දිනෙක වැටුප රුපියල් 1300 දක්වා වැඩි කළ හැකියි

නීතිඥ ඊ. තම්බයියා

– ජනතා කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් –

රුපියල් හත්සියයක මුලික වැටුපක් සදහා සිය එකඟතාවය පල කරමින් වතු සේවක සංගම් විසින්  හාම්පුතුන්ගේ සංගමය සමග සාමුහික ගිවිසුම අත්සන් තැබීමට එකඟ වී තිබුණි. එය වතු කම්කරුවකුගේ දිනක මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන මෙන් වතු කම්කරුවන් සහ  සිවිල් සංවිධාන එකතුව ගෙන ගිය අරගලය පාවා දීමක් යැයි අදහස් පළ වී තිබුණි. කෙසේ වෙතත් අලූතෙන් අත්සන් කරන ලද අනුව 2016 වසරේදී රුපියල් 500ක්ව පැවති මූලික වැටුප රුපියල් 700 දක්වාත්, ස්ථිර දීමනාව රුපියල් 30 සිට රුපියල් 50 දක්වාත් වැඩි කරන ලදී. කෙසේ වෙතත් පැමිණීමේ දීමනාව හා නිෂ්පාදන දීමනාව සෘජු වැඩි වීමක් ගිවිසුමෙහි සඳහන්ව නොමැත. ඊට අමතරව ඊ.පී.එෆ්. සඳහා වැටුපෙන් 15% ප‍්‍රතිශතයක් කපා හළ පසු එය 105ක් දක්වා ඉහළ දමා තිබුණි. මෙලෙස අත්සන් තබන ලද සාමුහික ගිවිසුම ප‍්‍රකාරව දිනක වැටුප ලෙස ඔවුන්ට වැඩිව ඇත්තේ රුපියල් 50ක් පමණි. සාමාන්‍යයෙන් වතු කම්කරුවෙක් මාසයකදී දින 20කට නොවැඩි ප්‍රමාණයක් වැඩ කරන අතර, ඒ අනුව මාසික වැටුප් වැඩිවීම රුපියල් 1000ක් පමණි. ප‍්‍රධාන ධාරාවේ වතු කම්කරු වෘත්තිය සමිතිවලට විකල්පව වතු කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් හඬනඟන, ජනතා කම්කරු සංගමයේ මහ ලේකම් නීතිඥ ඊ. තම්බයියා මහතා සමඟ කළ සාකච්ඡාව.

වතු සංගම් වතු හාම්පුතුන්ගේ සංගමය සමග වතු කම්කරුවෙකුගේ දිනක මූලික වැටුප රුපියල් 700ක් සදහා සාමුහික ගිවිසුම අත්සන් තැබුවා. ඒ ගිවිසුම සාධාරණ එකක්ද?

දිනක වැටුප රුපියල් 1000ක් වතු කම්කරුවකුට අවශ්‍යය බව මුලින් ප‍්‍රකාශ කළේ ආරුමුගම් තොන්ඩමාණ් මහතා ප‍්‍රමුඛ ලංකා කම්කරු සංගමය. මේ යෝජනාව අද ඊයේ කරපු යෝජනාවක් නොවෙයි. මිට අවුරුදු හතරකට කලින් කළ එකක්. හරියටම කීවොත් 2016 වසරේ අත්සන් කළ ගිවිසුමට මාස දහඅටක කාලයකට කලින් කළ යෝජනාවක්. අද ලංකාවේ දවසකට රුපියල් දහසක ආදායමක් නැතුව පවුලක් නඩත්තු කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. පැහැදිළිවම එදා ඉල්ලීම වුණේ මූලික වැටුප රුපියල් දහසක්. නැතිනම් මේකට ජීවන වියදම් දීමනා, පැමිණීමේ දීමනා, වගේ තව දීමනා පෙන්වලා මේ ඉල්ලීම මග හරින්න පුළුවන්. මොකද මසක පැමිණීම 75% ක ප‍්‍රතිශතයක් නම් පමණයි ඒ දීමනා ලැබෙන්නේ. එක දවසක් හරි අඩු වුණොත් ලැබෙන්නේ නැහැ. වසර පුරාවටම එක වගේ දළු කඩන්න බැහැ. සමහර කාලවලට දළු අඩුයි. ඒ වගේ ස්ථිර තත්ත්වයක් නැති නිසා තමයි අපිත් මුලික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්න  ඕනි යන ස්ථාවරයේ ඉන්නේ. දැන් වසර හතරකුත් කල් ගිහින්, දැනුත් රුපියල් දහස දෙන්න බෑ කියන එක බොරුවක්. සමාගම් හිමියන් තේ කර්මාන්තය පාඩුයි කිව්වට අපි ළඟ තියෙනවා ඔවුන්ගේ ආදායම් වල සංඛ්‍යාලේඛන. ඒ නිසා අපි  ඕනෑම වෙලාවක සුදානම් කොම්පැනි කරුවන් හා වතු සංගම් නියෝජිතයෝත් එක්ක වාදයකට එන්න. ඒ කවුරුත් ඒ අභියෝගය භාර ගන්නේ නෑ. තේවලින් වගේම රබර්වලිනුත් ලාබ නෑ කියලා කොම්පැනිකරුවෝ කියනවා. කොමිස් වලට හෝ වෙනයම් වාසි වෙනුවෙන් කම්කරු සංගම් මේ කරන දේ අසාධාරණයි.  එත් මේ අසාධාරණ ගිවිසුම අත්සන් කළේ අරලියගහ මන්දිරේ. අගමැතිතුමාවත් ළගින් තියන්. මෙතන අපිට තියෙන අනිත් ප‍්‍රශ්නේ තමයි මධ්‍යස්ථව ඉන්න  ඕනි අගමැතිතුමයි, වැවිලි කර්මාන්ත ඇමතිතුමයි මේකට මැදිහත් වෙන එක. මේකෙන් සනාථ වෙන කාරණයක් තියෙනවා. මේ හැමෝම ඉන්නේ ආයෝජනය කරන අය වෙනුවෙන් හා ඔවුන්ගේ ධනේශ්වර පන්තිය වෙනුවෙන්. ඒ වගේම තමයි අත්සන් කළ වතු සංගම් නියෝජනය කරන්නේත් කම්කරුවාව නෙවෙයි කියන එක.

මෙම වතු කම්කරු සංගම් මෙලෙස ක්‍රියා කිරීමට බලපාන දේශපාලනික බලය සහ එම සංගම් වල ස්වභාවය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

අපි කොහෙත්ම විශ්වාස කරන්නේ නෑ වතු සංගම්වලට දේශපාලනික බලයක් තිබීම ගැටළුවක් බව. නමුත් ජන්ද දේශපාලනයට වතු සංගම් යටත් වී තිබීම විශාල ගැටළුවක්. මේ වතු සංගම් දෙස බැලූවම අපට පේන ප‍්‍රධානම තත්ත්වය තමයි එක්කෝ මේ සංගම් යූ.එන්.පි එකට සහයෝගයදක්වනවා නැත්නම් එයට එරෙහි වෙනවා. මේ සියල්ලම ජන්ද ඉලක්ක කරගත්ත දේශපාලනයන්. අපි මේ තත්ත්වයට තදින්ම විරුද්ධයි. සාමාන්‍යයෙන් අපිට තිබුණේ වාමාංශික දේශපාලන පක්ෂ හා බැඳුණු වෘත්තීය සංගම්. නමුත් මේ වන විට  සමහර වාමාංශික වෘත්තීය සමිති තියෙනවා. ඒත් සාමාජිකයන් වෙනත් පක්ෂ වලට ජන්දය දෙනවා. එය හොඳ තත්ත්වයක්. නමුත් මේ වතු කම්කරු සංගම් වල තියෙන ලොකුම ගැටලූව තමයි තම සංගම්වල සාමාජිකයන් මැතිවරණ අරමුණු වෙනුවෙන් භාවිත කිරීම. එය සම්පුර්ණයෙන්ම වැරදි ක‍්‍රියාවක්. මේ තත්වය නිසාම සංගම් වල සාමාජිකයන් හිතාගෙන ඉන්නවා ඇමතිතුමා පාර හදලා දෙයි කියලා. බහුතරයක් වතු කම්කරුවන්ට ගමේ පාර හදන එක සහ වෘත්තීය අයිතිවාසිකම් දෙකක් කියලා වත් තේරෙන්නේ නෑ. පාර හදලා දෙන්න  ඕනෑ ආණ්ඩුවෙන් එත් වෘත්තීය සංගමයට පුළුවන් හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡුා කරන්න. මෙන්න මේක මුලින්ම තේරුම් ගන්න වෙනවා. අනික අපේ රටේ තියෙන කම්කරු නීතියට අනුව වෘත්තීය සමිති නැතුව කම්කරු අයිතිවාසිකම් දිනා ගන්න බෑ. ඒ නිසා වෘත්තීය සමිතින්ට දේශපාලන බලයක් තිබිය යුතුයි, මැතිවරණ ඉලක්ක කර නොගන්නා. ඒ පිළිබඳව හරි හැටි අවබෝධයක් නොමැති නිසාම තමයි වතුකරයේ වෘත්තීය සංගම් වල බලය පිරිහිලා තියෙන්නේ.

වතු හිමියන්ට කම්කරුවන් ඉල්ලා සිටින රුපියල් දහසේ මුලික වැටුප ලබා දීමට කිසිදු ගැටළුවක් නැති බව ඔබ කලින් කීවා නේද?

රුපියල් දහසක් පමණක් නොවෙයි, අපගේ තක්සේරු කිරීම්වලට අනුව දිනක මුලික වැටුප ලෙස වතු කම්කරුවෙකුට රුපියල් 1090 ක මූලික වැටුපක්  ලබා දීමේ හැකියාව වතු හිමියන් සතුයි. ඒ අනුව සම්පුර්ණ වැටුප රුපියල් 1300 දක්වා වැඩි කළ හැකියි. මේ තත්ත්වය අපි ඇස්තමේන්තු කළේ සියලූම සංඛ්‍යාලේඛන පිරික්සීමෙන් අනතුරුවයි. එය අපට ඔප්පු කරන්න පුළුවන්.

කුඩා තේ වතු හිමියන්ට කම්කරුවන් වෙනුවෙන් 1000ක වැටුපක් ලබාදිය හැකිද?

වසර කිහිපයකටම පෙර සිට කුඩා තේ වතු හිමියෝ රුපියල් 1000ක වැටුපක් ලබා දෙනවා. නමුත් එතන තියන ගැටලූව තමයි, කුඩා තේවතු හිමියන් ළඟ සේවය කිරීමේදී වතු කම්කරුවන්ට වෘත්තීය අයිතිවාසිකම් නැති වීම. ඒ වගේම කුඩා තේ වතුවල දිනපතා වැඩ කරන්න බැහැ. ඒ විතරක් නෙවෙයි, ඇතැම් වතු සමාගම් වලින් වතු හිමියන් විසින් පිටින් ලබාගත් ශ‍්‍රමිකයන්ට දිනකට රුපියල් 1000ක් වැටුප ලෙස ලබා දෙන අවස්ථා තියෙනවා. මෙහිදී ඊ.පී.එෆ්. හා ඊ.ටී.එෆ්. ගෙවීමේ වගකීමෙන් ඔවුන්ට නිදහස් වීමේ හැකියාවක් තියෙනවා.  අපි අහන්නේ පිටින් වැඩට ගන්නා කම්කරුවන්ට දෙන්න පුළුවන් රුපියල් දහස එම වත්තේ ස්ථිර පදිංචි වතු කම්කරුවාට ගෙවන්න බැරි ඇයි කියන එකයි.

ලංකාවේ වතු කම්කරුවා නගාසිටුවීමටත් තේ වැනි වැවිලි බෝග ප‍්‍රවර්ධනයටත් ජාතික ප‍්‍රතිපත්තියක් තියෙනවාද?

පසු ගිය දිනක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කතා කරලා තිබුණා. එහිදී ආර්ථික වැඩපිළිවෙලක් සැකසීමට අවශ්‍යය කරන තේරීම් කාරක සභාවක අවශ්‍යතාවය ඔහු පැහැදිළි කළා. අපේ අදහස තමයි, දැනටමත් මෙය ප‍්‍රමාද වැඩියි කියන එක. දැනට අවුරුදු විස්සකට කලින් සිටම අපි මේ යෝජනාව කළා. අපි කියන්නේ වතු ආර්ථිකයම ඉදිරියටත් තියෙන්න  ඕනි කියන එක නෙවෙයි. ඒ මත පදනම් වුණු ජනයාගේ ජිවන තත්ත්වය නගා සිටුවන්න අවශ්‍යය කරන දේවල් සකස් කරන්න අවශ්‍යයි. එහිදී වැටුප පමණක් නොවෙයි අනෙකුත් පහසුකම්ද ඔවුනට අවශ්‍යයි. දැනට තියෙන වතු ආර්ථිකය වෙනත් ආර්ථිකයකට පරිවර්තනය කිරීම සිදු වන තුරු වතු කර්මාන්තය සහ වතු කම්කරුවන්ව ආරක්ෂා කළ යුතුයි. ඒ වගේම විකල්ප ප‍්‍රතිපත්ති නිර්මාණය කිරීම ද වැදගත්. අපිට මේ ආර්ථිකය වෙනස් කරන්න  ඕනි. ඒ වෙනස් කිරීම කරන තුරු මේ ආර්ථිකය ශක්තිමත් කරන්න දායක වන්නන් ආරක්ෂා කිරීම අපේ වගකීමයි.

සමාජයේ අදහසක් ඇති වෙලා තියෙනවා මෙවැනි තත්ත්වයන් නිසා ”සිලෝන් ටී” කියන වෙළඳ නාමය නැති වෙනවා කියා. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක් ද?

සිලෝන් ටී කියන නම විතරක් නෙවෙයි මේ වෙන විට නැති වෙලා තියෙන්නේ. අපිට තිබ්බා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කියලා නමකුත්.  ඕවා එකක් වත් දැන් අපිට නෑ. මෙතැන තියෙන ගැටලූව වෙළඳ නාම නැති වීම කියන එක නෙවෙයි. උදාහරණයක් ලෙස රබර් කර්මාන්තය තුළ මේ වන විට චීන ආයෝජනයන් තියෙනවා. ලාබ ලබන්නේ නැත්නම් ඔවුන් ආයෝජනය කරයි ද? හරි ප‍්‍රතිපත්තියක් නැතිව මෙම ආර්ථික කටයුතු සිදු කළොත් අනාගතයේ දී සිලෝන් ටී විතරක් නෙවෙයි අපිත් නැති වෙලා යයි.

වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කරනු යන සටන් පාඨය යටතේ මේ අරගලය වටා බහු ජන සංවිධාන සිවිල් සංගම් ආදී බලවේග මේ වටා එකතු වීම කොතරම් සාධනියයි ද?

වතු කම්කරුවන්ට සමාගම්කරුවන්ට සහ ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන් තරම් ශක්තියක් නැහැ. එහෙත් කොකාකෝලා කර්මාන්ත ශාලාවේ සේවකයන් කිහිප දෙනෙකුට රැුකියාව නැති කල විට ඔවුන්ගේ වෘත්තීය ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක වන විට ජාත්‍යන්තර වශයෙන් සුළු මුදල් ආධාර ලැබුණා. වතු කම්කරුවනට එවැනි පසුබිමක් නැහැ. උපරිම වශයෙන් සතියක කාලයක් වර්ජනය කරන්න පුළුවන් වේවි. ඊට පස්සේ කෑම බීම සපයා ගන්න විදිහක් නැතිව වර්ජනය අතහරින්න සිද්ධ වෙනවා. සමහර විට මේ තත්ත්වය අරගලයක් දක්වා පරිවර්තනය වෙන්නත් පුළුවන්. අපිත් එහෙම වෙනවානම් කැමතියි. වතු කම්කරුවන් විතරක් නෙවෙයි සියලූම කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න නම් අපි එකතු විය යුතුයි. පසුගිය දවසක ලන්ඩන් නුවරදීත් ලංකාවේ වතු කම්කරුවන්ට රුපියල් දහසක මුලික වැටුපක් ලබා දිය යුතුයි කියා හඬක් අවදි කර තියෙනවා. මෙය උතුරු නැගෙනහිර ගැටලූවට පස්සේ ලංකාවේ ප‍්‍රශ්නයක් පිළිබඳව ජාත්‍යන්තර වේදිකාවල හඬ අවදි කල අවස්ථාවක් ලෙස දකින්න පුළුවන්. ඊට අමතරව ඉන්දියාවේ, බංගලාදේශය වගේ රටවල කම්කරු සංගම් සහය පල කරන බව ප‍්‍රකාශ වෙනවා. අවුරුදු 200ක් පුරාවට වතු කර්මාන්තය පැවතුණත්, කම්කරු සංගම් බිහිවෙලා යම් කාලසීමාවක් ගත වුණත් ඔවුන් සතුව යම් අරමුදලක් නොමැති වීම වතු හිමියන්ට විශාල වාසියක් වෙලා තියෙනවා. මෙය හැමෝම දන්නා කාරණයක්. සරලවම කියනවනම් 1947 පුරවැසි පනතෙන් පසුව කිසිම දෙයක් ලැබිලා නැහැ. නිදහස් අධ්‍යාපන පනත සම්මත කළ මොහොතේ  නිදහස් අධ්‍යාපනයේ පියා යැයි හඳුන්වන කන්නංගර මහතා ප‍්‍රකාශ කළේත් වතු කම්කරු දරුවන්ට නිදහස් අධ්‍යාපන අයිතිය ලබා දෙන්න බැහැ කියලයි. වතු කම්කරුවන් අපේ අය නෙවෙයි කියලා එතුමා ප‍්‍රකාශ කළා. වතුකම්කරුවන්ට සැලකුවේ එහෙමයි. වරප‍්‍රසාද අහිමි වුණු කම්කරු පන්තියක් ලෙස වතු කම්කරුවන්ට ජීවත් වෙන්න සිදු වෙලා තියෙනවා. ඉතිහාසය විසින් ඔප්පු කරලා තියෙනවා කිසිවක් නැතුව සිටි ජනතාව ජයග‍්‍රහණය කළ අවස්තාවන් ගැන. ඒ නිසා මේ වෙලාවේ ගොඩනැගිලා තියෙන සිවිල් බලය එක්ක මේ සටන ආපස්සට නොයනු ඇතැයි විශ්වාසය පළ කරන්න පුලූවන්.

මූලාශ්‍රය – අනිද්දා

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435