පස්දෙනාගෙ සමිතිවලින් ණය ගත්තා නොදැනම මුළු ගම්මානෙම ගිනි ගත්තා

පෙරදවස ඉඳලම කාලෙන් කාලෙට නොයෙක් වසංගත නොයෙක් ස්වරූපයෙන් ගම්මානවලට ඇතුළුවෙලා පවුල් පිටින් ගිලගෙන විනාශ කරලා තියෙනවා. මෙවර එම ගම්මානවලට ඇතුළු වෙලා තියෙන දේ වසංගතයකට වඩා මහවියරු සුළියක් කීවොත් එයයි නිවැරැදි. සමහර පළාත්වල මුළු ජනජීවිතයට උඩුයටිකුරු වෙලා. දරුපවුල් නන්නත්තාර වෙලා. හොඳට හිටපු පවුල්වල අඹු සැමියෝ නයි පොළොංගු ගානට පෙනෙන්නට බැරි ලෙසට විරසක වෙලා. බොහොමයක් පවුල් සංස්ථා දෙදරා ගිහින්. සමහර අය නීතියෙන් විතරයි වෙන්වෙලා දික්කසාද වෙලා නැත්තේ. ඒ අස්සෙ එම සුළියට අහුවුණ තරුණ සමහර දූවරුන්ගේ ජීවිතත් ඒ සමඟම කැරකෙන්නට අරගෙන.

පිටින් ඉඳලා ගම දිහා බලනකොට කාටවත් මේ දේවල් පෙනෙන්නේ නෑ. ඒ හින්දම කවුරුවත් මේ ගැන මෙච්චර දවසක් කතා කෙරුවේ නෑ. ඒත් දැන් ඒ ගම් තුළින් ඔවුන්ගේ හඬ පුපුරන්න අරගෙන.

ඔවුන් කියන විදියට මෙන්න දැන් ටික කාලෙක ඉඳලා සතියේ දවස් හත පුරාම බයිසිකල්කාරයෝ ගමට එන්ඩ පුරුදුවෙලා. බයිසිකල්කාරයෝ කිව්වට මෝටර් සයිකල්වලින් එන ටයි පොලු දාගත්තු මහත්තුරු.

මේ හුඟ දෙනකුම වාගේ කියාගෙන ආවේ ගම දියුණු කරන්න ගමේ අයට ණය ආධාරදීලා අතමිට සරුකරන්න ආවා කියලා. සමහර විට ඒ උත්තමයන්ගේ චේතනාව ඒක වෙන්න ඇති. ඒත් කොතැන හරි වැරැදිලා ඒක දැන් ගම වනසන වියරු සුළියක් බවට පත්වෙලා.

පිට සිටින අයට පේන්නේ නැති විදියට අපි තව කොච්චර කාලයක් මේ දේවල් හංගගෙන ඉන්නද. සමාජයෙන් වහගෙන ඉන්න. අපිට නම් දැන් වෙන්න ඕන දේ වෙලා ඉවරයි. ආයෙත් මේ ආත්මෙට ගොඩ එනවා බොරු. ඒත් අපේ දූ දරුවෝ… එයාලත් මේ සුළියට අසුවෙලා. මේ විනාශයේ කොටස්කරුවෝ වෙලා. අපි දැන් මේ විදියට හරි කතා කරලා, කියලා, ලියලා මේ හැම දෙයක්ම හෙළිකරන්නේ අපේම පන්තියේ අයගේ හෙට දිනය වෙනුවෙන් පෙන්වන දේදුනු ලෝකය අල්ලන්න ගිහින් තෙරක් නොපෙනෙන අගාධයකට වැටිලා ජීවිතය විනාශ කරගෙන ඉන්න අපි අපේම පන්තියේ නංගිලා, මල්ලිලා, දුවලා, පුතාලාට අපි දැකපු සත්‍ය අවබෝධ කරලා මේ පිළිලයට හසුනොවී බේරා ගන්න අරමුණින් මේ කතාව ලියන්න ගත්තේ.

රටේ නොයෙකුත් පළාත්වලින් ඇසෙන මේ විලාපයක් වන් හ‍ෙ¾ඩ්ත් එය සිදුවන ආකාරය විස්තර කරන්නා වූ රාමුවෙත් තිබෙන්නේ එකම ස්වරූපයක්. ඒ කියන්නේ විවිධ නම්වලින් තියෙන මූල්‍ය ආයතන කීපයක් ක්‍රියාත්මක කරන මේ දේ සිදුවෙන්නේ එකම පිළිවෙළට.

ඔවුන් ඔවුන්ගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට තෝරාගෙන තියෙන ගම්මාන හැම එකකම ජීවත්වන මිනිසුන් එකම බුද්ධි මට්ටමේ මෙන්ම සමාන ආර්ථික මට්ටමක ජීවත්වෙන අයවීම මෙහි තියෙන ලොකුම විශේෂත්වයක්.

ජීවත්වෙන්න අනේකවිධ දුක් විඳින, මහන් සිවෙන, දරිද්‍රතාවේ අන්තයටම ගිහින් සිටින අය ඔවුන්ගේ අවධානයට යොමුවන්නේ නෑ. එසේම මාස තුන හතරකට වතාවක් කුඹුරකින් හේනකින් වී ටිකක් කුරක්කන් ටිකක් මෙනේරි අස්වැන්නක් ලබාගෙන ජීවත්වෙන අහිංසකයන්ගේ ආර්ථිකය දියුණු කිරීමට මේ කියන කොම්පැනිකාර උත්තමයන්ගේ පපු කැනැති උණුවෙන්නේ නෑ කියලා තමයි මේ පිළිබඳ හොඳට හොයල බලල අපිට කරුණු කියන උදවිය පවසන්නේ.

හැම දවසකම, සතියකට වතාවක් හරි මොන විදියකින් හරි අතට සල්ලියක් ගන්න පුළුවන් විදියේ ආදායම් මාර්ගයක් තියෙන අය තමයි හැම තිස්සේම මෙයාලගේ අවධානයට යොමුවෙලා තියෙන්නේ. එදිනෙදා කුලියක් මලියක් කරලා කීයක් හරි හොයාගන්න පුළුවන් රස්සාවල් බහුලව තියෙන ප්‍රදේශ, එහෙම නැත්නම් ගෙවත්්තේන් කොටුවෙන් සතියකට සැරයක් පලාබටු හරි විකුණන්න පුරුදු වෙලා ඉන්න වැසියන් ජීවත්වෙන ගම්මාන තමයි එයාලගේ ඉවෙන් තෝරගන්නේ. ඒ විදියේ ගම්මානයක කෙනෙක් තමයි ඉන් පස්සේ සිදුවූ සියලු දේ අපිට මේ විදියට විස්තර කෙරුවේ.

“සතිපතා ණයයි පොලියයි දෙකම එකවර කැපිලා යන විදියට ණයක් දෙන්නද කියලා ගෙදරටම ඇවිත් අහනකොට කාටද ආස හිතෙන්නේ නැත්තේ. බැංකුවලින් ණය ගන්න ගිහින් දහඅතේ ඇවිදලා ඇපේට තියන්න ගෙයක් ‍ෙදාරක් ඉඩමක් වගේ වත්කමක් නැතත් අඩුගාණෙ ඇප අස්සන් කොරන්ඩ ආණ්ඩුවේ රස්සාවල් කරන දෙන්නෙක් හොයලා බැරිම තැන අත පිහිදාගෙන බැංකු ණය කියන එක තිත්ත වෙලා ඉන්න අපි වගේ දුප්පත් කෙනකුට එහෙම දෙයක් කිව්වාම ඇතිවෙන සන්තෝසේ මෙහෙම කටින් කියල විස්තර කරන්න පුළුවන්ද මහත්තයෝ. ඒක තමයි අපි පැටලෙන පළමු වැනි දැල. ඉඩකඩම් ඕන නෑ. රජයේ රස්සා කරන අෑයෝ අස්සන් කරන්ඩ ඕන නෑ. කොයි තරම් දෙයක්ද.

අපේ ගෙවල්වලටම ඇවිල්ලා තමයි ඒ මහත්තුරු ණය දෙන්ට කතා කරන්නේ. හැබැයි පිරිමි අපිට නෙවේ එයාල මේ ණය දෙන්නේ. අපේ පවුල්වල ගැහැනු උදවියට විතරයි. ඒ කියන්නේ අපේ බාරිට විතරයි. ඒකට වයස් සීමාවක් නෑ. බැඳලා ඉන්නවනම් පවුල් කනවා නම් ඒක තමයි එකම සුදුසුකම.

එක අතකට ගෙදර ගැහැනු කට්ටියට විතරක් ණය දෙන්න එයාල අරගෙන තියෙන තීරණයත් හරි. මොකද අමාරුවෙන් එදිනෙදා කීයක් හරි හොයාගෙන ජීවත්වෙන පිරිමි අපිට එකපාරටම අතට දහපහළොස් දාහක් හම්බුණාම නොකරන දේවලුත් කරන්ඩ හිතෙනවානේ. බාර් එකට එහෙම නැත්තන් පොඩිපහේ කසිප්පු හිත්පොළට එහෙමත් නැත්තන් සීනි කරිඤ්ඤං ටිකක් බොන්න කියලා වැව ඉස්මත්තට ගියොත් යාළුවෝ තුන් හතර දෙනකු එකතු වුණාම ඇති දවස් දෙකයි. දහදාහ කුඩු. එව්ව හොඳට දන්න හින්ද තමයි ඒ කොම්පැනිවල මහත්තුරු මේ සල්ලි අපේ උන්දැලාගේ අතටම දෙන්ඩ කටයුතු කරන්නේ.

ඒ හින්දා මමත් කැමති වුණා අපේ පවුලට මේ සල්ලිබාගේ දෙන එක හො¼දා කියලා.

හැබැයි ඒක නිකම්ම නිකම් දෙන සල්ලියක් නෙවේ. අපේ ආර්ථිකේ දියුණු කොරන්ඩ දෙන ණයක් කියලයි කියන්නේ. හැබැයි අනෙක් බැංකුවල වගේ නෙවේ මේක අමුතු ණය ක්‍රමයක්.

ළඟ ළඟ ගෙවල් පහක ගෑනු අෑයෝ එකතුවෙලා කුඩා කණ්ඩායමක් හැදෙන්න ඕන. ඒ පස්දෙනාගෙන් එක්කෙනාට එක්කෙනාට ඇප අස්සන් කෙරුවාම පස්දෙනාටම රුපියල් දහදාහ ගානේ ණය මුදලක් කොම්පැනියෙන් ලේසියෙන්ම ගන්න පුළුවන්. ගෙවල් පහෙන් එක පිරිමියයි පස්දෙනාටම අස්සන් කරන්ඩ ඕන. ඊට පස්සේ ටවුමේ තියෙන එයාලගේ කන්තෝරුවට ගියානම් පස්දෙනාටම දහදාහ ගාණේ හම්බෙනවා.

ඊට පස්සේ එම ණය මුදලම ආපසු ගෙවන්න තියෙන්නෙත් බොහොම සහනදායි විදියට මාස 6කින් ඒ ණය මුදල කැපිලා යන විදියට. සතියට සැරයක් ගෙවන්න තමයි ක්‍රමේ හදලා තියෙන්නේ. පොලියයි ණය මුදලෙ කොටසකුයි කැපිලා යන විදියට තමයි සතියෙන් සතිය ණය වාරිකය තීරණය කරන්නේ. කොයි තරම් පහසු දෙයක්ද? දන්නෙම නැතිව ණය මුදලත් ගෙවිලා යනවා.

ඒ දහදාහ ගෙවල ඉවරකෙරුවොත් ඊට පස්සේ ඒ පස්දෙනාට රුපියල් විසිදාහක් ගන්න පුළුවන්. ඒ විසිදාහත් ඒ විදියට සතියෙන් සතිය ගෙවල දැම්මාම ආයෙත් පස්දෙනාටම පනස්දාහ ගාණේ වුණත් ගන්ඩ පුළුවන්. ඒකටත් ආයේ වෙනමම ඇපකාරයෝ ඕන නෑ. ඇති කරගත්තු විශ්වාසය විතරයි තියෙන්නේ. අනිත් එක මේකෙ තියෙන ලොකුම පහසුව කියන්නේ සල්ලි ගෙනියන්න එයාලා හරියට සතියට සැරයක් නියමිත දවසට ගෙදරටම එනවනේ.

ඒ විදියට සල්ලි එකතු කරන්න එන මහත්තුරුන්ගේ මෝටර් සයිකල් මාසේ තිස් දවසෙම ගම පුරා රවුම් ගහන කොට තමයි තේරුණේ මේක එක කොම්පැනියකින් විතරක් කරන දෙයක් නෙවෙයි කියලා.

දුප්පත් මිනිසුන්ට ණය දීලා ජීවන තත්ත්වය උසස් කරවන්න කොම්පැනි ගණනාවක් ගම්වලට බැහැලා එහේ කණ්ඩායම් හදමින් ගජරාමෙට වැඩ.

මේ විදියට බලනකොට මේ අහල පහළ ගම් හැම එහෙකම වාගේ ඉන්න විවාහක කාන්තාවෝ මේ ලෝන් එක අරගෙන.

ඔය කවුරු මොනවා කිව්වත් ඒ ගත්තු දහදාහෙන් පලක් ප්‍රයෝජනය ඇති වැඩක් කරගෙන තියෙන්නේ එහෙම නැත්තන් කීයක්හරි අදායමක් ලැබෙන දේකට ඒ සල්ලි යොදවල තියෙන්නෙ කීයෙන් කී දෙනාද කියලා හෙළිවෙන්න ගත්තේ මේ සේරම ගිනි විජ්ජුම්බර සිද්ධ වුණාට පස්සේ.

සමහරු දහදාහ ගත්තු ගමන් ගෙදරට ප්ලාස්ටික් පුටු ටිකක් ගෙනත් දැම්මා. සමහරු ජනේලෙට ගහල තිබුණු ඉටිරෙදි ටික අයින් කරලා ජනෙල් පියන් ටිකක් දාගත්තා. කලාතුරකින් කෙනකු වහු පැට්ටෙක් නැත්තන් එළු පැටව් දෙතුන් දෙනකු ගෙනත් දාගත්තා.

ණය ගත්තාට පස්සේ ඊළඟ සතියේ ඉඳලා ඒ ණය මුදල ගෙවන්න ඕන කියල හිතාගෙන ඉක්මනින් ආදායමක් ඉපයෙන දෙයකට මුදල යොදවපු කෙනකු වෙයිනම් ඒ කලාතුරකින්. ඒක තමයි මේ තත්ත්වෙට හේතු වුණේ කියලා තවත් සමහරු මෙයට හේතු හැටියට කියනවා.

ඒ මොන දේවල් කවුරු කිව්වත් හුඟ දෙනකු ඒ දහදාහ අරගෙන කරගත්තේ ගෙදර ‍ෙදාරේ තිබුණු මොන මොනව හරි අඩුපාඩුවක් පිරිමසා ගත්තු එක.

ණය දුන්නු කට්ටියත් ඒක ඒ විදියට වෙන බව අත්දැකීමෙන් දන්නවා. ඒත් එයාලට ඒ මොනවා කරගත්තත් කමක් නෑ. හරියට සතියට වාරිකය ලැබුණ නම් එච්චරයි.

ඒත් ගත්තු අපිට තරු විසිවෙන්න ගත්තේ ඊළඟ සතියේ ඉඳලා ණය වාරිකය ඉල්ලගෙන ගෙදරට එනකොට. අමාරුවෙන් ජීවත්වෙන මිනිසුන්ට දවසේ කුලියක් කරලා ඒකෙන් ලැබෙන සොච්චම් පඩියෙන් එදා වේල ගැට ගහගන්න පුරුදුවෙලා හිටිය මිනිසුන්ට ගත්තු මුදලෙ ණය වාරිකය මහා බරක් විදියට දැනෙන්නේ සති දෙකතුනක් ගෙවාගෙන යනකොට.

එතකොට තමයි කාගෙ කාගෙන් හරි අත මාරු ඉල්ලන් දුවන්නේ. ඒ දුවන කොට ආයෙත් කනවැකෙනවා, මේ විදියට ණය දෙන්න ඇවිත් ඉන්න තවත් කොම්පැනිවල මහත්තුරු ගැන එයාලට ඕනත් එක්කෙනාට එක්කෙනා අස්සන් කරපු පස් දෙනකු විතරයි.

මේ ණය ගෙවන්න අමාරු හින්ද ඒ පස්දෙනා එකතුවෙලා තවත් කොම්පැනියකින් තවත් දහදාහ ගාණේ ගන්නවා. ඒ සල්ලි ඉවරවෙනකම් කොහොම හරි ගැට පොදි ගහගෙන ණය දෙකේම සතිවාරික ගෙවාගෙන යනවා. ඒ සල්ලිත් ඉවරවෙලා හිරවෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී තවත් කොම්පැනියකුත් එක්ක කතා කරලා පස් දෙනා තවත් දහ දාහක් ගණේ ගන්නවා. ඒකෙන් ලෝන් තුනේම සතිවාරික ගෙවාගෙන යන ගමන් තව එකක් ගන්නවා.

මේ විදියට දැන් අපේ ගම්වල සමහර කාන්තාවෝ දවස් හතේම ගෙවන්න ලෝන් 7ක් අරගෙන දන්නේ නැතිව ඔවුන් මර උගුලක පැටලිලා.

ආපසු ගෙවන්න ඕන බව දැනගෙන හිටියත් හුඟ දෙනකු දෙන පළියට මේ ලෝන් අරගත්තා. ගැහැනු කෙනාට වගේම පිරිමියාටත් මේ වගේ ඒ තරම් බරක් පතලක් දැනුණේ නෑ. මුලින් ගත්තු ණය ගෙවන්න අතමිට හිඟ වෙනකොට තවත් දහදහක් පහසුවෙන් වෙන කොම්පැනියකින් ගෙදරටම ගෙනත් දෙන තත්ත්වය මේ මිනිස් ජීවිත අවුලකින් අවුලකට ඇද දමලා.

වත්තේ පිටියේ වැඩක්පළක් කරගෙන හිටපු මිනිසාට කාගෙන් හරි කුලියක් කරගෙන හිටපු මිනිසාට ඒ තැන දැන් නිදහසේ වැඩක් කරගෙන ඉන්න නෑ. ගෙදර ගෑනු කෙනාගෙන් සති වාරිකය හම්බවෙන්නේ නැති වුණාම ඒ කොම්පැනි මහත්තුරු මේ අය වැඩ කරන තැන් හොයාගෙන එනවා. ඒ හින්දා දැන් ඒ තැන්වල ඉන්න වෙලා තියෙන්නේ හැංගිලා.

පසුවදාට තියෙන ණය වාරිකය ගෙවන්න ගෙදර මනුස්සයා වැඩ කරලා හොයාගෙන එන පඩිය උදුරගන්න ගෑනු කෙනා බලාගෙන ඉන්නවා. මේ හින්දම පවුල් අතර අඬදබර පටන් අරගෙන.

දරුවන්ට කන්ඩ බොන්ඩ උයන්නවත් හොයාගෙන එන තුට්ටු දෙක ණය වාරික ගෙවන්න වෙලා තියෙන එකෙන් ගෙවල්වල ආර්ථික ප්‍රශ්න වගේම අසමඟිය ඉහළට ගිහින්.

ණය මුදල් ඇපකාරියන් ලෙස අල්ලපු ගෙදර ගෑනු කෙනා අස්සන් කරලා තියෙන හින්දා එක වාරිකයක් හරි ගෙවන එක පරක්කු වුණොත් කොම්පැනි මහත්තය ගිහින් කියන්නේ එයාට. ඒ ගෑනිට කියයි කියන ලැජ්ජාවට මේ ගෙදර අම්මණ්ඩි නොකරන දෙයක් නෑ. බේරෙන්න බැරිම තැන සමහර ගෙවල්වල පිරිමි කවදාවත් නොකරපු හොරකම්වලටත් පුරුදුවෙලා කිව්වොත් ඒකයි ඇත්ත.

සමහර කාන්තාවෝ සති වාරිකය එකතු කරන්න එන වෙලාවට ගෙවල් ‍ෙදාරවල්වල නෑ. සමහරු ගෙවල් වහල එක එක තැන්වල ගිහින් දවසටම කල්ගෙවනවා. සමහර මහත්තුරු සල්ලි දෙනකම් කියල පැය ගණන් ඒ ගෙවල්වල රැඳිලා ඉන්නවා.

ආගිය තොරතුරු – නැති බැරිකම් කතා කරමින් ඒ ගෙවල් ඇතුළේ කල් මරනකොට කටකතා පට බැඳිලා පවුල් ආරවුල් ඇතිවෙන තත්ත්වයක් ගොඩක් තියෙනවා. ඒ වගේම තරුණ දූ දරුවන්ටත් මේ මවුපියන්ගේ වැරැදිවලට වන්දි ගෙවන්න සිදු වුණු අවස්ථා කීපයක්මත් ගම්මානවලින් අහන්න දකින්න ලැබුණත් හුඟ දෙනකු ඒවා හංගගෙන ඉන්නවා කර කියා ගන්න දෙයක් නැතිව.

සල්ලි ගෙවන්න වෙයි කියලා අම්මලා තාත්තලා ගෙවල්වලින් මඟහැරලා ඉන්න වෙලාවෙදී එවැනි දේවල් වෙනවා කියන්නේ මේ ගම්වලට ඇතිවෙලා තියෙන කොයි තරම් අභාගයක්ද කියලා තමයි මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න අය කියන්නේ. ඒ දේවල් අහනකොට හිතෙනවා ආයෙත් අපි මොකක්දෝ පහුකරපු අඳුරු යුගයකට ඇවිත්ද කියලා.

පෞද්ගලික ණය දෙන ආයතන කියා අටවාගත්තු මූල්‍ය සමාගම්වලින් තරගෙට වගේ මේ විදියට ගම්මාන තුළට බැහැලා දෙනු ලැබූ ණය නිසා ගම් දනව් ගණනාවක අය ගෙවාගත නොහැකි ණය බරින් පිරිලා වගේම නොයෙකුත් විදියේ නොසිතූ ප්‍රශ්න රැසක පැටලිලා ඒත් කොම්පැනිවල තරගය තාමත් ඉවරයක් නෑ.

අතේ සල්ලි නැතත් හිතේ නිදහසෙන් ගෙවල්වල වැටිල හිටපු මිනිසුන්ට ඒ දේත් අහිමි කළ මේ පහේ කණ්ඩායම් ශාපයෙන් ගම් බේරාගන්න මේ වන විට එම ගම්මානවල දැන උගත් උදවිය පන්සලේ, පල්ලියේ, කෝවිලේ පූජකතුමන්ලත් එක්ක අත්වැල් බැඳ ගනිමින් ඉන්නේ. මේ වන විට ණය බරින් මිරිකී පවුල් අවුල් කරගෙන සිටින එම දහස් ගණනක් වන පිරිස ලක්ෂ ගාණක් වීමට පෙර අපිත් ඇස්දෙක ඇර බැලිය යුතු නොවේද?

චන්ද්‍රසිරි මහගම – මව්බිම

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435