කොරෝනා ඔබේ වැඩබිමේදී ද හමුවිය හැකියි

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ. එම සංවිධානය පවසන පරිදි චීනය තුළ පවතින තත්ත්වයම නොව වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ලොව අනෙක් රටවල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය  ගෙන ඇත. ජ්‍යාත්‍යන්තරය තුළ පවතින සෞඛ්‍යමය ගැටළුවකදි ලෝක සෞඛ්‍ය සංවිධානයට නිකුත් කළ හැකි ඉහළම අනතුරු ඇඟවීම මෙය වන බැවින් ඒ පිළිබඳ අපගේ අවධානය නොමඳව යොමු විය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ. “මෙයට හේතුවන්නේ චීනයේ සිදුවෙමින් පවතින දේ නොව වෙනත් රටවල සිදුවෙමින් පවතින දේ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසා සිටියේ ”ගෝලීය හදිසි තත්ත්වයක්” ප්‍රකාශයට පත්කිරීමට සිදුවූයේ මන්ද යන්න පැහැදිලි කිරීමටය.

විශේෂයෙන්ම ඔවුන් සැලකිලිමත් වන්නේ එය දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවලට ව්‍යාප්ත විය හැකි අවදානම නිසා බැව් පැහැදිලිය.  ජිනීවාහි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආචාර්ය ටෙඩ්‍රොස් විස්තර කරනු ලැබුවේ මෙම නව කොරෝනා වෛරසය “පෙර නොවූ විරූ ව්‍යාපාතියක්”  වුවත් ඊට එරෙහිව  “පෙර නොවූ විරූ ප්‍රතිචාරයක්” ද ලැබී ඇති බවයි. එය පැතිරීම වැළැක්වීම සඳහා චීන බලධාරීන් ගෙන ඇති “අසාමාන්‍ය ක්‍රියාමාර්ග” ගැන ප්‍රශංසා කළ ඔහු, වෙළඳාම හෝ චීනයට සංචාරය කිරීම සීමා කිරීමට කිසිදු හේතුවක් නොමැති බවද පැවසුවේය. ” මට පැහැදිලිව කියන්න පුළුවන්, මෙම ප්‍රකාශය චීනය කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් නොවෙයි. ”  ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

නව කොරෝනා වෛරසයෙන් චීනයේ පමණක් 30 වන දා දිනය අවසන් වනවිට පුද්ගලයන් 213ක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය  විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් රටවල් 18ක රෝගීන් 98ක් වාර්තා වී ඇති නමුත් මරණ කිසිවක් සිදුවී නොමැති බව පෙන්වාදී තිබේ.  එහිදී බොහෝ ආසාධිතයන් හමුවී ඇත්තේ වෛරසය පැතිරීම ආරම්භ වූ චීන නගරයක් වන වුහාන් සිට ගමන් කළ අය ඇසුරින් බව තහවුරු වී තිබේ. නිදසුනක් ලෙස  අමෙරිකාවෙන් පළමු වරට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වීමක් වාර්තා වීම සැලකිය හැකිය.  චිකාගෝ නගරයේ වෙසෙන 60 හැවිරිදි පුද්ගලයෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණ  වූ අතර එම පුද්ගලයාට සිය බිරිඳගෙන් මෙම වෛරසය ආසාධනය වී ඇති බව සඳහන්ය. කෙසේ වෙතදු ඇයද,  කොරෝනා වෛරස් ආසාධිතයෙකු වන අතර චීනයේ වුහාන් ප‍්‍රාන්තයේ සිටින සිය රෝගී පියා බැලීමට ගොස් පැමිණීමෙන් පසුව ඇයට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ අනුව වෛරසය ආරම්භ වු චීනය හැරුණු කොට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වූ 5 වන රට අමෙරිකාව බව කිව හැකිය. මෙවන් පසුබිමක අප විසින් වඩා අවධානය යොමු කළ යුත්තේ අවදානම් සහගත තත්ත්වයක පවා දෛනික රාජකාරි කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යා යුතු රටේ වැඩ කරන ජනයා කෙරෙහිය. වැඩබිමේත්, පොදු ප්‍රවාහනයේත් ස්වකීය සනීපාරක්ෂාව කෙරෙහි ද සැලකිලිමත්වීම කෙරෙහිය. නව කොරෝනා වෛරසය පිළිබඳ රටේ අවධානය යොමුවීමත්, ඒ පිළිබඳ යම් කතිකාවක් ගොඩනැඟීමත් සිදුවූ පළමු අවස්ථාවේදීම අදාළ ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ තම වෘත්තිකයින්ට යම් ඇගයීමක්, ආර්ථික වශයෙන් හෝ වෙනත් ප්‍රතිපාදනයක් ලෙස දිරිගැන්වීමක් ලබාදෙන ලෙසය.

එකී අදහස  පිළිබඳ සමාජ මාධ්‍ය තුළ දැවැන්ත විරෝධයක් ගොඩනැඟීමේදී එම සංගමයේම සභාපති අනුරුද්ධ පාදෙණිය මූලාරම්භයේ සිදුවූ කටවැරදීම නිවරදි කිරීමට උත්සාහ ගන්නා ලදී. ඔහු කියා සිටියේ තමන් යම් දීමනාවක් ඉල්ලා සිටියා නොව වසංගත රෝගී තත්ත්වය පාලනය කිරීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා සිිටියා පමණක් බවය. කෙසේ වෙතත් අවදානම් සහගත වසංගත රෝගයක් පැතිරෙමින් පවත්නා පසුබිමක රෝහලක හෝ රටක සෞඛ්‍ය සේවයක සනීපාරක්ෂාව ගැන අවධානය යොමුවිය යුත්තේ වෛද්‍යවරුන් කෙරෙහි පමණක් නොවේ. වෛද්‍ය වෘත්තිකයින්ගේ සිට ප්‍රතිකාර කරන, සහය ලබාදෙන හෙද සේවය හරහා රෝහල් පිරිසිදු කරන කම්කරුවන් හෝ ඇඳ ඇතිරිලි සෝදා පිරිසිදු කරන සුළු සේවකයින් දක්වාම වෘත්තිකයින්ගේ සනීපාරක්ෂාව පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. මේ මොහොත වන තුරුත් රෝහල්වල බාහිර රෝගී අංශවල රෝගීන් වර්ගීකරණය කිරීම, සුලු සේවකයින් දක්වාම N5 වර්ගයේ මුඛ වැස්ම ලබාදීම, රෝගීන් රැක බලා ගැනීමට සුවිශේෂී ලෙස වෙන් කළ වාටටු ස්ථාපිත කිරීම ආදිය නිසි ලෙස සිදුවී නැත.

එහෙත් පවත්නා අවම කොන්දේසි යටතේ හෝ තත්ත්වය පාලනය කර ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින් පෙරමුණ ගත යුතුව තිබේ. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් නිකුත් කර ඇති උපමාන පිළිපැදීම මෙන්ම ඒ පිළිබඳ තම සාමාජිකත්වය, සේවකයින් දැනුම්වත් කිරීම වෘත්තීය සමිති ක්‍රියාධරයින්ගේ, නායකයින්ගේ වගකීමකි. වැඩබිම් තුළ ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කිරීම, මෙම උපමාන ප්‍රදර්ශනය කිරීම, එවා ක්‍රියාත්මක කිරීම සඳහා දිරිගැන්වීම කළ හැකිය.

මේ අනුව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් ලබාදී ඇති උපදෙස් හා උපමාන වල අත් සේදීම කෙරෙහි ලබාදී ඇත්තේ ප්‍රමුඛත්වයකි. සැබවින්ම අත් සේදීම මගින් ශ්වසන රෝග බෝවීම වළකින්නේ කෙසේද? සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පෙන්වාදෙන පරිදි මෙවැනි රෝග බහුලව පැතිර යන ක්‍රමයක් වන්නේ, රෝගියෙකුගේ කැස්සෙන්, කිවිසීමන් හෝ මොන යම් ක්‍රමයකින් පිටවන කෙළ / සෙම බිඳිති, නිරෝගී පුද්ගලයෙකුට ශරීරගත වීමෙනි. පොදු ස්ථාන වල දොරවල්, අත් වැට, අසුන් වැනි දේ මත මෙම වෛරසය රඳා පැවතීමට බොහෝ ඉඩ කඩ ඇත. පුද්ගලයෙක් දිනකට සාමාන්‍යයෙන් කිහිප වතාවක්වත් තමාගේ මුහුණ සහ නාසය වරින් වර ඇල්ලීම සිදු කරයි. ඉහත සඳහන් පෘෂ්ඨයක් අල්ලා එම දෑත් වලින් තම මුහුණ හෝ නාසය ඇල්ලීමේදී එම විෂබීජ ශරීරයට ඇතුළු වීමට ඇති ඉඩකඩ බොහෝය.

එම නිසා

  • වෙනදාට වඩා පස් වතාවක්වත් සබන් යොදා අත් සෝදමු.
  • රැකියා කරන ස්ථානවල සබන් යොදා හොඳින් අත් සේදීමට පහසුකම් සකසා ගනිමු. නැතිනම් අත් පිරිසිදු කරගැනීම සඳහා විෂබීජ නාශක දියර (Hand sanitizers/ Alcohol rub) සපයා ගනිමු.
  • පාසැල් යන ඔබේ දරුවා පාසැල් කාලය තුළදී තුන් වතාවක්වත් සබන් යොදා අත් සේදීමට යොමු කරන්න.
  • පොදු ස්ථාන සහ පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී විටින් විට තම මුහුණ සහ නාසය ඇල්ලීමෙන් වළකින්න. එවැනි පොදු ස්ථානයක ගැවසීමෙන් හෝ පොදු ප්‍රවාහන සේවය භාවිතයෙන් පසු හැකි ඉක්මනින් සබන් යොදා අත් සේදීමට යොමුවන්න.
  • ඔබගේ වෙළඳසැල් වල පාරිභෝගිකයින් සඳහා අත් සේදීමට ස්ථානයක් හෝ විෂබීජ නාශක දියරයක් (Hand sanitizers/ Alcohol rub) ලබා දීමට වග බලා ගන්න.
  • වසංගත රෝග පැතිරී යන කාලයක් නිසා අතට අත දීම සහ වැළඳ ගැනීම හැකිතාක් අවම කරමු.

සංක්‍රමණිකයන් නොතකා හළ යුතුද?

නව කොරෝනා වෛරසය ගැන අවධානය යොමු කළ විට වෛද්‍ය මතය වන්නේ  වෛරසය ශරීර ගත වී දින 2 සිට දින 10 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතු විය හැකි බවයි. නමුත් රෝග ලක්ෂණ මතුවීමට පෙර සිටම ආසාදිත පුද්ගලයෙකුගෙන් වෛරසය බාහිර පරිසරයට පිටවිය හැකිය. එම නිසා රෝග ලක්ෂණ නොමැති වුවත් රෝගය අන් අයට පැතිරිමේ අවදානම අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ දින 14 ක් පමණ හැකිතාක් දුරට බාහිර සමාජයේ ගැවසීම අවම කිරීම තුළින් වෛරසය අන් අයට පැතිරීම බොහෝ දුරට වළක්වා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර තිබේ. ඒ අනුව සංචාරකයින් හෝ සංක්‍රමණිකයින් ශ්‍රී ලංකාවට පැමිණි දින සිට දින 14 ක් ගත වන තුරු පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුයි. ලංකාවට පැමිණෙන විට ඔබට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති නම් පහත සඳහන් ක්‍රියා මාර්ග අනුගමනය කළ හැකිය.

  • හැකිතාක් දුරට මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී නිවස තුළම රැඳී සිටින්න.
  • මුහුණු ආවරණ පළඳින්න.
  • නිවසේ හෝ සේවය කරන ස්ථානයේ සිටින වැඩි අවදානම් කාණ්ඩයේ පුද්ගලයන් සමඟ ගැවසීම හැකිතාක් දුරට අවම කරන්න.
  • සබන් හෝ සුදුසු සෝදන ද්‍රව්‍යයක් භාවිතා කර නිවැරදිව, නිතර අත සේදීම කරන්න.
  • නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදීම මඟින් රෝගය පැතිරීම අවම කර ගත හැක.
  • නිවසේ හෝ සේවා ස්ථානයේ සිටින පුද්ගලයන් මුහුණු ආවරණ පැළදීම අවශ්‍ය නැත.
  • හොඳින් වාතාශ්‍රය ඇතුළු වීමට කාමරවල දොර ජනෙල් විවෘතව තබන්න.
  • කිවිසුම් යෑමේ දී/ කහින විට දී ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් මුඛය හා නාසය ආවරණය කිරීම සහ භාවිතා කළ ටිෂු කඩදාසි නිසි පිරිදි ඉවත දැමීම.

කෙසේ වෙතත් ඔබට රෝග ලක්ෂණ මතු වුවහොත් රෝග අන් අයට පැතිරීම වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳිය යුතුය. ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ /සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී/ මහජන සෞඛ්‍ය පරීක්ෂක දැනුම්වත් කළ යුතුය. වහාම ළඟම ඇති නිර්දේශිත රජයේ රෝහලක් වෙත වැඩිදුර උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. නිවසේ හා සේවා ස්ථානයේ සිටින පුද්ගලයන් මුහුණු ආවරණ පැළඳීම මඟින් ඔවුන්ට රෝගය වැළදීම වළක්වා ගත හැකි බව සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසයි.

නව කොරෝනා වෛරසය පිළිබඳ පර්යේෂණ සිදුකරන ශ්‍රී ලාංකිය විද්‍යාඥයෙකු වන මහාචාර්ය මලික් පීරිස් මහතා පසුගියදා බී.බී.සී පුවත් සේවයට පළ කළ අදහසක් අවසාන වශයෙන් උපුටා දක්වනු කැමැත්තෙමි. “නව කොරෝනා වෛරසය වැනි ශ්වසන ආශ්‍රිත වෛරස් රෝගවලින් වැළකී සිටීම සඳහා ප්‍රයෝජනවත් විය හැකි මූලික සෞඛ්‍ය පුරුදු පිළිබඳ සිහියේ තබා ගත යුතුයි.

මොකද මේ වෛරස් පැතිර යන්නේ කැස්සෙන් සහ කිවිසුම් යාම මගින්. ආසාදිත පුද්ගලයෙකුට කැස්සක් ඇති වූ විට හෝ කිවිසුම් ගිය විට ඒ අසල සිටින අයෙකු ඒ වෛරස් රෝගකාරක ශ්වසනය කරනවා. නැතිනම් කැස්සෙන් හෝ කිවිසුම් යාමෙන් පිට වූ වෛරස් රෝගකාරක අවට මතුපිට තැන්පත් වෙනවා. යම් අයෙක් ඒ මතුපිට ස්පර්ශ කර ඇස හෝ නාසය හෝ මුඛය ස්පර්ශ කළ විට වෛරසය ශරීර ගත විය හැකියි. අත මතුපිට ගැටීමෙන් වෛරසය ආසාදනය විය නොහැකියි. නමුත් ඇස හෝ නාසය හෝ මුඛය හරහා වෛරසයට ශරීරය තුළට යා හැකියි. ඒ නිසා පොදු ප්‍රවාහන සේවා වැනි සෙනග ගැවසෙන ස්ථානවල ගැවසීමෙන් පසු අත් සේදීම සඳහා ඇති යහපත් සෞඛ්‍ය පුරුදු භාවිතයේ යෙදවීම වැදගත්. එවැනි ස්ථානවලදී ඔබේ ඇස හෝ නාසය හෝ මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව සිහි තබා ගන්න. එසේම කැස්ස සහ කිවිසුම් ඇති පුද්ගලයන් අනෙක් පුද්ගලයන්ගේ මුහුණු ඉදිරිපිට එසේ නොකර සිටීමත් වැදගත්.”

පී. ඩබ්.  මුතුකුඩආරච්චි – වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435