දේශපාලන අස්ථාවරත්වය වැඩකරන පන්තියට කුමන ආකාරයකින් බලපායිද?

වර්තමානයේ දී උද්ගතව ඇති දේශපාලන අර්බුදය වැඩ කරන පන්තිය කෙරෙහි බලපාන්නේ කුමන ආකාරයකින් ද ?

ධනවාදී සමාජ ක‍්‍රමයෙහි උද්ගතවන සමාජ-දේශපාලන අර්බුද පිළිබඳව වාමවාදී දෘෂ්ටිකෝණ දෙකක් පවතී. විප්ලවීය මාක්ස්වාදී දෘෂ්ටිකෝණයට අනුව එවැනි අර්බුද නිර්ධන පන්තියට ආශිර්වාදයක් වේ.

මක්නිසාද යත් එවැන් අර්බුද හමුවේ ධනවාදී ක‍්‍රමය කෙරෙහි අභියෝග එල්ල කිරීමේ පුළුල් අවකාශයක් නිර්ධන පන්තිය වෙත විවර වන බැවිනි. එහෙයින් විප්ලවීය තත්ත්වයක් පවතින විට ධනවාදී සමාජයේ උද්ගතවන සමාජ-දේශපාලන අර්බුද වැඩ කරන ජනතාවගේ ධනේෂ්වර විරෝධී ක‍්‍රියාමාර්ග සඳහා වඩාත් වාසි සහගත වේ.

එහෙත් සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී දෘෂ්ටිකෝණය යටතේ විශේෂයෙන් ම සමාජ වෙළඳපොළ ප‍්‍රතිපත්තියට අනුව ධනේෂ්වර සමාජ ක‍්‍රමයෙහි උද්ගතවන අර්බුද වැඩ කරන පන්තියේ ජීවන තත්ත්වයට හානිකර වන බැවින් එවැනි අර්බුද අවස්ථාවලදී එම අර්බුද සමනය කර ගැනීම සඳහා වැඩ කරන පන්තිය යම් කැප කිරීමක් කළ යුතු වේ.

වර්තමාන ලංකාවේ විප්ලවකාරී තත්ත්වයක් නොපවතින අතර වර්තමානයේ දී උද්ගත වී ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයට ලක්වීමේ තත්ත්වයකි. රජයේ ප‍්‍රධානියා වන ජනාධිපති විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නිර්ධය ලෙස උල්ලංගනය කරමින් රටේ නීතියේ පාලනය අක්‍රීය කරනු ලැබීමය. ලෝකයේ පිළිගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුකරණයෙහි සම්ප‍්‍රදායන් ඉවතලමින් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති අගමැතිවරයෙකු ප‍්‍රමුඛ ආණ්ඩුවක් පිහිටුවීම සහ පාර්ලිමේන්තුවේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයන් අතර නිර්ලජ්ජිත ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීම මගින් රට තුළ දේශපාලන අස්ථාවර භාවයක් නිර්මාණය කිරීම, 2015 පෙර පැවති රාජපක්‍ෂවාදී මැර දේශපාලනය යළි පණ ගැන්වීම වැනි දුර්දාන්ත දේශපාලන වාතාවරණයක් ස්ථාපනය කිරීමට ජනාධිපති සිරිසේන කටයුතු කළේය. මෙහි ප‍්‍රතිඵලය වූයේ ජනාධිපති සහ පාර්ලිමේන්තුව අතර බල අරගලයක් හට ගැනීම ය.

රටේ ආර්ථිකය සහ පරිපාලනය තීරනාත්මක ලෙස අකර්මන්‍ය වීම වත්මන් දේශපාලන අර්බුදය තුළ සිදු වී තිබේ. විදේශ ආයෝජනයන් අඩපණවීම, විදේශ ආධාර සහ ප‍්‍රදානයන් අත්හිටුවීම, ඇමෙරිකානු සහ යුරෝපීය ආර්ථික සම්බාධකවල සෙවනැලි මතුවීම, විදේශ සංචාරකයින්ගේ පැමිණීම වේගයෙන් පහළ යාම, ඩොලරය ඉහළ යාමට සාපේක්‍ෂව රුපියලේ අගය කඩා වැටීම යනාදී ප‍්‍රවනතා ආර්ථික ක්ෂේත‍්‍රය තුළ ද, රාජ්‍ය ආයතනවල තනතුරු මාරු කිරීම, පලි ගැනීම, ගැටුම් ඇති කිරීම යනාදී ක්‍රියාවන් පරිපාලන ක්ෂේත‍්‍රය තුළ ද සිදුවී තිබේ.

ඉහත දැක් වූ වාතාවරණය තුළ වඩාත්ම දුෂ්කර තත්ත්වයකට පත් වන්නේ වැඩ කරන ජනතාවයි. විශේෂයෙන් ම ආර්ථිකයේ සිදුවන බිඳවැටීම මෙහිදී ප‍්‍රමුඛ වේ.

වත්මන් අර්බුදය හමුවේ වැඩ කරන ජනතාව ක‍්‍රියා කළ යුත්තේ කෙසේ ද ?

වැඩකරන ජනතාව මුහුණ දී ඇති ගැටළු විසඳාගත හැකි කෙටි කාලීන ක‍්‍රියාමාර්ගය වන්නේ මූලික වශයෙන් සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ දේශපාලන අරගලය පණ ගැන්වීම ය. වත්මන් දේශපාලන අර්බුදයේ පුරෝගාමියා වන ජනාධිපති සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධී දේශපාලන ක‍්‍රියාදාමයට එරෙහිව වැඩ කරන පන්තියේ ප‍්‍රමුඛත්වයෙන් අඛණ්ඩව ඉදිරියට ගමන් කරන ජන අරගලයක් ආරම්භ කිරීමේ කාලය උදා වී තිබේ. වර්තමානයේ දී මෙරටෙහි වෘත්තීය සමිති ව්‍යාපාරයේ බහුතරය ජාතිවාදී නැඹුරුවකට ගමන් කර  තිබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා වන අරගලය සම්බන්ධයෙන් පවතින ප‍්‍රබලතම අභියෝගය වේ.

එම අභියෝගය ජය ගැනීම වැඩ කරන පන්තියේ ප‍්‍රගතිශීලී බලවේගවලට පහසුවෙන් කළහැකි කාර්යයක් ද නොවේ. කෙසේ වෙතත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලය පණ ගැන්වීම සහ වැඩ කරන පන්තිය එම අරගලය වටා ඒකරාශී කර ගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් වේ.

වැඩ කරන ජනතාවගේ ඉදිරි ක‍්‍රියාමාර්ගය කුමක් වියයුතු ද ?

ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි එල්ල වී ඇති බරපතල අභියෝගය සුළුවෙන් තැකිය නොහැකි ය. ජනාධිපති සිරිසේනගේ අනුග‍්‍රහය යටතේ දූෂිත සහ මිනීමරු රාජපක්‍ෂවාදය නැවත තහවුරු වීම පිළිබඳ අනතුර අතිශයින් තීරණාත්මක ය. රාජපක්‍ෂවාදය නැවත තහවුරු කිරීම සඳහා දැඩි උත්සාහයක නියැලෙන්නේ 2015පෙර රාජපක්‍ෂ රෙජීමය තුළ දූෂණ හා මිනි මැරුම්වලට සම්බන්ධව චෝදනාවලට ලක් වූ මැරවර දේශපාලඥයින් පිරිසකි.

රාජක්‍ෂවාදය නැවත බලයට පත් වුවහොත් නුදුරු අනාගතයේදී මෙරටෙහි දරුණු ඒකාධිපති පාලනයක් බිහිවීම වැලැක්විය හැකි නොවේ. එහෙයින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම උදෙසා පුළුල්තම දේශපාලන සංධානයක් ගොඩනැගීමේ අවශ්‍යතාව දැඩිලෙස ඉස්මතු වි තිබෙන අතර වැඩ කරන පන්තියේ සහභාගිත්වය මෙහිදී ප‍්‍රමුඛත්වය ගනී.

නුදුරු අනාගතයේ දී ගොඩ නැගෙන පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානය වෙත වැඩ කරන පන්තියේ වෘත්තීය සමිතිවල සහයෝගය පමණක් නොව වැඩ කරන පන්තියේ නායකත්වය ද අත්‍යවශ්‍ය කොන්දේශියක් වන බව දැක්වීමට පුළුවන්.

සටහන – ආචාර්ය ටෙරන්ස් පුරසිංහ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435