දැන් හොංකොං හි ශ‍්‍රී ලාංකික ගෘහ සේවකයන්ගේ අවම මාසික වැටුප රු. 76,300ක්

හොංකොං කම්කරු නීති අනුව එහි සේවය කරන ශ‍්‍රී ලාංකික ගෘහ සහායකයන්ට මේ මාසයේ සිට අවම වශයෙන් හොංකොං ඩොලර් 4,210ක (රු. 76,367ක* මාසික වැටුපක් හිමි විය යුතු ය. එහෙත් කාන්තාවන් රවටමින් කොළඹ පිහිටි රැුකියා ඒජන්සි හා හොංකොංහි සිටින ශ‍්‍රී ලාංකික බඳවා ගන්නන් ගෙවන්නේ ඊට වඩා අඩු වැටුපකි.

ශ‍්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය  හොංකොං නීතියෙන් තහවුරු කොට තිබෙන මෙම වැටුප නොගෙවීමට එරෙහිව කිසිදු නීතිමය රැකවරණයක් නො සපයයි. එමෙන් ම කාර්යාංශයේ නීතිමය බැඳීම් හා ඒජන්සිකරුවන්ගේ නීතිමය බැඳීම් එකිනෙකට ගැටෙන බව ද පෙනේ.

මේ අවුරුද්දේ අපේ‍්‍රල් මාසයේ සංක‍්‍රමණිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ සබැඳියාකරු ප‍්‍රාංශුවා ක‍්‍රිපෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට  ඉදිරිපත් කළ වාර්තාවක දී මෙසේ පැවසී ය: ”කාර්යාංශයේ කළමනාකාරිත්ව මණ්ඩලය තුළ බඳවා ගන්නා ඒජන්සිකරුවන්ට පමණට වැඩි නියෝජනයක් තිබෙන අතර සංක‍්‍රමණික කම්කරුවෝ කිසි සේත් නියෝජනය නො වෙති.”

එපමණක් නො වේ. කාන්තාවන් හා ළමයින් ඇතුළු පුද්ගලයන් නීති විරෝධී මිනිස් ජාවාරමට ගොදුරු කර ගැනීම වැළැක්වීම, මර්දනය කිරීම හා දණ්ඩනයට ලක් කිරීම පිළිබඳ ගිවිසුම් කෙටුම්පත ශ‍්‍රී ලංකාව විසින් අනුමත කරනු ලැබ නැත. සංක‍්‍රමණිකයන් භූමියෙන්, මුහුදින් හෝ ගුවනින් නීති විරෝධී ලෙස වෙනත් රටකට රැගෙන යාමට එරෙහි ගිවිසුම් කෙටුම්පතට ද ශ‍්‍රී ලංකාව අනුමැතිය පළ කර නැත.

එමෙන් ම ඒජන්සිකරුවන් රැුකියා කොන්ත‍්‍රාත්තුවක් සඳහා රු. 300,000 ඉක්මවා ගාස්තු අය කළත් ගෘහ සහායකයන් සේවයේ යොදවන්නේ අඩු වැටුපට බව ද ප‍්‍රකට ය. මේ ගෘහ සහායකයෝ බොහෝ විට හොංකොංහි වෙසෙන ඉන්දියානුවන්ගේ නිවෙස්වල ද සමහර විට චීනුන්ගේ නිවෙස්වල ද සේවයේ යෙදවෙති. හොංකොංහි සිටින සමහර ඉන්දියානුවන් ගෘහ සහායකයන්ට අඩුවෙන් වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කුප‍්‍රකට ය.

හොංකොං නීති අනුව රැුකියා ඒජන්තයෙකුට ගාස්තු වශයෙන් අය කළ හැක්කේ අවම වැටුපෙන් 10%ක් පමණකි. එහෙත් ශ‍්‍රී ලාංකික රැකියා ඒජන්තයන් මෙම කොන්දේසිය ගැන ගෘහ සාහයකයන් වීමට යන අය දැනුවත් කරන්නේ කලාතුරකිනි.

පසු ගිය බදාදා නිවේදනය කළ නව මාසික වැටුප අනුව කලින් පැවති මාසික වැටුපෙහි වැඩි වීමක් සිදුව ඇති බව පෙනේ. එහෙත් ඒ කලින් තිබූ හොංකොං ඩොලර් 4,110ක් වූ මාසික වැටුප සමග සසඳන කල 2.4%කින් පමණකි. ගෘහ සහායකයන්ගේ සංවිධාන වහා ම මෙය හෙළා දුටුවේ ය. මෙම සුළු වැටුප් වැඩි වීම ප‍්‍රමාණවත් නොවන බව ද අවම වශයෙන් එය හොංකොං ඩොලර් 4,500ක් වත් විය යුතු බව ද ඔවුහු කියා සිටියහ.

ඇරත් හොංකොං රජය පසු ගිය සතියේ විනිසුරුවන්ගේ හා අධිකරණ නිලධාරීන්ගේ 2015-16 වැටුප 4.41%කින් වැඩි කරන බව නිවේදනය කළේ ය. ඒ අතර ජූනි මාසයේ දී පහළ හා මධ්‍යම මට්ටම්වල සිවිල් සේවකයන්ට 4.62%ක වැටුප් වැඩි වීමක් ලබා දී තිබිණ.

නගරය තුළ විදේශීය ගෘහ සහායකයන් 330,000කට වඩා සේවය කළත් ඒ අතර ශ‍්‍රී ලාංකිකයන් සිටින්නේ සුළු පිරිසකි. හොංකොං රජයේ වාර්තාවල දැක්වෙන්නේ 2014 දී විදේශිකයන් 95,000කට වැඩි සංඛ්‍යාවකට ගෘහ සහායක වීසා ලබා දී ඇති බව යි. එහෙත් මොවුන් අතර ශ‍්‍රී ලාංකිකයන් සිටින්නේ 488ක් පමණකි.

හොංකොංහි දී සියලූ ගෘහ සහායකයන්ගේ මෙන් ම රියැදුරන්ගේ ද රැකියා කොන්ත‍්‍රාත්තු ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයේ තබා ගැනේ. කොන්ත‍්‍රාත්තුවක කාලය වසර දෙකක් වන අතර අයැදුම් කිරීමේ ක‍්‍රියාවලිය සති හයක් හෝ ඊට වඩා දීර්ඝ විය හැකි ය.

ගෘහ සහායකයෙකු සතියකට දින හයක් වැඩ කළ යුතු ය. සතියකට ලැබෙන්නේ එක් නිවාඩු දිනයක් පමණකි. සාමාන්‍යයෙන් ඉරිදා දිනය යි. එහෙත් වැඩ පැය ගණනට අදාළ රෙගුලාසි කිසිවක් නොමැති බැවින් අමතර පැය ගණනක් වැඩ කිරීමට පවා සිදු විය හැකි ය. හොංකොං

රැකියා ආඥා පණත පවසන්නේ ”අඛණ්ඩ කොන්ත‍්‍රාත්තුවක් යටතේ එක ම සේවා යෝජකයෙකු විසින් සේවයේ යොදවා ඇති සියලූ සේවකයන්ට සෑම දින හතක කාල සීමාව තුළ දී ම එක් දිනකට නොඅඩු නිවාඩුවක් ලබා දිය යුතු” බව යි.

රැකියාවක් සොයන ගෘහ සහායකයෙකු ඒ සඳහා අයැදුම් පතක් ඉදිරිපත් කරන විට ඔහුට ඒ සමග අවම වශයෙන් පෝරම හා ලියකියවිලි දුසිමක් වත් ඉදිරිපත් කිරීමට සිදු වේ. සේවා යෝජකයාගේ ආදායම සනාථ කරන ලියවිල්ල, රැුකියා අයැදුම්කරුගේ වීසා අයැදුම් පත, රැකියා කොන්ත‍්‍රාත්තුව, විදේශ ගමන් බලපත‍්‍රයේ පිටපත, සේවා යෝජකයාගේ හැඳුනුම් පතේ පිටපත, සේවා යෝජකයාගේ නිවසේ ලිපිනය සනාථ කරන ලියවිල්ල හා වාචික සාක්ෂි මේ අතරින් කිහිපයකි.

හොංකොංහි දෙවසරක රැකියා කොන්ත‍්‍රාත්තුව සම්පූර්ණ කළ විට ගෘහ සහායකයා සති දෙකක් ඇතුළත සියරට බලා යා යුතු ය. එම සේවා යෝජකයා යටතේ ම අලූත් කොන්ත‍්‍රාත්තුවක් මත යළි සේවයට යාමට අදහස් කළත් නව සේවා යෝජකයෙකු යටතේ නැවත සේවයට යාමට අදහස් කළත් ගෘහ සහායකයාට මෙම පියවර ගැනීමට සිදු වේ.

ඔවුන්ට නව සේවා යෝජකයෙකු යටතේ සේවයට යා හැකි බව සහ පවත්නා කොන්ත‍්‍රාත්තුව අවසන් වීමට මාසයකට පෙර වෙනත් සේවායෝජකයෙකු වෙත අයැදුම් පතක් ඉදිරිපත් කළ හැකි බව ආගමන විගමන නීතිවලින් කියැවේ. එහෙත් මෙවැනි අවස්ථාවල දී ගෘහ සහායකයා

තමන්ගේ වර්තමාන කොන්ත‍්‍රාන්තුව අවසන් වෙමින් තිබෙන බව හා ඒ බව නිසි පරිදි දැනුම් දී ඇති බව තහවුරු කරමින් සේවා යෝජකයාගෙන් ලබා ගත් ලිපියක් ද ඉදිරිපත් කළ යුතු ය. එමෙන් ම හොංකොහි රැුකියාවක් සොයන ගෘහ සහායකයෙකුට අවම වශයෙන් වසර දෙකක වත් සේවා පළපුරුද්දක් තිබිය යුතු ය.

කම්කරු දෙපාර්තමේන්තුවේ දත්තවලින් පෙනෙන්නේ අපේ‍්‍රල් මස අවසානය වන විට හොංකොංහි විදේශීය ගෘහ සහායකයන් 335,500කට වඩා සේවයේ නිරතව සිටි බව යි. ඉන් වැඩි කොටස පිලිපීනයන් (175,859ක් හෙවත් 52%ක්* හා ඉන්දුනීසියානුවන් (151,482ක් හෙවත් 45%ක්* ය. ඉතිරි කොටස තායිලන්තය, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය හා මියන්මාරය යන රටවලින් පැමිණි අය ය. හොංකොං ශ‍්‍රම බලකායෙන් 9%ක් ගෘහ සහායකයෝ ය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435