දුම්රිය වර්ජනයට මොකද වුණේ? – දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු

14 ඔක්තෝබර් 2014 – wedabima.lk

 

පසුගියදා ඔබලා විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනය ජයග්‍රහණයකින් තොරව අවසන් කරන්නට සිදුවුණා නේද?

ඔව්. දිසා අධිකරණයෙන් ලැබුණු තීන්දුවක් හේතුවෙන් අධිකරණ තීන්දුවට හිස නමා තාවකාලිකව අපේ සටන අත්හරින්නට අපි තීරණය කළා.ඒත් ඒක තාවකාලික නැවතුමක් විතරයි.තාමත් අපේ ඉල්ලීම් වලංගුයි.

 

 

මෙම වර්ජනයේදී මාධ්‍ය මගින් බොහෝවිට සාකච්ඡාවට ලක්කෙරුණේ දුම්රිය මගීන් අපහසුතාවට පත්වීම පිළිබඳ පමණයි.එහෙත් ඔබලාගේ  ඉල්ලීම් කෙරෙහි එතරම් අවධානයකට ලක්වුණේ නෑ නේද?

ඔව්. බොහෝ විට ඒකත් මෙම තාවකාලික පසුබැසීමට හේතුවෙන්නට ඇති.සිදුවූ අඩුපාඩු සකස් කරගෙන නැවත සටනට අවතීර්ණ වන්නට අපි සූදානම්.

 

 

ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පසුබිම සැකසුණේ කොහොමද?

6/2006 වැටුප් චක්‍ර ලේඛය සමග රාජ්‍ය සේවයේ බොහෝ ක්ෂේත්‍රයන්ට සිදුවූවා සේම දුම්රිය දෙපාර්තමේන්තුවේත් දැවැන්ත වැටුප් විෂමතාවක් ඇතිවුණා.දුම්රිය ස්ථානාධිපති,දුම්රිය නියාමක,දුම්රිය රියදුරු,දුම්රිය පාලක,අධීක්ෂණ කළමනාකාර නිලධාරීන්,සංඥා හා විදුලි සංදේශ,කාර්මික සේවා(මාර්ග හා පාලම්)ධාවන බල,ලොමෝටිව්,ෆෝමන්වරුන් ආදී මේ හැමෝටම වැටුප් වර්ධකවල ගැටළුවක් හා වැටුප් විෂමතාවක් නිර්මාණය වුණා.මේ පිළිබඳව වසර තුන හමාරක් තිස්සේ ජනාධිපති ලේකම්,ප්‍රවාහන අමාත්‍යවරයා,අමාත්‍යංශ ලේකම්වරයා,නියෝජ්‍ය අමාත්‍යවරයා,දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා,වැටුප් කොමිසම,මහාභාණ්ඩාගාර ලේකම් ආදීන්ට දැන්වූවා.අන්තිමේදී භාණ්ඩාගාර ලේකම් මැදිහත්වී ද්විතීයික තලයේ වැටුප් මට්ටම වෙනුවට තෘතීයික මට්ටමට අන්තර්ග්‍රහණය කරලා මේ ඔක්කොම නියෝජනය වන විදිහට ‘දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ කළමනාකරණ සේවය‘නමින් ස්ථාපිත කෙරෙව්වා.අවම වැටුප රු.16,350 ක් විදිහට ලබාදෙන්නටත් පොරොන්දු වුණා.මීට මාස තුනකට කලින් ඒ තෘතියීක මට්ටමට අන්තර්ග්‍රහණය කරපු බවට ලිපි ලැබුණත් ඒකේ වැටුප් වැඩිවීමක් සඳහන් වුණේ නෑ. මේ ගැන විමසුවාම ඒක මුද්‍රණ දෝෂයක් බවත්, වහාම නිවරදි කර දෙන බවටත් බලධාරීන් නැවත පොරොන්දු වුණා. ඒත් ඒ පොරොන්දුව දිනෙන් දින කඩවෙලා යද්දී දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යංශයටත්,අමාත්‍යංශයෙන් කැබිනට් මණ්ඩලයටත් යවා ඇති බවට කාලය කා දමන විදිහේ උත්තර ලැබුණා.අපිව රස්තියාදු කෙරෙව්වා.ඊට පස්සෙ එක වෙලාවක ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා රු.15,005ක  මූලික වැටුප 16,005 ක් කිරීමට එනම් රු.1000 න් වැඩි කිරීමට මහාභාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලැබුණු බව කීවා. ඒත් ඒ 1000 ක මුදල මූලි වැටපට එකතු නොකරන බවත්,දීමනාවක් ලෙස ගෙවන බවත්,එකී දීමනාවට අතිකාල දීමනා දෙන බවටත් කීවා. එහෙම ක්‍රමවේදයක් නෑ. ඒ නිසාම මේක අපිව නොමග යවන්නට හා කාලය කා දමන්නට කරන කටයුත්තක් බව අපි තේරුම් අරන් හිටියා.

 

 

දුම්රිය තාක්ෂණ ශිල්පීන්ට වැටුප් වැඩිකිරීමක් සිදුවීම පිළිබඳව කතා කළොත්?

ඔව්.අපගේ වැටුප් වර්ධක පිළිබඳ මෙම ගැටළු  උද්ගතව තිබියදීම අපට පහල ශ්‍රේණියක පිහිටුවා සිටින තාක්ෂණ ශිල්පීන්ට රු.1240ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා. ඒයත් සමග ඔවුන් ෆෝමන්වරයෙකුගේ මූලික වැටුප ආසන්නයටම ගෙනාවා.එහෙම වුණාම සේවය,ශ්‍රේණිය හෑල්ලුවට ලක්වෙනවා. තාක්ෂණ ශිල්පීන් පාලනය කිරීමට ෆෝමන්වරුන්ට හැකියාවක් නැතුව යනවා. ඔවුන් ගණන් නොගන්නා තැනට පත්වෙනවා.මේ විදිහට බලධාරීන් කටයුතු කළේ ප්‍රශ්න විසඳන හැටියට නෙවෙයි. වඩ වඩාත් ප්‍රශ්න වර්ධනය වන විදිහටයි. ඊට පස්සේ වෘත්තීය සමිති 11 ක් එකතුවී ඔක්තෝම්බර් 8 දින මධ්‍යම රාත්‍රීයේ සිට වැඩවර්ජනයකට යන බවට සැප්තැම්බර් මාසේ 17 වෙනි දින නිවේදනය කළා.පිළිතුරක් නොලැබුණු බැවින් නියමිත දින වර්ජනය ආරම්භ කරන්නට අපි තීරණය කළා. ඔය අතර 8 වෙනිදා නියෝජ්‍ය ඇමති කතා කරලා අමාත්‍යවරයා අසනීප වී සිටින නිසා පැය 24ක කාලයක් ඉල්ලුවා.ඊට පස්සේ අමාත්‍යංශ ලේකම්වරයා කතා කොට ඊට පසුදින දක්වා කාලය ඉල්ලුවා.නමුත් දිගින් දිගටම අපව නොමග යවපු නිසා වෘත්තීය සමිති 11ම වර්ජනයට යන්න තීරණය කළා.අපි ඒක කළා. යම් බලපෑමක් කිරීමට අපට හැකිවුණා.

 

 

ඒත් වර්ජනය අත්හරින්නට සිදුවුණේ අධිකරණ තීන්දුවක් නිසා මිස අරගලය ජයග්‍රහණය කළ නිසා නෙවෙයි.ඉදිරියේදී කුමක් කිරීමට බලාපොරොත්තු වෙන්නේද?

මෙම නඩුව ගොනු කළ උදවිය අසත්‍ය කරුණු වාර්තා කරමින් අධිකරණය නොමග යවා තිබෙනවා.ඒ පිළිබඳ නිවරදි තොරතුරු දැන් අපට ලැබී තිබෙනවා. ඒ නිසා ඉදිරියේදී දිසා අධිකරණයෙන්ම එකී වාරණ නියෝගය ඉවත් කරවාගෙන යළි වර්ජනයකට යාමට අවශ්‍ය නීතිමය කටයුතු මේවන විට සිද්ධකරමින් සිටිනවා. ඊයේ සවසත් නීතිඥයින් සමග මේ පිළිබඳ දීර්ඝව කරුණු සාකච්ඡා කළා.අනෙක් අතට වාරණය ලබාදී තිබෙන්නේ දින 14 ට පමණයි. ඒ හින්දා අධිකරණයට නිවරදි ලෙස කරුණු ගොනු කරන්නටත්,දින 14 න් පසුව යළි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නටත් අපට හැකියාව තියෙනවා.

 

 

මීට ඉහතදී 2006 වසරේ වරාය සේවකයින්ගේ වර්ජනයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් අභියෝගයට ලක්කරමින් ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට හා අධිකරණයට අභියාචනා කිරීමෙන් පසු වරාය සේවකයින්ට පක්ෂව තීන්දුවක් ලැබුණා.ඒ තීන්දුව ශ්‍රී ලංකා රජයට දැනුම්දීමෙන් පසු එකී පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීමට රජයේ නීතිපතිවරයා විසින් කටයුතු කරමින් සිටින තත්ත්වයක් තුළයි නැවත අධිකරණ තීන්දු මගින් වර්ජන වලට එරෙහිව වාරණ නියෝග ලබාගන්නේ. මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

මේක වෘත්තීය සටනකට දේශපාලන හයිය හෝ නීතිමය හයිය හරස් වුණු පළමු අවස්ථාව නොවන බව පැහැදිලියි. අපිත් මේ පිළිබඳව ජාත්‍යන්තර කම්කරු සම්මේලනයට ලියනවා.

 

 

වෘත්තීය සමිති ක්‍රියා මාර්ග වැළැක්වීම සඳහා අධිකරණ වාරණ නියෝග ලබාගැනීම මෑත කාලයේ ප්‍රවණතාවක් වෙලා.මේ තත්ත්වය ඉදිරියට කොහොම බලපායිද?

වර්ජනය කිරීම සේවක අයිතියක්.ඒක ට වැටබඳිනවානම් ඒක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බරපතළ ගැටළුවක්.පසුගියදා විපක්ෂයේ මන්ත්‍රීවරුන් රාජ්‍ය ආයතනවල දූෂණ වංචා හොයන්න ඇවිද්දා. දුම්රිය ක්ෂේත්‍රයටත් ආවා. ඒ වෙලාවේ ආණ්ඩුවේ වෘත්තීය සමිති ක්‍රියාධරයින් මන්ත්‍රීවරුන්ට හූ කියලා හිරිහැර කරලා එළෙව්වා.මහජන මුදලින් නඩත්තු වන ආයතන ගැන හොයා බලන්නට මහජන සේවකයින් හැටියට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අයිතිය තියෙනවා.ඒත් ඒ අය එළවාදමනවානම් එතැන තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද?ඒ දූෂණ වංචා අක්‍රමිකතා නිසා තමයි මේ ක්ෂේත්‍රයන්ට මෙහෙම වෙලා තියෙන්නේ.අධිකරණ නියෝග වලට අප ගරු කළ යුතුයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති කිරීමට අධිකරණය දඩමීමා කර ගැනීම වැරදියි.

 

 

වෘත්තීය සමිති තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට යටවීම වෘත්තීය සටන් අකර්මන්‍යවීමට හේතුවක් නේද?

ඔව්. ඒකත් හේතු වෙන්න පුළුවන්. දැන් අපේ වෘත්තිය සමිති එකමුතුව ගත්තම ආණ්ඩුවේ විපක්ෂයේ පක්ෂවලට සහය දක්වන විවිධ අය ඉන්නවා. ඒත් අපිට විශේෂයෙන්ම මටත් මේ අරගලය තුළ දේශපාලනයක් නෑ. අපි හැමෝම එකතුවෙලා ඉන්නේ එකම අරමුණක් වෙනුවෙන්. ඒ අපේ ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන්. ඒ වෙනුවෙන් පක්ෂ,පාට නොබලා දුම්රිය සේවකයින් එකතුවෙනවා. ඉදිරියේදී මේ සටන දිනන්නට ඒ හයිය  හොඳටම ඇති.

Train engin

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435