නුදුරු ගෝලීය අවපාතය අභියස ලංකාවේ අනාගතය

චීනයේ වුහාන් නගරය තිඹිරි ගෙය කොටගත්, කොරෝනා වෛරස් වසංගතය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් තුළ පැතිරෙමින් පවතී.

මෙම වෛරස් වසංගතයේ බලපෑම හේතු කොට ගෙන මේ වන විට ලෝකය තුළ සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොව දරුණු ආර්ථික අර්බුදයක් ද නිර්මාණය කොට ඇත. ලෝකයේ පවතින සංවර්ධිත රටවල තුළ ඇති වෙමින් පවතින අර්බුදයට වඩා කිහිප ගුණයකට වඩා වැඩි බලපෑමක් සංවර්ධනය වෙවිමින් පවතින රටවල් වලට මුහුණ දීමට නුදුරුරේදීම සිදුවන බව ස්ථිරය.

විශේෂයෙන් රටවල් අටකින් සමන්විත දකුණු ආසියා කලාපයට මෙය මෙය දරුණු ලෙස බලපානු ඇති බවට ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.

වසර 40 ක ඉතිහාසය තුළ දකුණු ආසියාවේ දරුණුම ආර්ථික පසුබෑම ඉදිරියේ දී ඇතිවීමට නියමිත බව ලෝක බැංකුව මේ වනවිටත් පුරෝකථනය කර අවසන්ය. මෙම කලාපයේ විශාලතම රටවූ ඉංදියාවේ ආර්ථික වර්ධනය , මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ 4.8% සිට 5% දක්වා වර්ධනය වනු ඇති බවට මීට කලින් ගණන් බලා තිබුණ ද , එය වියැකී යන අපේක්ෂාවක් බව ලෝක බැංකුව මේ වන විට හඳුනා ගෙන ඇත.

පොදුවේ දකුණු ආසියානු කලාපය තුළ මේ වසරේ ආර්ථික වර්ධනය 1.8% සිට 2.8% දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර තිබුණ ද , එය හුදු සිතුවිල්ලක් පමණක් බවට පත්වෙමින් ඇතැයි ලෝක බැංකුව පවසා ඇත. ඉන්දියාව හැරුණු විට ශ්‍රී ලංකාව , නේපාලය, භූතානය සහ බංගලිදේශය , ආර්ථික වර්ධනයේ තියුණු කඩා වැටීමකට ලක්වනු ඇති බවටත්, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ මාලදිවයින අවපාතයකට ඇද වැටෙනු ඇති බවටත් ලෝක බැංකුවේ මතය යි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කර ගැනීම වෙනුවෙන් සිදු කරන දීර්ඝ සහ පුළුල් වසා තැබීම් නිසා , මුළු කලාපයේම මේ වසරේ ආර්ථික හැකිලීමක් සිදුවනු ඇති අතර, එය නරකම අවස්ථාවක් වනු බවටද ඔවුන් අනතුරු අඟවා ඇත.

ඉන්දියාවේ බිලියන 1.3 ක ජනතාවක් සිටින ප්‍රදේශ වසා දැමීමෙන්ද, මිලියන ගණනාවක් රැකියා වලින් ඉවත්වීමේන්ද, මහා පරිමාණ සහ කුඩා පරිමාණ ව්‍යාපාර කඩාකප්පල් වීම සහ සංක්‍රමණික කම්කරුවන් නගර වලින් ඉවත්ව ගම් බිම් බලා පිටත් කිරීමත් යන හේතු ඉන්දියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කොට ඇත.

කෙටි කාලීන ආර්ථික වේදනවා අවම කර ගැනීම සඳහා , රැකියා විරහිත සේවකයින්ට මූල්‍ය ආධාර ලබා දෙන ලෙසත්, ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා ණය සහන ලබා දෙන ලෙසත් , දකුණු ආසියානු රටවලින් ලෝක බැංකුව ඉල්ලා ඇත.

මේ අනුව ඉන්දියාව මේ වන විට ඩොලර් බිලියන 23 ක ආර්ථික සැලැස්මක් එළි දක්වා ඇති අතර, පාකිස්ථාන රජය ආර්ථිකයට ආධාර කිරීම සඳහා ඩොලර් බිලියන 6 ක සැලැස්මක් ප්‍රකාශයට පත් කර ඇත.

දකුණු ආසියානු රජයන් සියල්ලම පාහේ ප්‍රමුඛතාවය ලබා දී ඇත්තේ වෛරසය පැතිරීම වැලැක්වීමට සහ තමුන්ගේ ජනතාව ආරක්ෂා කිරීමට බව පවසන ලෝක බැංකුවේ නිළධාරියෙකු වන හාට්විග් ෂාෆර්, විශේෂයෙන් දරුණු ආර්ථික ප්‍රතිවිපාක වලට මුහුණ දී ඇති දුප්පතුන් ආරක්ෂා කිරීම එම රජයන්ගේ වගකීම විය යුතු බවද පෙන්වා දී ඇත.

මේ අතර , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ , මේම වෛරස් වසංගතය හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධනය හරි අඩකින් අඩු විය හැකි බවය.

කොරෝනා වෛරස් වසංගතයට පෙර ,ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කළ ආර්ථික වර්ධනය, 4.5% ත් 5% ත් අතර ගණනක පැවතිණ. එය ගණන් බලා තිබුණේ පාස්කු ප්‍රහාරය සහ ඊට පසුව පැවැති ජනාධිපතිවරණය නිසා ඇති වූ දේශපාලන ස්ථාවරය අනුවය.

කෙසේ වෙතත්, මෙම ඉලක්කය සපුරා ගැනීමට දුෂ්කර බව , මේ වන විට ඇති වී ඇති ආර්ථික ප්‍රතිවිපාක වලින් පැහැදිළිය. 2020 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය 2.2% වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව , සිය දත්ත මත පදනම්ව මීට පෙර අපේක්ෂා කර තිබිණ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීම ආරම්භ සිදුවිය හැක්කේ මේ වසරේ අග භාගයේදී බවට ආර්ථික විශේෂ්ඥයන්ගේ මතය ය. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ අලෙවි ව්‍යාපාර වලට සහ ආයෝජණයන්ට මේ වන විට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර, කොළඹ කොටස් වෙළෙඳ පොලේ මිළ දර්ශක සීඝ්‍ර ලෙස පහත වැටී තිබීමෙන් මේය ඉතා පැහැදිළිය.

ශ්‍රී ලංකාව තුළ පළමු කොරෝනා රෝගියා හමුවීමත් සමඟ කොටස් වෙළඳපල කඩා වැටීම ආරම්භ විය. ගෝලීය වශයෙන් ආයෝජන ආකර්ශනය කර ගැනීමට නො හැකිවීම මත, 2020 දී ශ්‍රී ලංකවට සෘජු ආයෝජන කිසිවක් නො පැමිණෙනු ඇත.

එසේම ශ්‍රී ලංකා රජයේ අපේක්ෂිත වියදම් , එනම්, පාර්ලිමේන්තු මැතිවරණය සඳහා යන වියදම්, සෞඛ්‍ය සේවය සඳහා යන වියදම්, ආඩු ආයම්ලාභීන්ට ආධාර ලබාදීම් යන කිසිවක් අඩු නොවනු ඇත.

මේ තත්ත්වය තුළ වඩාත් ආර්ථික පීඩනයක් ඇතිවීම නොවැළැක්විය හැක.

ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය 2020 දී 1.4% දක්වා පහත වැටෙනු ඇති බවට බොහෝ ආර්ථික විශ්ලේෂකයන් මේ වන විට පුරෝකථනය කොට ඇත. ඔවුන්ට අනුව සේවා අංශයේ අඛණ්ඩ දුර්වල වර්ධනයක් පෙන්නුම් කරන අතර, කාර්මික අංශයේ වර්ධනය ඉදිරි කාර්තුවේ දී වඩා මන්ද ගාමී වනු ඇත. ලංකාව යනු විදේශ මුදල් උත්පාදනය සඳහා අපනයන ආදායම් මත රඳා පවතින කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසාකයන්ගෙන් සමන්විත රටකි.

ණය සහ මූල්‍ය අර්බුදය හමුවේ දැඩි අවදානමක සිටින මොවුන්ගේ ආර්ථිකය නැවත පුනර්ජීවනය කිරීම පහසු කාර්‍යාක් නොවනවා සේම , එය ඒසේ නොකළ හොත් සිදුවන හානිය ද අති විශාලය. ශ්‍රී ලංකාව තුළ වෛරසය සිදු කරන බලපෑමෙන් පමණක් ,ශ්‍රී ලංකාවේ ආර්ථික කඩා වැටීම තීරණය නොවේ. ඊට ඇමරිකා එක්සත් ජනපදයේ, යුරෝපයේ සහ චීනයේ ආර්ථිකයන් තුළ සිදුවන වෙනසවීම් ද සෘජු ලෙස බලපායි.

ඉතිහාසය පුරා බොහෝ ආර්ථික අවපාත ඇති වී ඇත්තේ ඉල්ලුම හා සැපයුම තුළ ඇතිවන කම්පනයන් තුළින් බව ඉතිහාසය පිරික්සීමේ දී පෙනේ. 1973 දී ඇති වූ ඔපෙක් තෙල් තහනම, 2008 දී සිදු වූ මූල්‍ය අර්බුදය සහ 2009 සැප්තැම්බර් ඇමරිකාවේ සිදු වූ ප්‍රහාරය මීට නිදසුන්ය. ජනතාව නිවෙස් වලට සීමා කිරීමෙන් ඇතිවෙන පාරිභෝගික ඉල්ලුම පහත වැටීමෙන් ඉල්ලුමේ කම්පනයක් ඇතිවීම අනිවාර්‍ය ය.

ලොව පුරා සැපයුම් දාමයේ සිදු වී ඇති කඩාකප්පල් වීමේන් සැපයුම් කම්පනයක් ඇති වී ඇත. මේ නිසාම ගෝලීය දළ නිෂ්පාදිතය 5% කින් පහත වැටී ඇත.

චීනය සිය ආර්ථික කටයුතු නැවත ආරම්භ කර ඇතත්, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සැපයුම් ක්‍රියා දාමය තවමත් අඛණ්ඩව කඩාකප්පල් වෙමින් ඇත.

ගෝලීය අවපාතය නිසා ලංකාවේ අපනයන සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස අඩුවීමක් සිදුවන අතරම, ඒ නිසාම සැලකියයුතු රැකියා අහිමිවීමක් ද සිදුවීම අනිවාර්‍ය ය. 2008 සිට 2010 දක්වා කාලය තුළ පැවැති ලෝක ආර්ථික අවපාතය නිසා , ශ්‍රී ලංකාවේ සමාගම් තුළ විශාල කඩා වැටීමක් සිදු විය. විශේෂයෙන් ඇඟලුම් අංශයේ ඉල්ලුම අඩුවීම නිසා ලාංකිකයන් 90, 000 කට රැකියා අහිමි විය. මේ වසරේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණය විය. පසු ගිය අප්‍රේල් 06 වන විට රුපියල ඩොලරයට සාපේක්ෂව 9% න් අවප්‍රමාණය වී තිබිණ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වලට අනුව 2019 පළමු කාර්තුවට වඩා 2020 පළමු කාර්තුවේදී සංචාරකයන්ගේ පැමිණීම 30% න් පහත වැටී ඇත.

මේ නිසා මාර්තු වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ආදායම ඩොලර් මිලියන 319 න් පහත වැටී ඇත. මෙය තව දුරටත් වැඩිවීම වැලැක්විය නොහැක.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායාමට ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් වැනි ඉහළ දායකත්වයක් සපයන ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්තය මේ වනවිට අර්බුදයකට මුහුණ දී ඇත. රෙදිපිළි අපනයන වෙළඳපලේ විශාලතම ගැනුම්කරුවා වූ ඉතාලිය, මේ වන විට පත්වී ඇති තත්ත්වය තුළ 2020 දී නව අැනවුම් අඩුවීමක් සිදුවන බව පැහැදිළිය. එසේම අමුද්‍රව්‍ය ආනයනය ප්‍රමාදවීම නො වැලැක්විය හැක.

මේ තත්ත්වය තුළ 2020 මාර්තු සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පමණක් මේ ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 1.5 ක ආදායමක් අහිමිවීමට නියමිත බවට මෙම කර්මාන්තය පිළිබඳ ප්‍රවීනයන් පුරෝකතනය කර ඇත. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම නිසා සිල්ලර හා පරිභෝගික අංශයට එය තදින් බලපා ඇත.ඒ නිසා ඔවුන්ට දැරීමට සිදු වී ඇති පිරිවැය අති විශාලය.

ඇඳිරි නීතිය දීර්ඝ කිරීම නිසා සිල්ලර හා පාරිභෝගික අංශය තවත් මන්දගාමී ඇත. එසේම ආනයනයන් සීමා කිරීම නිසා සිල්ලර වෙලඳාම තව දුරටත් අඩාල වී තිබේ.

මේ අතර නිමි ඇඳුම් පාරිභෝගිකයාගේ ඉල්ලුම ද මන්දගාමී තිබේ. අවිධිමත් සේවාවන් හී තවදුරටත් රැකියා අහිමිවීම් සිදුවනු ඇත.

චීන ආර්ථිකයේ මන්දගාමීත්වය හේතුවෙන් මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් අවදානමකට ලක්විය හැකි බව , විදේශ සංවර්ධන ආයතනය විසින් කරන ලද පර්යෙෂණ පත්‍රිකාවක සඳහන් කර ඇත. කොරෝනා වෛරස් වසංගතය නිසා ඇතිවන ලෝක ආර්ථික අර්බුදය , 2008 පැවැති මූල්‍ය අර්බුදයට වඩා වැඩි ආර්ථික අර්බුදයක් ඇති කරන බවට මේ වනවිටත් පුරෝකථන සිදු කොට තිබේ.

මේවැනි පසුබිමක , ලංකාවේ ඇතිවන ආර්ථික අර්බුදය අවම කර ගැනීම සඳහා ගෝලීය සහාය ලබා ගැනීමට ඇති ඉඩකඩ අවම වීම ලංකාවේ තත්ත්වය තවත් භයානාකවීමට හේතු වන බව ස්ථීරය.

මේ තත්තවය තුළ ඉදිරි කාලයේ දී ලංකාවේ දේශපාලන හා සමාජ අරගල තියුණු වීම නො වැලැක්විය හැක.

සුනිල් ගාමිණී

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435