පරිපාලන සේවයේ නිලධාරිහු ලෙඩ්ඩුම ද ?

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නියුතු සියලු රාජ්‍ය ආයතනයන්හිම නිලධාරීහු සැප්. 10, 11 දෙදිනම අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූහ. ඒ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙනය. ඒ වැටුප් හා දීමනා විසමතාව, ප්‍රවාහන දීමනා විසමතාව අනුමත තනතුරුවලට විශ්‍රාමික නිලධාරින් සේවයේ යෙදවීම, පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් තිබියදී එම පුරප්පාඩු නොපිරවීම, නිසි පරිදි සේවයේ තනතුරු සඳහා පත්වීම් ලබා නොදීම සහ පරිපාලන සේවයේ නිලධාරීන්ට දේශපාලකයන්ගෙන් එල්ල වන බලපෑම නිසා රාජකාරි කිරීමට අපහසුවීම ඊට ඇතුළත්ය.

ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නට බව අමුතුවෙන් කිවයුතු නැත. එකවර නින්දෙන් ඇහැරුණු ගාණට ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන් අවදි වී ඇත්තේ වෙන කිසි හේතුවක් නිසා නොව ආණ්ඩු මාරුවක් සිදුවෙතැයි සිතා රාජපක්ෂලාට සහයවීමටය. මේ තනිකරම දේශපාලන සෙල්ලමකි. රාජපක්ෂලා අන්දවා ඊළඟ වාරය ගොඩ දමා ගැනීමක්ය.

මීට පෙරද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා ශ්‍රේණි අනුව විශේෂ දීමනාවක් ලබාගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ආවා මතකය. එයට වැඩි ඈතක් නොවේ. එවිට එය ලබාදෙන්නයි පන්සල් ගාණේ ඇවිදිමින් සිටි මහින්ද රාජපක්ෂ මහා හයියෙන් කෑගැසුවේය. මේ නැවත සිද්ධ වන්නේ අයියාගේ අවධානය මල්ලිගෙන්ද ලබා ගැනීමය. පරිපාලන සේවයේ නියුතු අයට රාජපක්ෂලා ආදරය කරන බව රාජපක්ෂ යුගයේදී තහවුරු විය. එකල පරිපාලන සේවයේ අය ස්වයංපෝෂිත විය. කාලෙන් කාලෙට තම මඩිය තර කර ගැනීමට මොවුහු මෙම විජ්ජාව පෙන්වති.

මෙවර එය වෙනස්ම හැඩයක් ගෙන ඇත්තේ පරිපාලන සේවයේ නිලධාරීන්ට දේශපාලකයන්ගෙන් එල්ල වෙන බලපෑම් ලෙස සටන් පාඨයක් කරළියට ගෙන ඒමය. මේ කාව සනසනු පිණිසද? මේ පරිපාලන සේවයේ නියුතු නිලධාරීන් මෙතෙක් කිසිදු දේශපාලන බලපෑමකට යටත් වී නැද්ද? ඒ තරමට මේ නිලධාරීන් ස්වාධීනද? පාරිශුද්ධද?

පරිපාලන සේවයේ නිලධාරීන් මේ පවසනුයේ ඇත්තමද? මීට පෙර දේශපාලන බලපෑම් මත තම නිලධාරීන් මාරු කොට යවන විට මේ සංගමය ගත් ක්‍රියාමාර්ග මොනවාද? එවැනි අතීත සිද්ධීන් අමතක කොට හදිසියේ මේ වුවමනාව කූට උපක්‍රම බව අමුතුවෙන් කිවයුතුද? එදා තම වුවමනාවට දේශපාලනයට සහය දෙනවුන්ට අද කියනුයේ දේශපාලන බලපෑම් ඇති බවය.

2016 වසරේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කේ.එච්.ජේ. ලංකාදරී සේනාරත්න මිය හා සහකාර ලේකම් කේ. නිකරිල්කාන්ත් මහතාට දේශපාලන හයියෙන් ස්ථාන මාරු දෙන විට මේ සංගමය අඳ, ගොළු, බිහිරන්ව සිටියේ ඇයි? මේ අයට ස්ථාන මාරුවීම් දුන්නේ හින්දු කටයුතු අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් කුලියට ගැනීම සඳහා සහය නොදුන්නැයි චෝදනාවටය. ඒ අමාත්‍යාංශයේ සහ ලේකම්ගේ වුවමනාව මත මාසිකව ලක්ෂ 42 දක්වා වැඩි කොට ඇගැයීම් ලබාදෙන ලෙස කරනු ලැබූ බලපෑම පිළිනොගැනීම හේතුවෙනි. ඊට පෙර මාසික කුලිය ලක්ෂ 30ක් වූ කුලිය එකවර 42 කිරීමට මැලිවීම ස්ථාන මාරුවක් ලබන්නට හේතුවූ බව මේ සංගමය නොදනීද? මොවුන් සංගමය දැනුවත් කළද නිසි ක්‍රියාමාර්ග ගත්තේද?

අමාත්‍යාංශයේ කටයුතු සුමට ලෙස පවත්වාගෙන යෑමට බාධාවක් බැවින් ස්ථාන මාරු කරන ලෙස එදා අමාත්‍යාංශ ලේකම් කේ. සිවඥානසෝති රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් ඉල්ලා තිබුණි. අද පොත් ලියමින් තමා මහා සුපිරිසිදු පරිපාලන සේවයේ නිලධාරියෙක් බව පෙන්වා දෙන්නට උත්සාහ කරන ජේ. දඩල්ලගේ එදා ක්‍රියා කළෙත් ඒවා මෙහේ බෑ මචං පන්නයටමය. එදා කිසිදු වරදක් නොකළ මේ නිලධාරීන්ට ඉතා නිර්ධය ලෙස පාවා දුන් එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ සුමටව ආයතනය පවත්වාගෙන යෑමට බාධාවක් කියා මාරු කරන ලෙස ඉල්ලූ සැණින් වග විභාගයකින් තොරව ඔවුන්ව මාරු කළේය. තම සේවයේම ප්‍රධානියකු වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්ගේ මේ පාවාදීමට එදා කරබාගෙන සිටි පරිපාලන සේවා නිලධාරීන් අද දේශපාලන අතපෙවීම් ගැන කතා කිරීම විහිළුවක් නොවේද? එදා ඒවා කතා නොකළේ තම වැටුප් විසමතා විසඳා ගැනීමේ යටිකූට්ටු වැඩ රජය සමග පැවති නිසාය. දැන් මේ රජයේ අවසාන කාලය යැයි සිතන මොවුන් අමුතු ආරකට සැරසෙති. ඒ නැවත රාජපක්ෂලා දිනා ගන්නටය. දැන් හෙට දිනයේ රාජපක්ෂලා පරිපාලන සේවය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනු ඇත.

ඉතිහාසය පුරාම විවිධ පාලකයන්ගේ ඕනෑඑපාකම් ඉටු කළ පරිපාලන සේවා නිලධාරීන් දේශපාලන අතපෙවීම් ගැන කතා කිරීම හිරිකිතය. විවිධ පාලකයන්ගේ වුවමනාවන්ට අනුව රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාවන් වැඩි ප්‍රමාණයක් එල්ල වී ඇත්තේ පරිපාලන සේවයේ නිලධාරීන්ටය. ඒ නිලධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලින් පැහැදිලිව පෙනේ. එවන් සිද්ධි නොදැක්කා සේ සිටින පරිපාලන සේවා සංගමය මේ සැරසෙන්නේ ඊළඟ බලපෙරළියට අඩ තැබීමට බව පැහැදිලිය.

දේශපාලන බලපෑම් තමන්ට වාසි ලෙස යොදා ගැනීමත් අවාසි තැනදි මුනිවත රැකීමත් පරිපාලන සේවයේ නිලධාරීන්ගේ සහජ ලක්ෂණයක් බව පැහැදිලිය. සෑම ආණ්ඩුවක් හරහාම උපරිමය භුක්ති විඳින මේ පිරිස ඒ සඳහා පෙරළා රටට ලබා දුන් දායකත්වය ප්‍රමාණවත්ද? මේ රට විනාශ කිරීමට දේශපාලකයන් සමග එක පෙළට දායක වූ තවත් පිරිසක් වේ නම් ඒ පරිපාලන සේවයේ නිලධාරීහු වෙති. මේ අය ඕනෑම මොහොතක ලෙඩ නිවාඩු දැමීමට රුසියෝය. එබැවින් දින දෙකක ලෙඩ නිවාඩු දමා ආණ්ඩුවට හයිරම් පෑම මේ අයගේ විනෝදයක් වී ඇත. 2015දී යහපාලනය හරහා තම අවැසි දේ කරගන්නට උපරිමය කළ මේ පිරිස් දැන් බලන්නේ අලුත් පිටට පෙරළෙන්නටය. දැන් ඔවුන් නැවත රාජපක්ෂලා සරණ යන්නට සැරසෙන බව මේ ලෙඩ නිවාඩුවලින් වටහා ගත යුතුය. මෙරට පරිපාලන සේවය ලෙඩවූයේ දින දෙකකට නොව එය කාලයක පටන් අදින ලෙඩක්මය. කාලෙන් කාලෙට ආණ්ඩුවලින් උපරිමය ලබාගෙන ඒ අය නව පණක් ලබන අතර රටට කළ සේවය නම් අල්පය. මෙවරත් ගොනා හැරෙන්නේ පොල් පැළය කන්නට බව පැහැදිලිය.

ටිරන් කුමාර බංගගමආරච්චි (ravaya)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435