නව කම්කරු පනත- මේක අසංවිධිත කම්කරුවො ටිකක් මරන් කන්න හදන වැඩක්

ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් කේසර කෝට්ටෙගොඩ  “වැඩබිම” විසින් සංවිධානය කරන ලද නව කම්කරු පනත පිළිබඳ වැඩසටහනේ දී දක්වන ලද අදහස්.

මේ පනත් කෙටුම්පත මුලින්ම ඉදිරිපත් කරන්නේ ජාතික කම්කරු උපදේශන සභාවට. ඒ ජූලි 9 වෙනිදා. මේ පනතට පාදක වුණු අතීතයක් සහ මුහුණ පෑමට සිදුවන විදිහක් තියෙනවා. මේක  “ශිෂ්ට රැකියා වැඩපිළිවෙල” යනුවෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ප්‍රඥප්තියකට අනුව 2008 වසරේ සිට ලංකාව අත්සන් කරන එකක්. එහි 2018 -2022 ශිෂ්ට රැකියා වැඩපිළිවෙලේ (DWCP – Decent Work Country Program) තියෙනවා කම්කරු නීති සංශෝධනය කරන්න ඕනේ කියලා. DWCP කියන්නෙ  මුදල් ආකරයක්. ඒකට වෙන්කරපු මුදල ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක්. මේ කිසිවක් මගේ  හිතළු නෙවෙයි. අදාල ලියකියවිලි අනුවයි අදහස් දක්වන්නෙ. ලංකාවේ කම්කරු නීති සංශෝධනය කරන්න අත්සන් කරපු ලංකාවේ වෘත්තිය සමිති  වල නම් DWCP එකේ තියෙනවා. ඒ සඳහා ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක්  වෙන කරල තියනව ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහ කොහොමද යොමු වෙන්නෙ කියලා කම්කරුවන් ලෙස අප අවබෝධයෙන් සිටිය යුතුය. කම්කරු කොමසාරිස් මෙම පනත එළිදක්වන්න කලින් අපිට ආව ජූලි 9. ඒක අපි අතට එද්දි මීට වඩා වගන්ති දෙකක් වැඩි එකක් ආවෙ. අපි මේ පිළිබඳ කොමසාරිස්ගෙන් ප්‍රශ්න කළාම කොමසාරිස් කිව්වේ ඔයාලට පිස්සුද,  ඕවට අපි  වග කියන්නේ නෑ, ඔහොම එකක් නෑ කියලා. ඉන්පසුව මාස තුනක් ඇතුළත ඒ කම්කරු කොමසාරිස් ට ම සිද්ධ වුණා මේක කම්කරුවන්ට ඉදිරිපත් කරන්න.

ජූලි නමයට සති දෙකකට පෙර ජුනි 27 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ ශාලාවක හාම්පුතුන් කැඳවනවා මේ පනත ගැන කතා කරන්න. ඒක ආරාධිතයා කම්කරු කොමසාරිස් ජෙනරාල්. කම්කරුවන් විසින් විමසපු පනත කම්කරුවන්ට දෙන්න කලින් කම්කරු කොමසාරිස් ගිහින් හාම්පුතුන් එක්ක කතා කරනවා. මේ තමයි අර ඩොලර් දෙලක්ෂ විසිපන්දහ වැඩ කරන තැන්. 2015 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා “හීල් දානයක්” දුන්නා වෘත්තීය සමිති වලට. ඒ කියන්නේ  breakfast meeting කියලා එකකට කෝල් කලා. ඒකෙදි මේ ඔක්කොම කිව්වා. මාස හයෙන් අලුත් රටක් කියන්නේ යූඑන්පී  ‍ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේක තියෙනවා. 2016 දී ශිරාණි තිලකවර්ධන සහ සුරේෂ් චන්ද්‍ර කියන මහාධිකරණ විනිශ්චයකාරවරුන් මේ කම්කරු පනත හදමින් හිටියා.  ඒකට පහසුකම් සැපයූයේ ලංකාවේ Colombo ILO එක. ඒකට විරුද්ධව අපි ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ඉදිරිපිට උද්ඝෝෂණය කළා. දැඩි විරෝධතාවය එක්ක Colombo ILO එක ඒක අඩියක් පස්සට ගත්තා. ඒ වගේම අර ඩොලර් අපි අතරටත් ගලාගෙන එන්න පුළුවන් අපේ මනස හදන්න. ඒ ගැන අමතක කරන්න එපා. අපිට එන්න පුළුවන් ඕන තරම් මේ අනුව විවිධාකාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්න.

මෙම පනත තනි පනතක් ලෙස කියවුවහොත් අත්‍යාලංකාර වචන ටිකක් තියෙන්නෙ. යම්කිසි අකාරයකට මේකට විරුද්ධ වෙන එකෙක් පිස්සෙක් කියල හංවඩු ගහන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස මේකෙ Sexual Harassment පිළිබඳව සඳහන් වගන්තිය බැලුවම මරුනේ කියල හිතෙනවා. හැබැයි මේකෙන්  හින්සනයන් සීමා වෙනවා. නමුත් ලංකාවේ දැනට තියෙන හිංසනයන් පිළිබඳ නීතියත් ඉතාමත් ශක්තිමත් එකක්. ඒ දැඩි ගතිය මේකෙන් ඉවත්වෙනවා. සංසන්දනය කිරීමේදී තමයි මේකෙ අපරාධය තේරෙන්නෙ. මිනීමැරුම් වර්ග ගොඩක් තියෙනවා. ඒ අතරින් සංවිධානාත්මක අපරාධය ඉතා දරුණුයි. මේ පනත යම්කිසි ආකාරයකට සංවිධානාත්මක අපරාධයක්. මේක කම්කරු පන්තිය ටික ටික මරණ සංවිධානාත්මක අපරාධයක්.

මෑන්පවර් ක්‍රමය

ඒ වගේම මේ පනතෙන් මෑන්පවර් ක්‍රමය වෙනස් කිරීම තහනම් කරලා තියෙනවා. දැනට ලංකාවේ තියෙන නීතියෙන් මෑන් පවර්ක්‍රමය තහනම්.පඩි පාලක සභා ආඥා පනතට අනුව හාම්පුතුන්ට මෑන්පවර් හදන්න බෑ.මේකට අනුව  සම්පූර්ණයෙන්ම මෑන්පවර් ක්‍රමය නීතිගත කරලා තියෙනවා.

කම්කරු නීති සාමාන්‍යයෙන් නීති යනුවෙන් හඳුන්වන්නෙ නැත. ඒවා හඳුන්වන්නේ කම්කරු ආරක්ෂක නීති යනුවෙනි. මන්ද යත් එම නීති සකස් කර ඇත්තේ කම්කරුවා ආරක්ෂාවීම සඳහාය. මෙම පනතට අනුව ආරක්ෂාව යන කොටස් සියල්ල ඉවත් වී යයි.

තවද රැකියාව සඳහා භාෂා දැනුම යහපත් අරමුණක් ලෙස මෙහි සඳහන් වේ. මෙම වගන්තියට අනුව භාෂාවක් පිළිබඳ ඉල්ලුම් කිරීමේ හැකියාව හාම්පුතා සතු වේ. මෙහි අවසානය රැකියාව අවසන් වීම දක්වා තීර්ණාත්මක විය හැකිය.

කම්කරු ආරවුලක් ඇති වූ පසු පෞද්ගලික අංශයට හා රාජ්‍ය අංශයට යා හැකි මාවත් දෙකක් ඇත. එම මාවත් දෙකටම යාමට නම් මෙම පනතට අනුව බේරුම්කරණය නොවන සහතිකයක් (Non settlement certificate) රැගෙන යා යුතුය. කම්කරුවාට ඒ තුල අභ්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවනු ලැබේ. ඒ අනුව අභියාචනා ක්‍රියාමාර්ගයකටත්, පරීක්ෂණ කමිටුවකටත් පෙනීසිටිය යුතු වේ.  මේ සියල්ල සම්පූර්ණ කළ තැනදී පමණක් කම්කරු විනිශ්චය සභාවට යා හැකි වේ.

සේවක සංවිධානය වීමේ නිදහස

මෙම පනතේ 9 වන වගන්තියේ දක්වන පරිදි බැලූ බැල්මට සේවක සංවිධානය වීමේ නිදහස වැඩි කරන ලද්දක් බවට පෙනී යා හැකිය. නමුත් මෙහි ඇති ගැටළුව වන්නේ 1999 අංක 56 කාර්මික ආරවුල් සංශෝධන පනත ඉවත් කර තිබීමයි. රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති නායකයෙක් මාධ්‍ය ඉදිරියට ගොස් ප්‍රකාශයක් කර නැවත පැමිණීම දක්වා ඔහුව අරක්ෂා කරනු ලබන පනත මෙයයි. නව පනත මගින් එය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර පිටු 5-6 පමණ තිබූ පනත එක් පිටුවකට පමණක් සංක්ෂිප්ත කර ඇත. මෙය යම් කිසි ආකාරයකට දිය වැඩියා රෝගීකුට සීනි වැඩියෙන් දී ටික ටික ඝාතනය කරන්නා සේය.

Fixed term contract

නිශ්චිත කාලීන කොන්ත්‍රාත්තුව (Fixed term contract) නිශ්චිත කාලයකට ගන්නා වැඩ යනුවෙන් දැනට පැවතුණද, නව පනත මගින් Fixed term contract අවිනිශ්චිත කර ඇත. එනම් ඊට අනුව දිගටම සේවය ලබා ගත හැකි වේ. මෙම පනත රාජ්‍ය අංශයට දැනෙන විදිහක් තියෙනවා. එයාලට හිතෙනවා මේක අපිට අදාළ නෑනේ කියලා. ඒක ඉතා වැරදි අදහසක්. මන්ද මේ සියළු කොන්දේසි රාජ්‍ය අංශයටද අදාල විමයි. මෙම පනතට අනුව සෘජුවම හා වක්‍රව බලපෑමට ලක්වන පනත් විශාල ප්‍රමාණයක් වේ. එනම් මේ අනුව “සාප්පු හා කාර්යාල සේවක පනත, පඩි පාලක සභා ආඥා පනත” ඉවත් වේ. අපි හිතනවා ඉඳගෙන වැඩකරන්න  පුටුවක් මේසයක් දීලා තියෙන්නේ, ලයිට් එකක් දාලා තියෙන්නේ, වර්ග අඩි ගණනකට දැමිය හැකි මේස ප්‍රමාණය තීරණය කරල තියෙන්නේ අපිට ආදරේට කියලා. නෑ, ඒවා සාප්පු හා කාර්යාල සේවක පනතේ තියෙන දේවල්.

එසේම 1978 රාජ්‍ය නිල නිවාස පනත (State quarters act) යනුවෙන් පනතක් ඇත. ඒ අනුව යම් කිසි සේවකයකු විනය පරීක්ෂණයකින් ඉවත් කළද නිවාසයෙන් එළියට දැමිය නොහැකිය. එම පනතද නව පනතින් ගලවා දමා ඇත.

එසේම 1956 අංක 47 දරණ ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීම පිළිබඳ පනතද ඉවත් කර ඇත. එසේම පාරිතෝෂික පනත (Gratuity Act), මාතෘ ප්‍රතිලාභ ආඥා පනත, නිවාඩු පනත යනාදී පනත් ද ඉවත් කර ඇත.

කම්කරු කොමසාරිස් මෙම පනත ගේනකොට කිව්වේ මේක ඉදිරිපත්කරන්නේ ආයෝජකයො ලංකාවට ගෙන්න ගන්න කියලා. කම්කරු නීති දැඩි නිසා ආයෝජකයෝ ලංකාවට එන්නෙ නෑලු. නමුත් අපි ඒ ප්‍රකාශය බොරුවක් කියල ඔප්පු කරල තියෙනවා. ලෝක බැංකුවට අනුව ආයෝජකයන් ලංකාවට ඒමට බලපාන ශ්‍රේණි ගත කිරීමක් තියෙනව. ඒක Doing business report යනුවෙන් හඳුන්වනවා. එහි රටකට ආයෝජකයකු පැමිණීමට බලපාන නිර්ණායක 20කට ආසන්න ප්‍රමාණයක් ඇත. කම්කරු නීති යනු ඉන් එකක් පමණි. ශ්‍රී ලංකාව, වියට්නාමය, ඉන්දුනීසියාව, කාම්බෝජය, චීනය, මියන්මාරය, පාකිස්ථානය, බංගලාදේශය, නේපාලය යන රටවල් වල කම්කරු නීති සංසන්දනය කර බැලූ විට ආයෝජකයන්ට වඩාත්ම නිදහස් හා හිතකරම කම්කරු නීති ඇත්තේ ශ්‍රී ලංකාවේ ය.  උදාහරණයක් ලෙස “මාතෘ නිවාඩු” දින ගණන සැලකිල්ලට ගතහොත් ඒ ඒ රටවල ලබා දෙන දිනගණන් එකිනෙකට වෙනස්ය. ලංකාවේ දින 84, ඉන්දුනීසියාවේ දින 90, චීනය දින 128, මියන්මාරය දින 98, පාකිස්ථානය දින 84, බංගලාදේශය දින 112, ඉන්දියාව දින 182, නේපාලය දින 60 කි.

සාමූහික ගිවිසුම් ක්‍රියාවලිය

සාමූහික ගිවිසුම් නීතිය කියන්නේ ලංකාවේ ගිවිසුම් නීතිය යටතේ ආවට උදාහරණයක් විදිහට මෙහෙම එකක්. මම ඉඩමක් ගන්නකොට ඉඩමේ භූමි ප්‍රමාණයට අනුව පර්. 10 නම් මම ලක්ෂ 10ක් ඒකට ගෙවනවා. එනම් සමාන දැනුමෙන් ගිවිසුමකට එලඹෙනවා. ඒ ආකාරයකට ගිවිසුමකට එලඹුනාම ගිවිසුම උල්ලංගනය කිරීමක් සිදු වුවහොත් මට නඩු පැවරිය හැකිය. රැකියා ගිවිසුමකදී (Employment contract) ලෝක සම්මතයක් තියෙනවා ශ්‍රමය විකුණන කෙනා ඉන්නේ හාම්පුතාට වඩා පහළින්. එම නිසා කම්කරු නීති ජාත්‍යන්තර සහ දේශීය වශයෙන් සකස්කර ඇත. ඒ අනුව ලංකාවේ සාමූහික ගිවිසුම් ක්‍රියාවලියට නෛතික ප්‍රතිපාදන රැසක් ඇත. යම් ආකාරයකට ගිවිසුමක් කැඩුවහොත් අදාළ කටයුතු කළ යුතු අකාරය, පරීක්ෂණයක් පවත්වන ක්‍රම, දඬුවම් පමුණුවන විධි ආදී සියල්ල මෙහි සඳහන් වේ. ඒ සියල්ල නව පනත මගින් හකුලා දමා ඇත.

ආයතන වලට නීති රාමු සකස් කිරීම

නව පනතට අනුව ඒ ඒ ආයතන වලට අවශ්‍යය පරිදි නීති රාමු සකස් කර ගත හැකිය. එය රටේ නීතියට යටත් වන්නේ දැයි කිසිදු සඳහනක් නැත. දැනුත් හාම්පුතුන්ට නීති රාමු සකස් කළ හැකි වුවද ඒ කිසිදු නීතියක් ර්ටේ නීතිය අබිබවා යා නොහැක. මීට අදාළ වන, 1900 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් ඇත. මෙය 1990 දී සම්මත විය. එයට අනුව යම් කිසි නීතියක් සකස් කරන්නේ නම් පහත සඳහන් කොන්දේසි තුනට යටත්ව එය සිදු කළ යුතුය.

  1. උපදෙස් පැහැදිළිව ස්වභාෂාවෙන් ලබා දීම.
  2. නිසියාකාරව සන්නිවේදනය කළ බව දැනිය යුතුය.
  3. සේවකයාගේ මනසට ග්‍රහණය කළ හැකි ආකාරයට දැක්විය යුතුය.

උක්ත සියලු නිර්ණායක නව පනතින් ඉවත් කර ඇත. ඒ අනුව යම් සේවකයකු අදාළ නීතිය දැනගෙන, කියවා, අවබෝධ කරගෙන සිටිය යුතු නැත. ඒ අනුව මෙහිදී සිදුකරනු ලබන්නේ නීති සංශෝධනයක් පමණක් නොව නඩු තීන්දු වලින් කම්කරුවන් විසින් දිනා ගත් අයිතිවාසිකම් ද ඉවත් කිරීමයි.

1978 අංක 8 දරණ පෞද්ගලික අංශයේ පුහුණු වන්නන් සේවයේ යෙදවීමේ පනත

පුහුණු වන සේවකයන් සේවයට බඳවා ගත් දින සිට දින 180ට වඩා සේවයේ පවත්වන්නේ නම් ස්ථිර කිරීම, දීමනා ගෙවීම යනාදිය සිදු කරනු ලැබුවේ උක්ත පනත මගින් ය. නමුත් නව පනතේ 16, 17 වගන්ති වලින් මුළුමනින්ම ඉවත් වී යයි. ඒ අනුව පුහුණු වන සේවකයන්ගෙන් හාම්පුතාට අසීමාන්තිකව වැඩගත හැකි අතර දින 180 (මාස 6)න් පසුවද ස්ථිර කළ යුතු නැත.

ආයෝජකයො ලංකාවට ආයෝජකයො එන්නැත්තෙ කම්කරු නීති දැඩි නිසාලු.ලංකාවට ආයොජකයෝ එන්නෙ නැත්තේ ලංකාව පිළිබඳ පැහැදීමක් නැති  නිසා.ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරයෙකුට පස්සට පයින් ගහලා 8 පාස් 3 දෙනෙක් නඩු අහන රටක්ට ආයෝජකයො මහා ධනස්කන්ධයක් අරන් එයිද? ඇමරිකාවේ පොළී අනුපාත අඩු කරලා ලෝකෙම ආයෝජකයො ඇමරිකාවට යන කාලෙක ලංකාවට එයිද? ලංකාවේ නීති ලිහිල් කළා කියලා ආයෝජකයො එන්නෙ නෑ. මෙය කම්කරු පන්තියට කරන බරපතල ව්‍යසනයක්. මෙය තවම ජාතික කම්කරු උපදේශන සභාවෙ තියෙන්නේ. අපි ගොඩන නගන විරෝධතාවයේ දිග පළල සමග අනුව තමයි අපට මෙය පරාජය කළ හැකි වන්නේ. මන්ද මේ තුළ අපේ දෑසට වැලි ගහන ඩොලර් මිලියන ගණන් එනවා. ඒ අනුව වසර ගණනාවක් තිස්සේ අරගල කරලා දිනාගත්තු කම්කරු අයිතිවාසිකම් නැති කරන්න අපිට අයිතියක් නෑ. උදාහරණයක් ලෙස පැය 8 වැඩ දිනය දිනාගත්තෙ ඉතිහාසයේ ජීවිත ගණනාවක් නැති කරගෙන. නමුත් මේ නව පනතට අනුව කම්කරු දිනය පවා සැමරීමේ අයිතිය අහිමි විය හැකිය.මෙම පනතට එරෙහිව සියළුම කම්කරුවන් පෙළගැසිය යුතුයි. මෙයට එරෙහිව සටන් කළ යුතුයි.

සටහන – කල්ප මධුරංග

වැඩබිම 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435