දුම්රිය සේවකයින් යළිත් වර්ජනයකට සූදානමක්ද?

දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සමග වැඩබිම කළ විශේෂ සාකච්ඡාව)

* පසුගියදා ඔබද නියෝජනය කරන වෘත්තීය සමතිවල මැදිහත්වීමෙන් සිදුකළ දුම්රිය වර්ජනයේ පසුබිම මොකක්ද?

6/2006 චක්‍ර ලේඛය ස්ථාපිත කිරීමත් සමග දුම්රිය ක්ෂේත්‍රයේ මූලික වශයෙන් වැටුප් විෂමතාවක් නිර්මාණය වෙලා තිබුණා. අපි ඒ ගැන දිගින් දිගටම ඉල්ලීම් කරමින් හිිටියා. ඒ අනුව 2014 පැවති ආණ්ඩුව විසින් වැටුප් විෂමතාව ඉවත් කරන්නට අයවැයෙන් මුදල් වෙන් කර තිබුණා. එසේ තිබියදී එකී ආණ්ඩුව පරාජයට පත්ව 2015 දි අලුත් ආණ්ඩුව බලයට පත්වුණා. 2015 දි හිටපු ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර විසින් දුම්රිය ශ්‍රේණි ගණනාවක වැටුප් ඉහළ දමමින් වැටුප් විෂමතාව ඉවත් කරන්නට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා. එම කැබිනට් පත්‍රිකාවෙන් පෙර 6/2006 චක්‍ර ලේඛය මගින් ප්‍රාථමික මට්ටමේ හිටපු ශ්‍රේණින් ද්විතියික මට්ටමට ගෙනාවා. ඒත් ද්විතියික මට්ටමෙි හිටපු අපගේ වැටුප ඉහළ නංවූවාට වැටුප් තලය වෙනස් වුණේ නෑ. ඒක ප්‍රශ්නයක් වුණා.

* වැටුප් ඉහළ නැංවීමෙන් පසුවත් ඇතිවූ ගැටළුව මොකක්ද?

වැටුප ඉහළ නැංවී වැටුප් තලය ඉහළ නංවුණේ නැති නිසා ප්‍රාථමික මට්ටමේ හිටපු අයයි, අපියි අතර වෙනසක් නැති වුණා.
ප්‍රාථමික මට්ටමේ හිටියේ අපි විසින් අධීක්ෂණය කරපු අය වුණත් ඒ අයගේ වැටුප් තලය අපේ වැටුප් තලයට සමාන වූ නිසා ඒ අය අපි කියන දේ අහන්නෙ නැති මට්ටමට පත්වුණා. උදාහණයක් විදිහට දුම්රිය එංජින් රියදුරු විසින් දුම්රිය එංජින් රියදුරු සහයක අධීක්ෂණය කරමින් හිටියා. ඒත් අලුත් තත්ත්වය මත එයා, අපි කියන විදිහට වැඩ කරන්න පෙළඹුණේ නෑ. “දැන් මටත් මේ වැඩ පුළුවන්. මමත් ඔයාගෙ මට්ටමේ සේවකයෙක්’ කියලා එයාලා කියන්න ගත්තා. ‘ඔයා ඔයාගෙ පැත්තෙ වැඩ කරන්න අපි අපේ වැඩ කරගන්නම්’ කියන මට්ටමට ආවා. මෙම ගැටුම් නිසා අන්තිමට කෝච්චි මග නවතින්න ගත්තා. අරාවුල් ඇතිවුණා. 2015 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් එහෙම වුණා. මේ විදිහට රාජකාරි කරන්න බැරි නිසා එක්කෝ අර අයගේ වැටුප් තලය පහළට දාන්න, එහෙමත් නැත්නම් අපේ වැටුප් තලය ඉහළ නංවන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කළා.

* ඒ ඉල්ලීම් වලට සාධනීය ප්‍රතිචාර ලැබුණාද?

ඔව්. ‘ලබාගත් වැටුප් තලයක් වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔයාලගෙ වැටුප් තලය ඉහළ දාන්නම්” කියන එකඟතාවට ආවා. දුම්රිය සාමාන්‍යාධිකාරී, ප්‍රවාහන ඇමති ආදී සියල්ල එකතුවෙලා ඒකට අදාළව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් හැදුවා. ඒක ඉදිරිපත් කරන මට්ටමට ගිහින් වැටුප් කොමිෂන් සභාවට ගියා. ඒත් අපේ වැටුප් තලය ඉහළ දැම්මොත් පරිපාලන සේවයේ හා දුම්රිය ඉංජිනේරු සේවයේ ආරම්භක වැටුප අපේ වැටුපට සමාන වෙනවා. ඒත් අපේ කෙනෙකුට ඒ වැටුප ලැබෙන්නෙ අවුරුදු 35ක පළපුරුද්දත් එක්කයි. ආරම්භයේදී නෙවෙයි. ඒ කියන්නේ අපේ වැටුප් තලය නියෝජන කරන අවුරුදු 35 ක පළපුරුද්දක් ඇති කෙනෙකු ලබන වැටුප පරිපාලන සේවයේ හෝ දුම්රිය ඉංජිනේරු සේවයේ අද සේවයට බැඳෙන කෙනෙකුගේ ඒ කියන්නෙ ආරම්භක වැටුපට වඩා වැඩිවෙනවා. ඒ කියන කාරණය නිසා වැටුප් කොමිසම මේකට වි‍රුද්ධ වුණා. ඊට පස්සෙ අගමැති ලේකම් සමග සාකච්ඡා කළාම එයා කරුණු අවබෝධ කරගෙන දුම්රියට පමණක් සුවිශේෂී වන විදිහට අනෙක් සේවාවන්ට බල‍නොපාන විදිහට මේ ගැටළුව විසඳන්න යෝජනා කළා. ඒ අනුව අගමැති හා ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ගිය අවුරුද්දේ (2017) නොවැම්බර්වල අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ වැටුප අපට ලබාදී දුම්රිය ක්ෂේත්‍රයේ සියලුම වැටුප් ඒ මත ගැලපීම් කරන්න කියලා ඒකෙන් යෝජනා කළා.

* ඒක අනුමත වුණේ නෑ නේද?

ඔව්. ඒක ඒක අනුමත වුණේ නැති නිසා අපි ඊට විරෝධය පාමින් පහුගිය දෙසැම්බර් මාසයේ වර්ජනයකට ගියා. එතනදී ජනාධිපතිවරයා මැදිහත්ව මේ ගැන සොයාබලන්නට අමාත්‍ය මණ්ල අනු කමිටුවක් පත් කළා. සරත් අමුණුගම අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතුව අකිල විරාජ්, රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත‍ සේනාරත්න ඇමතිවරුන් ඇතුළත්ව ඒ අනු කමිටුව පත් කෙරුණා. දුම්රිය සේවාව සංවෘත සේවයක් බවට පත්කොට අපේ වැටුප් තලය ලබාදීමට මේ කමිටුව නිර්දේශ කළා. ඒ එකඟතාවට පැමිණි නිසා අපි විසින් වර්ජනය අත්හැරියා. පහුගිය මැයි මාසයේ 8 වනදා අනු කමිටුවේ සභාපති ලෙස අමුණුගම අමාත්‍යවරයාගේ හා ප්‍රවාහන ඇමති ඒකාබද්ධව ඒ එකඟතාව අනුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒක මැයි 08 දා අනුමත වුණා. ඒත් අනුමත වෙලා ක්‍රියාත්මක කරන්නට යද්දී පරිපාලන ප්‍රශ්නයක් ආවා. 3,2,1 ශ්‍රේණි ක්‍රමය, 2,1 බවට පත් කරන්න වෙනවා. එතනදී ගැටළුවක් ආවා. පරිපාලන නිලධාරීන් විසින් ඒක කරන්න වගකීම බාරගන්න බෑ කීවා. අමාත්‍ය ලේකම් ඒ වගකීම ගන්න බෑ කීවා. ඊට පස්සේ ‘මේක කොහොම හරි අනුමත කර දෙන්නම්’ කියලා අමුණුගම ඇමතිතුමා කීවා. ඊළඟ කැබිනට් මණ්ඩලය රැස්වීමට දාන්නම් කීවා. ඒ අනුව ඒක ඊළඟ කැබිනට් මණ්ඩලයට දැම්මා. එහිදී මුදල් ඇමතිගේ විරෝධය මැද්දෙ ඒක අනුමත වෙලා තිබුණා. ඊළඟ කැබිනට් මණ්ඩලයේදී මුදල් ඇමතිවරයා විසින් නැවත කරුණු කියන්න යාමේදී ජනාධිපති වරයාගේ නියෝගය මත තාවකාලිකව අත්හිටෙව්වා.

* ඔබලා පසුගිය වර්ජනය අත්හැරියේ ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. එහිදී ජනාධිපතිවරයාට මේ ගැන කරුණු කිව්වද?

ඔව්. අපි පොළොන්නරුවට ගිහින් ජනාධිපතිවරයා හම්බවෙලා කරුණු කීවා. වැටුප් කොමිසම හා මුදල් අමාත්‍යංශය පැත්තෙන් ආව විරෝධයට පදනම් වුණේ මං අර මුලින් කීව ශ්‍රේණි දෙකත් ඇතුළත්ව රාජ්‍ය සේවයේ ශ්‍රේණි 25ක මූලික වැටුප මෙයින් ඉක්මවා යන බවයි. ඒ අනුව මෙය ක්‍රියාත්මක කළ නොහැකි බවයි. මේ අපි මේ වැටුප ලබන්න අවුරුදු 35ක් සේවය කළ යුතුයි. අවුරුදු 35 ට පස්සෙ ලැබෙන වැටුප තමා මේ ඉක්මවා යන බව කියන්නෙ. ඒක ජනාධිපතිට පෙන්වා දුන්නාම එතුමා ඒක තේරුම් ගත්තා. ඒ වෙලාවෙම ජනාධිපතිතුමා, ඒ ගැන නිලධාරීන්ගෙන් ඇහුවා. ඒ අයට ඒකට හරිහැටි උත්තර තිබුණේ ‍නෑ. ‘6/2006 නිසා මෙහෙම වෙනවා’ වගේ එක එක කතා කීවා. ඒත් ජනාධිපතිතුමා ඒ වෙලාවෙ කීවෙ මේක කොහොම හරි කරන්න ඕන කියලයි. ඊට පස්සෙ ‘මං මේ ක කොහොම හරි කරන්නම්’ ජනාධිපතිවරයා අපට පොරොන්දු වුණා. ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තියලා, අපි වර්ජනය අත්හිටෙව්වා.

* දැන් තත්ත්වය කොහොමද?

ගිය සතියේ සෙනසුරාදා අපි ජනාධිපතිවරයා සමග නැවත සාකච්ඡාවක් කළා. එයින් පසුව ‘ඔයාලට ප්‍රශ්නයක් තියෙන බව මං පිළිගන්නවා. අපි නිලධාරිනුත් ගෙනන්ල්ලා බ්‍රහස්ප්‍රතින්දට නැවත සාකච්ඡාවක් තියලා විසඳුමකට එමු’ කියලා ජනාධිපතිවරයා කීවා. ඒ අනුව වැටුප් කොමිසමේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශ ලේකම් ඇතුළු මහත්තුරුන් සමග මේ බ්‍රහස්ප්‍රතින්දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳ නැවත සාකච්චාවක් තියෙනවා. එම සාකච්ඡාවෙන් සාධනීය විසඳුමක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එහෙම නොවුණොත් ගත යුතු ක්‍රියා මාර්ග ගැන එදිනෙන් පසුව තීරණය කරනවා.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435