දීප ව්‍යාප්ත ගුරු පුරප්පාඩු 35000ක් – උපාධිධාරී රැකියා ගැටළුව තවත් කල් අරින්නේ මන්ද?

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පෙරේදා (13 දා) පවත්වන ලද විරෝධතාවයට සුපුරුදු අයුරින් ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර ඇත. රැකියා විරහිත උපාධිධාරීන් රැකියා දෙන්නැයි රජයට බල කරමින් කොළඹට පැමිණීම හා කඳුළු ගෑස් ජල ප‍්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇත. රැකියා විරහිත උපාධිධාරීන් සිය අරගලය නොකඩවා ඉදිරියට ගෙන ගියත් රජයෙන් ලැබෙන රැකියාවන් ද නැත.

යහපාලන රජය බලයට පැමිණියේ  රැකියා දසලක්‍ෂයක් නිර්මාණය කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් යහපාලන රජයට එම ඉලක්කය ජය ගැනීමට නොහැකි විය. අද යහපාලන රජයක් ඇත්තේ ද නැත. එනිසාම වත්මන් ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සාධාරණ විරෝධතාවයට විසඳුමක් දිය යුතුය. නමුත් මේ වනතුරු ඊට පිළිතුරු වශයෙන් ලැබී ඇත්තේ කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර පමණි. තත්ත්වය දරුණු අවස්ථාවේදී බොහෝ වශයෙන් බැටන් ප‍්‍රහාර රැකියා විරහිත උපාධිධාරීන්ට ලැබී ඇත. උසස්වීම් ලෙස ඇතැම් අවස්ථාවලදී මෙම ප‍්‍රහාර හමුවේ අතපය කඩාගෙන රෝහල්ගතවීමට ද උපාධිධාරීන්ට අවස්ථාව ලැබිණ. මෙය ඇත්තටම කනගාටුදායක තත්ත්වයකි.

උපාධිධාරීන් රටට සම්පතක් කරගත යුතුය. නමුත් අවාසනාවකට අපේ රටේ ආණ්ඩුවලට උපාධිධාරින් පෙනුනේ ආණ්ඩු විරෝධීන් ලෙසයි. සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම සඳහා 2017 වර්ෂයේ අගෝස්තු මාසයේදී රජය විසින් සම්මුඛ පරීක්‍ෂණ කැඳවන ලදි. එම සංඛ්‍යාලේඛනවලට අනුව 56375 ක් රැකියා විරහිත උපාධිධාරීන් සිටි බව අනාවරණය විය. ඉන් අනතුරුව 2018, 2019 යන වර්ෂවලද විශ්වවිද්‍යාලවලින් පිටතට පැමිණි බොහෝ පිරිසක් මේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගොඩට වැටී ඇත. ඒ අනුව තත්ත්වය තවත් බරපතළ වී ඇත.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය පවසන අයුරින් මුළු දිවයින පුරා මේ වන විට ගුරු පුරප්පාඩු 35000 ක් පමණ වේ. ඉතා කෙටි කාලීන පියවරක් ලෙස මෙම ගුරු පුරප්පාඩු හෝ උපාධිධාරින්ගෙන් පිරවිය හැකි නම් උපාධිධාරීන්ට අස්වැසිල්ලක් වනු ඇත. එය අධ්‍යාපනය හදාරන අපේ දරු පරපුරේ යහපත පිණිස ද ගත හැකි යහපත් පියවරකි.

අපේ රටේ උපාධිධාරීන් බිහිකරන්න රජය විශාල මුදලක් වැය කළ ද එම උපාධිධාරීන් රටේ ඉදිරි ගමනට රුකුලක් කර නොගැනීම ඛේදවාචකයකි. විශේෂයෙන් විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ඔවුන්ගේ උපාධි පාඨමාලා වහා සංශෝධන කළ යුතුය. මේ සම්බන්ධයෙන් මෙතෙක් පැවැති කිසිදු රජයක් ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කර නැත. එසේම උපාධිධාරීන් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිසක් බවටම පත් නොකර ඔවුන් නව රැකියා උත්පාදනය කරන ආයෝජකයන් බවට පත් කළ හැකි නම් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නයක් මේ රටට ඉතිරි නොවනු ඇත. ඒ සඳහා වරින්වර වෙනස් වන ආණ්ඩුවලට වෙනස් කළ නොහැකි වන අයුරින් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය අඩු පොලී ණය පහසුකම් සැලසීම ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැලසීම වැනි කාරණා කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතුය.

උපාධිධාරීන් රටට බරක් කර නොගෙන රටට වැඩක් කළ හැකි පිරිසක් කිරීමට පියවර ගත හොත් අප රට වැටී ඇති ප‍්‍රපාතයෙන් ඉහළට ඔසවා තැබිය හැකිය. ඒ සඳහා නිශ්චිත ඉලක්ක සහිත වැඩපිළිවෙලක් අවශ්‍යය. උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නය දෙස එවැනි ධනාත්මක චින්තනයක් ඔස්සේ බැලීමට අප රටේ පාලකයන් පියවර නොගන්නා තෙක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් නොලැබෙනු ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් කොළඹට පැමිණ විරෝධතා දැක්වීම සහ පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කිරීම වැනි දෑ සුලබ වී ඇති සිද්ධියට කල්පවතින විසඳුමක් ලැබීමට නම් අප මතු කළ මේ කාරණා ගැන රජයේ අවධානය යොමුවිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමු.

මූලාශ්‍රය – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Chana says:

    Aniwa defa eka atta..aniwa digu kal pawathina ilakkagatha wisadumak wiya yuthuya ..rata ta sampathak Kara Gatha yuthuya upadi daarinta..owun nawa rakiya welada polata gala Pena Lesa upaadi sakasiya yuthuya..

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435