දේශපාලන හයියට බඳවා ගැනීම් එපා- බැංකු සේවකයෝ අවධාරණය කරති!

දේශපාලන බලපෑම් මත රාජ්‍ය බැංකුවලට සේවකයින් බඳවා ගැනීම වහා අත්හිටුවිය යුතුව ඇති බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කරයි.

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

රාජ්‍ය බැංකුවලට සේවකයින් බඳවා ගනු ලබන්නේ නිසි පරිදි පුරප්පාඩු ගණනය කර ඒ අනුව ප‍්‍රසිද්ධියේ අයදුම්පත් කැඳවා තරඟ විභාගයක් පවත්වා ඉන් සමත්වන අයැදුම් කරුවන් සම්මුඛ පරීක්‍ෂණයකට ද භාජනය කරමිනි. නමුත් මේ වනවිට ඒ සියලූ පියවර හා පටිපාටි නොසළකා හරිමින් දේශපාලන බලපෑම් මත දේශපාලඥයින්ගේ ලැයිස්තුවලින් සේවකයින් බඳවා ගැනීමේ වැඩ පිළිවෙළක් දියත්ව ඇත.

අද වනවිට රටේ පවතින රාජ්‍ය ආයතනවලින් බහුතරයක් කිසිදු ප‍්‍රතිපත්තියකින් තොරව දේශපාලන උවමනා එපාකම් මත බඳවා ගැනීම් සිදුකිරීම නිසා එම ආයතන විනාශ මුඛයට ගොස් අලාභ ලබන තත්ත්වයට පත්ව ඇත. එසේම ඒවා අද වනවිට රාජ්‍ය භාණ්ඩාගාරයට ද, රටේ ජනතාවට ද විශාල බරක් වී ඇත. නමුත් දේශීය ආර්ථිකයේ මර්මස්ථාන වන රාජ්‍ය බැංකු වාර්ෂිකව ලාභ ලබමින් එම ලාභය මහා භාණ්ඩාගාරයට පෝෂණය කරන අතර ඒවා ලාභදායීව පවත්වාගෙන යාමට ඒවායේ මානව සම්පත ගුණාත්මකව පවත්වාගෙන යාම වැදගත් සාධකයක් වී ඇත. නිසි පරිදි සිදුකරන විධිමත් බඳවා ගැනීම් පටිපාටියක් එම බැංකුවල පැවතීම නිසා අද වනවිට රාජ්‍ය බැංකුවල වෘත්තීයමය නිපුනතාවෙන් යුතු සේවක මණ්ඩලයක් පවත්වා ගැනීමට හැකිවී ඇති අතර ඒ නිසාම එම බැංකුවල ව්‍යාපාරික ස්ථාවර භාවය රැකගැනීමට හැකිවී ඇත.

පසුගිය විවිධ ආණ්ඩු යටතේ රාජ්‍ය බැංකුවලට වරින්වර බැංකු සහකාර පුහුණු හා කළමනාකාර පුහුණු ශ්‍රේණි සඳහා බඳවා ගැනීම් සිදුකර ඇති අතර එහිදී නිශ්චිත ගණ නිගමනයන් මත පුරප්පාඩු ගණනය කර ප‍්‍රසිද්ධියේ අයදුම්පත් කැඳවා විභාග හා සම්මුඛ පරීක්‍ෂණ තුළින් එම බඳවා ගැනීම් කර ඇත. නමුත් මේ වන විට ඒ කිසිවක් නොසලකා රාජ්‍ය බැංකුවලට දේශපාලන උවමනාවන් මත පිළියෙල කළ ලැයිස්තු පදනම් කර ගනිමින් විවිධ ශ්‍රේණි සඳහා සේවකයින් බඳවා ගැනීමේ සැලසුම් දියත්ව ඇත්තේ සියලූ පිළිගත් ක‍්‍රමවේදයන්ට පටහැනිවය. මෙය රාජ්‍ය බැංකුවල බඳවා ගැනීම් සම්බන්ධව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව ඉදිරිපත් කර ඇති නිර්දේශයන්ට පවා සපුරා පටහැනිය. මේ නිසා ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක ගණනාවකි. එනම්,

1 රටේ උගත් තරුණ පරපුරට සාධාරණ ක‍්‍රමවේදයන් හරහා දක්‍ෂතාවන් තුළින් රටේ පිළිගත් රැකියාවකට ඇතුළුවීමට ඇති ඉඩකඩ අහිමි වීම.

2 ඉතා තරඟකාරී ක්‍ෂෙත‍්‍රයක් වන බැංකු ක්‍ෂෙත‍්‍රයේ රාජ්‍ය බැංකුවලට අනවශ්‍ය ලෙස සේවකයින් ගාල් කිරීම හා නුසුදුස්සන් බඳවා ගැනීම තුළ ඒවායේ ලාභදායිත්වය හා ඵලදායිත්වය පහළ බැසීම.

3 රාජ්‍ය බැංකු පසුබෑමකට ලක්වීම තුළ රටේ සමස්ත ආර්ථිකයට එය බලපෑම නිසා රටේ සමස්ත ජන ජීවිතයට එය අහිතකර ලෙස බලපෑම.

එබැවින් ඉතිහාසය පුරා රාජ්‍ය බැංකු රැකගැනීමට පෙරමුණ ගත් සංගමයක් ලෙස අප මෙම ක‍්‍රියාවලියට එකහෙළා විරුද්ධ වෙමු. එසේම අප මේ තත්ත්වය ආණ්ඩුවේ මෙන්ම විපක්‍ෂයේ ද වගකිවයුත්තන් වෙත ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇත. එය නොසලකා දිගින් දිගටම ක‍්‍රියා කරන්නේ නම් සමස්ත බැංකු පද්ධතිය තුළ සේවක ප‍්‍රජාව ඒකරාශී කරමින් මෙම අසාධාරණ හා අත්තනෝමතික ක‍්‍රියාවලිය පරාජය කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට ඔබ සැම දැනුම්වත් කර සිටිමු. මේ සඳහා රටට ජනතාවට හිතැති ඔබ සැමගේ සහයෝගය නොඅඩුව ලැබෙනු ඇතැයි සහෝදරාත්මකව අපේක්‍ෂා කරමු.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435