දරුවාට පාසල අහිමි වීම හා ගොවියා වහලා වීම

“ආදරණීය ටීචර්, තාත්තගෙ ෆෝන් එකෙ රූප නම් පේන් නෑ, රීලෝඩ් නෙවෙයි තුන් වේලටත් කන්න නෑ, ටීචර්ගෙ මූණ නො පෙනුනත් තව කමක් නෑ, ගෙදර වැඩ අහගන්න ෆෝන් එකෙ සල්ලි නෑ. මොන තරම් තිබු නමුත් අගහිගත් සිට බාලෙ, කිසි දිනෙක මඟ හැරුනෙ නෑ මගෙන් ස්කෝලෙ, හුඟ දෙනෙක් ඇඹරෙද්දි නුඹ ගණන් දුන් වේලෙ, මම නේද හදන්නෙම නැතිව කිසි සබකෝලෙ? යහළුවන් ඔන්ලයින් විත් ඉගෙන ගත්තාට, මඟ හැරෙන පාඩමට මං අඬනවා රෑට, ස්කෝලෙ ඇරෙන තුරු ආයෙ අපි වගෙ අයට, ඉඳ හිටලවත් මාව මතක් වෙනවද ටීච……?”. මේ සාගරිකා ධර්මබන්ධු ගේ කවියකි. එය උපුටා ගත්තේ මුහුණු පොතෙනි. ආදරණීය ටීචර් යනු එ කවියේ මාතෘකාවය. ඉතිරිය පද හතර ගානේ එකතු කොට කියවන්න. ඔබේ දෙ ඇස්වල පිරෙන කදුළුවලට බිම වැටෙන්නට ඉඩ දෙන්න. මේ කවිය විසි වතාවක් පමණ කියෙව්වද ඇසට නැගෙන කඳුළු නම් නවතා ගැනීම අපහසුමය.

මේ අපේ පාසලයි

ඒ තරමටම හැගීම්බර නො වුනත් අපේ රටේ ඉස්කෝල ක්‍රමයේ ඇත්ත පින්තුරය මතකයට දනවන තවත් ගීතයක් වන්නේ ප්‍රදීපා ධර්මදාස ගයන “මේන් අපේ ඉස්කෝලේ” ය. එහි පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ ය. එයත් කියවා ගැනීම හෝ ඇසීම අපේ සාකච්ඡාවට උපකාරයකි. “මේන් අපේ ඉස්කෝලේ, රන් රුවයි රැස් මාලේ, රෑන් පිටින් අපි ආවේ පහන් වැටක සිරියාවේ. වැස්සට ගඟ ආවත් පන්ති වලට, අවුවට ඉර වැටුණත් හිස් මුදුනට, වෙඩි පිට වෙඩි ඇහුණත් පැයෙන් පැයට, අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට. කුඹුරේ වැඩ තිබුණත් යලට මහට, එනවා හැමදාමත් පන්ති වලට, ඩෙස්ක්පුටු බංකු නැතත් ඉදගන්නට, අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට. ලස්සන සාරි නැතත් ටීචර්ලට, මූණට එළිය ඇවිත් පින් පාටට, කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට, අපි ආදරෙයි අපේ ඉස්කෝලෙට” යනු ඒ ගීතය ය. මේ දවස්වල ඒ ඉස්කෝලේ නැත. ඒ වෙනුවට සයිබර් අහසට ඇවිත් ඉන්නේ ඔන්ලයින් ටීචර්ලා ය. ඒ ටීචර්ලා ව බිමට ගන්න හැමෝටම බැරිය. වයි ෆයි, ඩොන්ගල්, කොම්පියුටර්, ලැප්ටොප්, අයිපෑඩ්, නිකම් ෆෝන් නොව ස්මාර්ට් ෆෝන් සහ සිග්නල් නැමති කෙකි තිබුනොත් පමණි ඒ ටීචර්ලා බිමට වඩම්මවා ගත හැක්කේ. ගැටලුව වන්නේ මේ කෝකටත් සල්ලි ඕනෑ වීම ය. ක්‍රය ශක්තිය ඕනෑ වීමය.

රු: 5000කින් මාසයක් ජීවත් වෙන්න හදන රටක්

ලංකාවේ ජනසමාජය සමමිතික නැත අසමමිතිකය, සමාන නැත විෂමය. මසක පවුලක නඩත්තුව රුපියල් පන්දහසකින් (5000) පිරිමසා ගැනීමට වෙර දරන පවුල් ඉන්නා රටක, දිනකට රුපියල් හත්දහස් පන්සියයක් (7500) ගෙවා නිරෝධායනය සඳහා තරුපහේ හෝටල්වලට පවා, අකමැත්තෙන් යන අය  දෙස බලන විට ඒ විෂමතාව මනාව වටහා ගත හැක. මෙරට ජනගහණය අති ආදායම් ලබන පන්තිය, ඉහළ ආදායම් ලබන පන්තිය, මැදි ආදායම් ලබන පන්තිය, පහළ ආදායම් ලබන පන්තිය, සුළු ආදායම් ලබන පන්තිය සහ කිසිදු ආදායමක් නොලබන පන්තිය යනුවෙන් වර්ග කළ හැකිය. 2016 කුටුම්භ ආදායම් සහ වියදම් සමීක්ෂණයට අනුව මූලික අවශ්‍යතාවත් සපුරා ගත නොහැකි, එනම් එක් පුද්ගලයෙකුට අවශ්‍ය කැලරි ප්‍රමාණය සපයා ගත නොහැකි ආහාර දරිද්‍රතාවය සහ අනෙකුත් මූලික භෞතික අවශ්‍යතා සපුරා ගත නොහැකි අහාර නොවන දරිද්‍රතාව සහිත සම්පුර්ණ දිළිඳු පවුල් ප්‍රමාණය එක්ලක්ෂ හැට නවදාස් තුන්සිය අනූ දෙකකි (1,69,392). පුද්ගල සංඛ්‍යාව අට ලක්ෂ හතළිස් තුන් දහස් නවසිය දහ තුනකි (8,43,913). එනම්  මාසික ඒක පුද්ගල පරිභෝජන වියදම රුපියල් 4,166 කට අඩු පුද්ගලයින්ගේ ගණන 8,43,913 කි. මාසිකව රුපියල් 3,923.87 ක් සහනාධාර ලබන සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව 13,84,021 කි. ඒ 2018 වර්ෂයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගති වාර්තාවට අනුව ය. මේ දිළිඳු   පවුල්වලින් මොන්ටිසෝරි, පාසල් සහ විශ්වවිද්‍යාලවලට යන දරුවන් ට වයි ෆයි, ඩොන්ගල්, කොම්පියුටර්, ලැප්ටොප්, අයිපෑඩ්, ස්මාර්ට් ෆෝන්, සිග්නල් තබා පොතක් පතක් තියාගන්න හරිහමන් ලෑලි තට්ටුවක් වත් නැත. එවැනි පසුබිමක ක්‍රියාත්මක ඔන්ලයින් ටීචින් මෙහෙයුම විසින් මා සිහියට නගන්නේ කුඩා කල අපේ අම්මා කියන කතාවකි.

වියලුව, ඒ කොළඹ දේශපාලනයට පාර්ලිමේන්තුකරුවෙකු හෝ කාරියක ගෙන්වා ගැනීමට  සීමා මායිම් ලකුණු කොට ඇති මගේ දේශපාලන කොට්ඨාශය ය. ආසනය ය. මා ඉපදුන ගම ඒ වියලුවේ කරමැටිය ය. එය දේශපාලන හෝ පරිපාලන කොට්ඨාශයක් හෝ වසමක් හෝ නම් කිරීමට යොදා ගෙන නැති නමක් ය. ජනවාරියේ නොකඩවා දින ගණනක් ගමට ඇදහැලෙන ධාරානිපාත වැස්ස දිහා බලා ගෙන, දිළිඳු ගෞරවනීය ගෙවිලියක වූ අපේ අම්මා කියන කියමනක් වේ. “හත් දා හත් දුරුත්තේ වහින්නේ ඇත්තෝ කාපියව් නැත්තෝ මැරියව් කියලනේ පුතේ” යනු ඒ කියමනයි. ඔන්ලයින් ටීචින් වෙළෙඳපොල ද ඒ වගේ ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යනු එහි විධාන පාඨය ය.

ගොවියා වහලෙක් වීම

මේ විධානය අපට ඇසෙන්නේ වෙන විදියකටය. එනම්, හැමෝටම ඔය පහසුකම් දැන් තියෙනවා, ඒ නිසා මේ ක්‍රමය කොරෝනා කාලේ විතරක් නොව ඊට පසුත් දිගටම පවත්වාගෙන යමව්, යන ආකාරයටය. ඇමරිකා එකසත් ජනපද ආරක්ෂක ලේකම්වරයාව සිට පසුව ලෝක බැංකුවේ අධිපති බවට පත් වූ රොබට් මැක්නමාරා ගේ ප්‍රකාශිත අරමුණ වූයේ ලෝකයේ සෑම තැනකම සිටින ඉතාම දිළිඳු ගොවියා පවා ලෝක වෙළඳපොළට සම්බන්ධ කර ගැනීමය.

නමුත් එහි අප්‍රකාශිත සැබෑ අරමුණ වූයේ ඒ සෑම දිළිඳු ගොවියෙක් ම විතරක් නොව සියලු ආකාරයේ ම පුද්ගලයින් ගෝලීය වෙළඳපොලේ ඍජු සහ වක්‍ර වහලුන් බවට පත්කර ගැනීමය. එනම් නින්දා සහගත සහ නම්බුකාර වහලුන් බවට පත් කර ගැනීමය. මේ  නම්බුකාර වහලුන් විකිනෙන්නේ ලක්ෂ නොව මිලියන ගණන්වලටය, මහා තනතුරුවලට ය. අද බොහෝ රටවල ප්‍රතිපත්ති තීරණ ගනු ලබන්නේ  හෝ ඒවාට තීරණාත්මක බලපෑම් කරන්නේ වෙළඳපොළ පැවැත්මට පසඟ පිහිටුවා දණ නමස්කාර කරන මේ නම්බුකාර වහලුන් ය. ඔවුන්ගේ අවධානය ස්වකීය නම්බුකාර වහලුන් ගැන නැතහොත් ඒ පන්තිය ගැන මිස අවනම්බුකාර නින්දා සහගත යන එන මං නැති වහලුන් ගැන නොවේය. නින්දා සහගත වහලුන් ඒ ප්‍රතිපත්ති තීරණ නිසා සදාකාලික පීඩාවෙන් යුත් පීඩිතයින් ම ය. ‘දුවන්නන් වාලේ කෙට එළදෙනකුත් දිව්වා’ යන කියමන මතක් වෙන්නේ අර නම්බුකාර වහලුන්ට ආවඩන අනුවයන මැද හෝ අතරමැද වහලුන් ද සිටින නිසා ය.

වෙළඳපොළ තර්කනය මත පදනම්ව, බිලියන ගණනක් වූ මේ නින්දා සහගත පීඩිත වහලුන් සිතාමතාම නොසලකා හැරීම සහ මග හැර යෑම මේ වනවිට ලෝක පුරුද්දක් වී ඇත. ලෝකයේ දියුණු නොදියුණු සියලු රටවල් අසරණයින් සහ පීඩිතයින් නොසලකා හැරීම සහ මගහැර යෑම අතින් එක හා සමානය.  වෙළඳාම කේන්ද්‍රීය මේ ප්‍රතිපත්ති තීරණ නිසා ලෝකයේ සෑම රටකම මිලියන ගණනින් පුද්ගලයින්ගේ රැකියා, කොරෝනාවලට පෙරත් කොරෝනා කාලයේත් ඉන් පසුවත් අහිමි වෙන්නේ දැනටමත් ඒ රටවල ඇති මිලියන ගණනින් වූ රැකියා වියුක්ති මට්ටම තුන් හතර ගුණයකින් වැඩි කරමිනි. මේ මා ඉහත කියූ මග හැරීමේ සහ නොසලකා හැරීමේ ප්‍රථිපල ය.

අපේ රටේ දරුවන්ට පාසලත් අහිමි වෙයි

කොරෝනා කාලයේ වෙළඳපොළ කේන්ද්‍රීය ප්‍රතිපත්ති තීන්දු මගින්, තීරණාත්මකව නොසලකා හරින, මග හරින අලුත්ම කණ්ඩායම සිසුන් ය. ක්‍රය ශක්තිය නැතහොත් මිළ දී ගැනීමේ හැකියාව ‘ඇත්තෝ ඉගෙන ගනිව් නැත්තෝ හුල්ලපියව්, හඬපියව්’ යන ඉහත විධානය නැවත සිහියට ගනිමු. 1948 මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අනුව සෑම අයෙකුටම අධ්‍යාපනය ලැබීමේ උල්ලංඝනය කල නොහැකි අයිතියක් ඇත. මෙම අයිතිය, විශේෂයෙන්ම රාජ්‍යයකට කිසිසේත් මග හැර යා නොහැකිය. මේ විශ්ව ප්‍රකාශණයට ගරු කරන රටවල් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවලට  ජනයාගේ මුලික අයිතීන් පිලිබඳ වගන්ති එකතු කිරීම සුලබ කරුණක් විය. ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඊට ගරුකොට ව්‍යවස්ථාවේ පස්වැනි පරිච්ඡේදය ඒ සඳහා ම වෙන්කොට ඇත. වගන්ති කීපයකින් යුත් ඒ පරිච්ඡේදයේ 27(2) ඌ වගන්තියට අනුව “නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අධ්‍යාපනයේ සෑම අවස්ථාවක දී ම සර්ව සාධාරණ හා සමාන ඉඩප්‍රස්තා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම” ට රජය ඇප කැප වී ඇත්තේ ය. එසේම පුරවැසියන්ට දියුණු වීමට සම අවස්ථා සැලසීම, ළමුන් සහ තරුණයින් වෙනස්කම්වලට පාත්‍ර කිරීමෙන් ආරක්ෂා කිරීම සහ ඔවුනගේ ශුභ සිද්ධිය සැලසීම රාජ්‍යයේ වගකීම බව එහි  6 සහ 13 වගන්තිවල සඳහන්ය.

ඔන්ලයින් අධ්‍යාපනය ගැන අප සලකා බැලිය යුත්තේ මෙවැනි පසුබිමකය. 2017 මහබැංකු වාර්තාවට අනුව මෙරට ශිෂ්‍ය සංඛ්‍යාව හතළිස්පන්ලක්ෂ හතළිස්එක්දහස් අසුදෙකකි (45,41,082). මේ අයගෙන් කී දෙනෙකුට ඔන්ලයින් ටීචින් වෙළඳපොළ සමඟ සම්බන්ධ වීමේ ක්‍රය ශක්තිය තිබෙනවාද නැත්ද යන්න ඉහත සඳහන් කල සංඛ්‍යාදත්ත තුළින් අපට මනාව පැහැදිළි වන්නකි. නමුත් මේ මොහොතේ ධනේශ්වර අර්බුධයේ අලුමතින් නැගිටින කොරෝනා ධනවාදය ශ්‍රම ශක්තිය නැතිවුන් සහ ක්‍රය ශක්තිය නැතිවුන් මිහිමතින් අතුගා දැමීමේ මෙහෙයුමක නිරතව සිටී.

මොන්ටිසෝරි දරුවන්ගේ සිට පශ්චාත් උපාධි සිසුන් දක්වා ක්‍රියාත්මක ඔන්ලයින් ටීචින් යනු එකී මෙහෙයුමේ එක් පෙරමුණක් යැයි සිතීම වැරදිද? “ආදරණීය ටීචර්” කවියෙන් ප්‍රකාශ වන්නේ ඒ මෙහෙයුමෙන් පීඩාවට අසරණකමට ලක්වී පැත්තකට තල්ලුවී කොන් වී රාජ්‍යය වෙතින් ඈත් වී මියයමින් සිටින පරපුරක හෝ සමාජ තීරුවක විලාපය හෝ සාපය යැයි මට සිතේ. ඒ විලාපයෙන් ඇහෙන්නේ ප්‍රදීපා ධර්මදාස ගයන “මේන් අපේ ඉස්කෝලේ” නොව දුගී දුප්පත් දරුවන්ගෙන් ගිලිහී ඈතට යන ‘ආන් අපේ ඉස්කෝලේ’ යන්නය.

මේ විලාපය සහ සාපය මැදින් නැගිටින ඔන්ලයින් කොම්පැණි සිහි ගන්වන්නේ 2007 දී නයෝමි ක්ලයින් ඉදිරිපත් කළ “ආපදා ධනවාදය’ පිලිබඳ අදහසය. මතභේදාත්මක හා සැක සහිත වෙළඳපොළ කේන්ද්‍රීය නව-ලිබරල් ධනේශ්වර ප්‍රතිපත්ති පරීක්ෂාවට ලක් කිරීම සහ ස්ථාපිත කිරීම සඳහා ආපදා යොදාගන්නා ආකාරයත් පොදුජන මනස වෙන පැත්තකට යොමුකරවන ආකාරයත් බෙහෙවින්ම උපක්‍රමික ය. ඒ නිසා මේ මොහොත මා නම් කරන්නේ ‘කොරෝනා ධනවාදය’ ලෙසය. මුද්‍රණ ශිල්ප ධනවාදය ගැන කියූ බෙනඩික්ට් ඇන්ඩර්සන් අනුව ගොස් නම් කළොත් මේ ‘ඔන්ලයින් ධනවාදය’ ය. ධනවාදය කොරෝනා නිසා මිය යන්නේ නැත. එය කොරෝනා පොහොරට ගෙන නව රුපකායක් නිර්මාණය කර ගනිමින් පෝෂණය වෙයි. ඒ රූපකාය ලිබරල් ප්‍රතිමාන වලලා දමන්නේ ගුණ කථනයක් තබා පෙට්ටියක් වත් නොමැතිව ගැඹුරු හුදකලාවක ය. ආදරණීය ටීචර්, දරුවන්ට ඉස්කෝලය වත් ඉතුරු කරන්න.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක (ලංකාදීප)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435