයේ අද ඊයේක නොවෙන බව නොරහසකි. වැටුප් ප්‍රශනය ඒ තරමට පැරණිය.වසර ගණනාවක් තිස්සේ නොවිසඳුණු ප්‍රශ්නයක් ලෙසින් අදටත් වතු කම්කරුවාගේ වැටුප් ප්‍රශ්නය ඔවුන් පසුපස පැමිණ ඇත.

ඒ වතු කම්කරුවන් මුහුණදෙන එක් ගැටළුවක් පමණි. ඔවුන්ගේ ජීවිතයේ ඇතුළාන්තය ගැන විමසීමක් කළ විට පිටට නොපෙනෙන සත්‍ය පසක් කරගැනීමට හැකියාව ලැබෙන අතර එකින් එක පෙළගැස්සවූ විට වර්තමානයේ ඔවුන් මුහුණදෙන ගැටළු රැසක් ඉස්මතු විය.

මඩොල්සිම වතුයායේ සේවය කරන එම් සරෝජා මහත්මිය කියන්නේ තවත් එක් කතාවකි.

මම වසර ගණනාවක් තිස්සේ වතු යායේ සේවය කරනවා. මට දරුවන් 04 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් තුන්දෙනෙක් ඉස්කෝලේ යනවා. එක්කෙනෙක් දැන් පෙරපාසල් යනවා. අපි හැමෝම ජීවත්වෙන්නේ මම වත්තෙන් හම්බකරන පොඩි පඩියෙන් තමයි. මාසෙම වැඩකළත් 10,000ක් වත් අතට ගන්න අමාරුයි. ඉතින් දරුවන්ට උගන්වන්න ලොකු මහන්සියක් වෙන්න වෙනවා. එයාලගේ අනාගතය අපි වගේ වෙන්න ඕනි නෑ. මගේ ලොකු දුව A/L කරනවා. එක්කෙනෙක් O/L පන්තියේ. අනිත් දුව 10 වසරේ ඉගෙන ගන්නවා. පොඩිම පුතා තමයි පෙරපාසල් යන්නේ.”

“වත්තේ තියෙන පාසලේ O/L වෙනකන් විතරයි පන්ති තියෙන්නේ. ඉතින් ලොකු දුව A/L කරන්න යන්නේ බොගවන්තලාවේ පාසලකට. සමහර දවස්වල බස් එක නැති වුනොත් හරි බස් එකට යාගන්න බැරි වුනොත් හරි සල්ලි දීලා ත්‍රීවීල් එකක පාසලට යන්න වෙනවා. ඒකටත් 350ක් විතර යනවා. බස් එකේ යන්නත් රුපියල් 75ක් වගේ යනවා. අනිත් අයගේත් ඉස්කෝලේ වැඩවලට මුදල් වැඩියෙන් වැයවෙනවා. ඒ අයගේ පාසල් ලියන පොත්, බෑග්, සපත්තු වගේ ඒවා වත්තේ මුදලාලිලාගෙන් හරි මන්ත්‍රීලගෙන් හරි උදවුවෙන් තමයි ගන්නේ. දැන් බඩුත් ගණන් නිසා හරි අමාරුවෙන් තමයි එදා වේල හම්බකරගෙන ජීවත්වෙන්නේ. ඉතින් අපේ පඩිය 1000ක් කරලා දෙනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට අපිට මේ ප්‍රශ්න ගොඩක් දුරට අඩුකරගෙන දරුවන්ටත් හොඳට උගන්නවන්න පුළුවන්.”

“වත්තේ තියෙන පාසලේ O/L වෙනකන් විතරයි පන්ති තියෙන්නේ. A/L කරන්නත් ඒ ඉස්කෝලේම පහසුකම් සලසලා දෙනවා නම් ගොඩක් හොඳයි. ඒකට තියෙන එකම ප්‍රශ්නෙ තමයි ඒ පන්ති තියන්න ගොඩනැඟිල්ලක් නැති එක. නැත්නම් පාසල් විදුහල්පත්, ගුරුවරු, දරුවන් වගේම අපිත් කැමතියි A/L කරන්න මේ වත්තේ පාසලේම අවස්ථාව දෙනවා නම්.ඉතින් රජය මැදිහත්වෙලා අපේ පාසලට ගොසනැඟිල්ලක් දෙනවා නම් ඇත්තටම ගොඩක් හොඳයි.”

අපි වත්තේ වැඩ කළ්ත් විතරයි අපිට වත්තෙන් ඉන්න තැනක් ලැබෙන්නේ. ඒ තැනුත් ඇත්තටම ඉඩ මඳි. සමහර ලැයිම් කාමර අවුරුදු 100 – 200ක් පරණයි. වහල පවා දිරාපත් වෙලා තියෙන්නේ. වහින කාලෙට ගෙවල් තෙමෙනවා. හරියට නිදාගන්න විදිහක් වත් නෑ. අඩු පඩි නිසා දරුවන්ට හොඳ කෑමක් බීම අරගෙන දෙන්න වත්තේ ගොඩක් අයට අමාරුයි. ඉතින් ළමයි ගොඩක් අසනීපත් වෙනවා. සමහර පවුල්වල දරුවෝ අධ්‍යාපනය අතරමඟ නතරකරලා එක එක දිහා වැඩ කරනවා.”

“රටේ ආර්ථිකයට අපිත් විශාල සේවයක් කරනවා. ඉතින් ඇයි අපිට මෙහෙම සලකන්නේ. අපි ලොකු ලොකු දේවල් ඉල්ලන්නේ නෑ. අපේ පඩිය 1000ක් කරලා දෙන්න කියලයි කියන්නේ.”

“සමහර කාලවලට වතුවලදි අපි බඹරු, දිවි වගේ සත්තුන්ගේ ප්‍රහාරවලට ලක් වෙනවා. ලෙඩ රෝග වලට ලක්වෙනවා. ඒ වෙලාවට ඇම්බියුලන්ස් එක නැත්නම් අපේ අතේ තියෙන සොච්චමෙන් ඉස්පිරිතාලෙට යන්න වෙනවා. ඒ මුදල්වත් අපිට අායේ ගන්න ලැබෙන්නේ නෑ.”

“සමහර වතුවල බොන්න පිරිසිදු වතුරවත් නෑ. වැසිකිලි පහසුකම් නෑ. සමහර වතුවල කරන්ට් එක පවා නෑ. ඉතින් අපි ගෙවන මේ දුක්ඛිත ජීවිතය ඇයි අනිත් අය නොදකින්නේ.”

“දළු කඩලා කිරන්න යනකොට එතන ඉන්න නිලධාරියා හරියට දළු ටික කිරන්නේ නෑ. සමහර අය කිරන්න හරියටම දන්නෙත් නෑ. වෙලාවට අපි කඩපු දළුවල බර වෙනස් වෙනවා. එතකොට අපිට අසාධාරණයක් සිද්ද වෙනවා. අනික ඒ නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය හරියට කරන්නේ නෑ. සමහර අය රාජකාරිය හරියට දන්නේ නෑ. ඉතින් මේ දේවල් නිසාත් තැලෙන්නේ අපිමයි.”

තමා අත් විදින මේ කටුක ජීවිතයෙන් ගොඩ ඒමට තිබෙන එකම මාර්ගය ලෙස ඔවුන් දකින්නේ තම ශ්‍රමයට සරිලන සාධාරණ වැටුපක් ලබා ගැනීම ය. රජයේ සේවකයන්, ‍පෞද්ගලික අංශයේ සේවකයන් වාර්ෂිකව විවිධ ආකාරයෙන් වැටුප් සහ තම දීමනා වැඩි කරගත්ත ද, වතු සේවකයන්ට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ වසර දෙකකට වරක් අස්සන් කෙරෙන අවබෝධතා ගිවිසුමෙනි. මේ තීරණ ගැනීම කරනුයේ වෘත්තීය සමිති සහ හාම්පුතුන්ගේ සංගමය කරන සාකච්ඡා මගිනි. මේ ගිවිසුමට අනුව වර්ධනය විය යුත්තේ කම්කරුවන්ගේ වැටුප පමණක් නොවේ. කම්කරු සුබසාධනය, සනීපාරක්ෂක පහසුකම් ආදිය ද වර්ධනය විය යුතු ය.

මෙහිදී වතු සේවකයෝ වසර කිහිපයක සිට තම වැටුප ලෙස රුපියල් 1000ක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිති. ඒ සෑම අවස්ථාවකම එයට නිසි විසඳුමක් ලැබුණේ නැත. දැන්වත් වතු කම්කරුවන් මුහුණ දෙන මේ ගැටළුවට වගකිවයුතු පාර්ශවයන් නිසි විසඳුමක් ලබා දියයුතු කාලය එළඹ ඇති බව හැගේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435