ප්‍රතිත්‍රස්ත පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානකයි – නීතීඥ එස්. ජී. පුංචිහේවා

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ අන්තර්ගතය ඔබ විග්‍රහ කරන්නේ කෙසේද?

මේ පනත පනවන්න හේතු වුණේ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ බලපෑම් මත. යුරෝපීය සංගමය වරක් කීවා තිබෙන ත්‍රස්තවාදී පනත අයින් කරන්න කියලා. ඊළඟට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ සම්මුතියක් තියනවා ලෝකයේ ත්‍රස්තවාදයට විරුද්ධව. දේශීය වශයෙන් පනවපු මේ පනත් ගැන නොයෙක් තැන්වලින් එල්ල වූ චෝදනා නිසා ඒවා වෙනස් කරන්න කියලා අන්තර්ජාතිකව බලපෑම් මතු වුණා. ඒ අනුව තමයි පරණ පනත ඉවත් කරලා අලුත් පනතක් පනවන්න හේතු වුණේ. හැබැයි, මේ අලුත් පනත පරණ පනතේ තිබෙන නපුරුකම් කිසිසේත් අඩු කරලා නැහැ. ඒක වැඩි කරලා තියෙන්නේ. ඊළඟට, පරණ පනතේදී අතීත කාලයේදී සිදු වෙච්ච දේවල් මේකෙන් නීතිගත කරලා තියෙනවා. ඒ කාලයේදී යම් යම් සටන් වලදී ත්‍රස්තවාදීන් වශයෙන් ක්‍රියා කරපු අය කරපු සමහර ක්‍රියා පවා මෙහි අලුතින් නීතිගත කරලා තියෙනවා. මේ අතරේ පරණ සිද්ධි පවා මේ නීතියට ඇතුළත් කරලා තියනවා. මාලදිවයිනට මෙහෙන් කට්ටියක් ගිහින් පහර දීමක් සිදු කළහොත් කුමක් කළ යුතුද යන්න ලංකාවේ පනතේ තිබුණේ නැහැ. දැන් මේකට ඒක ඇතුළත් කරලා. විදේශයකට පහර දීමක් යටතේ. ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඊළඟට ඇතුළත් කරලා තියෙනවා සාම හමුදාවක් හැටියට ක්‍රියාත්මක වෙනකොට, ළඟදී පොලිස් නිලධාරීන් දෙදෙනකු මැරුණා. ඒකත් දැන් නැවත නීතිගත කරලා තියනවා මේ පනතේ. ඒවා අනවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒවා සාමාන්‍යයෙන් අවශ්‍යයි. එවැනි අවස්ථා වලදී. ඒ කාලයේ තිබුණු මර්දනය නිසා තමයි මේ පනත ඉවත් කරන්න හේතු වුණේ. එහෙත් මේකෙන් යෝජනා කරලා තියන හැටියට ඊටත් වැඩිය මර්දනයක් තමයි මේකේ පෙන්නුම් කරන්නේ. කලින් කෙනෙක් අත්අඩංගුවට අරගෙන එයා ගැන ප්‍රශ්න කරන කොට පොලිස් නිලධාරියෙක්, තමයි එයාගෙන් ප්‍රශ්න කරලා තොරතුරු ලබා ගන්නේ. ඒ කියන්නේ විමර්ශන පවත්වන්නේ. දැන් මේකෙදි ඉතාම පුළුල් කරලා තියෙනවා. මුළු හමුදාවල් ඔක්කෝටම ඒ බලතල දීලා තියෙනවා. ඒකෙදී පුළුවන් පොලිසියට, යුධ හමුදාවට, ගුවන් හමුදාවට, නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක භටයින්ට ඒ විමර්ශන පවත්වන්න. එතකොට කලින් එක් අයකු පමණයි ඒ විමර්ශනය කරන්න හිටියේ. දැන් පස් දෙනෙක් ඉන්නවා. සමාජයේ එහෙම විමර්ශනය කරන්න විශාල බලතල තියෙන අය රංචුවක් සමාජයේ හැසිරෙන කොට ඒක ජනතාවට විශාල භීෂණයක්. ඒ පැත්තෙන් ත්‍රස්තවාදී පනතට වැඩියෙන් ඉතාම පුළුල්, පුළුල් කියන්නේ හොඳ පැත්තෙන් පුළුල් වෙලා නොවෙයි, ඉතාම නරකම තත්ත්වයක් සමාජයේ උදා වෙන්න පුළුවන් එවැනි අවස්ථාවක් ආ විට. ත්‍රස්තවාදය ඉතා දරුණු ත්‍රස්තවාදයකින් මැඬීම නීත්‍යානුකූල කිරීමයි මේ පනතින් සිද්ධ වෙන්නේ.

ඊළඟට මේකේ කියනවා නැවතත් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් ඇති වෙනවා කියලා. මෙන්න මේ කාරණය හුඟක් පර්යේෂණ පැවැත්විය යුතු හුඟක් ප්‍රතිකර්ම යෙදිය යුතු අවස්ථාවක් හැටියටයි මට පේන්නේ. ඒ කියන්නේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව කියන දෙක රටකට අවශ්‍ය දෙයක්. හැබැයි දැනට තියෙන ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩත්වය කියන වචන දෙක පාවිච්චි කරන්නේ රටට හිතවත් අර්ථයකින් නොවේ. මේ වචන දෙක පාවිච්චි කරන්නේ ෆෙඩරල් අදහසක් ව්‍යවස්ථාවට ගෙනෙන කොට ඒකට විරුද්ධ වීමටයි. ස්වෛරීභාවය කියන වචනයට ස්වාධීන කියන අර්ථයට වැඩිය අර්ථ දැන් එකතු කරලා තියෙනවා. ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව කියන දෙකම ජාතිවාදය පිණිස වෙනත් විදියකින් පාවිච්චි කරන්නේ. ජාතිවාදය කියන එක පාවිච්චි කරන්නේ නැතුව ඒ වෙනුවට පාවිච්චි කරන වචන දෙකක් බවට ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව කියන වචන දෙක පත්වෙලා තියෙනවා. මේක සොයා නොබලා නිකම් පනතට ඇතුළත් කළාම ඒක ජාතිවාදීන් තමයි පාවිච්චි කරන්නේ.

LTTE සංවිධානයේ ත්‍රස්තවාදී කටයුතු මැඩ පැවැත්වීමේ අරමුණින් ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ පනත රජය විසින් ගෙන එනු ලැබුවක් එම සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියා තව තවත් උත්සන්න වීමත් දක්නට ලැබුණා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ත්‍රස්තවාදයට එරෙහි නීති පැනවීමෙන් ආණ්ඩුව පාඩමක් ඉගෙනගෙන නැහැ. මොකක්ද පාඩම? ඒ පාඩම තමයි, කොටි සංවිධානයට එරෙහිව ක්‍රියා කිරීමේදී ආණ්ඩුවේ හමුදාවන් යොදා ගැනීමට රජය කටයුතු කළා. නමුත් ආණ්ඩුව අධ්‍යයනය නොකළ එක කාරණයක් තවම තියෙනවා. ඒ තමයි ත්‍රස්තවාදය මඬින්න කියලා 1978 පනවපු නීතිය අවුරුද්දකින් එනම් 1979 දී සමස්ත රටටම බලපාන නීතියක් ලෙස ගෙනාවා. ඒ තමයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත. මේ පනත යටතේ තමයි උතුරේ ඔක්කෝම ක්‍රියාන්විතයන් සිද්ධ වුණේ. තේරුම් නොගත්ත කාරණය තමයි ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදී පනත් ගෙනල්ලා නීතිගත කිරීම සමඟම ත්‍රස්තවාදය වැඩි වුණා. වැඩි වුණා කියන්නේ ත්‍රස්තවාදය මඬින්න නීති ගෙනෙනකොටම, ඒ නීති ක්‍රියාත්මක කරන්න හමුදාවට බලය දුන්නහම හමුදාව ඒ අනුව උතුරු- නැගෙනහිර පළාත්වල ඉතාම දරුණු ලෙස ක්‍රියාත්මක වුණා. එසේ ක්‍රියාත්මක වෙනකොට හදිසි නීතිය පැනෙව්වා. තව තව අවශ්‍ය නීති රීති බලතල ඔක්කෝම හමුදාවට දුන්නා. හමුදාවට සියලුම අවි ආයුධ ලබා දුන්නා. පිටරටින් පවා අවි ගෙනල්ලා උපදෙස්ද ලබා දුන්නා. මේ සියල්ලෙන්ම ත්‍රස්තවාදය මඬින්න ක්‍රියා කරනවා කියා හමුදාව යොමු වුණා.

එහෙත් මේ නීති සියල්ලම පැනෙව්වට පස්සේ තමයි කොටි සංවිධානය මරාගෙන මැරෙන සංවිධානයක් ඇති කළේ. ළමා සොල්දාදුවන් ඇති කළා. මුහුදු කොටි සංවිධානයක් ඇති කළා. මේ අයගේ වැඩ පිළිවෙල ඉතාම පුළුල් වුණා. ඊට වැඩිය ඉතාම දරුණු වුණා. මරාගෙන මැරෙන අය දකුණේ බස්වල, පාරවල්වල හැම තැනකම ඒ වගේම හමුදාපතිව පවා මරාගෙන මැරෙන කෙනෙක් ඇවිල්ලා ඔහු මරා දැමීමට සැලසුම් කළා. ඒ ක්‍රියාවල් ඔක්කෝම ඇති වුණේ මේ ඔක්කෝම නීති පැනෙව්වට පස්සේ. ඒවා පැනවීමට පෙර නොවෙයි ඒවා ඇති වුණේ. මේ කාරණය තමයි අපි අධ්‍යයනය කරලා නැත්තේ.

ඇයි නීතියේ මෙහෙම නීති පනවලා තියෙද්දි එල්ටීටීය පෙරට වැඩිය දරුණු ත්‍රස්තවාදි ක්‍රියාවලට යොමු වුණේ? ඇත්ත වශයෙන්ම අපිට ත්‍රස්තවාදයට මුහුණ දෙන්න බැරි වුණේ මරාගෙන මැරෙන අය ඇතුළු අනික් ඔක්කෝම ඒගොල්ලෝ ක්‍රියාත්මක වුණාට පස්සේ. ඒගොල්ලෝ දකුණේ, සැම තැනම, ඒ වගේම කොළඹත් ඇවිල්ලා මරා දැමීම් සිදු කළා. ඒවා දරුණු අමානුෂික ම්ලේච්ඡ ක්‍රියා. ඒවා තුළින් මැරෙන්නේ සාමාන්‍ය මිනිස්සු. මේ ක්‍රියාවලට ආවේ මේ නීති පැනෙව්වට පසුවයි. නීති පැනවීමෙන් ත්‍රස්තවාදය මර්දනය කරන්න බැරි බව අපි අධ්‍යයනය කළේ නැහැ. අපි කළ විශාලතම ඓතිහාසික වැරැද්ද ඒකයි. ඒක තේරුම් අරගෙන නැහැ. එහෙම අධ්‍යයනයක් කරලා ඒකට නිසි ප්‍රතිකර්ම නොකර ඒ තිබුණු පනතටත් වැඩිය වැඩි බලතල ඇති පනතක් පැනවීමෙන් පෙන්වන්නේ ත්‍රස්තවාදයට සැබෑ ලෙසම මුහුණ දීමට සූදානම් නොවන බවයි. ඒ කියන්නේ ත්‍රස්තවාදය යළි යළිත් මතු කිරීමේ අවධානම තමයි මේ පනතින් පෙනෙන්නේ. ඒකට දිරි දීමක තමයි කෙරෙන්නේ. ත්‍රස්තවාදය මැඬීම නොවෙයි. ත්‍රස්තවාදී ක්‍රියා එන්න එන්නම වැඩි වීමේ හේතු වුණේ සහ ඒගොල්ලෝ ඒ සංවිධානය ඉතාම ශක්තිමක් පුළුල් සංවිධානයක් බවට මහජනයා අතර දැඩි ලෙස පැතිරෙන්න හේතු වුණේ මේ ගන්නා ලද හමුදාමය ක්‍රියාමාර්ගයි. ඒ පනතෙන් හමුදාවට බලතල දුන්නා. ඒවායින් ත්‍රස්තවාදය මැඩිය නොහැකි බව ඉතිහාසයෙන් තේරුම් ගත යුතුයි. ඒකෙන් කියන්නේ නැහැ මේ පනත සහමුලින්ම අහෝසි කරන්න කියලා. මේ පනත් තියෙන්න ඕනේ. එහෙත් ඒවාට මැදිහත් වන ආකාර මීට වැඩිය වෙනස් වීම අවශ්‍යයි. මීට වැඩිය සමාජමය ප්‍රතිකර්ම අවශ්‍යයි. අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදී සංවිධානයක් ඇති වුණාම ඒවා ඇතිවීමට හේතු අපි සොයන්නේ නැහැ. උතුරේ ත්‍රස්තවාදය සහ දකුණේ ත්‍රස්තවාදය යන දෙකම ඇතිවීමට හේතු සමාජ, දේශපාලන ප්‍රශ්න. සමාජ දේශපාලන ප්‍රශ්න ඇතිවුණාට පසුව මේවා ඇතිවෙනවා. එතකොට ඒක මඬින්න නීති ගේනවා. ඒ නීති ගේන කොට ඒ නීති ඉක්මවා යන්න ත්‍රස්තවාදී සංවිධාන ක්‍රියා කරනවා. එවිට මේ දෙගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය කුමක්ද? මේ දෙගොල්ලෝම මහජනයාට හිංසා කරමින් තමයි තමන්ගේ පරමාර්ථය ඉටු කරගන්න බලන්නේ. ඒ කියන්නේ මහජනයාව බය කරලා, මහජනයාව මරලා දාලා, ඒගොල්ලෝ සැක කරන අය මරනවා, එවිට ආණ්ඩුවෙනුත් සැක හිතෙන අය කොටි කියලා මරනවා. අන්තිමේදී සියලුම අය මැරුණ අතරේදී සිවිල් ජනතාව මැරුණ එක තමයි ලංකාවට විශාලතම වෙච්ච අපරාධය. මේ අපරාධය සම්බන්ධයෙන් මේ සංවිධාන දෙකම වගකියන්න ඕනේ. එකක් තමයි ත්‍රස්තවාදය ඇතිවීමට හේතුවුණු කාරණා ගැන ආණ්ඩුව වගකියන්න ඕනේ. ඒ සඳහා ප්‍රතිකර්ම තියෙන්න ඕනේ. ඒත් අපේ ව්‍යවස්ථාදායකය ගත්තාම පිස්සු මඩුවක් වගෙයි තියෙන්නේ. ඒවාට ගැඹුරු කාරණා ගැන යොමුවෙන්න කිසිම දැනුමක් හෝ අවශ්‍යතාවයක් නැහැ. අනෙක් පැත්තෙන් ත්‍රස්තවාදී සංවිධාන විසින් ඒගොල්ලන් පාවිච්චි කරන විවිධ වචන දෙන්න පුළුවන්; සන්නද්ධ අරගලය, ජාතික චින්තනය අරවා මේවා කියලා. ඒත් ඒ දෙගොල්ලෝම බැලුවේ නැහැ මහජනයාට මේකෙන් ඇතිවන ප්‍රතිඵලය කුමක්ද කියලා. ත්‍රස්තවාදී සංවිධාන ඇතිවෙන්න හේතුව දේශපාලන ප්‍රශ්න. දේශපාලන ප්‍රශ්න නිසා ඇතිවෙන ත්‍රස්තවාදී සංවිධානය එක පැත්තකින් මහජනායටත් කරදරයක්, අනෙක් පැත්තෙන් ආණ්ඩුව ත්‍රස්තවාදී ක්‍රියාවලට උදව් වෙනවා. ඒ දෙක තමයි හේතුවෙලා තියෙන්නේ. මේක ගැඹුරු ලෙස අධ්‍යයනය කරලා විශේෂ ප්‍රතිකර්ම යොදන්න තවම අපේ රට යොමු වුණේ නැහැ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ මානව හිමිකම් උල්ලංඝනය වීම සැලකිල්ලට ගෙන ජාත්‍යන්තරය සහ දේශීය මානව හිමිකම් සංවිධානවල විවේචනයේ ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට වඩා භයානක ලෙස මානව හිමිකම් උල්ලංඝනය වන බවට චෝදනා නැගෙනවා. එහි සත්‍ය-අසත්‍යතාවය ඔබ දකින්නේ කෙසේද?

ඇත්තෙන්ම ඒක සත්‍යයක්. තිබුණු පනතට වැඩිය දරුණු පනතක් යෝජනා කිරීම මානව අයිතිවාසිකම් කඩවෙනවා. සමාජයේ සාමාන්‍ය ජීවිතය ගතකරන්න බැරිවෙන තත්ත්වයට නීතිරීති පනවා ගත්තාම ලංකාවේ ඇති තත්ත්වය මේ පනතේ අඩංගු කාරණාවන් එක්ක විග්‍රහ කළයුතු වෙනවා.

ජනගහනයක් බියවැද්දීම, මිනින්සු මොනවා හෝ ක්‍රියාවකට පෙළඹවීම, ආණ්ඩුවේ කටයුතු වැළැක්වීම හා ඒවාට බාධා කිරීම, ආණ්ඩුවේ ආරක්ෂිත දේපළ විනාශ කිරීම හෝ වෙනත් රටක එවැනි හානියක් කිරීම, ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට මේ පනත යටතේ කවුද මේ අර්ථනිරූපණය දෙන්නේ? මේ අර්ථනිරූපණය දෙන්නේ උසාවියකින් නොවේ. ඒ මොහොතේ ඇතිවන සිද්ධියක් ගැනයි මෙහි දැක්වෙන්නේ. කවුරුහරි පිරිසක් ජනතාවක් බියවද්දනවා, ඒගොල්ලන් ආණ්ඩුවට එරෙහි කටයුතුවලට පොළඹවනවා, ඒගොල්ලන් දේශන දෙනවා, ඒගොල්ලන් පත්‍රිකා බෙදාහරිනවා. ඒගොල්ලන් ජනතාවට බලකරනවා යනාදි ක්‍රියාවන් කරන කොට මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්ද කියන එක අර්ථනිරූපණය කරන්නේ කවුරුද? එය ඉතාමත් වැදගත් වෙනවා. ඒ මොහොතේ අර්ථ නිරූපණය කරන්නේ බලයක් ලැබුණු පස්දෙනා.

දේශපාලන ක්‍රියාමාර්ග කොතරම් රළු වුණත් ඒවාට නිදහස තියෙන්න ඕනේ. නිදහස කියන්නේ ඒකටනේ. ඒක වැළැක්වීමට අලුත් පනතින් හොඳටෝම ඉඩ තියෙනවා. මුල් ත්‍රස්ත පනතට වැඩිය දරුණුයි කියන්නේ ඒ නිසයි. ජනගහනයක් බියවැද්දීම, සැක, පෙළඹවීම යනාදී කාරණා ඕනෑම උද්ඝෝෂණයකට අදාළ කරගන්න පුළුවන්. අදාළ කරගන්නේ නැහැ කියලා කියන්නත් පුළුවන්. ඒත් මෙහෙම නීතියක් තිබුණම යම් අවස්ථාවකදී එහෙම කරගන්න පුළුවන්. ගෝඨාභය වගේ කෙනෙකු හිටියොත් මොකද කරන්නේ? මේ පනතෙන් කෙරෙන්නේ එක ගෝඨාභය කෙනෙක් නෙවෙයි ගෝඨාභයලා හැම පොලිසියකම, හැම පළාතකම ඇති කරනවා. අර හිටියේ එක ගෝඨාභයයි. ඔහුගෙන් තිබෙන කරදර ප්‍රමාණය මදිවට හැම තැනම ගෝඨාභයලා ඇති කරන එක තමයි මේ පනතින් කරන්නේ.

ප්‍රති ත්‍රස්ත පනත ඉංග්‍රීසියෙන් හැඳින්වීමේදී Counter Terrorist Act  යනුවෙන් හඳුන්වා දී තිබෙනවා. එහි සිංහල කෙටුම් පනතේ සඳහන් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙසටයි. ඒ අනුව ඉංග්‍රීසි සහ සිංහල කෙටුම්පත් අතර අවුල්සහගත බවක් දැකිය හැකි නේද?

මම නම් කියන්නේ මේක මේ අය සිංහල හෝ ඉංග්‍රීසි හෝ නොදැන ක්‍රියාත්මක කරන දෙයක් නොවේ. මේ Counter Terrorist Act  කියන මේ වචන ටික ඒගොල්ලෝ දාන්නේ මේ අපට නොවේ, ජාත්‍යන්තරයටයි. ඒගොල්ලෝ කවදාවත් සිංහල පනත බලන්නේ නැහැ. ඒගොල්ලෝ බලන්නේ ඉංග්‍රීසි පනත. එතකොට ඉංග්‍රීසි පනත ජාත්‍යන්තරයට. සිංහල පනත අපට. ඒ දේ තමයි ඔය පරිවර්තන තුළ සිදුවී තිබෙන්නේ. ආණ්ඩුව නොදැන කරන වැඩක් නම් නොවෙයි ඕක. මෙයින් සිදුවන හානිය තමයි ජාත්‍යන්තරයට හොඳ පනතක් කියලා හැඟෙන අතරෙදි මෙහේදි ඉතාම දරුණු පනතක් හැටියට භාවිතා කරන්න ඉඩ තියෙනවා. ඒ ඉඩ වළකින්නේ නැහැ. ජාත්‍යන්තර Counter Terrorist කියලා අදහස් කරන්නේ සමහරවිට ජාත්‍යන්තර වශයෙන්ම සම්මත වේචච එකක් තියෙනවා එක්සත් ජාතීන්ගේ. ඒ මගින් ඕනෑම රටක ත්‍රස්තවාදය මඬින්න යම් රටවල්වලට නීති පනවන්න පුළුවන්. ඒ නීතිය තමයි මේ දැන් ක්‍රියාත්මකවෙන්නේ කියලා ජාත්‍යන්තරය හිතනවා. ඒත් මෙහේ තියෙන්නේ වෙන එකක්. ඒක තමයි මේකේ තිබෙන රැවටිල්ල. අපේ ඇස්වලට වැලි ගහලා, සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇස්වලට වැලි ගහලා තමයි මේවා කරන්නේ.

මූලාශ්‍රය – රාවය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435