නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉහළ වැටුපක්‌ ගෙවීම සාධාරණයි

සෙසු රාජ්‍ය ආයතන හා රාජ්‍ය දෙපාර්තමේන්තු හා සංසන්දනය කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අති විශාල කාර්යභාරයක්‌ ඉටුකරන බැවින් ඔවුනට ඉහළ වැටුපක්‌ ගෙවීම අසාධාරණ ක්‍රියාවක්‌ නොවන්නේ යෑයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය දිවයින පුවත්පතට ප්‍රකාශ කර ඇත.

මිලියන 22 ක්‌ වූ රටේ ජනතාවට ඍජුවම හා වක්‍ර ආකාරයෙන් බලපාන නීතිමය ගැටලු මෙන්ම රජයට හා රාජ්‍ය සංස්‌ථා ඇතුළු ආයතනවලට බලපාන සියලුම නීතිමය ගැටලුවලදී උපදෙස්‌ ලබාදීම, විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම හා නඩු කටයුතු මෙහෙයවීම ඇතුළු සියලු කටයුතු සිදුකිරීම තම දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන් 220 ක්‌ වැනි ඉතා සුළු නිලධාරීන් පිරිසක්‌ වෙත පැවරී ඇතැයි ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය එහිදී ප්‍රකාශ කළාය.

එකී නිලධාරීන් 220 අතරින් 120 දෙනකු අපරාධ නඩු අංශයට අනුයුක්‌තවත්, ඉතිරි 100 දෙනා සිවිල් අංශයට අනුයුක්‌තවත් සේවය කරනා බවද පෙන්වා දුන් රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අපරාධ නඩු අංශයේ 120 අතරින් 30 දෙනකු අධීක්‍ෂණ මට්‌ටමේ නිලධාරීන් වන නිසා ඉතිරි නිලධාරීන් 90 දෙනාම රට පුරා පිහිටි මහාධිකරණ 42 ක්‌ හමුවේ විභාග වන නඩු කටයුතුවල පැමිණිල්ල මෙහෙයවීම, ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ පවතින මූලික අයිතිවාසිකම් පෙත්සම් හා අභියාචනාධිකරණ හමුවේ පවතින රිට්‌ ආඥ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටීමට සිදුවී ඇතැයි ද ප්‍රකාශ කළාය. එයට අමතරව රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී අවශ්‍ය උපදෙස්‌ ලබාදීම සඳහා දේශීය හා විදේශීය වශයෙන් මැදිහත්වීම, පාර්ලිමේන්තුවට අවශ්‍ය උපදෙස්‌ ලබාදීම, කෙටුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීම හා අමාත්‍ය රාජ්‍ය සංස්‌ථා ඇතුළු ආයතනවලට අවශ්‍ය උපදෙස්‌ ලබාදීම වැනි අති විශාල කාර්යභාරයක්‌ පැවරී තිබීම නිසා එකී නිලධාරීන් බහුතරයකට දිවා රෑ නොබලා සිය රාජකාරිය වෙනුවෙන් කැප කිරීමට සිදුවී ඇතැයි ද ප්‍රකාශ කළාය.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඉහළ වැටුපක්‌ ගෙවීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් සමාජය තුළ ඇති කිරීමට උත්සාහ දරන මතවාදය සම්බන්ධයෙන් කරුණු දක්‌වමින් නිශාරා ජයරත්න මෙනවිය ඒ බව පෙන්වා දුන්නාය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435