දුම්රියේ කැබින් කාමරයෙන් මොකද කරන්නේ

දුම්රිය ස්ථානයේ සාමාන්‍යයෙන් ඕනෑම තැනකට ඕනෑම කෙනෙකුට යා හැකි වුවත් දුම්රිය ස්ථානයේ තිබෙන කැබින් කාමරයට නම් රාජකාරියේ නියුතු නිලධාරී මහත්මයෙකුගේ අවසරයක් නොමැතිව නම් ඇතුල්විය නොහැකිය. එහි ඉදිරිපිට ඇතුල්වීම තහනම් කියා ලියා ඇති බෝඩ් එකක් අනිවාර්යෙන්ම ලංකාවේ සෑම දුම්රිය කැබින් කාමරයකම තිබෙනවා. මෙසේ කටයුතු කිරීමට විශේෂ හේතුවක් තිබෙනවා. දුම්රිය ගමනාගමනය ආරක්ෂා සහිතව ධාවනය කිරීම සඳහා මෙය ඉතාම වැදගත්. දුම්රිය කැබින් කාමරයේ රාජකාරියේ යෙදිය යුත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථීර සේවක මහත්මයෙක් වන “කැබින්මන්” යනුවෙන් හඳුන්වන තනතුර දරණ අයෙකි. ඔහු හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් ද විය යුතුය.

කැබින් කාමරයක් ඇයි මෙතරම් දැඩි ආරක්ෂිත ස්ථානයක් බවට පත් වෙන්නේ. දුම්රියක් ආරක්ෂා සහිතව ධාවනය කිරීමට ඒ කියන්නේ දුම්රියන් දෙකක් හෝ කීපයක් සමග ගැටෙන්නේ නොමැතිව එක දුම්රියක් අවශ්‍ය එක් මාර්ගයක පමණක් ධාවනය වියයුතුය. අවශ්‍ය මාර්ගය සකස් කරන්නේ හා සකස් කිරීමෙන් පසුව දුම්රිය පැමිණීමට හෝ පිටත්වීමට අවශ්‍ය සංඥා ලබාදෙන්නේ කැබින් කාමරයක සිටින කැබින්මන් මහතාය. මේ මහතා සියලු දේ කරන්නේ දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් මහතා විසින් දෙනු ලබන විධානයන් අනුවමයි. ඒ සියලු නියෝග දෙනු ලබන්නේ දුම්රිය ස්ථානය හා කැබින් කාමරය අතර තිබෙන විශේෂ දුරකථන සන්නිවේදන සම්බන්ධතාවයක් මගිනි. ඔබට දුම්රිය ස්ථානයක මෙහෙයුම් මැදිරියකට ගියහොත් දකින්නට පුළුවන් ලොකු කලු පරණ ටෙලිපෝන් වගයක් වට කීපයක් කරකවා කතාකරන. මේ වගේම දුරකථනයක් කැබින් කාමරයේ ද තිබෙනවා. මේ දුරකථනවල අංක කරකැවීමට නැත. කරකවන වට ප්‍රමාණය අනුව තමයි අවශ්‍ය ස්ථානයට යන්නේ. මේවා බොහොම පැරණි සන්නිවේදන ක්‍රමයන් හැබැයි යම් හොඳ ආරක්ෂාකාරී තත්වයක් ද තිබෙනවා. මොකද වෙනත් කෙනෙකුට මෙම පණිවුඩවලට මැදිහත්වීමක් කළ නොහැකි නිසා. ඒ කියන්නේ වැරදි නියෝගයක් දීමට කිසිවෙකුටත් කළ නොහැකි නිසා.

දැන් අපි යමු කැබින් කාමරයට. මම මේ සමග කැබින් කාමරය ඇතුලත පින්තූර කීපයක්ම පළකර තිබෙනවා. මෙහි ලීවර් ගණනාවක්ම පේළියට සවිකර තිබෙනවා. මේවායින් තමයි එක් එක් මාර්ගයන්ගෙන් අවශ්‍ය මාර්ගය තෝරාගෙන සකස් කිරීමත් එම මාර්ගයට දුම්රිය පිවිසීම සඳහා සංඥා දීම කරන්නේත්. මම මීට පෙර සැමපෝ සංඥාවන් සම්බන්ධව ලිපියකින් ඔබව දැනුවත් කර ඇති පින්තූරයන් සමගින්. දුම්රිය ස්ථානාධිපති මහතා නියෝගය දෙනවා “දැන් එහා දුම්රිය ස්ථානයෙන් මේ වෙලාවේ පැමිණ තිබෙනවා. එම දුම්රිය දෙවෙනි වේදිකාවට ගන්න. ඉන්පසුව පළමු වේදිකාවේ තිබෙන දුම්රිය පිටත් කිරීමට කටයුතු කරන්න” කියා. මේ නියෝගය අනුව පැමිණෙන දුම්රිය දෙවෙනි වේදිකාවේ මාර්ගයට සකස් කර දුම්රිය ස්ථානයට ඇතුල්වීම සඳහා දුම්රියට සංඥා යොදනවා. අනිත් සියලුම සංඥාවන් අවදානම් තත්ත්වයේ තිබිය යුතු වෙනවා. එවිට දැනට පළමු වේදිකාවේ දුම්රියට ධාවනය වීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ පළමු දුම්රිය දෙවෙනි වේදිකාවට පැමිණ ඉන්පසු පිටත්වීමේ සංඥාව ලැබෙනතුරු.

කැබින් කාමරයේ පින්තූරයේ ලීවර් කීපයක් පහතට ඇද තිබෙනවා ඔබට පෙනෙනවා ඇති. ඒවායින් තමයි පැමිණෙන දුම්රිය වේදිකාවට ගැනීම සඳහා මාර්ගය සකස් කොට දුම්රියට පැමිණීම සඳහා සංඥාවන් යොදා ඇත්තේ. මෙසේ එක මාර්ගයකට යෑමට පාර හැදුවාම සංඥාව ද දිය හැක්කේ එම මාර්ගයට අදාළ සංඥාවන් පමණයි. නැවත වෙනත් මාර්ගයකට පාර සැකසීමක් කිරීමට අවශ්‍ය වුවහොත් මුල සිට නැවත යොදා තිබූ සියලු සංඥා අවදානම් ආකාරයට පත්කොට පෙර සකසා තිබූ පාර පහත් කොට තිබූ පයින්ටු ලීවර් කෙලින් කොට නැවත අනිත් මාර්ගයට පාර සැකසීම සඳහා එයට අදාළ පයින්ටු ලීවර් පහත් කොට සැකසීම කොට තමයි ඒ මාර්ගයට පිවිසීම සඳහා දෙන අදාළ සංඥාවන් දිය හැක්කේ. මෙසේ එක දුම්රියකට මාර්ගය සාදා සංඥාවන් දුන් පසු වෙනත් දුම්රියකට පැමිණීම සඳහා පාර සෑදීමක් හෝ සංඥාවන් යෙදීමක් කළ නොහැක. මෙසේ ලොක්වීමක් සිදුවන ක්‍රියාවලියේ ක්‍රමය හඳුන්වනු ලබන්නේ අන්තර්බද්ධ ක්‍රමය නොහොත් ඉන්ටර්ලොක් සිස්ටම් එක කියායි.

දුම්රිය සේවා එකමුතුව වෙනුවෙන්  විශ්‍රාමික දුම්රිය ප්‍රධාන නියාමක ලක්ෂ්මන් කොඩිකාර විසිනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435