දේශපාලනයින්ගෙන් හා ප්‍රභූන් යයි සම්මත අය නිසා කොරෝනා දෙවන රැල්ලක් ගැන අනතුරු අඟවයි

කොවිඩ්-19 පාලනයට සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් වලට අදාලව මහජන රැස්වීම්වලට පැමිණීමට නියමිත පුද්ගලයන් සංඛ්‍යාව, අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් හඳුන්වාදී තිබියදීත් සමාජයේ ඉහල වගකීමක් සහිත දේශපාලඥයන් ඇතුළු ප්‍රභූන් යැයි සම්මත සමහර පිරිස් විසින් අනුගමනය කිරීම මඟින් කොවිඩ්-19 මර්ධන නීති රීතීන් පිළිබඳව මහජනතාවට ඇති විශ්වාසය බරපතල ලෙස පිරිහීමකට ලක් වෙමින් තිබෙන බවත් මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය රීතීන් කඩන රැල්ල කොවිඩ්-19 වසංගත රැල්ලක් බවට පත්විය හැකි බව අනතුරු අඟවමින් රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

මේ වන විට කෝවිඩ් වසංගතය පාලනය කිරීමට අදාල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු ස්පර්ශකයන් ඇතිවීම අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවමින් තිබෙන නීති රීතීන් කඩකිරීම සමහර බලාධිකාරීන්ගේ විලාසිතාවක් බවට පත්වී ඇත.

ශ්‍රී ලංකාව තුල කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා, මහජනතාව විසින් එකී නීති රීතීන් අනුගමනය කිරීමේදී දැක්වූ සංයමය වඩා වැදගත් වූ බව අප විශ්වාස කරමු. රට නැවත විවෘත කරමින් වඩා කැපවීමක් සහිත මහජන සහයෝගයක් සෞඛ්‍ය අංශ විසින් තවදුරටත් අපේක්ෂා කරන මේ මොහොතේ ඊට හාත්පස වෙනස් ක්‍රියාමාර්ගයක් සමාජයේ ඉහල වගකීමක් සහිත දේශපාලඥයන් ඇතුළු ප්‍රභූන්යැයි සම්මත සමහර පිරිස් විසින් අනුගමනය කිරීම මඟින් කොවිඩ්-19 මර්ධන නීති රීතීන් පිළිබඳව මහජනතාවට ඇති විශ්වාසය බරපතල ලෙස පිරිහීමකට ලක් වෙමින් තිබේ.

සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් වලට අදාලව මහජන රැස්වීම්වලට පැමිණීමට නියමිත පුද්ගලයන් සංඛ්‍යාව, අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල, දිස්ත්‍රික් අතර සංචරණයේදී ක්‍රියාත්මක වන නීතිය හා අධි අවධානම් කලාප වල සිට අවධානම රහිත කලාප වෙත සමූහ වශයෙන් සංචරණය වීමට අදාලව බලපැවැත්වූ නිතී රීති උල්ඝනය කිරීමට රටේ කිසිඳු පුද්ගලයෙකුට ඉඩක් නොතැබිය යුතු අතර කොවිඩ්-19 ව්‍යාප්ත වීම සඳහා සමාජ තරාතිරම, දේශපාලන බලය හෝ වත්පොහොසත්කම අදාල නොවන බව සියළු පාර්ශ්වයන් සිහිතබා ගත යුතුය. නමුත් පසුගිය දිනවල එලෙස වගකීම් රහිතව ක්‍රියාකරන ඇතැම් පුද්ගලයන්ට එරෙහිව කිසිඳු පාර්ශ්වයක් විසින් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් කොවිඩ්-19 රෝගය ප්‍රජාවට සම්ප්‍රේෂණය වීමේ සහ ප්‍රජාව අතුරෙන් නැවත නැගිටීමක් ඇති වීමේ බරපතල අවධානමක් මතු කරයි.

තවද එකී කොරෝනා මර්ධන නීති උල්ලංඝනය කරමින් කටයුතු කල අවස්ථාවන් සඳහා විද්‍යුත් මාධ්‍ය (රාජ්‍ය හා පෞද්ගලික) මෙන්ම සමාජ මාධ්‍ය ද්වාර හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීම මගින් තත්ත්වය වඩාත් බරපතල වී ඇති අතර එමගින් ඉතා වැරදි පණිවුඩයක් සමාජගත වීම සහ සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳ ව්‍යාජ හැඟීමක් නිරූපණය කරන අතර එමඟින් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ සියළු ප්‍රයත්නයන් පසුගාමී කරනු ලැබේ. බලධාරීන් විසින් දැඩි වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, අනාගතයේ දී මෙවැනි මහජන රැස්වීම් සංඛ්‍යාවේ බරපතල වැඩිවීමක් අපට දැකගත හැකි වනු ඇත, එමඟින් COVID-19 වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීමට ඇති හැකියාව සාධනීය ලෙස ඉහළ යා හැකිය.

උක්ත කරුණු සැළකිල්ලට ගෙන කොවිඩ්-19 සෞඛ්‍ය උපදෙස් කඩ කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම හා එලෙස නීතිය ක්‍රියාත්මක වන බව මහජනතාවට ඒත්තු ගැන්වීම අදාල සෞඛ්‍ය අංශ අංශයන්ගේ හා දේශපාලන බලාධිකාරයේ සහ නීතිය ක්‍රියාත්මක කරන අංශයන්ගේ වගකීමක් බව අවධාරණය කරමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435