දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 10,000 යි

11 සැප්තැම්බර් 2014 – wedabima.lk

 

දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණීන් වල දැනට පවතින පුරප්පාඩු ප‍්‍රමාණය 10,000 කට අධික වන බැවින් ඒවා වහා පිරවිය යුතුව ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

 

එම සංගමයේ ප්‍රධාන ලේකම් එස්.පී විතානගේ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

 

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

 

දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණීන් වල දැනට පවතින් පුරප්පාඩු ප‍්‍රමාණය 10,000 කට අධික වන අතර, උතුරු දුම්රිය මාර්ගයේ කටයුතු ආරම්භ කිරීම නිසා මෙම පුරප්පාඩු ප‍්‍රමාණය තවත් වැඩි වී ඇත.

 

සේවකයින් 80 – 90 ක ප‍්‍රමාණයක් මාසිකව විශ‍්‍රාම ගැනීම නිසාත්, ඊට සමානුපාතිකව බඳවා ගැනීම් නොකිරීම නිසාත් දුම්රිය දෙපාර්තමේන්තුවට පුහුණු සහ නුපුහුණු ශ‍්‍රමයේ හිඟය වැඩිවෙමින් පවතී. දුම්රිය ධාවනාගාර, දුම්රිය කර්මාන්තශාලා, මාර්ග හා ගොඩනැගිලි නඩත්තු අංශ, දුම්රිය ස්ථාන වල පවතින අධික පුරප්පාඩු ප‍්‍රමාණය නිසා දෛනික කටයුතු පවත්වාගෙන යාමේ අසීරුතාවයකට දුම්රිය දෙපාර්තමේන්තුව පත්ව ඇත.

 

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ හා උඩරට දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුතු නිසි පරිදි ඉටුකිරීමට නොහැකි වීම නිසා දුම්රිය මාර්ග අනතුරු හා පීලි පැනීම් ප‍්‍රමාණයද ඉදිරියේදී වැඩි විය හැකි බවද පෙන්වා දෙමු. උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිත වුවත්, එම මාර්ගය හා ගොඩනැගිලි නඩත්තු කිරීම සඳහා අවශ්‍ය සේවක පිරිසක් මේ වන විටත් බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර නැත. මාන්කුලම්, පරන්තන්, යාපනය, චෙට්ටිකුලම්, මන්නාරම යන මාර්ග නඩත්තු අංශ සඳහාත්, යාපනය, මන්නාරම ගොඩනැගිලි අංශ සඳහාත් දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයින් බඳවා ගත යුතු ය. එමෙන්ම දෙමළ ජනතාව බහුල වශයෙන් වාසය කරන මෙම ප‍්‍රදේශවල සේවය සඳහා දෙමළ ජනතාව යොදා ගැනීම වඩාත් ඵලදායී වනු ඇත. එමෙන්ම රියදුරු, නියාමක හා දුම්රිය ස්ථානාධිපති, රියදුරු සහායක, දුම්රිය ස්ථාන සේවකයින් ඇතුළු විවිධ ශ්‍රේණිවලට අයත් සේවකයින් සියලූ ජාතිකත්වයන් නියෝජනය වන පරිදි බඳවා ගැනීම වඩාත් ප‍්‍රතිඵලදායක වනු ඇත. එමෙන්ම ත‍්‍රිකුණාමලය හා මඩකළපුව මාර්ග වලත් අනෙකුත් ප‍්‍රදේශවලත් පවතින පුරප්පාඩු පිරවීමට කඩිනම් ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ඔබතුමාගේ අවධානය යොමු කරන අතර, දුම්රිය සේවකයින්ගේ දරුවන් බඳවාගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසද ඉල්ලා සිටිමු.

 

දේශපාලන මැදිහත්වීම් මත බඳවා ගත් අනියම් ආදේශක සේවකයින් 2800 ක් වසර පහක් ගතවී ඇතත් තවමත් ස්ථිර කර නොමැති තත්ත්වයක් තුළ නව පත්වීම් ලෙස කළුතර දිස්ත‍්‍රික්කයෙන් තවත් 1000 – 1500 ක පිරිසක් බඳවා ගැනීමට සූදානමක් පවතින බවද දැනගැනීමට ඇත. ඊට අපගේ දැඩි විරෝධය ප‍්‍රකාශ කරන අතර, එසේ නොකරන ලෙසද ඉල්ලා සිටිමු. දුම්රිය දෙපාර්තමේන්තුවේ කුමන තනතුරකට වුවද සේවකයින් බඳවා ගන්නේ නම් ප‍්‍රවාහන අමාත්‍යංශය ඊට මැදිහත් නොවී එම බඳවා ගැනීමේ බලතල සියල්ල දුම්රිය දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර, දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා ආරක්‍ෂක හා සිවිල් ආරක්‍ෂක බලකායේ සාමාජිකයින් යොදවා ගැනීමට දුම්රිය සාමාන්‍යාධිකාරී තුමාගේ සූදානමක් ඇත්නම්, ඊටද දැඩි විරෝධය ප‍්‍රකාශ කර සිටිමු.

 

දුම්රිය සේවයේ පුරප්පාඩු පිරවීම සඳහා නවකයින් බඳවා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව පෙන්වා දෙන අතර, බඳවා ගැනීමේදී අනුගමනය කළ යුතු නිසි ක‍්‍රියාමාර්ගයට පිටතින් කටයුතු කළහොත් ඊට එරෙහිව දුම්රිය සේවකයින් පෙළගැස්වීමට කටයුතු කරන බවද පෙන්වා දෙමු. දුම්රිය සේවය මෙරට ජනතාව සතු දේපලක් වන අතර, එහි නඩත්තු කටයුතු හා පරිපාලන කටයුතු විධිමත් පරිදි පවත්වාගෙන යාමට බලයක් දී ඇතත්, දුම්රිය සේවය විනාශ කිරීමේ බලයක් ජනතාව විසින් කිසිවෙකුට පවරා නැත. දුම්රිය සේවයේ ඇතැම් කොටස් පෞද්ගලික අංශයට පැවරීමත්, දුම්රිය සේවයේ වංචා, දූෂණ පිළිබඳව සොයා බලා අවශ්‍ය නිතිමය පියවර නොගැනීමත්, දුම්රිය සේවකයාගේ දැවෙන ප‍්‍රශ්න වලට නිසි විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර නොගැනීමත් නිසා මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන දුම්රිය සේවය විනාශ කර දැමීමේ සූදානමක් පවතින බව ඉතාම පැහැදිලි වන කාරණයක් බවද පෙන්වා දෙමු.

 

කවර ආකාරයෙන් සිදු වුවද එම විනාශය වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටින අතර, දේශපාලන මැදිහත්වීම් යටතේ සිදු වන විනාශයන් වැළැක්වීමට ප‍්‍රථමයෙන්ම පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිමු. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    ඇයි ඔබතුමන්ලා කාන්තාවන් බදවාගන්නැත්තේ,

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435