නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – අවනීතියට අලුත් අවසරපතක්ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention of Terrorism Act -PTA) වසර 40කට වැඩි කාලයක් තිස්සේ වද හිංසා පැමිණවීම, ලිංගික හිංසනය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ දීර්ඝ කාලීන ලෙස රැඳවුම් භාරයේ තබා ගැනීම සඳහා අවසර පත්‍රයක් ලෙස භාවිතා වී ඇත. ත්‍රස්තවාදී සැකකරුවන් පමණක් නොව ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් මේ යටතේ අත්අඩංගුවට ගත් අතර, රජයට එරෙහි විවේචනාත්මක අදහස් මර්දනය කිරීම උදෙසා මේ පනත දැඩි සේ භාවිතා වී ඇත. විශේෂයෙන්ම දෙමළ ජනතාවට එරෙහිව මෙය බොහෝ අවස්ථාවලදී වැරදි ලෙස භාවිතා විය.

වත්මන් රජය බලයට පැමිණිමෙන් පසු, මේ මර්දනකාරී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන බවට සහ අන්තර්ජාතික යහපත් ව්‍යවහාරයනට  අනුකූල වන ත්‍රස්ත විරෝධී පනතක් ගෙන එන බවට විවිධ අවස්ථාවල පොරොන්දු ලබා දෙන ලදී. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ කෙටුම්පතක් ඉදිරිපත් කරන ලද්දේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය. මෙම කෙටුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් ත්‍රස්ත විරෝධී පනත (Counter Terrorism Act – CTA) ලෙස නම් කර තිබුනත්, සිංහල බසින් පැරණි පනත හැඳින්වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙසම ගැසට් කර තිබීම එක්තරා  ආකාරයක සරදමකි.

ත්‍රස්තවාදය යැයි හැඳින්විය හැකි වැරදි සම්බන්ධයෙන් අදාළ වන පනත් 14ක්[i] ද, දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 6 ක්[ii] ද ඇතුළුව නීති 20ක් පමණ ශ්‍රී ලංකා නීතිය තුළ පවතී. එසේම හදිසි තත්ව තුළ දී කටයුතු කිරීමට ජනපතිවරයාට හදිසි නීතිය පැනවීමේ හැකියාව ඇත. මෙවැනි තත්වයක් තුළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වෙනම විශේෂ නීතියක අවශ්‍යතාවය හුදෙක් සුළුතරයන් සහ රජයට එරෙහි විවේචනාත්මක අදහස්  මර්දනය කිරීමක් වන අතර, ත්‍රස්තවාදය මැඩලීමට පවතින නීති ප්‍රමාණවත් වන බව අපගේ මතයයි. පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා වූ පරිද්දෙන්ම, මෙම නව පනත විසින්ද සාමාන්‍ය ජනතාවට, ජනමාධ්‍යවේදීන්ට, සහ සමාජ ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීමට අවශ්‍ය ඉඩකඩ විධිමත්ව සපයා ඇත.

මේ පනත තුළ පුළුල්, අපැහැදිලි නිර්වචනයක් ත්‍රස්තවාදය ලෙස නම් කළ හැකි වැරැදි සම්බන්ධයෙන් ලබා දී ඇත. මේ හේතුව නිසා මේ නීතිය යොදා ගනිමින් ව්‍යවස්ථාව විසින් ලබා දී ඇති ප්‍රකාශනයේ නිදහස, එක්රැස්වීමේ  සහ සමාගමයේ නිදහස සීමාවනට ලක් කිරීමට ඉඩ ඇත. මූලික මිනිස් අයිතිවාසිකමක් පවා “සද්භාවයෙන් ඉටු කළේ නම්” පමණක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නොසැලකේ.

මෙම නීතිය යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ශාරීරික හානියකට ලක් වීමෙන් ආරක්ෂා කර ගැනීම අනිවාර්ය නොවේ. අත්අඩංගුවට පත් වෙන පුද්ගලයාට අත්අඩංගුවට ගැනීමට හේතුව සහ ඊට අදාළ අනෙකුත් තොරතුරු දැනුම් දීම අනිවාර්ය නොවන අතර, පසුව එසේ කළ යුතු කාලරාමුවක් සපයාද නැත. පවුලේ අය අත්අඩංගුවට පත් වෙන අවස්ථාවේ එතැන සිටියද අත්අඩංගුවට පත් වීම ගැන විස්තර ඔවුන්ට දැනුම් දීමට පවා පැය 24ක කාලයක් ලබා දී ඇත. පවුලේ අය අත්අඩංගුවට පත් වෙන අවස්ථාවේ එතැන සිටියේ නැත්නම් ඔවුනට අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් දැනුම් දීම අනිවාර්ය නොවේ. එසේම කාන්තා සැකකරුවන් කාන්තා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට ප්‍රශ්න කරනු ලැබීමට හෝ කාන්තා නිලධාරිනියක් එතැන සිටීම අත්‍යවශ්‍ය නොවේ.

පොලිසිය විසින් නිකුත් කළ  වලංගු රඳවා ගැනීම් නියෝගයකට  අනුමැතිය මහේස්ත්‍රාත් විසින් ලබා දිය යුතු අතර, පුද්ගලයා සති දෙකක් දක්වා රඳවා තබා ගැනීම තීරණය කරන්නේ පොලිස් නිලධාරියාය. මේ රඳවා තබා ගැනීම් නියෝගයක්, සති 8ක් දක්වා මහේස්ත්‍රාත් අනුමැතිය ඇතිව කාලය දිගු කළ හැකිය.  පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට දැනුම් දීමට පැය 72ක කාලයක් ලබා දී ඇත.  සැකකරුවාට ඇප ලැබෙන්නේ ඔහුගේ නඩුව වසරකට වඩා වැඩි කාලයක් ඇදි ඇදී ගිය හොත් පමණි. රැඳවියාගේ නීතිඥයාට සහ පවුලේ අයට රැඳවුම් ස්ථානයට පිවිසිය හැකි වන්නේ ස්ථානභාර නිලධාරියාගේ පූර්ව අවසරය සහිතවය. පුද්ගලයා රඳවා තබා ගන්නේ අමාත්‍යවරයකු විසින් තීරණය කරන ස්ථාන සහ තත්වයන් යටතේ ය. රඳවා තබා ගැනීම්වලට විරුද්ධව “සමාලෝචන මණ්ඩලය” වෙත අභියාචනය කළ හැකි නමුත් එම මණ්ඩලය සමන්විත වන්නේ ද අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්, සහ අමාත්‍යවරයා විසින් පත් කළ තවත් දෙදෙනෙකු ය. දේශපාලනඥයන් සහ පොලිසිය විසින් සමාජ ක්‍රියාකාරීන්ට, ජනමාධ්‍යවේදීන්ට සහ විරුද්ධ දේශපාලනඥයන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීමේ ඉතිහාසය දෙස බලන විට, මේ පනත විසින් ඇමැතිවරයාට සහ පොලිසියට ලබා දී ඇති මේ බලතල නරියාට කුකුළු කොටුව භාර දීමක් ද යන සැකය අප වෙත නැගෙන්නේය.

පනත විසින් රැඳවියාගේ දැකිය හැකි තුවාල තිබේදැයි පරීක්ෂා කිරීමට ස්ථාන භාර නිලධාරීයා (OIC) වෙත බලය පවරන අතර, ඔහු විසින් එසේ දුටුවේ නම්, ඔහුට ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත රැඳවියා ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීම පමණි. මහේස්ත්‍රාත්වරයකු හෝ මානව හිමිකම් කොමිසමේ නිලධාරියකු විසින් රැඳවුම් ස්ථානයට පැමිණි අවස්ථාවක රැඳවියා රඳවා ඇත්තේ මානුෂීය සැලකීමට ගැලපෙන පරිදි නොවන බව නිරීක්ෂණය කළේ නම්, ඔවුන්ට කළ හැක්කේ බන්ධනාගාර අධිකාරී වෙත හෝ පොලිස්පති වෙත හෝ දැනුම් දීම පමණකි. ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන අදාළ ‘මානුෂික තත්වයන්’ සැපයීමට කටයුතු කිරීමට බල කිරීමට ඔවුනට හැකියාවක් නැත.

සැකකරුවන් රැඳවුම් භාරයේ සිටිය දී වද හිංසා පැමිණවීමට, සහ ලිංගික අතවර ආදියට ලක් වීම් ගැන සිදු වීම් ගණනාවක් පෙර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වාර්තා වී ඇති අතර, මේ පනතේ ඉහත වගන්ති තුළින් එම තත්වය තවදුරටත් වැඩි විය හැකිය.

දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පොලිස් නිලධාරීන් විසින් පමණක් අත්අඩංගුවට ගැනීම, ස්ථානවලට ඇතුළු වීම,  සහ භාණ්ඩ භාරයට ගැනීම ආදිය කළ යුතු වුවත්, නව පනත යටතේ ත්‍රිවිධ හමුදාවලට සහ වෙරළාරක්ෂකයන්ට ද මෙකී බලතල ලැබේ. එසේම පොලීසියට, වින්දිත පාර්ශ්වයට කරුණු දැක්වීමට අවස්ථාවක් නොදී, රැස්වීමක්,රැළියක්, හෝ ක්‍රියාකාරකමක් නැවැත්වීමට මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කළ හැකිය. එසේම ඇමැතිවරයකුට කිසියම් සංවිධානයක්, පොදු ස්ථානයක්, හෝ වෙනත් ස්ථානයක් තහනම් ස්ථානයක් බවට කාල නියමයක් රහිතව නියම කළ හැකි අතර, එසේ නියෝගයක් නිකුත් කිරීමට පෙර මෙය අභියෝගයට ලක් කිරීමට  අනෙක් පාර්ශවයට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එසේම සංවිධානවල රැස්වීම්, ක්‍රියාකාරකම් සහ වැඩසටහන් පැවැත්වීම තහනම් කිරීම,  බැංකු ගිණුම් සහ වෙනත් මූල්‍ය තැන්පතු භාවිතය හෝ යෙදවීම තහනම් කිරීම, ගිවිසුම්වලට එළඹීම තහනම් කිරීම, අරමුදල් රැස්කිරීම සහ ප්‍රදාන සහ දේපල පැවරීම් ලබා ගැනීම තහනම් කිරීම,  අරමුදල් සහ වත්කම් පැවරීම තහනම් කිරීම, සහ සංවිධානයක් වෙනුවෙන් බලපෑම් කිරීම, ඉල්ලීම් සිදු කිරීම ආදිය සිදු කිරීම තහනම් කිරීමට ද ඇමැතිවරයාට බලය ලැබේ.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ලබා නොදෙන මේ පනත හරහා පැවරෙන අනෙකුත් අමතර බලතල වන්නේ ජනපතිට ඇඳිරි නීතිය පැනවීමටත්, මහජන සාමය පවත්වා ගැනීමට ත්‍රිවිධ හමුදා කැඳවීමටත් ලබා දෙන බලයයි.

එසේම නව නීතිය ඔස්සේ ප්‍රසිද්ධියේ සමාව ගැනීමත්, පුනරුත්ථාපනයට ලක් වීම, සහ ප්‍රජා සේවයේ යෙදීම වැනි දෑ හරහා වරදට වන්දි ගෙවීමත් පිළි ගැනේ. මේ තත්වය තුළ නඩුවලට දීර්ඝ කාලයක් ගත වෙන නිසාත්, නීතිඥ ගාස්තු ආදිය දරා ගැනීමට නොහැකි වීම නිසාත් බොහෝ දෙනෙක් අධිකරණ ක්‍රියාවලියක් තුළ තමන්ගේ නිරවද්‍යතාවය ඔප්පු කිරීමට මහන්සි වීම වෙනුවට වරද පිළි ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙවැනි අවස්ථාවල අභිචෝදකයා වන නීතිපතිවරයාට චෝදනා අස්කර ගැනීමේ දී දඩුවම් සඳහා අධිකරණ අනුමැතිය ඉල්ලීමේ අමතර බලයක් ද ලබා දී ඇත.

මේ නීතිය කෙටුම්පත් කර ගැසට් කිරීමෙන් අනතුරුව සිවිල් ක්‍රියාකාරීහු මෙම නීතිය විසින් ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කඩ කරන බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කරන ලද අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ කිසිවක් සැලකිල්ලකට නොගෙන මරණ දඬුවම ද ගෙන ඒමෙන් සියල්ල තිබුණාට ද වඩා නරක තත්වයකට පත් කරන ලදී.

නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පළාත්වල පැවැත්වුනු සාකච්ඡාවලට ආගමික නායකයෝ, ජනමාධ්‍යවේදීහු සහ සමාජ ක්‍රියාකාරීහු ගණනාවක් පැමිණියහ. මේවා බොහොමයක් සංවිධානය කළේ කාන්තා කණ්ඩායම් ය. මෙම සාකච්ඡාවල මතු වූ ප්‍රධාන මතය සහ ඉල්ලීම වූයේ, පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු අතර නව පනතක් අවශ්‍ය නැති බවයි. මඩකලපුවේ පැවැති එක් සාකච්ඡාවකට සහභාගි වූ දමිළ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනෙකුම ප්‍රකාශ කළේ මෙම කෙටුම්පතට ඔවුන් විරෝධය දක්වන බවයි.  එහෙත් දමිළ ජාතික සන්ධානය (TNA) මේ පිළිබඳ පැහැදිලි ස්ථාවරයක් ප්‍රකාශ කර නොමැත. පැරැණි සහ නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් දෙකටම පැහැදිලි විරෝධයක් පළ කර ඇති එකම දේශපාලන පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.

පසුගිය  6 වැනිදා මෙම නීතිය සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු 20 දෙනෙකුගෙන් යුක්ත ආංශික අධීක්ෂණ කාරක සභාවේ රැස්වීම පැවැත්වුනි. එහිදී සිවිල් ක්‍රියාධරයන්, සහ ස්වාධීන නීතිඥයන් සමග මේ පිළිබඳව සාකච්ඡා වුනි. මීලඟ රැස්වීම පෙබරවාරි 20 වැනි දින පැවැත්වීමට එකඟ වී ඇති අතර, එදිනට පෙර මෙය පිළිබඳව ලිඛිත ඉදිරිපත් කිරීම් ලබා දෙන ලෙස පැමිණි සිටි අයගෙන් ඉල්ලා සිටින ලදී. පෙබරවාරි 11 වැනි දින මේ පිළිබඳව පැවැති සාකච්ඡාවක දී විදේශ කටයුතු ඇමැතිවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම තුළ මානව හිමිකම් උල්ලංඝණය වීම් සිදු වූ බව පිළිගත්තත්, එවැනිම නව පනතක් අවශ්‍යය යන දැඩි ස්ථාවරයේ සිටියේය.  රජයේ පාර්ශ්වයේ සිටි නීතිඥවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වී ඇත්තේ ද නව පනතක් අත්‍යවශ්‍ය බව සහ දැනට කළ හැක්කේ අවම වෙනස්කම් පමණක් බවත්ය.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) සහ අලුත් කෙටුම්පත (CTA) යන දෙකින්ම රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව, නිදහස, ශාරීරික හා මානසික යහපැවැත්මට තර්ජනයක්  වන අතර,  මූලික මිනිස් අයිතිවාසිකම් සීමා කරයි. එසේම පුළුල්, සහ අපැහැදිලි නිර්වචන තුළින්,  නීත්‍යනුකූල ලෙස වෙනස් අදහස් ප්‍රකාශ කිරීමට, මූලික මිනිස් අයිතිවාසිකම් අත්විඳීම සහ ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් ලෙස කටයුතු කිරීම ත්‍රස්තවාදී ක්‍රියා බවට පත් කරයි. එසේම එයින් අධිකරණමය අධීක්ෂණය සහ අභිමතිය අඩු කරන අතර, අමාත්‍යවරයාගේ, පොලිසියේ, හමුදාවේ, සහ වෙරළාරක්ෂකයන්ගේ අභිමතයට කටයුතු කිරීමට සුවිසල් බලතල සපයයි. මූලික වශයෙන් පොලිසිය සහ අමාත්‍යවරයා විසින් විමර්ශකයාගේ සහ විනිසුරුගේ යන දෙදෙනාගේම භූමිකාවන් ඉටු කරයි. ‘ජාතික ආරක්ෂාව’ සහ ‘ත්‍රස්තවාදී”  යන වචන භාවිතා කරමින්, අධිකරණය අධීක්ෂණයන් නොකර සිටීමට මේ පනත තුළ ප්‍රතිපාදන ඇත. මේ හරහා සිවිල් ජීවිතය හමුදාකරණය විය හැකි අතර, නීතියේ ආධිපත්‍යය හරහා පාලනය වන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පවතින රටක් වෙනුවට ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය ගත් බලාධිකාරී රෙජීමයක් බවට පරිවර්තනය විය හැකිය. මෙය සංහිඳියාවට හානි කර වනු ඇත්තේ, එය විසින් බලයේ සිටින අයට ජනවාර්ගිකත්වය, භාෂාව, ආගම, සහ දේශපාලනික අදහස් අනුව තමන් සමග එකඟ නොවන කණ්ඩායම් මර්දනය කිරීමට ඉඩ ලැබෙනු ඇති නිසාය. එය අනාගත අර්බුදයකට (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඉතිහාසය දෙස බලන කල සිදුවූවාක් මෙන්) හේතු සාධක විය හැකිය.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම එහා සමාන තවත් නීතියක් සමග සම්බන්ධ කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේ නැත. පාර්ලිමේන්තුව විසින් අනිවාර්යෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු අතර, එය කළ හැක්කකි.  කැබිනට් මණ්ඩලය විසින් නව පනත් කෙටුම්පත අකුලා ගැනීම හෝ පාර්ලිමේන්තුව විසින් එය පරාජය කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි. දැනට පවතින නීතින් හරහා ත්‍රස්තවාදය යැයි හඳුන්වන වැරදි සම්බන්ධයෙන් කටයුතු කළ හැකිය.

දමිත් චන්දිමාල් සහ රුකී ප්‍රනාන්දු

[i] (1) 1966 අංක 18 දරන පීඩාකාරී ආයුද පනත , (2) 1982 අංක 24 දරන ගුවන්යානාවලට එරෙහි වැරදි පනත, (3) 1996 අංක 31 දරන ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සඳහා වූ ගුවන් තොටුපළවල්වලදී  සිදු කරනු ලබන නීතිවිරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමේ පනත, (4) 2000 අංක 42 දරන සමුද්‍රීය නැව් ගමනාගමනයේ සුරක්ෂිතභාවයට එරෙහිව කෙරෙන නීති විරෝධී ක්‍රියා මාර්දනය කිරීමේ පනත,  (5) ප්‍රාණ ඇපකරුවන් ගැනීම වැළැක්වීමේ 2000 අංක 41 දරන පනත, (6) අන්තර්ජාතිකව ආරක්ෂා කරන ලද පුද්ගලයන්ට එරෙහිව අපරාධවලට දඬුවම් කිරීම සහ වැළැක්වීම සම්බන්ධ 1991 අංක 15 දරන පනත, (7) ත්‍රස්තවාදී බෝම්බ මැඩ පැවැත්වීම පිළිබඳ 1999 අංක 11 දරන පනත, (8) 2007 අංක 58 දරන රසායනික අවි සම්මුති පනත, (9) 2005 අංක 25 දරන ත්‍රස්තවාදින්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුතිය පනත, (10) 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, (11) 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සංශෝධිත පනත,  (12) ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (SAARC) ප්‍රඥප්තිය පිළිබඳ පනත, (13) 1968 අංක 45 දරන එක්සත් ජාතීන්ගේ පනත- මෙහි රෙගුලාසි හරහා ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සංවිධාන සහ පුද්ගලයන්ගේ ලැයිස්තු ඇති කිරීමට දායක වී ඇත, (14). පරිගණක අපරාධ පනතේ 6 වැනි කොටස යටතේ ජාතික ආරක්ෂාවට එරෙහිව කරන ලද අපරාධ

[ii] 114 වගන්තිය –  රජතුමාට විරුද්ධ යුද්ධ කිරීම හෝ යුද්ධ කිරීමකට තැත් කිරීම හෝ අනුබල දීම, 115 වගන්තිය – රාජ්‍යයක රාජ්‍යත්වය රජතුමාගෙන් පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම නොහොත් සාපරාධී බලහත්කාරය පෙන්වීමෙන් ලංකාණ්ඩුව බියපත් කිරීම, 116 වගන්තිය –   රජතුමාට විරුද්ධව යුද ප්‍රකාශ කිරීමේ අදහසින් පුද්ගලයන්, අවි ආයුද එක් රැස් කිරීම හෝ වෙන ක්‍රමයකින් යුද්ධ කිරීමට සූදානම් වීම, 117 වගන්තිය – යුද්ධ කිරීමේ උපක්‍රමයක් පහසු කිරීමේ අදහසින් එය වසන් කිරීම, 118 වගන්තිය – අවිනීත හෝ නින්දා සහගත වචනවලින් හෝ සංඥාවලින් රජතුමාගේ ගෞරවය කෙළෙසීමට තැත් කිරීම,  119 වගන්තිය – අග්‍රාණ්ඩුකාරතුමාගේ හෝ උත්තර මන්ත්‍රීවරයකුගේ හෝ පාර්ලිමේන්තුමන්ත්‍රීවරයකුගේ යම් නීත්‍යානුකූල බලයක් පාවිච්චි කිරීම බල කිරීමේ හෝ වැළැක්වීමේ අදහසින් අග්‍රාණ්ඩුකාරතුමා ආදීන් හට පහර දීම, 120 වගන්තිය –  ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සවීම හෝ ඇවිස්සවීමට තැත් කිරීම.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435