දේශපාලනය සහ කාන්තාව

ශ්‍රී ලාංකීය සමාජ සංදර්භය තුළ කාන්තාව සහ දේශපාලනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී, ඒ සම්බන්ධයෙන් ප‍්‍රධාන පරස්පරතාවයක් දැකගත හැකි වේ. එම පරස්පරතාවය කුමක් ද යන්න අප විමසා බලමු. ලෝකයේ  ඕනෑම රටක පුරවැසියා ස්ත‍්‍රී සහ පුරුෂ යන දෙපාර්ෂවයෙන් ම සමන්විත වේ. ජනගහන ව්‍යාප්තිය දෙස බලන විට සුළු අඩුවැඩි වීමක් මෙම දෙපාර්ශවය අතර තිබෙන බව පැහැදිලි කරුණකි. නමුත් ලෝකයේ බොහෝ රටවල ස්ත‍්‍රීන් විවිධ අංශවලින් එනම් අධ්‍යාපනය, ආර්ථික සහ සාමාජීය කටයුතු සම්බන්ධයෙන් සැලකිය යුතු ජයග‍්‍රහණ අත්පත් කරගෙන සිටිය ද දේශපාලන භූමිකාව තුළ අත්පත් කරගෙන ඇති ජයග‍්‍රහණ ඉතා ම අල්පය. මෙම තත්වය ශ‍්‍රී ලාංකික කාන්තාවට ද පොදු වූ ස්වභාවයකි.

ශ්‍රී ලංකාවේ අන්තර් පාර්ලිමේන්තු සංගමය  විසින් කරන ලද වාර්තාවකට අනුව ලෝකය පුරා පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය රකින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ‍්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 176 වැනි ස්ථානයයි. එපමණක් නොව මෙරට සමස්ත ජනගහනයෙන් 53% ක් ම කාන්තාවන්ය. විශේෂයෙන් ම ශ‍්‍රී ලංකාවේ ඡුන්දදායකයන් අතුරින් 56% ක්ම කාන්තාවන් වීමද සුවිශේෂී තත්වයකි. එමෙන් ම මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ඔවුන් ලබාදෙන දායකත්වය සුළුපටු එකක් නොවේ. එනම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආර්ථික  කුළුණුවන විදේශ රුකියා, ඇගළුම් සහ වැවිලි කර්මාන්ත යනාදියෙහි ප‍්‍රධාන ශ‍්‍රමදායකත්වය සපයන්නේ මෙරට කාන්තාවන් ය. එපමණක් නොව රාජ්‍ය සේවකයන් අතර කාන්තා ප‍්‍රතිශතය 40% ඉක්මවන අතර ම, විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් 60%ක් පමණ ද කාන්තාවන් වේ. නමුත් ගැටලුව වන්නේ රටේ ජනගහනයෙන් බහුතරයක් ම ස්තී‍්‍රන් සිටිය ද පාර්ලිමේන්තුව තුළ ඔවුන්ගේ නියෝජනය 225 දෙනෙකුගෙන් 12 ක් පමණක් වීමයි. ගැටලුව ඇත්තේ මෙතැනයි. එය ප‍්‍රතිශතයක් ලෙස 5% ක් පමණි. මෙම කරුණු විමසා බලන විට අපට මතුවන ප‍්‍රධානත ම ගැටලුව වන්නේ මෙවැනි පසුබිමක් තුළ අනෙක් අංශවලට සාපේක්ෂව දේශපාලන කේෂ්ත‍්‍රය තුළ කාන්තා නියෝජනය අවම මට්ටමක පවතින්නේ ඇයි ද යන්න පිළිබඳව වේ. මෙම තත්වය ශි‍්‍ර ලංකාවේ කාන්තාව හා දේශපාලනය සම්බන්ධයෙන් දැකගත හැකි මූලික පරස්පරතාවය මෙයයි.  මෙම තත්වය කාන්තාවන්ගේ පුරවැසිභාවයේ අගය අඩුකිරීමටත්, ඇයගේ අයිතිවාසිකම් භුක්තිවිදීමේ නිදහස සහ ඇය බලමුල ගැන්වීම සීමා කිරීමටත් මෙන්ම රටේ දේ්ශපාලන සංවර්ධනය හා එය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත යන ගමන ප‍්‍රමාද කිරීමටත් මූලික වශයෙන් බලපානු ලබයි. මෙය ලංකාවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පවතින ප‍්‍රමාණාත්මක ගැටලුව වේ.

අනෙක් ගැටලුකාරී තත්වය වන්නේ, පවතින කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පවතින ගූණාත්මකභාවය සම්බන්ධවයි. මේ පිළිබඳව අප විශ්ව විද්‍යාලයේ කරන ලද  ශිෂ්‍ය පර්යේෂණයකින් තහවුරු වූයේ 1948 සිට වර්තමානය දක්වා  පාර්ලිමේන්තුව නියෝජනය කරන්නා වූ කාන්තා නියොජිතවරියන්ගේ ප‍්‍රමාණය වර්ධනය වී තිබුණ ද එදා සිට මේ දක්වා දේශපාලනයට පැමිණි ස්ත‍්‍රීන් අතුරින් බහුතරයක්ම දේශපාලනයට පැමිණ ඇත්තේ සිය දේශපාලන පවුල් පසුබිම තුළ තම පියා හෝ මව, ස්වාමියා නැතිනම් වෙනත් ඥාතියෙකුගේ අභාවයෙන් පසුව වන බවයි. මෙහිදී ස්වාධීනව දේශපාලනයට පැමිණ ඇත්තේ ඉතාමත් ම සුළු ස්තී‍්‍රන් පිරිසක් වන බවයි. මෙහිදී නව මැතිවරණ පනත මගින් කාන්තා නියෝජනය සඳහා 25% කෝටාවක් ලබාදීම අගය කළයුත්තකි. නමුත් පළාත් පාලන මැතිවරණය අවසානයේ දී එහි ක‍්‍රියාත්මකභාවයේ දී ගැටලු මතුවිය. එනම් කාන්තාවන්ට දේශපාලනය පිළිබ`ද දැනුම මදකම, අත්දැකීම් මදකම එහිදී මතු වූ ප‍්‍රධාන හේතූන් විය. එනිසා කාන්තා නියෝජනය හා සම්බන්ධව මෙබදු නිවැරදි කර ගතයුතු තැන් ද රාශියක් තිබේ.  එනිසා පවුල් පසුබිම පදනම් කරගෙන හෝ කාන්තාවන් දේශපාලනයට ප‍්‍රවිශ්ටවීම අප අගය කළ යුතුය. නමුත් ගැටලුව වන්නේ පවුල් පසුබිම පදනම් කරගනිමින් දේශපාලනයට ප‍්‍රවිශ්ට වන බොහෝ ස්ත‍්‍රීන් ට ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳව නිසි දැනුවත් කමක් නොවීම සහ අනෙක් අතට කාන්තාවන්ගේ අවශ්‍යතාවන් පිළිබඳව සංවේදීව කටයුතු කළ හැකි ද  යන්න යන්නයි. විශේෂත්වය වන්නේ මෙම කාන්තා නියෝජනය තුළ පවතිත ගැටලුකාරී ස්වභාවය නිසා අවසානයේ දී එයින් බලපෑමට ලක්වන්නේ කාන්තාවන් ම වීමයි. එනිසා අවසානයේ දී එවැනි නියෝජනයක් හරහා අප බලාපොරොත්තුවන ස්ත‍්‍රී නියෝජනයේ අරමුණු කෙතරම් දුරට සඵල වනවා ද යන්න සිතා බැලිය යුතුය. එනිසා අවසාන වශයෙන් ශ‍්‍රී ලංකාවේ කාන්තා නියෝජනය පිළිබඳව සලකා බැලීමේදී එය ප‍්‍රමාණාත්මකව පමණක් නොව ගුණාත්මක වශයෙන් ද යුතු නියෝජනයක් වීම අත්‍යාවශ්‍ය වේ.

 

 

 

 

 

බී. බී. මහේෂිකා පෙරේරා

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435