දාහක් නොවටින මිනිස්සු

වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිදු කෙරෙන උද්ඝෝෂණ,විරෝධතා හා වැඩ වර්ජන දැන් වතු ආශ්‍රිතව සුලභව දක්නට ලැබුණත් මාස ගණනාවක් තිස්සේ එම ප්‍රශ්නය ඉදිරියට ඇදෙමින් පවතින්නේ ස්ථිර විසඳුමක් මෙතෙක් නොලැබීම හේතුවෙනි.දේශපාලනික වශයෙන් එදිරිවාදීව නිතර කටයුතු කරන වතු වෘත්තිය සමිති සියල්ලම පාහේ මෙම වතු කම්කරු සටනේදී පොදු එකඟතාවකින් කටයුතු කරන තත්ත්වයක් දක්නට ලැබෙන අතර එයට ප්‍රධාන හේතුව වතුකම්කරු වැටුප ඉහළ දැමිය යුතු බව අවිවාදිතව ඔවුන් සියලු දෙනා පිළිගැනීමය.වතු කම්කරු වැටපු ඉහළ දැමීම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා වතු වෘත්තිය සමිති හා සමාගම් විසි දෙකකට අයත් වතු හාම්පුතුන්ගේ සංගමය අතර ගිවිසුමක් ක්‍රියාත්මකය.එම ගිවිසුමට අනුව කම්කරු වැටුප ඉහළ දැමීම සිදු කෙරෙන්නේ වසර දෙකකට වරක්ය.ලංකා වතු කම්කරු සංගමය හා ලංකා ජාතික වතු කම්කරු සංගමය වතු වෘත්තිය සමිති නියෝජනය කරමින් මෙම සාකච්ඡාවලට සහභාගි වෙයි.සාමුහික ගිවිසුමට අනුව වතු කම්කරු වැටුප වසර දෙකකට වරක් ඉහළ දැමිය යුතු වුවද එය ඒ ආකාරයෙන්ම සිදු නොකෙරෙන්නේ ලෝක වෙළෙඳ පොළේ තේ මිල කඩා වැටීම ආදි කරුණු ඉදිරියට දමමින් වතු හාම්පුතුන්ගේ සංගමය ආදාළ ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීම මඟ හැරීම නිසාය.

දේශපාලන ගැට

මෙම ගිවිසුම නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවීමට වතු පාඩු ලැබීම මෙන්ම වතුකරයේ දේශපාලන පක්ෂ අතර පවතින බල අරගලයද හේතුවී තිබේ.වතුකරය තුළ බල අධිකාරියක් ගොඩනගා ගෙන සිටින ප්‍රධාන පක්ෂ සමඟ එකාබද්ධව ආණ්ඩු කරන දේශපාලන පක්ෂ වතු ජනතාව පාවිච්චි කරන්නේ ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරයේ ශක්තිය පෙන්වීම සඳහාය.ආණ්ඩුවට එක්ව ඇමැති ධූර ලබා ගන්නා වතුකරයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් වතු ජනතාව රැකීමට වඩා උත්සහ කරන්නේ ආණ්ඩුව රැකීමටය.විපක්ෂයට යන කණ්ඩායම සෑම විටම උත්සහ කරන්නේ වතු ප්‍රජව පාරට බස්සමින් අවුල් ඇතිකර දේශපාලන වාසි ගැනීමටය.මෙම තත්ත්වය තුළ දිනෙන් දින අසරණ තත්ත්වයට පත්වන්නේ වතු ජනතාවය.වතු කම්කරු වැටුප වසර දෙකින් දෙකට ඉහළ දැමීම සඳහා වන ගිවිසුමට වතු වෘත්තිය සමිති හා වතු හාම්පුතුන්ගේ සංගමය අත්සන් තැබුවේ වසර 1999 දීය.එම ගිවිසුම ප්‍රකාරව වතු කම්කරු වැටුප 2015 අප්‍රේල මස ඉහළ දැමිය යුතුව තිබුණත් වතු පාඩු ලබන බව කියමින් වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි බව හාම්පුතුන්ගේ සංගමය පැවසුවේය.අවසානයේ එම වැටුප් වැඩිවීම සිදුවූයේ 2016 ඔක්තෝම්බර් මස 15 දිනය.ඒ අනුව වතුකම්කරු ජනතාවගේ ඊළඟ වැටුප් වැඩිවීම සිදු කළ යුතව තිබුණේ 2018 ඔක්තෝම්බර් මස 15 දිනය.එහෙත් එම වැටුප් වැඩිවීම මේවනතුරුත් සිදුකර නොමැත.

වතුකම්කරුවකුට රාජ්‍ය සේවයේ අවම වැටුප වන රුපියල් 32040.00 ක මුදල ලබා දෙන ලෙස අපි වසර ගණනාවක පටන් ඉල්ලීම් කරන්නෙමු.වතුකරය තුළ දෛනික වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක බැවින් මෙම මුදල වැඩකරන දින 25 න් බෙදා දිනකට රුපියල් 1281.00 ක වැටුපක් වතුකම්කරුවෙකුට ලබාදීම සඳහා වන අරගලයට අපි ප්‍රවිශ්ඨ වීමු.එම සටනට වතුකරය නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ වල නියෝජිතයින් එක් නොවූවත් අද රුපියල් දහසක දෛනික වැටුප සඳහා වන සටනට ඔවුන් පිවිස සිටී.පසුගිය ඔක්තෝම්බර් මස 26 දින සිදුවූ ආණ්ඩු පෙරළිය වතුකම්කරු වැටුප් අරගලයේ රිද්මයට බාධාවක් වෙත්දී වතු හාම්පුතුන් කියා සිටින්නෙ රුපියල් 940.00 කට වැඩි මුදලක් ගෙවිය නොහැකි බවකි. මහින්ද රාජපක්ෂ මහතා අගමැති සමයේ ආණ්ඩුව සමඟ එක්ව සිටි තොණ්ඩමාන් මහතා වතු කම්කරුවන්ට රුපියල් දහසක වැටුප් වැඩිවීම ලබාදෙන බවට පොරොන්දු වෙමින් වර්ජන සිදු නොකරන ලෙස ඉල්ලීමක් කර තිබිණි.දෙසැම්බර් මස 03 දින අධිකරණය මගින් අගමැති ධූරයේ හා ඇමැති ධූර වල කටයුතු කිරීම වලකාලමින් මහින්ද රාජපක්ෂ මහතා හා ඇමැති මණ්ඩලයට ලබාදුන් වාරණ නියෝගයත් සමඟ තොණ්ඩමාන් මහතා යළිත් වතුකරය තුළ වැටුප් වැඩි වීමක් ඉල්ලා කම්කරුවන් උද්ඝෝෂණ වලට යොමු කිරීමට පියවර ගනු ලැබීය.

කඩවුණු පොරොන්දු

වතු කම්කරු සටන් බොහෝ විට දේශපාලන මුහුණුවරක් ගන්නේ ඒවාට නායකත්වය දෙනු ලබන පිරිස් තුළ ඇති පහත් අරමුණු නිසාය.ජනපති මැදිහත්ව මෙම ගැටලුවට මෙම මස 19 දින ස්ථිර විසඳුමක් ලබාදෙන බව තොණ්ඩමාන් මහතා ප්‍රකාශ කර තිබුණත් එයද මේවන තුරු ඉටුවී නොමැත.වතුකම්කරු වැටුප අවම වශයෙන් රුපියල් දහස දක්වා හෝ වැඩිවිය යුත්තේ ඇයි යන්න සියල්ලට පෙර විමසා බැලිය යුත්තේ තම වතු පාඩු ලබත්දී වතු කම්කරුවන් මේ ආකාර වැටුප් වැඩි කිරීමක් අපේක්ෂා කිරීම අසාධාරණ බව වතුහාම්පුතුන්ගේ සංගමය පවසන බැවිනි.

ආණ්ඩුවේ කරඇරීම

මේවන විට වතු කම්කරුවෙකුගේ දෛනික මූලික වැටුප රුපියල් 500.00 කි.අර්ථ සාධකයට,සේවා භාරකාර අරමුදලට,ප්‍රසූත හා පාරිතෝෂික දීමනා ආදි සියල්ලට අදාළ මුදල් ගෙවීම් කරන්නේ මෙම මුදල පාදක කර ගෙනය.මාසයක වැඩ දින ගණනින් 75 % ක් ආවරණය කළ පසු පැමිණීමේ දීමනාව වශයෙන් දෛනික වැටුපට රුපියල් 60.00 ක් එකතු වෙයි.මිල මත රඳන දීමනාව ලෙස රුපියල් 30.00 ක් හා වැඩ ඉලක්ක සපුරාලූ විට තවත් රුපියල් 140.00 ක මුදලක්ද එකතු වන අතර මේ සියල්ල ගත්විට දෛනික කම්කරු වැටුප රුපියල් 730.00 කි. අදාළ ඉලක්ක පහසුවෙන් ළඟා විය නොහැකි ඉලක්කය.එම ඉලක්ක පසුකර අමතරව කඩන තේ කිලෝවක් වෙනුවෙන් රුපියල් 25.00 බැගින් ලබා දීමට වතු පාලනාධිකාරිය කටයුතු කරන බව පැවසුවත් එම ඉලක්කය වෙත යන්නේ සමස්ත වතු කම්කරුවන් ගෙන් 35 % ටත් අඩු පිරිසකි.තේ දලු නෙළීමේදී ඒවා එකතු කරන පොහොර උරයේ බරට කිලෝ ග්‍රෑරූම් දෙකක් අඩු කරයි.ක්ෂේත්‍රයේදී හා කර්මාන්ත ශාලාවේදී තේ දලු කිරන අතර අවසන් ගණන් ගැනීම වන්නේ කර්මාන්ත ශාලාවේ කිරන විට ඇති බරය.පාලකයින් සෑම විටම උත්සාහ කරන්නේ මෙම බර නොයෙක් හේතු දක්වමින් අඩු කරන්නටය.

වර්තමානය වන විට වතු කම්කරු රැකියාවේ ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සේවය කරති.මෙයට දශක දෙකකට පමණ පෙර ලක්ෂ පහක පමණ අගයක පැවැති මෙම සංඛ්‍යාව මෙලෙස අඩු වීමට ප්‍රධාන හේතුවක වතු සේවකයින් ලබන්නාවූ අඩු වැටුපය.තරුණ පරපුර සීග්‍රයෙන් වතු රැකියාවන් ගෙන් දුරස් වෙමින් සිටිති.තවත් පැත්තකින් වතු සමාගම් නිසි ලෙස තේ වතු පාලනය නොකිරීම නිසා සමස්ත වතු සංඛ්‍යාවෙන් 80 % පමණම පවතින්නේ කැලෑ බවට පත් වෙමිනි.මේ නිසා වතු කම්කරු ප්‍රජාවට ඒවාහි පහසුවෙන් තේ දලු නෙළීමේ හැකියාවක් නොපවතී.මහනුවර,මාතලේ,නුවරඑළිය,බදුල්ල,රත්නපුර,ගාල්ල,කළුතර ආදි ප්‍රදේශ රැසක ඇති තේ වතු අද පත්ව තිබෙන්නේ අභ­ාග්‍යසම්පන්න තත්තවයකටය.රජය මෙම වතු සමාගම් වලට බදු දීමෙන් පසු ඔවුන් ඒවා නිසි ලෙස පාලනය කරන්නේද යන්න සොයා බැලීමක් නොකිරීම බරපතළ අඩුපාඩුවකි.නිවසක් කුලියට හෝ බද්දට දුන් පසු නිවෙස් හිමියා එම නිවස කුළියට හෝ බද්ධට ගත් පුද්ගලයා පරිහරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ විමසිලිමත් වෙන්නා සේ රජයද සමාගම් වල කාර්ය අධීක්ෂණය කළ යුතුව ඇත.මේ සඳහා වැවිලි අධීක්ෂණ මණ්ඩලයක් රජය මගින් පත්කර ඇතත් එවැනි මණ්ඩලයක් පවතින බව හෝ කිසිවකු දන්නේ නැත.

අඩු පඩියේ අතුරුපල

දෛනික වැටුප් ලබන වතු ප්‍රජාව අත්‍යවශයය ආහාර ද්‍රව්‍යය මිලට ගන්නේ සුළු ප්‍රමාණ වලිනි.සීනි කිලෝවක සාමන්‍ය මිල රුපියල් 105.00 ක් වන අවස්ථාවක වතුකම්කරුවන්ට සීනි එම මිලට ගැනීමට හැකි වන්නේ නැත.වතු කරයේ කුඩා කඩ වලින් ඔවුන් මිලට ගන්නේ සීනී,පරිප්පු,අල,මිරිස්,කරවල වැනි දේ ග්‍රෑම් 100බැගින්වූ ප්‍රමාණ වලිනි.එලෙස අවස්ථා කිහිපයකදී සීනි මිලට ගන්නා විට සීනී කිලෝවක සඳහා රුපියල් 150.00 ක පමණ මුදලක් ඔවුන්ට ගෙවීමට සිදුවන බව සාමන්‍ය තත්ත්වයකි.මේ නිසා බඩු මිල ඔවුන්ට තදින් දැනෙන ප්‍රශ්නයක් බවට පත්ව ඇත.අඟහිඟකම් නිසා අද වතුකරය තුළ මන්ද පෝෂණය පවතින්නේ ඉහළ අගයකය.අඩුබර දරු උපත්,ළදරු මරණ අනුපාතය,මාතෘ මරණ,සියදිවි නසා ගැනීම් ආදි දර්ශක ඉහළ අගයක් වෙත තල්ලුවී යාමට වතු ජනතාවගේ ආර්ථික තත්ත්වය ප්‍රබල සාධකයක් බවට පත්ව තිබේ.පාසල් අධ්‍යාපනයට වඩා දැන් ළමුන් යොමුව තිබෙන්නේ පාසල් බැහැර අධ්‍යාපනයටය.පාසැල් ගුරුවරුද එම තැනට ළමුන් තල්ලු කර තිබේ.වතු ප්‍රජාවට මේ සඳහා මුදල් වැය කිරීමට හැකියාවක් නොමැති නිසා එම දරුවන්ගේ අධ්‍යාපනයද පවතින්නේ පහත් මට්ටමකය.අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන්නේ වතු ළමුන් ගෙන් 53 % කි.උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන පිරිස 12.5 % කි.වතුප්‍රජාවගේ දරුවන් ගෙන් විශ්ව විද්‍යාල වරම් ලබන සංඛ්‍යාව 2 % කටත් අඩුය.මේ සියල්ල පසුපස ඇති ප්‍රධාන ගැටලුව ජීවත් වීම සඳහා ප්‍රමාණවත් වැටුපක් නොලැඹීමය.

ප්‍රධාන වෘත්තිය සමිතිවලට නායකත්වය දෙන පක්ෂවල අර්ධ වහලුන්ගේ තත්ත්වයට වතු කම්කරුවන් පත්ව සිටිති.වර්තමානයේදී එම තත්ත්වයෙන් මිදීම සඳහා ඔවුන් කටයුතු කරමින් සිටීම යහපත් ප්‍රවණතාවකි.ශ්‍රීලංකාවේ තේ සඳහා ලෝක වෙළෙඳ පොළ කීර්තිමත් නමක් තිබේ.අදවන විට එම තත්ත්වයද අප වෙතින් ගිලිහී යමින් තිබෙන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිවල පවත්නා දුර්වලතා හේතුවෙනි.වතු පාලකයින් පැහැදිලි ලෙසම සිදු කරන්නේ ශ්‍රම සූරා කෑමකි.ජීවන වියදම ඉහළ යෑමත් සමඟ රුපියල් 730.00 කටත් අඩු වැටුපක් ගෙන පවුලකට ජීවත් විය හැකිද යන්න පිළිබඳ අප කල්පනා කර බැලිය යුතුය.මෙම ගැටලුව සම්බන්ධව වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොවීම නිසා අද වතු කම්කරුවන්ට මාර්ග හරස් කර ටයර් පුළුස්සමින් සාමාන්‍ය ජනතාව පවා අසීරුතාවට පත් කරමින් වර්ජන හා උද්ඝෝෂණ දියත් කිරීමට සිදුව ඇත.

සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් – ජේ.එම්.ඒ ප්‍රේමරත්න

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435