දැන්වත් සිහිබුද්ධියෙන් අනාගතය ගැන කතා කරමු

මේ විවෘත වෙළඳපල ආර්ථිකය ජාතික සංවර්ධන ක්‍රියාවලියක් නොවන අති දූෂිත නාගරික ක්‍රියාවලියක් බවත් ඒ සමගින් වන සමස්ථ රාජ්‍ය පාලනයම දූෂිත, අකාර්යක්ෂම හා දේශපාලනයට යටවී ඇති ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධයක් නොමැති පාලනයක් බවත් කොරෝනා වයිරසය විසින් තෙමසක් යත්ම  ඔප්පුකර අවසන්ය.

මැතිවරණයක් පැවැත්වීමට එරෙහිව විපක්ෂයේ විවිධ කණ්ඩායම් ගොනු කළ පෙත්සම් සියල්ල සහ විසුරුවා හැර ඇති පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කරනු ලැබූ ඉල්ලීම් සියල්ලම වැඩි දුර විභාගයට තරම් නොවේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච විනිසුරු මඬුල්ල විසින් ඊයේ ජුනි 02 වන දා ඒකමතිකව නිෂ්ප්‍රභා කළේය. ඒ සමග පාර්ලිමේන්තුවක් නොමැතිව පසුගිය මාර්තු 02 වන දින සිට ගෙන යන වැඩබලන ආණ්ඩු පාලනය අවම වශයෙන් ලබන අගෝස්තු දක්වා එසේම පවතිනු ඇත.

විපක්ෂ පිරිස් ඉදිරිපත් කළ ඉල්ලීමෙහි ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් නොමැති බැව් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොවුනත් පැහැදිලි වන්නකි. ඔවුන්ගේ ඉල්ලීමෙහි තිබූයේ වැඩබලන තාවකාලික ආණ්ඩුව එළෙසින් තිබියදීම ජනතාවගේ කිසිදු අනුමැතියකින් තොරව පැරණි මන්ත්‍රීකම් අධිකරණයෙන් යළි බලාත්මක කරගැනීමේ ඉතා පටු සහ අවස්ථාවාදී වුවමනාවකි. ඔවුන්ගේ ඉල්ලීම ලැබුණි නම් විය හැකිව තිබූයේ යළි කෙදිනක හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන තෙක් මන්ත්‍රී ආයු කාලය ව්‍යවස්ථාමය වශයෙන් අවසන් වූ පිරිසක් තාවකාලික වැඩ බලන ඇමති මණ්ඩලයක් සමග යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස රැස්වීම පමණි. එහි තිබිය හැකි ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.

විපක්ෂයේ දේශපාලනය විය යුත්තේ මැතිවරණ කල් තැබීමට මැදිහත්වීම නොව, හැකි ඉක්මණින් ජනතාවට මැතිවරණයක් ලබා දීමය. මැතිවරණයකින් තමන්ගේ ශක්තිය ගොඩ නගා ගැනීමය. එබැවින් මේ කොරෝනා වසංගතය හමුවේ විපක්ෂයේ වගකීම වන්නේ එය පාලනය කරගනිමින් මැතිවරණයක් පැවැත්වීමේ ඔවුන්ගේ සැළසුම ඉදිරිපත් කිරීමය. මේ විපක්ෂය එවැනි දේශපාලනයක් දන්නේ නැත. මෙවැනි ව්‍යසනකාරී පසුබිමක ජනතාවට ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි සොයන්නේද නැත. එබැවින් බරපතලම ප්‍රශ්නය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාසයක් නොමැති ආණ්ඩුවක් පමණක් නොව, වඳ පීදුණු විපක්ෂයක්ද තහවුරුව තිබීමය.

කොරෝනාව විසින් ලොකු පොඩි සියලු රටවල් ගෝලීය ආර්ථික අර්බූදයකට තල්ලුකර ඇති මේ අවදියේ පසුගිය මැතිවරණ වලදී මෙන් නැවතත් “හොඳ නායකයින්” සෙවීමේ කිහිපවර අසාර්ථකවූ විසඳුම වලංගු නොවන බැව් තේරුම්ගත යුතුය. එහි බංකොලොත්කම තිබූයේ විවෘත ජාවාරම්කාර වෙළඳපල ආර්ථිකය විසින් සියලු සමාජීය, දේශපාලනික හා රාජ්‍ය ආයතන ගිල ගෙන හමාරව ඇති බව සංවාදයට නොගෙන, ඒ දෙස නොබලා ආණ්ඩු පාලනය බාරදීමට වැඩපිළිවෙලක් නැති කවුරුන් හෝ ඉදිරිපත් කිරීමෙහිය. ඒ හැම විටම සංවර්ධන වැඩපිළිවෙලක් ලෙස මැතිවරණයට ඉදිරිපත් කෙරෙන්නේ පවතින බරපතල සමාජ ආර්ථික අර්බූද සඳහා අවශ්‍ය විසඳුම් නොව, මැතිවරණය සඳහා පොරොන්දු සමූහයකි.

සාර්ථක දියුණු අනාගතයක් සඳහා සංවර්ධන ක්‍රියාවලියක් සකසා ගැනීමට නම්, මේ සමාජය ඒ  වෙනුවෙන් බරපතල කැප කිරීමක් කළ යුතුව ඇත. එය යන එන ගමන් කළ හැක්කක් හෝ අනුන්ට කොන්තරාත් දීමට හැකි කාර්යභාරයක් හෝ නොවන බවද තේරුම්ගත යුතුය. මේ සමාජය ඒ  වෙනුවෙන් බරපතල කැප කිරීමක් කළ යුතුව ඇත.

මෙතැනින් එහාට යා හැක්කේ ඇත්ත සමස්ථ අර්බූදයට ඉදිරිපත් කරන ප්‍රායෝගික විසඳුම් සමගින් පමණි. සමස්ථ අර්බූදය විසඳීමේදී මූලික වශයෙන් බරපතල කාරණා දෙකක් පිළිබඳව ඉතා දියුණු මෙන්ම තියුණු සමාජ අවධානයක් තිබිය යුතුය. ඒ වෙනුවෙන් සැළකිය යුතු කාලයක්ද වැය කළ යුතුය.

  1. 1.පුළුල් ජාතික සංවර්ධන සැළසුමකින් තොරව අනාගතයක් නොමැති බැව් මේ සමාජය තේරුම්ගත යුතුය. එය අති දූෂිත පක්ෂවල ජාවාරම්කාර දේශපාලන නායකයින්ට බාරදිය හැකි කාර්යභාරයක් නොවන බවත් තේරුම්ගත යුතුය. ජාතික සංවර්ධනය යනු සියලු රටවැසියන්ට සමානව සළකන්නාවූත් සමාන සමාජ ආර්ථික අවස්ථා සැමට ලබා දෙන්නාවූත් සියල්ලන්ගේ ජීවන පැවැත්ම හා ජීවන තත්ත්වය ක්‍රමානුකූලව දියුණු කෙරෙන ජාතික ආර්ථික ක්‍රියාවලියකි. එය සමාජ කතිකාවක් ඔස්සේ සැකසිය යුත්තකි.
  1. 2.ජාතික සංවර්ධනයක් සඳහා කතිකා කිරීම පමණක් නොව,එවැනි සැළසුමක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමත් ජන සහභාගිත්වයකින් තොරව කළ හැකි නොවේ. එබැවින් ජාතික සංවර්ධන සැළසුම සමගින් ජන සහභාගි නව ආණ්ඩු පාලන ක්‍රමයක්ද ස්ථාපිත කරගත යුතුව ඇත. ඒ වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදීමේ වගකීම හා කාර්ය, කණ්ඩායමකට හෝ පක්ෂයකට බාරදිය නොහැකි සමාජ වගකීමක් බවද අප තේරුම්ගත යුතුය. එනිසා සංවර්ධන කතිකාව සමග ඊට අවශ්‍ය ජන සහභාගි පාලන ක්‍රමය සඳහාවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයද ආරම්භ විය යුතුව ඇත. 

ඒ සඳහාවන පූර්විකාවක් ලෙස මෙය ලියන්නට පටන් ගත්තේ මාර්තු 02 වන දින පාර්ලිමේන්තුව ව්‍යවස්ථානුකූලව විසුරුවා හැරියායින් පසුව, ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ නායකයින්ගේ අවධානය සඳහා ය. එහෙත් මෙය සම්පූර්ණ කිරීමට පෙර මැතිවරණය කල් තැබූවෙන් මෙය ලියා සම්පූර්ණ කිරීමද කල් තැබිණ. දැන් මෙය සම්පූර්ණ කරනුයේ කොරෝනා වයිරසය විසින් සියලු අර්බූද ප්‍රසිද්ධ වේදිකාවට රැගෙන විත් ඇති විටෙකය.

“ජාතික සංවර්ධනය” සඳහා දුප්පත්කම නිවැරදිව හා අවංකව ආමන්ත්‍රණය කිරීමේ අවශ්‍යතාව

වත්මන් ජනාධිපති විසින් නගරය හා ගම අතර වත්කම් බෙදී යාමේ විෂමතාව ගැන කිහිපවර අවධානය යොමු කරනු ලැබිණි. එහෙත් එය මේ විවෘත වෙළඳපල සමගින් කළ හැකි නොවේ. මේ විවෘත වෙළඳපල ආර්ථිකය, ග්‍රාමීය දිළිඳුකම වර්ධනය කරන්නකි. එනිසා එය හුදෙක් වත්කම් බෙදී යාම පිළිබඳ ගැටළුවක්ම නොවේ. එය දුප්පත්කම නිවැරදිව හඳුනා නොගැනීමේ විවෘත වෙළඳපල ආර්ථිකය වෙනුවෙන් නිර්මාණය කෙරෙන  මහා මතවාදී ආරවුලකි.

මේ රටේ දුප්පත්කම ගණන් හදන්නේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්ම මහත්මීන් විසින් ගණනය කරන දරිද්‍රතා රේඛාවට අනුවය. පසුගිය (2020) ජනවාරි මාසයේ එක් පුද්ගලයෙකු විසින් මාසයක් තුල උපයනු ලබණ රුපියල් 5,021 ක ආදායම දරිද්‍රතාව තීන්දු කිරීමේ උපරිම ආදායම් මට්ටම ලෙස ඔවුහු සැළකූහ. ඔවුන්ගේ ඇගයුමට අනුව රු. 5,022 ක් උපයන්නෙකු දුප්පතෙකු නොවේ.  මෙමගින් සිදු කෙරෙන්නේ මේ රටේ මිලියන 21 ක ජනතාවගෙන් දුප්පතුන් ඇත්තේ සියයට 4.1 ක් යැයි කීමය. එනම් මිලියන 21 කින් දුප්පතුන් ඉන්නේ 861,000 ක් පමණකැයි කීමය.

දුප්පත්කම තුරන් කිරීමේ අවංක වැදගත් පියවර කිසිත් නොවන්නේ ඒ සඳහා තාර්කික යතාර්ථවාදී ඇගයුමක්, පිවිසුමක් නැති හෙයිනි. එය මහ බැංකුවේ සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු හා දත්ත මගින් හෙළි කෙරෙන්නකි. මේ රටේ ඒක පුද්ගල ආදායම 2019 වාර්ෂය ආරම්භයේදී ඇමෙරිකානු ඩොලර 4,102 ක් විය. ඒ අනුව මාසික ඒක පුද්ගල ආදායම රුපියල් වලින් 61,530 ක් විය.

එය සමග මෙය සැසඳූ විට කතාව මෙවැනිය. 2017 අධ්‍යාපන අමාත්‍යාංශයේ සංගණනයට අනුව ගුරුවර ගුරුවරියන් 2,41,500 කි. ඔවුන්ගෙන් සියයට 53 ට වැඩි ප්‍රතිශතයක් නැතිනම් 1,29,600 ට වැඩි සංඛ්‍යාවක් පුහුණු ගුරුවරුය. උපාධිධාරින්ද ඇතුළුව ගුරුවරුන් සියයට 97 කි. උපාධිධාරි ගුරුවරුන් අවුරුදු 20 ක සේවයට පසුව ලබන මාසික වැටුප රුපියල් 44,000 ක් පමණ ය. පුහුණු ගුරුවරුන්ගේ වැටුප නියත වශයෙන් ඊට වඩා අඩුය. ඒ අනුව ඒක පුද්ගල ආදායම ලෙස ප්‍රකාශිත රුපියල් 61,530 ක මාසික ආදායම ගුරු වෘත්තියට අදාල නැත. සැබෑව නම්, පරිපාලන සේවාවේ ඉහළ ශ්‍රේණී, රේගු නිලධාරීන්, රජයේ සියලු වෛද්‍යවරුන් වැනි අතළොස්සකට හැර මේ කියන්නාවූ ඒක පුද්ගල ආදායම රාජ්‍ය සේවයට අදාල නොවේ.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව තෙවසරකට වරක් පවත්වන ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයට අනුව 2016 දී පවුලක ආදායම්ලාභීන් ඇත්තේ 1.8 ක් යැයි සළකමින් (සැමියා මෙන් බිරිඳ සම්පූර්ණ පුද්ගලයෙකු නොවේ යැයි වන පිළිගැනුමද?) පුද්ගලයින් 4.2 ක් ඉන්නා පවුලකට ආහාර ඇතුලු අනෙක් මූලික අවශ්‍යතා සඳහා ප්‍රධාන නගරයක නම් රුපියල් 77,337 ක් අවශ්‍ය විය. ග්‍රාමීය සමාජයේ නම් රුපියල් 51,377 ක් අවශ්‍ය විය. වැවිලිකරයේ ඒ සඳහා රුපියල් 34,851 ක් අවශ්‍ය විය. වාර්ෂික උද්ධමනය (සියයට 6.58) හේතුවෙන් පසුගිය වසරවල වියදම අඛණ්ඩව වැඩි වී ඇත. එබැවින් 2019 මාසික ඒක පුද්ගල ආදායම රුපයිල් 61,530 ක් වන විට, නගරයක ජීවත්වීමේ වියදම රුපියල් 82,441 ක් විය. ග්‍රාමීය සමාජයේ එය රුපියල් 54,767 ක් වන විට වැවිලිකරයේ එය රුපියල් 37,151 ක් විය.

මේ සංඛ්‍යා මගින් කියන්නේ කුමක්ද? අඩුම වියදමක් අවශ්‍ය යැයි පැවසෙන වැවිලිකරයේ පවා අවම මූලික අවශ්‍යතා සමගින් ජීවත් වන්නට පවුලකට මසකට රුපයිල් 37,151 ක් අවශ්‍ය වන බවය. එහෙත් සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දරිද්‍රතා රේඛාව සකසන්නේ මාසික ආදායම රුපියල් 5,021 ක් ලෙසිනි. ඔවුන්ගේ ගණන් බැලීමට අනුව පවුලක ආදායම්ලාභීන් වන්නේ පුද්ගලයින් 1.8 ක් නම්, ඒ පවුලේ මාසික ආදායම වන්නේ රුපියල් 9,038 ක් පමණි. එවැනි පවුලකට වැවිලිකරයේ පවා යාන්තමින් ජීවත් විය හැක්කේ සුමානයක් පමණි.

පෞද්ගලික අංශයේද එය එළෙසමය. ඇඟළුම් ක්ෂේත්‍රයේ කිසිදු සේවක සේවිකාවකට මසකට දින 26 ක් පමණ අතිකාල හා වෙනත් දීමනා සමග උපයා ගත හැක්කේ රුපියල් 25,000 ත් 30,000 ත් අතර ආදායමකි. නිදහස් වෙළඳ කලාපවල තත්ත්වයද එවැනිම ය. පෞද්ගලික අංශයේ එවැනි මට්ටමේ සේවක පිරිස මිලියන 02 ක් පමණ වේ. ඔවුන්ගේ අවම මාසික වැටුප තවමත් රුපියල් 13,500 කි.

විවෘත වෙළඳපල ආර්ථිකයෙහි දුප්පත්කම තීන්දු කෙරෙන්නේ විවෘත වෙළඳපල සාර්ථක යැයි කීමට අවශ්‍ය ලෙස සංඛ්‍යා ලේඛන හා දත්ත පෙළ ගැස්වීමෙනි. එබැවින් දුප්පත්කමට විසඳුම් කතා කිරීමක් නැත. ඇත්තේ එයද මැතිවරණ සඳහා අලෙවි කරගන්නේ කෙසේද යන්න පමණි.

ඉතිහාසය පුරා සමාජ-ආර්ථික “විෂමතාව” නඩත්තු කෙරුණේ ඒ වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු “මතවාද” සමගින් යැයි ප්‍රංශ ආර්ථික විද්‍යාඥ තොමස් පිකෙටි පවසන්නේ එනිසා වෙනි.
 

දුප්පත්කම තුරන් කිරීම ජාතික සංවර්ධනය පිළිබඳ කතාවකි. එයට දීර්ග කාලීන ජාතික සංවර්ධන ක්‍රියාවලියක් හරහා ස්ථාවර විසඳුම් අවශ්‍යවන අතර එතෙක් කෙටි කාලීන සංක්‍රමණික විසඳුම් කිහිපයක්ද අවශ්‍ය වේ.

  1. 1.දරිද්‍රතා රේඛාව මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට අදාල විය යුත්තකි. එබැවින් එය අවම වශයෙන් ප්‍රකාශිත ඒක පුද්ගල ආදායමෙන් සියයට33 ක් වන රුපියල් 20,000 ක් ලෙස තීන්දු කළ යුතුය.
  2. 2.නව දරිද්‍රතා රේඛාවට අනුව සමාජ සුභ සාධනය තීන්දු කළ යුත්තේ සමෘද්ධිය මගින් නොව,පාසල් අධ්‍යාපනය, පාසල් ගමනා ගමනය, ප්‍රජා සේඛ්‍ය සේවාව සමග පවුල් සෞඛ්‍ය සඳහාවන අවකාශ අනුවය. ඒ සඳහා සමෘද්ධි දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයකට අයත් නොවන විෂයක් වශයෙන් පාර්ලිමේන්තුවට වගකියන්නාවූ ස්වාධීන රාජ්‍ය සුභසාධන මණ්ඩලයක් ලෙස ස්ථාපිත කළ යුතුය.
  3. 3.රටේ ජාතික අවම මාසික වැටුප ප්‍රකාශිත ඒක පුද්ගල ආදායමෙන් අඩක් ලෙස රුපියල්30,000 ක් වශයෙන් තීන්දු කළ යුතුය.
  4. 4.සේවක අර්ථසාධක අරමුදල සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ආධාර කෙරෙන වැඩසටහන් සහිත වඩා පුළුල් සේවක සුභසාධන අරමුදලක් බවට පරිවර්තනය කළ යුතුය.

මේ අතර දිග හැර ගත යුතු ජාතික සංවර්ධන සැළසුම ගැන කතිකාවට, පදනම් විය යුතු මූලික සිද්ධාන්තයක් ඇත. එය මෙලෙසින් කැටි කරමි. අපගේ ජාතික වෙළඳපල ඉතා සීමිත වෙළඳපලකි. එය මත පමණක් අපගේ ජාතික සංවර්ධනය සම්පූර්ණ කළ නොහැක. සංකල්පීය වශයෙන් පමණක් නොව, ප්‍රායෝගික ලෝකයේද දියුණු සංවර්ධනයක් සඳහා විශාල මෙන්ම විවිධාංගීකරණය වූ වෙළඳපලක් සමග ජාතික සැළසුම් සිදුවිය යුතුය. එබැවින් “සාක් සංවිධානය” යළි පිළිසකර කරගැනීමේ දේශපාලන වගකීම බාර ගන්නා ජාතික සංවර්ධන සැළසුමකට අප ගොඩ විය යුතුව ඇත. සාක් සංවිධානය යළි පිළිසකර කිරීමේ වගකීම රාජ්‍ය නායකයින්ගේ වගකීමට ලඝු කළ නොහැක්කකි. එළෙසින් එය සිදු නොවන බවට වැදගත්ම සාක්ෂිය ඇත්තේ ඉන්දියානු න්‍යාය පත්‍රයට අනුව සාක් සංවිධානය අකර්මන්‍ය වන්නට අනෙක් රාජ්‍ය නායකයින් ඉඩ හැර තිබීමෙනි. එබැවින් අපගේ ජාතික සංවර්ධනය සඳහා සාක් සංවිධානය සක්‍රීය කලාපීය සංවිධානයක් කර ගැනීමේ වගකීම සමාජ වගකීමක් බවට පත් කරගත යුත්තකි.

එළෙසින් වන කලාපීය දෘෂ්ඨියෙහි ජාතික සංවර්ධන පදනම ලෙස,

  • ග්‍රාමීය ආර්ථිකය රැකියා උත්පාදනයක් සහිත නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කිරීම වෙනුවෙන් මැනවින් තීන්දු කරනු ලබන ක්ෂේත්‍ර සඳහා ආයෝජන යොමු කිරීම
  • ආයෝජකයින්ගේ ලාභය සඳහා ඔවුන්ගේ අභිමතය අනුව කෙරෙන අපනයන නිෂ්පාදනයෙන් ආර්ථිකය මුදවා,එය ජාතික හා කලාපීය අවශ්‍යතා සඳහාවන නිෂ්පාදන ආර්ථිකයක් ලෙස වර්ධනය කිරීමට සැළසුම් කරීම  
  • ආනයන හා අපනයන වෙළඳාම ජාතික අවශ්‍යතා වෙනුවෙන් නියාමනය කිරීම
  • අපනයන නිෂ්පාදන ශක්‍යතාවක් ඇති දේශීය සමාගම් සඳහා තරගකාරී ජාත්‍යන්තර හා කලාපීය වෙළඳපලට ඇතුල්විය හැකි ආකාරයේ විශේෂ සහන ලබාදීම
  • විධිමත් අධ්‍යාපනය,සෞඛ්‍ය හා මගී ප්‍රවාහනය ආණ්ඩු සතු සමාජ වගකීම් ලෙස පිළිගනිමින් එම සේවා සඳහා සැළසුම් කිරීමේදී ජාතික ප්‍රතිපත්තීන් වෙනුවන් ධවල පත්‍රිකා සකස් කිරීම

යොදා ගත යුතුය.

ඒ සියල්ල සමග වඩාත් වැදගත් වන්නේ ඒවා ඉටු කරගත හැකි ආණ්ඩු පාලනයකට නව ව්‍යුහයක් ස්ථාපිත කර ගැනීම ය. එම ව්‍යුහය වත්මනෙහි මෙන්ම ජනතා නියෝජනයේ තල තුනක පාලන ව්‍යුහයක් විය හැකිය. එහෙත් ඒවා වත්මනෙහි මෙන් නොව, ජන සහභාගි නියෝජන ආයතන ලෙස තහවුරු කළ යුතුව ඇත. ඒ සඳහා,

  • පළාත් පාලන ආයතන සියල්ල බහුතර ඡන්දයෙන් කෝට්ඨාශ සඳහා පත්වන සභිකයින්ගෙන් සමන්විත විය යුතුය.
  • සෑම පළාත් පාලන ආයතනයකම වාර්ෂික අයවැය,අදාල පළාත් පාලන ආයතනයේ සභිකයින් විසින් සම්මත කරගැනීමට පෙර එහි වරිපනම් බදු ගෙවන්නන් වෙත සවිස්තරව ඉදිරිපත්කර ඔවුන්ගේ ඡන්දයෙන් අනුමත කරගත යුතුය. ඒ සමග එයට සංශෝධන ඉදිරිපත් කිරීමේ බලයක්ද වරිපනම් බදු ගෙවන්නන්ට තිබිය යුතුය.
  • සම්මත වූ වාර්ෂික අයවැයට අනුව ක්‍රියාත්මක කෙරුණු කාර්යන් පිළිබඳ සවිස්තරාත්මක ප්‍රගති වාර්තාවක් අඩ වසරකින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.
  • පළාත් පාලන ආයතනවල නිල කාලය අවුරුදු04 ට වඩා වැඩි නොවිය යුතුය.

පළාත් සභාද ජන සහභාගි නියෝජන ආයතන ලෙස ඉහත අයුරින්ම ස්ථාපිත කළ යුතුය.

  • නිල කාලය වන අවුරුදු 04 සඳහාවන පළාත් සංවර්ධන සැළසුම සහ ඒ සඳහාවන මුදල් වෙන් කිරීම් සවිස්තරව පළාතේ ඡන්දදායකයන්ට ඉදිරිපත් කළ යුතුය. එයට සංශෝධන ඉදිරිපත් කිරීමේ බලය ඡන්දදායකයින්ට ලබාදිය යුතුය.
  • පළාත් සංවර්ධන සැළැස්මට සංශෝධන ඉදිරිපත් කිරීමේ අයිතිය ඇත්තේ එම සංශෝධන යෝජනා කරන පුද්ගලයා හෝ කණ්ඩායම තමන්ගේ දිස්ත්‍රික්කයෙන් ඒ සඳහා අවම ඡන්ද දාහක් දෙසතියක් ඇතුළත ලබා ගෙන ඉදිරිපත් කරන්නේ නම් පමණක් විය යුතුය.
  • එළෙසින් සංශෝධනය වන හෝ නොවන පළාත් සංවර්ධන සැළසුම පළාතේ මත විමසුමකින් සම්මත කළ යුතුය.
  • වසරකට වරක් පළාත් සංවර්ධන සැළසුමෙහි ප්‍රගති වාර්තාවක් පළාත් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.

එවැනි ජන සහභාගි නියෝජන සභා සමග අද මෙන් විශාල පාර්ලිමේන්තුවක් ඉදිරියේදී අවශ්‍ය වන්නේ නැත. පළාත් සංවර්ධන කාර්යන් ජන සහභාගිත්වය ඇතිව පළාත් ආයතන වෙත පැවරෙන හෙයින්, පාර්ලිමේන්තුවට ඉතිරි වන්නේ ජාතික ප්‍රතිපත්ති, ආරක්ෂක හා විදේශ කටයුතු සම්බන්ධ වගකීම් පමණි. එවැනි කාර්යන් වෙනුවෙන් මන්ත්‍රීවරුන් 225 ක පාර්ලිමේන්තුවක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවක් නැත.

හර්යානා ප්‍රාන්තයේ ජනගහනය අපට ඉතාම ආසන්නය. ඔවුන්ගේ ජනගහනය මිලියන 25 කි. දිස්ත්‍රික්ක 22 කි. ඔවුන් ලොක් සභාවෙහි නියෝජනය කිරීමට තෝරා පත්කර ගන්නේ මන්ත්‍රීවරුන් 10 ක් පමණි. රාජ්‍ය සභාවට 05 කි. එයට හේතුව ප්‍රාන්ත පාලනය සඳහා ඔවුන්ට මන්ත්‍රීවරුන් 90 කින් සැදුම් ලත් ප්‍රාන්ත ආණ්ඩුවක් තිබීමය. ප්‍රාන්තයේ සංවර්ධන හා පරිපාලන කාර්යන් භාරව ඇත්තේ ප්‍රාන්ත ආණ්ඩුවට මිස ලොක් සභාවට නොවන්නේය.  

ශ්‍රී ලංකා නව පාර්ලිමේන්තුව පත් කළ යුත්තේද එවැනි ජාතික කාර්යන් වෙනුවෙන් පමණි. ඒ සඳහා,

  • පාර්ලිමේන්තුවෙහි තෝරා පත් කෙරෙන උපරිම මන්ත්‍රී සංඛ්‍යාව විය යුත්තේ175 කි.
  • එක් දිස්ත්‍රික්කයකට ලක්ෂයකට එක නියෝජිතයෙකු වන ජනගහන අනුපාතයට අනුව එක් දිස්ත්‍රික්කයකට උපරිම මන්ත්‍රීවරුන්07 කු ලෙස පාර්ලිමේන්තුව වසර 05 ට මන්ත්‍රීවරුන් තෝරා පත් කළ යුතුය
  • මන්ත්‍රීවරයෙකු තව දුරටත් තමන් නියෝජනය නොකරන්නේ යැයි අදාල දිස්ත්‍රික්කයේ ඡන්දදායක පිරිස් සිතන්නේ නම්,දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් දෙදහසකගේ අත්සනින් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කෙරෙන පෙත්සමකින් එම මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ බලයක් තිබිය යුතුය. ඉන් තෙමසක් ඇතුළත එම පුරප්පාඩුව සඳහා අතුරු මැතිවරණයක් පැවැත්විය යුතු අතර, එහිදී ඔහුට/ඇයට යළි තරග කළ හැකිය
  • මන්ත්‍රීවරුන් දිස්ත්‍රික් සංවර්ධන කාර්යන්ගෙන් ඉවත් කළ යුතු අතර,දැනට ලබාදෙන විමධ්‍යගත දිස්ත්‍රික් මුදල් අදාල පළාත් සභාවට ලබා දිය යුතුය.

එවැනි ආණ්ඩු පාලන ව්‍යුහයක් සඳහා අනිවාර්යයෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය විය යුතුය. එය කුඩා විශේෂඥ කණ්ඩායමකින් කෙටුම්පත් කර සම්මත කරන්නක් නොවිය යුතුය.

  • පළමු කෙටුම්පත සඳහා නව පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන විද්වත් කමිටුවක් පත් කළ යුතුය. ඒ සඳහා තෙමසක පමණ නිශ්චිත කාලයක් තීන්දු කළ යුතුය. එම කාලය තුල කෙටුම්පත සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂා වලට නිවැරදිව පරිවර්තනය කර ප්‍රසිද්ධියට පත් කළ යුතුය
  • කෙටුම්පත තවත් තෙමසක කාලයක් විවෘත සමාජ සංවාදයට තැබිය යුතුය. එම කාලය තුල පුද්ගලයින්ට සහ සමාජයේ ඕනෑම කණ්ඩායමකට,සංවිධානයකට සංශෝධන ඉදිරිපත් කළ හැකිය. එවැනි සංශෝධන කෙටුම්පත වැඩි දියුණු කිරීම සඳහා පාදක කරගනු ලැබිය යුත්තේ ඡන්දදායකයින් 5,000 ගේ අත්සනින් ඉදිරිපත් කෙරෙන්නේ නම් පමණි.
  • අනතුරුව දෙවන කෙටුම්පත සමාජ කතිකාවට තැබිය යුතුය. එයටද තෙමසක පමණ කාලයක් තිබිය යුතුය. එම කාලය අවසානයේ ඡන්දදායකයින්50,000 ගේ අත්සනින් ඉදිරිපත් වන සංශෝධන පමණක් අවසන් කෙටුම්පත සඳහා බාරගත යුතුය.
  • අවසන් කෙටුම්පත සඳහා ජාතික මට්ටමින් ජනමත විමසුමක් පැවැත්විය යුතුය.

මෙය ඊළග මැතිවරණය දක්වා ප්‍රධාන දේශපාලන පක්ෂවල එකගතාව ලබා ගැනීමේ මූලික සටහනක් වන අතරම, සමාජ කතිකාවකට මුල පුරන්නක් ලෙසින්ද ඉදිරිපත් කරන්නකි.

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435