දකුණු කොරියාව තුළ කොරෝනා ශීඝ්‍ර ව්‍යාප්තියක්-ලොව පුරා මරණ රැසක්

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය දකුණු කොරියාව තුළ ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වෙයි.

සිකුරාදා සිට ඊයේ දක්වා එම වෛරසය ආසාදන වු පුද්ගලයින් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව කොරෝනා වෛරසයේ ආසාදිතයින් ගණන අද වන විට 78,000 ඉක්මවා ඇත.

ඒ අතරින් ආසාදිතයින් 77 000 කට වැඩි පිරිසක්  චීනයෙන් හඳුනාගෙන ඇති අතර වෙනත් රටවලින් වාර්තා වන ආසාදිතයින් ගණන 1,500කට අධිකයි.

වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ ගණන 2460 දක්වා ඉහළ ගොස් ඇත.

මෙවන් පසුබිමක දකුණු කොරියාව තුළ වෛරසය ව්‍යාප්තියේ සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරයි.

තම රටෙන් හමු වූ නව කොරෝනා වෛරස ආසාදිත පුද්ගලයින් ගණන එක් දිනකදී දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව දකුණු කොරියාව පවසයි.

එරට බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ සිකුරාදා සිට 229 දෙනෙකුට වෛරසය ආසාදනය වී බවයි.

අද වන විට තවත් 123 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඒ අනුව දකුණු කොරියාවෙන් හමු වූ මුළු ආසාදිතයින් ගණන 556ක්.

මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් බව දකුණු කොරියානු අගමැතිවරයා පවසයි.

වෛරසය ආසාදිත බවට හඳුනා ගැනුණු පුද්ගලයින් බහුතරයක් එරට ගිනිකොනදිග තේගු නගරය අසල රෝහලක් සහ ආගමික කණ්ඩායමකට අයත් පුද්ගලයින් බව බලධාරීන් සඳහන් කළේය.

එරටින් පුද්ගල මරණ දෙකක් වාර්තා වන අතර එම අගය ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි.

තේගු නගරය සහ රෝහල වෛරස ආසාදිතයන් වැඩි ගණනක් හමු වූ රෝහල පිහිටි  චෙන්ග්දෝ නගර සැලකිළිමත් විය යුතු කලාප ලෙස නම් කර ඇත.

එම නිවේදනයත් සමඟ තේගු නගරයේ මාර්ග හා පොදු ස්ථානවල ජනයා ගැවසීම දැඩි ලෙස පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ අනුව චීනයෙන් පසුව වෛරසය ආසාදිතයින් වැඩිම ගණනක් හමු වූ රට බවට දකුණු කොරියාව පත්ව ඇත.

චීනයෙන් හමු වූ ආසාදිතයින් ගණන 77000 ඉක්මවන අතර මරණ 2400කට වැඩි අගයක් ගෙන ඇත.

මේ අතර ජපානය  අසළ නැංගුරම් ලා තිබූ ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ වෛරසය ආසාදිතයින් 600 ඉක්මවයි.

චීන සෞඛ්‍යය බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ වාර්තා වන මරණ සහ නව ආසාදිතයින් ගණන ක්‍රමයෙන් අඩුවීමක් පෙන්නුම් කරන බවයි.

චීනයේ ආසාදිතයින් ගණන පහළ යමින් වෙනත් රටවල නව කොරෝනා ආසාදිතයින් ඉහළ යාම ලෝක සෞඛ්‍යය සංවිධානයේ දැඩි අවධානයට ලක්ව ඇත.

දුර්වල සෞඛ්‍ය පද්ධති ඇති රටවල් ඔවුන්ගේ විශේෂ අවධානයට ලක්ව ඇති අතර ඒ අතර  අප්‍රිකානු කලාපය විශේෂයි.

මේ අතර ජපානයේ සිට රැගෙන ආ බ්‍රිතාන්‍ය සහ සෙසු යුරෝපීයයන් ඇතුළු ඩයමන්ඩ් කෘස් නෞකාවේ සිටි මගීන් 32ක් වයඹදිග එංගලන්තයේ දී නිරෝධායනයට ලක්කර ඇත.

දකුණු කොරියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි තම පුරවැසියන් නොවන  200 කට ආසන්න පිරිසකට රට තුළට ඇතුළු වීමට අවසර නොදීමට ඊශ්‍රායල් බලධාරීන් පියවර ගෙන ඇති අතර ඔවුන් ආපසු සෝල් අගනුවර වෙත හරවා යවා ඇත.

එහි සිටි ඊශ්‍රායල් ජාතිකයන් 12 දෙනා නිරෝධායනයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

පළමු වරට වෛරසය  ආසාදිත පුද්ගලයෙක් හමුවීමෙන් ජපානය සහ දකුණු කොරියාව සමග සිදුකරන සියලුම ගුවන් ගමන් අත්හිටුවීමටත් ඊශ්‍රායලය ඊයේ පියවර ගත්තේය.

මේ අතර ඉතාලියෙන් දෙවන පුද්ගල මරණයද වාර්තා වූ අතර වෛරසය ආසාදිතයින් 60කට ආසන්නයි.

එසේම ඉරානයේ සිදු වූ  පස්වෙනි මරණය ඊයේ දිනයේ වාර්තා වූ අතර  පළාත් 14 ක පාසල්, විශ්ව විද්‍යාල සහ සංස්කෘතික මධ්‍යස්ථාන වසා දැමීමට නියෝග කර ඇත.

මූලාශ්‍රය -අද දෙරණ
වැඩබිම
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435