නීතී විරෝධි අත්අඩංගුවට ගැනීම් හා වධ හිංසා ගැන ඔබ දන්නවා ද?

නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා ඉන් පසු වධ හිංසාවට ලක් කිරීම පිලිබඳ ශ්‍රී ලංකා පොලිසිය වෙත නිරන්තරයෙන්ම චෝදනා එල්ල වෙනවා. ඉන් බොහොමයක් සැකපිට අත්අඩංගුවට ගෙන සාක්ෂි ලබා ගැනීම පිණිස කරනු ලබන වධ හිංසනයන්. සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පැය 24කට පෙර මහේස්ත්‍රාත්වරයෙකුට ඉදිරිපත් කිරීමේ නියමිත නීතිමය ක්‍රියා පටිපාටියෙන් තොරව රදවා තබාගෙන දින ගණන් වධ හිංසනයට ලක් කීරම් විශාල ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙනවා. බොහෝ සැකකරුවන් පොලිසිය තුළම හෝ පහර දීම් හා වධ දීම් හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වී රෝහල්ගත කිරීමෙන් පසු මිය යෑමේ සිද්ධීන්ද බහුලයි.

මේ තත්ත්වය රටේ ‘හදිසි නීතිය’ ක්‍රියාත්මක වෙන අවස්ථාවල උග්‍ර වෙනවා. විශේෂයෙන්ම යුද්ධය පැවතුන සමයේ අවුරුදු 3කට ගෙන ආ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේ බොහෝ ද්‍රවිඩ ජන වර්ගයට අයත් පුරවැසියන් හදිසි නීතිය යොදා ගෙන දිගින් දිගටම වධ හිංසනයට ලක් කළ අවස්ථා අපට ඒ සමයේ අසන්නට ලැබුනා. (PTA වෙනත් පුද්ගලයින්ට වෙනත් අරමුණු සඳහාද භාවිතා කර තිබෙනවා.) නමුත් ඉන් පසුව 1982 අංක 10 දරන සංශෝධිත පනත හරහා එය ස්ථිර නීතියක් බවට පත් වුනා. ‘හදිසි නීතිය’ ක්‍රියාත්මක වෙන අවස්ථාවල පොලිසියට තමන්ට අවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීම් හා දින 90ක් තරම් දීර්ඝ කාලයක් රදවා තබා ගැනීමට හා ඉන්පසු කාලය දීර්ඝ කර ගැනීමටද නීතිමය ලෙස ඉඩකඩ ලැබෙන බැවින් එයට බොහෝ නිර්දෝෂී පුරවැසියන්ද ගොදුරු වෙනවා. ඒ බොහෝ පිරිසකට තවමත් යුක්තිය ඉටු වී නොමැති අතර තවමත් නඩු පවරන්නේ නැතිව රදවා තබා ගෙන සිටින පුද්ගලයින්ද සිටිනවා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුවද නැවත මේ තත්ත්වය දක්නට ලැබුන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ලැබී තිබෙනවා.

තත්ත්වය කෙසේ වෙතත් පසුගිය ජුනි මස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් වැඩිවෙමින් පවතින බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වටිනා නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ මහජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම සහ ඉදිරියට ගෙනයාම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ 20 ක් නිකුත් කරමින්. මෙය සිදු වුනේ 2012 දී පොලීසිය විසින් සිදු කරන ලද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් එවකට 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ බාල වයස්කාර දැරියක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ කොටසක් ලෙසයි. අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති සාරුවා සුනිල් විසින් වයස 14ක බාලවය්සකාර දැරියක් 2012 මැයි 23 දින සිට 2012 ජූලි 2 දක්වා රදවා තබා ගෙන අපයෝජනය කිරීමේ නඩුවේ තීන්දුව ලබා දෙමින් මාතර පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුනි බෝගහවත්ත, බාල වයස්කාර දැරිය නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සහ ඇයගේ නිදහස අහිමි කිරීමට, අසාධාරණ ලෙස රඳවා තබා ගැනීමට, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ ඉදිරිපත් නොකොට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් ඇයව ලිංගික අතවරයට ලක් කර ඇත්දැයි ප්‍රශ්න කරන අතරතුර ඇයට පහත් ලෙස සැලකීමට වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් කේ. මලල්ගොඩ විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ සහ නීතිය යටතේ පිළිගත් මහජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම හා ඉදිරියට ගෙනයාම සඳහා පහත සඳහන් මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස පොලිස්පතිට නියෝග කරන කළා. තවද ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කරන පරිදි මෙම මාර්ගෝපදේශයන්හි අපගේ නීතිය, ජාත්‍යන්තර සහ ගෝලීය හොඳම භාවිතයන් තුළ ඇති නීතිමය ආරක්‍ෂණ පිළිබිඹු විය යුතු බවට ප්‍රකාශ කළා.

  • නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් විසින් මානව ගරුත්වයට ගරු කිරීම සහ එය ආරක්ෂා කිරීම, සියලු පුද්ගලයින්ගේ මානව හිමිකම් පවත්වාගෙන යාම සහ ආරක්ෂා කිරීම කළ යුතුය.
  • නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් නීත්‍යානුකූලභාවය, අවශ්‍යතාවය, වෙනස් කොට සැලකීම, සමානුපාතිකත්වය සහ මනුෂ්‍යත්වය යන මූලධර්මවලට ගරු කළ යුතුය.
  • නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සෑම විටම වෙනස් කොට සැලකීමකින් තොරව නීතියේ සමාන ආරක්ෂාවක් සුරක්ෂිත කර ප්‍රවර්ධනය කළ යුතුය. නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් සමාන වන අතර, වෙනස්කම් කිරීමකින් තොරව, නීතියේ සමාන ආරක්ෂාවක් සඳහා හිමිකම් ඇත.
  • ජනවර්ගය, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම, භාෂාව, වර්ණය, දේශපාලන මතය, ජාතික සම්භවය, දේපළ, උපත හෝ වෙනත් තත්වයන් අනුව ඔවුන් නීති විරෝධී ලෙස වෙනස් කොට සැලකීම නොකළ යුතුය.
  • අන්තර්ජාතික මානව හිමිකම්වලට අනුකූලව කාන්තාවන්ගේ (ගර්භනී කාන්තාවන් සහ නව මව්වරුන් ඇතුළුව), බාල වයස්කරුවන්, රෝගීන්, වැඩිහිටියන් සහ වෙනත් විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති ඇතැම් විශේෂ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී නීති විරෝධී හෝ වෙනස් කොට සැලකීම නොකළ යුතුය.
  • වැඩිහිටියන්ට ලැබෙන සියලුම මානව හිමිකම් ළමයින්දට හිමිවිය යුතුය. ඊට අමතරව, දරුවන්ගේ ගෞරවය හා වටිනාකම පිළිබඳ හැඟීම ප්‍රවර්ධනය කරන ආකාරයට ඔවුන්ට සැලකිය යුත්තේ, එමඟින් ඔවුන් සමාජයට නැවත සමාජගත කිරීමට පහසුකම් සැපයීම, එය දරුවාගේ යහපත වෙනුවෙන් කිරීම සහ එම වයසේ පුද්ගලයෙකුගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්ය.
  • ළමයින් රඳවා තබා ගැනීම හෝ සිරගත කිරීම අවසාන පියවරේ අතිශය මිනුම් දණ්ඩක් වන අතර රඳවා තබා ගැනීම කෙටිම කාලයක් සඳහා විය යුතුය.
  • වැඩිහිටි රැඳවියන්ගෙන් ළමයින් වෙන්කර රඳවා ගත යුතුය.
  • රඳවා සිටින දරුවන්ට පවුලේ සාමාජිකයන් හමුවීම හා ලිපි හුවමාරු කර ගැනීමට හැකි විය යුතුය.
  • නිවසේ, එම ප්‍රජාවේ හෝ නිල ආයතනවල ස්ත්‍රීන්ට හා ළමයින්ට එරෙහිව රාජ්‍ය නිලධාරීන් හෝ පුද්ගලයින් විසින් සිදුකරන ලද, සියලු ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම, විමර්ශනය කිරීම සහ අත්අඩංගුවට ගැනීම සඳහා නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් නිසි උත්සාහයක් දැරිය යුතුය.
  • කාන්තාවන්ට හිංසා කිරීම වැළැක්වීම සඳහා නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් දැඩි නිල ක්‍රියාමාර්ග ගත යුතු අතර, පොලීසියේ හෝ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදී නොවන බලාත්මක කිරීමේ භාවිතයන් මඟින් ඔවුන් නැවත හිංසාවට ලක් වීමේ අවස්තාවන් ඇති නොවන්නට සහතික කළ යුතුය.
  • අත්අඩංගුවට ගත් හෝ රඳවාගෙන සිටින කාන්තාවන් වෙනස්කම් කිරීම්වලට ලක් නොවිය යුතු අතර සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයෙන් හෝ සූරාකෑමෙන් ආරක්ෂා විය යුතුය.
  • නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් කිසිදු තත්වයක් යටතේ වුවද, වධහිංසා සහ වෙනත් කුරිරු, අමානුෂික හෝ පහත් සැලකීම් භාවිතා නොකළ යුතුය.
  • ඔහුගේ හෝ ඇයගේ ගෞරවයට හෝ කීර්ති නාමයට කිසිවෙකු නීති විරෝධී ලෙස පහර නොදිය යුතුය.
  • නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් සෑම විටම වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට අනුකම්පාවෙන් හා සැලකිල්ලෙන් සැලකිය යුතුය.
  • අත් අඩංගුවට ගත් ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමට හේතු පිළිබඳව නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් සෑම විටම වහාම දැනුම් දිය යුතුය.
  • සෑම අත්අඩංගුවට ගැනීමක් පිළිබඳවම නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් නිසි වාර්තාවක් තබා ගත යුතුය. අත්අඩංගුවට ගැනීමට හේතුව, අත්අඩංගුවට ගත් කාලය, අත්අඩංගුවට ගත් පුද්ගලයා රැදවුම්භාරයට මාරු කිරීමට ගත් කාලය, අධිකරණ අධිකාරියක් ඉදිරියේ පෙනී සිටීමට ගත් කාලය, සම්බන්ධ නිලධාරීන්ගේ අනන්‍යතාවයන්, රැදවුම්භාරය පිළිබඳ නිවැරදි තොරතුරු, සහ ප්‍රශ්න කිරීම් විස්තර මෙම වාර්තාවට ඇතුළත් විය යුතුය.
  • අත් අඩංගුවට ගත් ඕනෑම කෙනෙකුට අධිකරණ අධිකාරියක් ඉදිරියේ පෙනී සිටීමට අයිතියක් ඇත. ඔහු හෝ ඇය අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමේ නීත්‍යානුකූලභාවය ප්‍රමාදයකින් තොරව සමාලෝචනය කළ යුතුය.
  • බාල වයස්කරුවන් වැඩිහිටියන්ගෙන්ද, පිරිමින්ගෙන් කාන්තාවන්ද සහ වරදකරුවන්ගෙන් (Convicted) වරදකරුවන් නොවන (Non-Convicted) පුද්ගලයින්ද වෙන් කිරීම සඳහා හැකි තාක් දුරට නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් කටයුතු කළ යුතුය.
  • නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් සෑම විටම නීතියට සහ මෙම නීතිරීතිවලට කීකරු වීමට හා ඒවා පිළිපැදීමට වගබලා ගත යුතුය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වය හේතුවෙන් පොලිසිය විසින් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම්, රදවා තබා ගැනීම් හා වධ හිංසනයට හා වෙනස්කොට සැලකීම් තරමක් දුරට අඩු වී ඇති බව නිරීක්ෂණය කළ හැකි නමුත් ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මෙවැනි සිදුවීමක් සිදු වී ඇත්නම් වහාම එවැනි ආයතන දැනුවත් කොට ක්‍රියා මාර්ග ගැනීමට පුරවැසියන් ලෙස ඔබ බිය විය යුතු නැහැ.

උපුටා ගැනීම – දේදුනු සංවාද

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435