දිවයිනේ 20000ක් ගුරු හිඟයක් -කඩිනමින් බඳවා ගන්නා ලෙස ඉල්ලීමක්

දිවයින පුරා පාසල්වල 20,000 කට ආසන්න ගුරු හිඟයක පවතින බවත් ඒ සඳහා දැනට පත්වීම් ලැබීමට නියමිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් ගුරු සිසුන් මෙන්ම ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් ද කඩිනමින් බඳවා ගන්නා ලෙසත්, පළාත් සභා මගින් බඳවා ගැනීමට අදාළ සුදුසුකම් සපුරා ඇති ගුරුවරු වහා බඳවා ගැනීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මේ වන විට දිවයින පුරා පිහිටි ජාතික පාසල් හා පළාත් පාසල්වල ගුරුවරු 20,000 ක පමණ හිඟයක් පවතී. මෙම ගුරු හිඟය හේතුවෙන් විශේෂයෙන්  දුෂ්කර ප‍්‍රදේශවල පාසල් දරුවන් බරපතල පීඩාවකට ලක්ව ඇත. එසේම දුෂ්කර ප‍්‍රදේශයන්හි පාසල්වල සේවය කරන ගුරුවරු ද මෙම ගුරු හිඟයෙන් දැඩි පීඩාවකට පත්ව ඇත.

වසර 7, 8 ආදී වශයෙන් හෝ ඊටත් වැඩි කාලයක් දුෂ්කර ප‍්‍රදේශයන්හි පාසල්වල සේවය කර, තම ස්ථිර පදිංචි ප‍්‍රදේශවලට ස්ථාන මාරුවීමට සුදුසුකම් ලබා සිටින විශාල ගුරුවරු පිරිසකට මෙම ගුරු හිඟය හේතුවෙන් ස්ථාන මාරු ලැබීමට නොහැකි වී ඇත. ස්ථාන මාරු නිර්දේශ වී සිටින ගුරුවරු වෙනුවෙන් අනුප‍්‍රාප්තිකයන් යෙදීමට නොහැකිවීම මත එම ගුරුවරු තම ස්ථාන මාරු නොලැබීමෙන් බරපතල පීඩාවටකට ලක්ව සිටිති.

දැනට 20,000 කට ආසන්න ප‍්‍රමාණයක පවතින ගුරු හිඟය ඉදිරි වසර දෙක තුළ තවදුරටත් වැඩිවීමේ ප‍්‍රවණතාවක් ද පවතී. ඊට හේතුව 1989-90 වසරවල විශාල වශයෙන් ගුරුවරු බඳවා ගන්නා ලද අතර, ඔවුන් බොහෝ පිරිසක් ඉදිරි වසර දෙක තුළ විශ‍්‍රාම යාමට නියමිතව සිටීමයි.

ගුරුවරු 20,000 කට ආසන්න පිරිසක් අධ්‍යාපන පද්ධතිය තුළ හිඟවීමට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පාඨමාලා අවසන් කළ ගුරු සිසුන් 5000 කට ආසන්න පිරිසකට පත්වීම් ලබා නොදීමයි.

එසේම ජාතික හා පළාත් පාසල්වල ශිෂ්‍ය උපදේශනය සඳහා ගුරුවරු බඳවා ගැනීමට අයඳුම්පත් කැඳවා 2018.11.25 දින තරග විභාගයක් පවත්වා එහි ප‍්‍රතිඵල මත 2020.01.06, 12, 14, 16, හා 17 දිනයන්හිදි ප‍්‍රායෝගික පරීක්ෂණ ද පවත්වා තෝරා ගන්නා ලද ගුරුවරු 1000 කට ආසන්න පිරිසක් බඳවා නොගැනීම ද, 2019 වසරේදී උතුරුමැද පළාතේ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම යටතේ 5000 ක පමණ පිරිසක් ඉල්ලූම් කර තිබුණ ද 986 ක් පමණක් බඳවා ගෙන ඉතිරි පිරිස් බඳවා නොගැනීම හා බස්නාහිර පළාතේ 2019 වසරේ පවත්වන ලද තරග විභාගයට 11,000 ක පමණ පිරිසක් පෙනී සිටි අතර, 5000 ක් පමණ විභාගය සමත්ව සුදුසුකම් ලබා තිබුණ ද 1600 කට ආසන්න පිරිසක් පමණක් අවස්ථා දෙකකදී බඳවාගෙන ඉතිරි පිරිස බඳවා නොගැනීමට ද මෙම ගුරු හිඟයට හේතු වී ඇත.

මේ ආකාරයට පවතින පුරප්පාඩු අනුව ගුරුවරු බඳවා ගැනීම සඳහා අදාළ තරග විභාග හා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබුණ ද ඔවුන් බඳවා නොගෙන පද්ධතිය තුළ ගුරු හිඟයක් පවත්වාගෙන යන්නේ කුමන පදනමකින් ද යන්න බරපතල ගැටලූවකි.

මේ තත්වය පිළිබඳව අවධානය යොමු කර දැනට පත්වීම් ලැබීමට නියමිත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් ගුරු සිසුන් මෙන්ම ශිෂ්‍ය උපදේශන ගුරුවරුන් ද කඩිනමින් බඳවා ගන්නා ලෙසත්, පළාත් සභා මගින් බඳවා ගැනීමට අදාළ සුදුසුකම් සපුරා ඇති ගුරුවරු වහා බඳවා ගැනීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435