දුම්රියෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සූදානමක්

දුම්රිය ප්‍රවේශපත් නිකුත්කිරීම කාර්යක්ෂම කිරීම සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය දේශිය සහ විදේශිය පෞද්ගලික සමාගම් දෙකකට ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩිව විරෝධය පළ කරන බව දුම්රිය ලොකොමෝටිව් ඉංජිනියර්ස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

එම තීරණය ක්‍රියාත්මක කිරීමට බලධාරින් කටයුතු කළ හොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන්නට දුම්රිය සේවකයින් තීරණය කර ඇතැයි හෙතෙම “වැඩබිමට“ අවධාරණය කළේය.

දුම්රිය සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ප්‍රමුඛ පෙලේ දුරකථන පෞද්ගලික සමාගමකට දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත්, ඊට අදාළ ගිවිසුම් අස්සන් කිරීම ඉකුත් 26 වැනිදාට යෙදී තිබු නමුත් වෘත්තිය සමිතිවල විරෝධතාව හේතුවෙන් එය කල්දැමුණු බවත් හෙතෙම කියා සිටියේය.

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම චීන සමාගමකට ලබා දීමට සැළසුම් කර ඇති බව කී දොඩම්ගොඩ මහතා එය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.

මේ පිළිබඳ දේශීය සන්නිවේදන විශේෂඥයින් හා දුම්රිය වෘත්තීය සමිති සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම ව්‍යාපෘති දේශීය ඉංජිනේරුවන්ට පහසුවෙන් ඉටු කිරීමට හැකියාව පවතින බව පෙනී ගිය බවත්, මෙම ව්‍යාපෘති විදේශීය හා පුද්ගලික සමාගම්වලට දීමෙන් සිදුවන්නේ රටේ මුදල් නිරපරාදේ වියදම් කිරීමක් බවත් දොඩංගොඩ මහතා අවධාරණය කළේය.

තාක්ෂණය දියුණු වර්තමානයේ සන්නිවේදනය දියුණු කිරීම හා ප්‍රවේශපත් නිකුත්කිරීම වැඩිදියුණු කිරීමට දෙපාර්තමේන්තුවට ද හැකියාව ඇති බැවින් පෞද්ගලික සමාගම්වලට කිසිසේත් දියයුතු නැතැයි ද හෙතෙම පෙන්වාදුන්නේය.

ඩොලර් මිලියන 8.5 ක් වැයවෙතැයි පැවැසෙන මෙම ව්‍යාපෘතිය දෙපාර්තමේන්තුව මගින් සිදුකළ හොත් වැයවන්නේ රුපියල් මිලියන 75 ක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.

2016 ස්ථාපිත කළ ව්‍යාපෘතියක පවත්වාගෙන යන ව්‍යාපෘති කාර්යාලයක් හරහා ආසියානු සංවර්ධන මණ්ඩලයෙන් ලබාගත් ණය මගින් මෙම ව්‍යාපෘති වාර්තා සකස් කර ඇති බවත්, මෙම වාර්තා සකස් කිරීමට පමණක් ඩොලර් මිලියන ගණනි වියදම් කර ඇති බවත්, එම ණය සඳහා වාරික ගෙවීම් ලබන වසරේ සිට සිදුකිරීමට සිදුවන බවත් දොඩංගොඩ මහතා පෙන්වාදුන්නේය.

එම නිසා රටේ මුදල් කාබාසිනියා කරමින් සිදුකරන මෙම ව්‍යාපෘති නැවැත්වීමට ක්‍රියා නොකළහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435