ප්‍රතිවාදීන් පරසක්වල ගැසීමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත

තම මිතුරු පර්ෂදය තුළ සුපසන් නමක් දිනා ඇති සමාජ ක්‍රියාකාරිනියක් පිලිබඳව, අප වෙත දයාවෙන් හා ළබැඳි සිතින් නිරතුරු පිහිට වන කාර්යාල සහායක සොයුරෙක් වරක් කදිම පුවතක් මා සවන් තැබීය. එනම් වාර්ෂිකව සිදුවන ප්‍රතිසංස්කරණ කාර්යයට යටත්ව මෙකී ක්‍රියාකාරිනියගේ ගෘහය පින්තාරු කිරීමේ කොන්ත්‍රාත්තුව කරන අතරතුර ඔහු ඇයගේ ගෘහ මන්දිරය තුළ අසාමාන්‍ය ප්‍රමාණයක පැසිපන්දු සංඛ්‍යාවක් දුටු බවයි. මේසා ප්‍රමාණයක පන්දු සංඛ්‍යාවක් ගබඩා කරගෙන සිටින්නේ කවර කරුණක් නිසාදැයි ඇසු අප මිතුරාට ඇය පවසා ඇත්තේ ඒ සියලු පන්දු අසල පිහිටි පාසල් දරුවන් ක්‍රීඩා කරන අතරතුර ආරක්‍ෂිත දැලට ඉහළින් පියාඹා තම උද්‍යානයට වැටුණු ඒවා බවයි. ඒවා යළි ඒ දරුවන් වෙත භාර නොකොට මෙලෙස තොග ගණනේ රැස් කරන්නේ මන්දැයි විමසූ කල, ඇයගේ ක්‍ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ තමන් දුෂ්කර ප්‍රදේශබද වැඩසටහන් සඳහා නිරතුරු යණෙන බැවින්, එවන් ගමන් අතරතුර හමුවන පිහිට අවැසි දරුකැල වෙත ඒවා තිලිණ කිරීම තම අභිලාශය බවයි.

මෙරටේ ආණ්ඩු කරන එක්සත් ජාතික පෙරමුණද මේ වන විට කටයුතු කරමින් සිටිනුයේ මෙකී සමාජ ක්‍රියාකාරිණිය සේම යැයි කණගාටුවෙන් වුවද පැවසිය යුතුව ඇත්තේය. තම අතීත දේශපාලනය කවරක් වුවද, සිවිල් සමාජයෙන් ඩැහැගත් යහපාලන දර්ශනය පෙරට ගෙන බලයට ආ අගමැතිවරයා ප්‍රමුඛ පිරිසට, මෙවන් රුදුරු ස්වභාවයේ ප්‍රතිත්‍රස්ත පනතක අවැසියාවක් මතු වූයේ ඇයිදැයි යන්න එතරම් විසඳා ගත නොහැකි සූත්‍රයක් නොවේ. එය සරලවම තමන් නිරතුරුව නිමන්ත්‍රණය කරන ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මහදවල් වළලා දැමීමක් මිස අන් කවරක්ද?

ප්‍රතිත්‍රස්ත පනත යනු වසර 2015 දී පමණ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවේ ශපත කොට, එනමුත් ක්‍රියාවට නොනැගූ ජාත්‍යන්තර පොරොන්දුවක්ය. දශක ගණනාවක් තිස්සේ මෙරටේ ක්‍රියාත්මක විසකුරු පනතක් වූ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත, ජාත්‍යන්තරව පිළිගත් පරාමිතීන් හා නොපෑහෙන බැවින්, එය විස්ථාපනය කොට කාලීන අවශ්‍යතා ග්‍රහණය කරගත් පනතක් ගෙන ඒම, එලෙස ගිවිසගත් ජාත්‍යන්තර පොරොන්දුවේ පදනමයි.

එකී පොරොන්දු ප්‍රකාර විකල්ප පනතක් ගෙන ඒමට තෙවසරක් පුරා අසමත් වූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව, අවසන නව පනත් කෙටුම්පත කැබිනට් ගතකළේ පෙර වසරේ සැප්තැම්බර් 18 වැනි දිනයි. ඊට සමගාමීව ඉන් මසක් ඉකුත් වූ තැන, එනම් ඔක්. මස 09 වැනි දින එය පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ලොව අභිනවයෙන් නැගීඑන ජාත්‍යන්තර ත්‍රස්තවාදය මතුනොව සයිබර් අවකාශගත බිහිසුණු අපරාධ රැල්ල මැඩලීම නම් වූ ආයාසකර ප්‍රතිසටන් කලාවට නව අරුතක් දීමට නම්, ලොව කවර රජයක් වුව තම නීතිමය වපසරිය පුළුල් කරගත යුත්තේමය. එනයින් බලන කල ප්‍රතිත්‍රස්ත පනත යනු යුගයේ අවශ්‍යතාවකි. කොන්දේසි විරහිත මැදිහත්වීමකි. එසේනම් අප දොම්නසට පත්ව ඇත්තේ මන්දැයි යන්න මෙහිලා විස්තර කිරීම වටී.

අප ප්‍රතිත්‍රස්ත පනත යැයි හඳුනාගත් මෙකී පනතේ සිංහල භාෂිත නාමය වන්නේ ”ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත” යන්නයි. එය ඉංග්‍රීසි බසින් නිවැරදිව නම්ගන්වා ඇත්තේය. එනම් ”Counter Terrorist Act” ලෙසිනි. මෙය අපගේ බහුතරයක් වූ පාලකයන් හා නීති සම්පාදකයන් සතුව පවත්නා වූ හීනමානී මතවාදයකි. මෙකී භින්නෝන්මාදී සනුහරය මෙරටේ සදාකාලිකවම සිදුකලේ ශ්‍රී ලාංකිකයන් හට නංගී පෙන්නා අක්කා දීම මිසක් වෙන අන් කවරක්ද? මෙහි නාමාර්ථය බලන ජාත්‍යන්තර සංවිධාන තුටුපහටු කරන අතරතුර තම යටත් වැසියන්, බියකරු නීතිමය ප්‍රතිපාදන නම් වූ වරපටින් බැඳ තැබීම මෙකී නම් පටලැවීමේ සැඟවුණු අපේක්ෂාවයි.

”දැන් පොල් ගෑවා ඇති, ප්‍රතිත්‍රස්ත පනත දැන්වත් සම්මත කරන්න” යැයි විලාප තබන රනිල් වික්‍රමසිංහයන්ගේ වේදනාකාරී මුහුණ දුටු නිදහස් මතධාරී ලිබරල් චින්තකයන් හට දෙවියන් බුදුන් සිහි නොවූවානම්, ඔවුන් සදාකාලික නිධන්ගත රෝගයකට ගොදුරුව සිටිය යුත්තෝ විය හැකිය. ඊට හේතුව නම් පාස්කු ඉරිදා ප්‍රහාරය යනු නීතියක් නොමැතිව සිදු වූ නපුරක් නොව, අගමැති හා ජනපති අතර සිදු වූ විරසකය මැද රටම සලිත කල බිහිසුණු ප්‍රහාරයක් වීමයි. ඉතා පුළුල්ව විග්‍රහයට බඳුන් කල යුතු තේමාවන් ඉතා සරලාකාරයෙන් දක්වා, වින්දිතයන් රිසි ලෙස පීඩාවට පත් කිරීමේ තේමාවන් අඩුනැති මෙකී පනතේ අනෙක් දුබලතාව වන්නේ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කල හැකි පිරිසේ ප්‍රමාණය අසාමාන්‍ය මට්ටමින් ඉහළ දැමීමයි.

එපමණක්ද? අත්‍යවශ්‍ය සේවා යැයි වරනගමින් තමන්ට රිසි කවර හෝ සේවාවක් හෝ එහි නිමග්න වූ කවර හෝ සටන්කාමියෙක් වේද ඔහු හෝ ඇය දුබල කිරීම ද මෙකී පනතේ එක් ප්‍රමුඛතාවකි. ත්‍රස්තවාදය, ඊට එහා ගිය අසහාය බලයක් ඔස්සේ මර්දනය කරන විටෙක නිදහස්කාමී දිවිපෙවෙතක් අපේක්ෂිත දහස් සංඛ්‍යාත ජන රාශියට සිදුවිය හැකි සන්තෑසිය කුමක් දැයි දැන දැනම ත්‍රස්තවාදයේ මුවාවෙන් මහජන නිදහස සීමා කිරීම කල හැක්කේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ට නොව, දතට දත හා ඇසට ඇස ඉල්ලන ෆැසිස්ට්වාදියෙකුට බව මෙහිලා සටහන් කොට තැබිය යුතුමය.

මෙකී පනත් කෙටුම්පත පිලිබඳ සලකා බැලීමේ කාර්යය හෙට දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවීමට නියමිතය. ඒ ජාත්‍යන්තර සබඳතා පිලිබඳ ආංශික කාරක සභාවේදීය. එහිලා එක් මහජන නියෝජිතයෙක් සිදුකල අවවාදයක් මා ඇස ගැටුණි. එනම් මෙය කෙටුම්පතක් පමණක් බැවින්, විවේචනය නොකර අදහස් දීමට කාරුණික වන ලෙසයි. ඔහුට දීමට ඇත්තේ එකම පිළිතුරකි. එනම් එක් පිටුවක් ඔස්සේ ගෙනා කාන්තා දේශපාලන අයිතිය නම් වූ ලොසින්ජරය, පිටු තිස්දෙකක් පිරී යන සේ සමස්ත පළාත් සභා මැතිවරණ ක්‍රමයම වෙනස් වන කාල බෝම්බයක් බවට පත් කලේද එලෙස කියමින් බවයි. දැනට අබලව දුබලව දිශානතියක් නොමැතිව කතානායකවරයාගේ මේසය මත රැඳී 2017, අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත එලෙස හඳුන්වාදුන් කුප්‍රකට එකකි.

දේශපාලන ගොන්පොර පරයා යන සංවාද මෙහෙයවමින්, මඩකරියන් උත්ප්‍රාසයට නංවන ටෙලිවිෂන් බබාලාටද යමක් සිහි කල යුතුය. ප්‍රතිත්‍රස්ත පනත යනු සිවුවැනි රාජ්‍යය සතු අවසන් අයිතිය, එනම් මුලාශ්‍ර හෙළි නොකිරීමේ අයිතිය පවා පැහැර ගන්නා භයංකාර නියෝගයක් මිස විපක්ෂය පුම්බා උඩදැමිය හැකි තවත් එක් සංශෝධනයක් නොවන බවයි. අද අද එයි මරු පිංකර ගන්නේ යැයි කියූ ලෙසින් ඔබ මීට එරෙහි විය යුත්තේ අද මිස හෙට නොවේ. ඒද විපක්ෂයට ප්‍රතිජීවකයක් දෙන ලෙස නොවේ. සැබෑ අනතුර ගැන නිරවුල් මනසිනි.

පෙරකී සිවිල් සංවිධාන ක්‍රියාකාරිනිය හා සබැඳි සිදුවීමෙන් ගම්‍ය වන්නේද මෙහි ඉහත දක්වා ඇති දේමය. එනම් ඇය පිහිට අවැසි දරුකැල වෙත නොමිලේ පැසිපන්දු පිරිනමන කල, එකී දරුවෝ හා ඒ දරුකැලගේ දෙමාපිය භාරකරුවෝ ඇය පිලිබඳ පහන් සංවේගයට පත්වීමට ගතවන්නේ නිමේශයකි. එහෙත් එලෙස ත්‍යාග ලෙස දුන් පන්දු ක්‍රීඩාශීලි දරුවන් අතලොස්සක් වෙත කනස්සල්ල දැනවූ එකක් යැයි දන්නේ කවුරුන්ද? යහපාලන ආණ්ඩුවද හැට දෙලක්ෂයක ජන්දදායකයන් වෙත දැල්වූ බලාපොරොත්තු අපමණ වූ අතර ඒ හැමෙකකම යටින් දිවෙන රන් හුයක් වූයේ රටෙහි ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් උද්දීපනය කරන්නෙමැයි යන්නයි. ඒ උදෙසා ඔවුන් උපයාගත් සමාජ ධනය, ජන්ද ලෙසින් ඔවුන් වෙත පෙරලා ලැබුණේය. අවසන ඔවුන් කරන්නේද තමන් වෙත ලැබුණු සුජාතබව, ත්‍රස්තවාදය මැඩලීම නම් වූ වශීකෘත තේමාව ඔස්සේ පැහැරගැනිමින් පුද්ගල නිදහස පැහැර ගැනීමයි.

විපක්ෂය මීටත් වඩා භයංකාර ලෙස හදිසි නීතිය තම බඩගෝස්තරය රැකගැනීම උදෙසා භාවිත කලේ යැයි කණපින්දම් කියන අබල දුබල ආණ්ඩු හිතකාමීන් වෙත ද අවසන යමක් සිහිපත් කල යුත්තේය. වත්මන් ආණ්ඩුව අද මෙතැන ඉන්නේ, පෙර රජය නැවතූ තැනින් ඉදිරියට යාමට නොව, නව මාවතක් විවර කිරීමට බවයි!!

මංජුල ගජනායක

සැ:යු : 1. මෙය ලිපියේ පළමු භාගය වන අතර දෙවැනි ලිපියෙන් මෙහි නීතිමය කරුණු පැහැදිලි කිරීමට නියමිතය.
2. මා මැතිවරණ නිරීක්ෂකයෙක් බැවින් ඔබ අගතිගාමිව යම් දේශපාලකයෙක් ප්‍රවර්ධනය කර ඇතැයි හඬ නගන
මහතුන් මෙහි සිටිය හැකිය. ඔවුන්ට කිය යුත්තේ අපගේ වාර්තා සහ නිරීක්ෂණ ක්‍රමවේද කිසිවෙකුට අභියෝග
කල නොහැකි සේ අපක්ෂපාතව කර ඇති බවත් , නිරීක්ෂණයක් හෝ කරන්නට භාෂණයේ නිදහස තහවුරු වූ රටක් පළමුව බිහිකර
ගැනීම සියල්ලට පළමුව වැදගත් බවත්ය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435