දරුවන්ට ඊයම් කවන ලෝකයක්

එම දරුවන් අතරින් ද හරි අඩකට අත්‍යාසන්න දරුවන් ජීවත්වන්නේ දකුණු ආසියානු රටවලය

සෑම ළමුන් තුන්දෙනෙකුගෙන් එක් දරුවෙක් විෂ සහිත ඊයම්වලට ගොදුරු වීමේ අනතුරක් ලෝක මට්ටමින් පවතින බව පර්යේෂණයක් මගින් සොයාගනු ලැබ ඇත.

එවැනි විෂකට ගොදුරු වූ දරුවන් යළි යථා තත්වයට පත්කළ නොහැකි තරම් දරුණු බවත් එම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත.

එම අනතුරට මිලියන අටසීයක් (කෝටි අසූවක්) පමණ ලෝකයේ දරුවන් ගොදුරු වීමට ඉඩකඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (Unicef) සහ ‘Pure Earth’ සංවිධානය ඇස්තමේන්තු කර ඇත. එසේම එම අනතුර ඉදිරියේ වැඩි වශයෙන් සිටින්නේ පහළ සහ මධ්‍යම මට්ටමේ ආදායම් සහිත රටවල දරුවන්ය.

එසේම ලෝක මට්ටමින් ගත්විට එම දරුවන් අතරින් ද හරි අඩකට අත්‍යාසන්න දරුවන් ජීවත්වන්නේ දකුණු ආසියානු රටවලය.

යුනිසෙෆ් සහ ‘Pure Earth’ සංවිධානයේ වාර්තාව මගින් ඉහත කී ආකාරයේ විෂවීමට ප්‍රධාන හේතූන් වශයෙන් ඊයම් අන්තර්ගත බැටරි, විද්‍යුත් අපද්‍රව්‍ය (e-waste) ආකර අපද්‍රව්‍ය සහ තීන්ත වර්තමනාලෙස ප්‍රතිචක්‍රීයකරණය නොකිරීම දක්වා ඇත.

”ඊයම් උණුකරන විවෘත භාජනවලින් පිටවෙන ගඳ සහිත විෂ දුමාරය සහ දූවිල්ල පරිසරයට එකතුවෙනවා”

දරුණුම අපරාධකරු වාහන බැටරි

තම සොයාගැනීම් වොෂිංටන් සරසවියේ ශරීර සෞඛ්‍ය මිණුම් සහ විනිශ්චය පිළිබඳ ආයතනයේ ((IHME) තොරතුරු මත පදනම් වන බව ඉහත කී වාර්තාවේ කතුවරු පවසති. ඔවුන් පවසන පරිදි එම ආයතනය ලෝකය පුරා දස දහස් සංඛ්‍යාත දරුවන් පිරිසකගේ රුධිර සාම්පල ලබා ගෙන ඇත.

ලෝක ව්‍යාධි ව්‍යසනය (Global Burden of Disease) යනුවෙන් නම් කරනු ලැබ ඇති පර්යේෂණ තොරතරු අන්තර්ගත පර්යේෂණ ‘අඩවියක් ශරීර සෞඛ්‍ය මිණුම් සහ විනිශ්චය පිළිබඳ ආයතනය ((IHME) විසින් පවත්වා ගෙන යයි.

“2000 වසරේ පටන් පහළ සහ මධ්‍යම ආදායම් ලබන රටවල වාහන සංඛ්‍යාව තුන්ගුණයකින් වැඩිවී තිබෙනවා. එම තත්වය ප්‍රතිචක්‍රීයකරන බැටරි ඊයම් ඇසිඩ් විශාල මට්ටමකින් ඉහළ යාමට හේතුවක්. එය නිතරම සිදුවන්නේ අනාරක්ෂිත මට්ටමින්,’ වාර්තාවේ එක් කතුවරයකු වන ආචාර්ය නිකලස් රීස් (Dr Nicholas Rees) BBC යට පැවසීය.

ලෝකයේ පාවිච්චියට ගනුලබන ඊයම්වලින් 85%ක්ම යොදාගනු ලබන්නේ ඊයම්-ඇසිඩ් බැටරි නිෂ්පාදනය සඳහාය. ඒවායෙන් අතිබහුතරය ලැබෙන්නේ ප්‍රතිචක්‍රීයකරණයට ලක්කරන ලද මෝටර්රථ බැටරිවලිනි.

“එහි ප්‍රතිවිපාකයක් වශයෙන්,පාවිච්චියට ගත් ඊයම්-ඇසිඩ් බැටරි එකතුවන්නේ අවිධිමත් ආර්ථික අංශයටයි,” ඉහත සඳහන් කරන ලද වාර්තාව පෙන්වා දෙයි.

“අක්‍රමවත් සහ නිතරම නීතියට පටහැනිව යමින් සිදුකෙරෙන ප්‍රතිචක්‍රීයකරණ කටයුතුවල දී බැටරිවල කවර විවෘත කරනවා. එතකොට සිද්ධවෙන්නේ ඊයම් දූවිලි මහපොළොවට එක්වීම. ඒ වගේම, ඊයම් උණුකරන විවෘත භාජනවලින් පිටවෙන ගඳ සහිත විෂ දුමාරය සහ දූවිල්ල පරිසරයට එකතුවෙනවා.”

ළමුන්ට වින කරන්නේ කොහොමද?

ශරීර බර අනුපාතය සමඟ තුලනය කර බැලුවොත් ළමුන් වැඩිහිටියන්ට වඩා පස්ගුණයක් පමණ තෙක් ආහාර, දියර්වර්ග සහ වාතය ශරීරගත කරගන්නා බව විශේෂඥයෝ පවසති.

“ඒකෙ තේරුම ළමුන් ජීවත්වෙන කලාපයක ස්නායු පද්ධතියට හානිකරන සුළු ප්‍රබල විෂ වර්ග (neurotoxin)පසට හෝ ජලයට එහෙමත් නැත්නම් වායුවට මුදාහරිනු ලැබුනොත් ඒවා එම ළමුන්ගේ ශරීරගත වෙන්න පුළුවන්,” වාර්තාවේ සඳහන් වෙයි.

වාර්තාව වැඩිදුරටත් පවසන පරිදි, ඉහත කී තත්වය වඩාත් අනතුරුදායක වන්නේ අවුරුදු පහට අඩු බිළිඳු දරුවන් සහ ළමුන්ටය. ඊට හේතුව එම විෂ දරුවන්ගේ මොළය සම්පූර්ණ මට්ටමින් වර්ධනයවීමට පෙර ඊට හානි සිදුවීමට ඉඩකඩ තිබීමය. එහි ප්‍රතිවිපාක වශයෙන් එවැනි දරුණු උවදුරකට ගොදුරු වූ දරුවන් ජීවිතාන්තය දක්වාම ස්නායු ආබාධ, දැනීම හැඳිනීම සහ ඥානය පිළිබඳ ප්‍රශ්න මෙන්ම ශාරීරික ආබාධයට ගොදුරුවීමේ අනතුරක් පවතී.

“ඊයම් කියන්නේ ස්නායු පද්ධතියට හානිකරන, ප්‍රබල විෂ විශේෂයක්. ඊයම් කුඩා ප්‍රමාණයක් ශරීරගත වුනත් සාමාන්‍ය බුද්ධිපලයට (IQ) එමගින් හානිවෙන්න පුළුවන්. ඔහුගේ අවධානය හීන කෙරෙන්න පුළුවන්. ඒවගේම එවැනි තත්වයකට ගොදුරු වූ පුද්ගලයෙක් ජීවිතයේ පසු අවධියේ දී -ඇතැම්විට අපරාධකරුවකුගේ මට්ටමට පවා වැටෙන- හිංසාකාරී චරිතයක් බවට හැරෙන්න ඉඩකඩ තියෙනව.”

ඉන්දියාවේ මිලියන 275 කට අධික දරුවන්ගේ රුධිරගත ඊයම් මට්ටම ඩෙසිලීටරයකට මයික්‍රෝග්‍රෑම් පහකට අධික මට්ටමක වූ බවත් වාර්තාව පෙන්වා දෙයි.ඉන්දියාව එවැනි දරුවන් වැඩියෙන්ම වාර්තාවෙන රට වී ඇත.

ව්‍යාධීන් පාලනය සහ වැළක්වීම පිළිබඳ එක්සත් ජනපද ආයතනය (CDC) කියා සිටින්නේ ඉහත කී සංඛ්‍යා මගින් “ක්‍රියාමාර්ගයක්” ගන්නා ලෙස ඉල්ලා සිටින බවය.

“ඉන්දියාවේ ඊයම් ඇසිඩ් බැටරි ප්‍රතිචක්‍රීයකරණ වැඩපොලවල් අසල ජීවත්වෙන ළමුන්ගේ රුධිර ඩෙසිලීටරයක (decilitre) ඊයම් මට්ටම මයික්‍රෝග්‍රෑම් 190 තෙක් වූ විවිධ මට්ටම්වල පැවති බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත කිංග් ජෝර්ජ් වෛද්‍ය සරසවියේ ජෛව -රසායන දෙපාර්තමේතුවේ වෛද්‍ය අබ්බාස් මෙහ්දි (Dr Abbas Mahdi) පවසයි.

“අපේ දරුවන් ආහාර කල්තබා ගැනීමට සහ ඒවා වර්ණ ගැන්වීමට යොදාගනු ලබන ඇතැම් කුළුබඩු වර්ග සහ ශාකමය ඖෂධ වර්ගවලටත් ගොදුරුවෙනවා,” වෛද්‍ය අබ්බාස් මෙහ්දි පැවසීය.

මූලාශ්‍රය – බිබිසි / සන්දේශය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435