දකුණු කොරියාවේ යළිත් කොරෝනා අවදානමක් -ලිහිල් වූ සීමා නැවත පැනවෙයි

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය වීම හමුවේ විවෘත කෙරුණු දකුණු කොරියාවේ පාසල් 250 ක් පමණ යළි වසා දමා තිබෙනවා. ඉන් බොහෝ පාසල් ප‍්‍රමාණයක් සෝල් අගනුවරට බටහිරින් පිහිටි බූචියොන් ප‍්‍රදේශයේ පිහිටා ඇති  බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එම ප‍්‍රදේශය තුළ නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යළිත් සැලකිය යුතු මට්ටමකින් ඉහළ යාමත් සමග එම පාසල් වසා දැමුණා. ඒ අනුව එම පාසල්වල ඉගෙනුම් කටයුතු යළිත් ඔන්ලයින් ක‍්‍රමය හරහා සිදු කෙරෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ.

අදාළ ප‍්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවකින් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වූ සේවකයින් පිරිසක් හමුවීම හා ඇතැම් සේවකයින්ගේ සපත්තු සහ ඇඳුම්වල කොරෝනා වෛරසයේ අංශු පැවති බවට අනාවරණවීමත් සමග එම සේවකයින් දෛනික පරීක්ෂාවන්ට ලක් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පාසල් යළිත් වසා දමා ඇත්තේ ද ඒ අනුවයි.

ගතවු පැය 24 තුලදී පමණක් දකුණු කොරියාවෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 79 දෙනෙකු හඳුනා ගැනුණා. මාස 02 කට පමණ පසුව දිනක් තුලදී දකුණු කොරියාවෙන් වාර්තා වුනු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙයයි. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවර හා ඒ අවට ප‍්‍රදේශවල උද්‍යාන හා කෞතුකාගාර තවදුරටත් වසා තැබෙනු ඇති.

මේ අතර නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ සිදුව ඇති පුද්ගල මරණ ගණන චීනය අභිභවා ගොස් තිබෙනවා. ඒ අනුව ඉන්දියාවෙන් මේවනවිට වාර්තා වන කොවිඞ් මරණ ගණන 4,711 ක්. එරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන එක්ලක්ෂ 65,386 ක් ලෙසයි. චීනයෙන් වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 4,634 ක්.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435