දිනකදී ගබ්සා 650ක්‌

සාපරාධී ගබ්සාවලට වැඩිපුරම යොමුවන්නේ විවාහක කාන්තාවන්

ලංකාවේ සාපරාධී ගබ්සාවන්ට වැඩිපුරම යොමුවන්නේ විවාහක කාන්තාවන් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ ගබ්සාව පිළිබඳ කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. එහිදී තවදුරටත් කතාකළ වෛද්‍ය සංජීව ගොඩකන්ද මහතා මෙසේද කීය.

ගබ්සාවන් විශාල ප්‍රමාණයක්‌ සිදුකරන රටක්‌ විදිහටයි ලංකාව සැලකෙන්නේ. දවසකට ලංකාවේ ගබ්සාවන් 650 ක්‌ විතර සිදුකෙරෙනවා. ලංකාවේ හරියටම ගබ්සාවන් කොච්චර ප්‍රමාණයක්‌ සිදුවෙනවද කියලා කියන්න බැහැ. මොකද මං කියපු ප්‍රමාණයට වඩා වැඩිවෙන්නත් පුළුවන්.

සාපරාධී ගබ්සාවන් නිසා මාතෘ මරණද සිදුවෙනවා. දැන් 2014 දී මාතෘ මරණ 112 ක්‌ සිදුවුණා. ඒකෙන් 14 ක්‌ම සිදුවුණේ නීති විරෝධී ගබ්සාවන් නිසා. මේ සාපරාධී ගබ්සාවන්ට වැඩිපුරම යොමුවෙන්නේ විවාහක කාන්තාවන්. තමන්ගේ පවුල සම්පූර්ණයි. තවත් දරුවෝ අවශ්‍ය නැහැ කියන කාන්තාවන් අනවශ්‍ය ගැබ් ගැනීමක්‌ වුණොත් මෙන්න මේ දේට යොමුවෙනවා.

ලංකාවේ රාජ්‍ය අංශය මගින් නොමිලේ පවුල් සෞඛ්‍ය සේවා සැපයුම සපයනවා. පවුල් සෞඛ්‍ය සැලසුම් ගැන අපි කියාදෙනවා. ඒවගේම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් නිවෙස්‌වලට ගිහින් නීති විරෝධී ගබ්සාවන් ගැන අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකරනවා. මෙච්චර දැනුවත් කරලත් ඒ අය ඒ දේවල් ඔළුවට ගන්නේ නැහැ.

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කේ. කරුණාතිලක මහතා

“අපි කරන ලද පර්යේෂණවලට අනුව දිනකට නීති විරෝධී ගබ්සාවන් 658 ක්‌ සිදුකෙරෙනවා. ඒ වගේම වසරකට නීති විරෝධී ගබ්සා කිරීම් 2,40,170 ක්‌ සිදුකෙරෙනවා. දැන් එන්න එන්නම ගබ්සාවන් වැඩිවෙලා තිබෙනවා. මේ හුඟක්‌ම අනාරක්‍ෂිතව ලිංගිකව හැසිරීමේ ප්‍රතිඵලය තමයි අනවසර ගබ්සා කිරීම්වලට හේතුවෙන්නේ.

“විශේෂයෙන්ම පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ක්‍රියාවට නැංවිය යුතුයි. ගුරුවරුන් දරුවන් මේ සම්බන්ධව දැනුවත් කරනවා නම් මෙවැනි නීති විරෝධී ගබ්සාකිරීම් ගැන කතා කරන්නට ලැබෙන එකක්‌ නැහැ. විශේෂයෙන් දැනුවත් කිරීම වැදගත්. වෙලා තියෙන්නේ ගුරුවරු මේවා ගැන දැනුවත් කරන්න දක්‌වන මැලිකම.

වෛද්‍ය කපිල ජයරත්න මහතා

සෑම වසරකම මේ නීති විරෝධී ගබ්සාවන් නිසා කාන්තාවන් 15 ක්‌ 20 ත් අතර ප්‍රමාණයක්‌ මියයනවා. ඒ වගේම වසරකට 20 ක්‌ 25 ක්‌ විතර කාන්තාවන් ගර්භණී සමය තුළ හෝ දරුවා ප්‍රසූත කළ වහාම සියදිවි හානි කරගන්නවා. මේකට හේතුව සමාජ ආර්ථික ප්‍රශ්න, අනියම් සම්බන්ධතා තවත් දරුවන් හදාගන්නේ නැහැ කියන මට්‌ටමේ ඉන්න කොට හිටි හැටියෙම අනවශ්‍ය ගැබ් ගැනීමක ප්‍රතිඵලයක්‌ ලෙස දරුවා බිහිකළාම දිවි නහගන්නවා. කොහොම නමුත් නිවැරදි පවුල් සැලසුම් අනුව කටයුතු කරනවානම් ඔබ මේ තරමට අමාරුවේ වැටෙන්නේ නැහැ.” පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඊ. ජයසූරිය මහතා

“නීති විරෝධී ගබ්සා කිරීම් සම්බන්ධයෙන් අපි මේ වසරේ (2016) මේ දක්‌වා කාලය තුළ වැටලීම් 12 ක්‌ සිදුකර තිබෙනවා. ඒ වගේම 2015 වසරේදී වැටලීම් 27 ක්‌, 2014 වසරේදී වැටලීම් 15 ක්‌, 2013 වසරේදී වැටලීම් 28 ක්‌, 2012 වසරේදී වැටලීම් 21 ක්‌, 2011 වසරේදී වැටලීම් 23 කර තිබෙනවා.

“ගබ්සා කිරීම සාපරාධී වරදක්‌. මවගේ ජීවිතය බේරාගැනීම සඳහා සද්භාවයෙන් ක්‍රියාකිරීම හැර ගබ්සාව තහනම්. දැන් ශ්‍රී ලංකා පොලිසියට ගබ්සාව සම්බන්ධයෙන් පැමිණිල්ලක්‌ එන්නේ නැති තරම්. පැමිණිල්ලක්‌ එන්න ඕන විමර්ශනය කරන්න. ගබ්සා මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන අය අල්ලන්න මහෙස්‌ත්‍රාත්වරයකුගෙන් නියෝගයක්‌ ලබාගත යුතුයි. ගබ්සා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන යන බවට අපට ආරංචියක්‌ ලැබුණොත් මුලින්ම කරන්නේ අපි ඒ ස්‌ථානය ගැන හොයන්න නිලධාරීන් ආවේක්‌ෂණ රාජකාරියේ යොදවන එකයි. එහෙම හොයලා ඒ ස්‌ථානයේ එහෙම දේවල් සිද්ධ වෙනවානම් අපි මහෙස්‌ත්‍රාත්වරයාගෙන් නියෝගයක්‌ අරන් තමයි එතැන වටලන්න යන්නේ.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435