පර්පචුවල් ඉල්ලම සහ අර්ථසාධකයේ සොහොන් ලකුණ

විශ‍්‍රාම වැටුපක බලාපොරොත්තුව ඇතුව රාජ්‍ය සේවයට සහ දේශපාලනයට සමිබන්ධ වන ශ‍්‍රී ලාංකේයන් අතලොස්සක් හැරුන විට ශ‍්‍රී ලංකාවෙි දළ ජාතික නිෂ්පාදනයට ඍජුවම දායක වන පුද්ගලික සහ රාජ්‍ය නොවෙන ආයතන වල සේවය කරණ දහස් ගනණකගේ විශ‍්‍රාම ජීවිතය තීරණාත්මක සංධිස්ථානයකට යොමුකරන සේවක අර්ථසාධක අරමුදලට කණ කොකා හැඩලීම කණගාටු දායක තත්වයකි’

වෘත්තීය සමිති නායකයින්ගේ ඇසට වැලිගසා සමස්ත කමිකරු ප‍්‍රජාවම ගොනාට අන්දවමින් සේවක සේවිකාවන් සහ හාමිපුතුන් එකතුව කරන ආයෝජනයන් අවභාවිතාව සහ අපයෝජනට ලක්වීම වලක්වාගැනීමට සුදුසු වැඩපිලිවෙලක් හදුන්වාදීම කඩිනමින් කළයුතුව ඇත. අර්ථසාධකයේ අපේක්ෂිත අරමුණු ආරක්ෂා කරගනිමින් පරිපාලනය කරවීමේ නව ක‍්‍රමවේදයක් හදුන්වා දීමේ කාලය එලැඹ ඇත. මේ සඳහා සම්මත රාමුවෙන් ඔබිබට විහිදුණු වැඩපිලිවෙලක් ඔස්සේ කටයුතු කළයුතුවේ.

“අර්ථසාධක සොහොන් ලකුණ මතුවීම” යන සිරස්තලය යටතේ වැඩබිම වෙබි අඩවියේ පලකරන ලද ලිපියට ඌණ පූර්ණයක් එක් කරවීම සදහා මෙම ලිපිය ඉදිරිපත් කරමි.

The city uk සමීක්ෂණ වාර්තාවන්ට අනුව 2013 ගෝලීය විශ‍්‍රාම අරමුදල්වල වත්කම් 8% ක වර්ධනයක් අත්කරගෙන ඇත. මෙම වර්ධනය සුවිෂේශ වන්නේ ගෝලීය ආර්ථික අවපාතයක් පවතින වකවාණුවකදී පවා විශ‍්‍රාම අරමුදල් වර්ධනයක් වාර්තා වීමය. එම වාර්තාවට අනුව සමස්ත ගෝලීය විශ‍්‍රාම අරමුදල්වල වත්කම්වල වටිණාකම ඇ ඩො ට්‍රිලියන 33.9 කි. මෙම වකවාණුව තුළ වාර්තාවන ස්වෛරීය වස්තුභාර (Sovereign Wealth Funds) අරමුදල්වල වත්කම ඇ.ඩො ට්‍රිලියන 6.5 කි. ලෝක වෙ‍ළෙදපොලේ බොරතෙල් මිල පහළ වැටීමත් සමග ස්වෛරීය වස්තුභාරවල වටිනාකම පහත වැටෙන විට පොලී අනුපාතවල පහත වැටීමට සමගාමීව විශ‍්‍රාම අරමුදල්වල වත්කම්ද පහත බසිනු ඇත. වැඩකරන ශ‍්‍රම බලකායේ ඉතුරුම් සහ එම අරමුදල්වල ද්‍රවශීලීභාවය කොපමණද යන්න පාඨකයින්ට වටහා ගැනීමට මෙම දත්තයන් ප‍්‍රමාණාත්මක වනු ඇත.

2015 McKinsey වාර්තාව අනුව සංවර්ධිත සහ සංවර්ධනය වන රටවල් බොහොමයක් දරාගත නොහැකි ප‍්‍රමාණයට ණය උඟුලේ සිරව ඇත. වර්තමාන ආර්ථික අවපාතය සහ වෙළඳපල ද්‍රවශීලී අවශ්‍යතාවන් පිරිමසා ගැනීම පිණිස ඇමෙරිකාව යුරෝපා ප‍්‍රජාව සහ ජපානය ඇතුළු රටවල් කිහිපයක් හදුන්වාදී ඇති අසමිමත මූල්‍ය ප‍්‍රතිපත්තීන් තත්වය තවත් ව්‍යාකූල කරවයි.

2008 ගෝලීය මූල්‍ය වෙළදපලේ කඩාවැටීමට මූලිකවම දායකව ඇත්තේ කෙටි කාලීන සුපිරි ලාභ අපේක්ෂාවෙන් ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන ඉවක් බවක් නොමැතිව ණය සැපයීමත් වරප‍්‍රසාද ලාභී සුළු පිරිසකට වාසි ගෙනෙන අයතා ගණුදෙනු වල නිරතවීමත්ය. 2014 දී සමස්ත ගෝලීය ණය ප‍්‍රමාණය ඇ.ඩො ට්‍රිලියන 57 කි. මෙම සංඛ්‍යාව 2007 දී ආර්ථික අවපාතයට පෙර පැවති සමස්ත ගෝලීය ඳල ජාතික නිෂ්පාදනයට සමානවේ. මෙම ප‍්‍රමාණවලට ශ‍්‍රී ලංකාවේ දායකත්වය කොපමණද යන්න පාඨකයන්ට අනුමාණ කල හැක. මෙම තත්වයන් තුල ලෝක වෙළෙදපොල පොලී අනුපාතයන් තවදුරටත් ශුණ්‍ය හෝ ඍණ අගයන් වෙත ඇදීයනු ඇත. මෙම තත්වය විශ‍්‍රාම අරමුදල්වලට අවාසිදායකය. එමනිසා අර්ථසාධක අරමුදල් විශ‍්‍රාම වැටුප් අරමුදල් පරිපාලනය ඉතාමත් ප‍්‍රවේශමෙන් කළයුතුව ඇත.

ගෝලීය මූල්‍ය වෙලඳපලේ කඩාවැටීමට දායක වූ උපදේශකයින්ගේ නිර්දේශයන්ට මුලාවූ දේශපාලකයින් වරප‍්‍රසාදලාභී තම හිතවතුන්ට සුපිරි ලාභ පිරිණමමින් වසර 30 ක භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කොට රාජ්‍ය ණය එක්රැස් කරගත් බැදුම්කර මගඩිය පිලිබදව වර්තමාන පාර්ලිමේන්තුව තුල සහ විවිධ ජනමාධ්‍ය ඔස්සේ නිරන්තර සාකචිඡාවන්ට බදුන්ව පවතිමින් තිබේ.

ඉහත සදහන් තත්වය තුල සමස්ත වැඩකරන ජනතාවගේ ඉතුරුම්වලට ලැබීමට හිමි පොලිය තවත් වසර 30 ට පර්පචුවල් සමාගමේ ලාභය තරකරගැනීමට යොමු කර ඇත. වචනයේ පරිසමාප්ත අර්ථයට සමගාමීව එම සමාගමට එකී වරප‍්‍රසාදය නොනවතින ඉල්ලමකි.

අර්ථසාධක අරමුදල් අපයෝජනයට ලක්වීම විවිධ ආකාරයට පසුගිය රාජ්‍ය පාලනය සමයේ සිදුවූ ආකාරයන් ජනමාධ්‍ය ඔස්සේ සාකචිඡාවට භාජනය නොවීය. එකී වකවාණුව තුළදී අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපලේ ආයෝජණය කර පෞද්ගලික බැංකු රක්ෂණ සමාගම්වල කොටස් මිලට ගැනීමට යොදවන ලදි.

එම අයෝජනවල අපේක්ෂිත අරමුණව තිබුනේ අරමුදලට ප‍්‍රමාණවත් ආදායම් උපයා ගැනීම නොව තෝරාගත් බැංකු සහ රක්ෂණ සමාගමිවල අධ්‍යක්ෂක මණ්ඩල තුළට දේශපාලන හෙංචයියලා පත්කර ගැනීමට ප‍්‍රමාණවත් කොටස් මිලට ගැනීමේ ආයෝජනයන් කිරීමය. මීට අමතරව තම හිතවතුන්ගේ ඕනෑ එපාකමි මත කොටස් වෙළදපොලේ නියුතු තැරැවිකරුවන් සමග හවුල්ව කොටස් වෙළඳපලේ මිල උචිඡාවචයන්ට ලක් කරවමින් සුපිරි ලාභ ඉපයීමට ඉඩ ප‍්‍රස්තාවන්ද සකසා දුන්නහ. එවකට සිටි මහා බැංකු අධිපති තුමා සමග නිතර රට සවාරි වලට එක්ව සිටියේ මහා බැංකුවේ සේවක අර්ථසාධක අංශයේ නිලධාරීන්ය. සැගවුණු අරමුණු කුමක් වෙතත් ඔවුන් සද්භාවයෙන් මහා බැංකු අධිපති තුමා සමග විදේශ ආයෝජණ එක්රැස් කරවීමට පෙල ගැසුණා විය හැක.

ඉහතින් සදහන් කල අපයෝජනයන්ගේ සමස්ත ප‍්‍රතිපල වැඩකරන ජනතාවගේ ඉතුරුම් ක්ෂය කරවීමට දායකව ඇත. මෙම තත්වයන් තුල සේවක අර්ථසාධක අරමුදලේ පරිපාලනය කම්කරුවන්ගේ ඡන්දයෙන් තෝරා ගැණුනු නියෝජිතයින් කිහිප දෙනෙකු ඇතුළු භාරකාර මණ්ඩලයකට බාර දිය යුතු බවට මෙම ලියුම්කරු යෝජනා කර සිටී. එසේ නොවී සේවක අර්ථසාධක අරමුදලේ පරිපාලනය මහා බැංකුවේ අධීක්ෂණය යටතේ පමණක් සිදුවීම ගමරාල වක්කඩේ හකුරු සඟවා අත්පත් කරගත් ප‍්‍රතිලාභයට සමාන විය හැක.

ජයශ‍්‍රී ප‍්‍රියලාල්

වැඩබිම

සබැඳි  ලිපි 

EPF අරමුදලේ සොහොන් ලකුණු මතුවෙයි

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435