ප්‍රශ්නය අපිට නීතිමය බලයක් නොදීමයි – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

කොවිඩ් 19 පාලනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් බලය නොපැවරවීම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඉල්ලීම් කරමින් තිබුණේ මාස ගණනකට පෙර සිට ය. ඔවුහු අවස්ථා කීපයකදීම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වුවත් රටේ පැවති තත්ත්වය සලකා බලා සහ බලධරයින් විසින් නිසි විසඳුම් දේ යැයි අපේක්ෂාවෙන් ඒවා නතර කළහ. එහෙත් ඔවුන් මුහුණදෙන ගැටලුසහගත තත්ත්වයට දිගින් දිගටම විසඳුම් නොලැබීම හේතුවෙන් ජූලි 17 වන දින දහවල් සිට ඔවුහු කොවිඞ් පාලනයට අදාළ සියලු රාජකාරිවලින් ඉවත් වූහ. මේ, ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සමග රාවය කළ සංවාදයකි.

කොවිඩ් –19 පාලනය සම්බන්ධයෙන් මහජන පරීක්ෂකවරු වෙත පැවරී තිබුණ රාජකාරි මොනවා ද?

ආසාදිතයෙක් හමුවුණාම ඒ ආසාදිතයාගේ ආශ්‍රිතයින් සොයා යෑම, ඔවුන් නිරෝධායනය කිරීම, අත්‍යවශ්‍ය පුද්ගලයන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීම, පීසීආර් පරීක්ෂණ සඳහා ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඇතුළු පහසුකම් සැලසීම වැනි කටයුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරී තිබුණා. ඒ වගේම ස්වයං නිරෝධායනය කරන පුද්ගලයින්ගේ නිවෙස්වලට දිනපතා ගොස් අධීක්ෂණය කිරීම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන කරා පිටත් කරන පුද්ගලයින් පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, නිරෝධායනයෙන් නිදහස් කළ බවට සහතික නිකුත් කිරීම කියන කාරණා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අතින් වුණා. ඊට අමතරව නොයෙක් රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, විශේෂයෙන් පොළවල් වැනි දේ විවෘත කිරීමේ දී සමාජ දුරස්ථභාවය ඇතිව කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සහ නිරෝධායන නීති බලාත්මක කිරීම යන කාරණා කොවිඞ් පාලනය සම්බන්ධයෙන් සිදුවුණා.

මේ කටයුතු ඉදිරියට සිදුකරගෙන යෑම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මුහුණ දෙන බාධක මොනවා ද?

මුලින් මේ ක්‍රියාවලියට මහජනතාව සහාය සැපයුවත් ඊට අවශ්‍ය මාර්ගෝපදේශ ආදිය නිවැරදිව නීති බවට පත් කර නොතිබීම නිසා නිසා මේ නීති නොපිළිපදින කොටසක් හිටියා. ඇතැම් අය ඒවා පිළිපැද්දත් ඇතැම් අය මඟුල් ගෙවල් මරණ ගෙවල් උත්සව සහ ආයතන ඒ ඒ අයට අවශ්‍ය ආකාරයට පවත්වාගෙන ගියා. හැබැයි එහෙම කළ අයට එරෙහිව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව තිබුණේ නැහැ. එහෙම හැකියාව තිබුණේ නැති නිසාම අර පිළිපැද්ද කොටසත් ඒවා නොපිළිපදින තත්ත්වයට වැටුණා. උදාහරණයක් විදියට මුලින්ම බස්වල සීට් එකක එක්කෙනෙක් ඉඳගෙන ගියා, නමුත් දැන් නැවතත් සුපුරුදු ලෙසම යන්න පටන් අරගෙන තියනවා. මේවා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික නීතිමය රාමුව ස්ථාපිත නොවීම අපිට තිබුණ අභියෝගය යි.

ඒ වගේම නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීමේ පනතේ බලතල නිසි ආකාරව ලබා නොදීම නිසා මේ වෙද්දී අභියෝගයට ලක්වෙලා තියනවා. විශේෂයෙන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ පනවා ඇති නඩුවක් තියනවා. ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ කිසිම රැස්වීමක් තියන්න නොදෙන අවස්ථාවේදී සහ කොවිඞ් 19 පුත්තලම් දිස්ත්‍රික්කයේ පැතිර යන අවස්ථාවේ එක් නිකායකට අයත් දේවස්ථානයකට අවස්ථා තුනකදී ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එපා කියද්දී දේවමෙහෙයන් පැවැත්වූවා. අවස්ථා තුනක උපදෙස් දුන්නත් ඇහුවේ නැති නිසා ඒකට එරෙහිව නඩු පවරා තියනවා. දැන් ඒ නඩු පැවරීමට තිබූ බලය සම්බන්ධව මාරවිල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අභියෝගයට ලක්වෙනවා. නිරෝධායනය කියන දේ නිරෝධායන හා රෝග ස්පර්ශකයන් වෙන් කර තැබීම සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතෙන් ස්ථාපිත වුණු දෙයක්. කොවිඞ් පාලනය සඳහා මේ නිරෝධායන පනතට අනුව සෞඛ්‍ය අමාත්‍යවරියට නියෝග හදන්න පුළුවන්. කලින් කලට එන රෝග සඳහා විශේෂිත වූ නියෝග හදන්න ඕනෑ කියලා ඒකේ පැහැදිලිවම තියනවා. උදාහරණයක් විධියට කහ උණ සම්බන්ධයෙන් නිරෝධායන වෙන්න ඕනෑ දින කීයද ආදී වශයෙන් ගැසට් කරලා තියනවා. මහාමාරිය සඳහාත්, කොළරාවටත් එහෙම හදලා තියනවා. හැබැයි කොවිඞ් සම්බන්ධනේ මිනිස්සු ඉන්න ඕනෑ කොහොමද, ඒක පාලනය කරන්න මාස්ක් දාන්න ඕනෑද, නිවෙස් තුළ නිරෝධායනය වෙන්න ඕනෑ ද ආදී ලෙස කිසිම නීතියක් නැහැ. ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවත් ඇතැම් අවස්ථාවල අපිත් දණ්ඩ නීති සංග්‍රහයේ 262 වගන්තියේ තිබෙන නිරෝධායන නීතිවලට අවනත නොවීම කියන එක පාවිච්චි කරනවා. හැබැයි කවුරුහරි අභියෝග කළොත් එහෙම නිරෝධායන නීතියක් නැති නිසා ඒ අනුව කටයුතු කරන්න බැහැ. අපිට තිබුණු බරපතළ ගැටලුව වුණේ මේ නීති සකස් නොකිරීම යි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මීට පෙරත් අවස්ථා ගණනාවකදීම කොවිඞ් පාලනය සම්බන්ධයෙන් ඇති මේ නීතිමය ගැටලු නිරාකරණය කරන ලෙස ඉල්ලා තිබුණා. එසේ නොමැති වුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් නිවේදනය කර තිබුණත් ඒ අවස්ථාවල සාකච්ඡා කිරීම් මත ඒ තීරණය වෙනස් කරගෙන තිබුණා. ඒ අවස්ථාවල බලධාරීන්ගේ ප්‍රතිචාරය වුණේ මොකක් ද?

කොවිඩ් 19 පාලනය කිරීමේ කටයුතු පටන්ගත් මොහොතේ සිටම මේකට අදාළ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසත් මේවා පොළොවේ ක්‍රියාත්මක කරන පරීක්ෂකවරුන්ට තිබෙන බලය සම්බන්ධ ගැටලුව විසඳන ලෙසත් අපි ඉල්ලුවා. හැබැයි අවස්ථා තුනකදීම සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ඡාත් පැවතුණා. එතුමිය මේ ගැටලුව විසඳන්න නීතිපති දෙපාර්තමේන්තුවට හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යැවීමටත් යම් කාලයක් ඉල්ලුවා. අපි දන්නා විදියට ඒ ගැසට් පත්‍රය අවස්ථා හතරක දී පමණ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් සංශෝධනය කර ගෙන්වා ගෙන තිබෙනවා. නමුත් ගැටලුව විසඳුණේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා වට දෙකක්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමග සාකච්ඡා වට තුනක් පැවැත්වුණා. එහිදී මෙවැනි ගැටලුවක් තිබෙන බවත් එය සිදුකළ යුතු බවත් ඒ අය පිළිගත්තා. නමුත් විසඳුණේ නැහැ. මේක නොවිසඳීමට හේතුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලපෑම කියලා දැන් විවෘතවම එළියට ඇවිත් තියනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අනිසි බලතල ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත එළඹ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කර තිබුණා. ඒ මේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා සෞඛ්‍ය සේවාවන් බිඳ වැටීම වැළැක්වීමට යෝජනාත් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම සංගමයෙන් ඉදිරිපත් කර තිබුණා නේද?

දැන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ දරන්නේ මේ සියල්ල වෛද්‍යවරුන්ට කරන්න පුළුවන් කියන දේ පෙන්වන්නයි. කොවිඞ් 19 පාලනය සඳහා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හැමෝම පිටිපස්සට යද්දී ක්ෂේත්‍රයේ හිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුයි. එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ආසාදිතයෙක් බවටත් පත් වුණා. මේකෙදී ජනමාධ්‍ය තුළත් රටේ මහජනයා අතරත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනප්‍රිය වුණා සහ මිනිස්සු ඔවුන්ට ගරු කරන්න පටන් ගත්තා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේවායේ දී කැපී පෙනීම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් අයට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නීතිමය බලයක් දුන්නොත් ඒ අය තවත් මේකේ ඉහළට එනවා කියන දේ එක්ක මේක ක්‍රියාත්මක කිරීම නැවැත්වීමේ වෑයමක් තිබෙන බව පෙනෙනවා. මේ පනත විතරක් නෙමෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෘජු බලය දුන් පනත් ලෙස 1980 අංක 26 දරන ආහාර පනත, 2011 දුම්කොළ හා මද්‍යසාර පනත, 2011 මදුරු මර්දන පනත ආදී ලෙස ගණනාවක් තියනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක ආඥා පනතේත් නඩු පැවරීමේ නිලධාරියා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයායි. එවැනි පනත් රාශියක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරිහරණය කරනවා. කොවිඞ් සම්බන්ධයෙන් පරීක්ෂකවරයෙක් විදියට පත් කළා කියලා අමුතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නීතිය ඉගැන්වීම හෝ කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩිප්ලෝමාව අවුරුදු 2ක්. ඒකේ අධිකරණමය රාජකාරි, මහජන සෞඛ්‍ය නීතිය ආදිය උගන්වා අධිකරණයේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් කරලායි ඒ අය එන්නේ. මේකෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් අබිබවා යනවා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යම් වෙලාවක කිවුවා. ඒකෙන් අපිට පේන්න තියෙන්නේ ඒ අය ආඥා පනත හරියට කියවලා නැහැ කියන එකයි. පනතේ බලධාරියා ලෙස අමාත්‍යවරියට නීති හදන්න සංශෝධනය කරන්න පුළුවන්. නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට ඒ නීති බිමේ ක්‍රියාත්මක කරන්න නියෝග දෙන්න සහ අධීක්ෂණය කරන්න පුළුවන්. පරීක්ෂකවරුන්ට ඒක බලාත්මක කරන්න පුළුවන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පත් කරන්න කියලා කියන්නේ ඒ පරීක්ෂකවරුන් ලෙස යි. එතකොට පරීක්ෂකවරු ඉන්නේ ඒ නිලධාරීන් යටතේ යි. ආඥා පනතේ බලතලවලට බලධාරියාටවත් නිසි බලධාරියාටවත් අනුව නඩු දැමීම කරන්න බැහැ.

විඩ් පාලනය සම්බන්ධයෙන් පොළොවේ වැඩ කළ කණ්ඩායමක් වන මහජන පරීක්ෂකවරු මේවා සම්බන්ධ උපදේශන මාලා සකස් කරන කමිටු හෝ වෙනත් ඊට අදාළ කමිටුවලට සම්බන්ධ කර ගැනීමක් තිබුණේත් නැති වීම මේ ප්‍රායෝගික ගැටලුවලට නිසි අවධානය නොලැබෙන්න හේතුවක් වෙන්න පුළුවන් නේද?

කොවිඞ් කාර්ය සාධක බලකායටවත්, තාක්ෂණික කමිටුවටවත්, උපදේශන මාලා හදන්නවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සංගම් සම්බන්ධ වෙලා නැහැ. ඒ සියලුම ඒවායේ ඉන්නේ වෛද්‍යවරු සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. ඒ නිසා ප්‍රායෝගික නැති මාර්ගෝපදේශ මාලා හදනවා අපි දැක්කා. උදාහරණයක් විධියට සැලෝන්වල රැවුල කපන්න එපා, කොණ්ඩය විතරක් කපන්න කිවුවා. පිටිසර සැලොන් එකක රැවුල නොකපා ඉන්න නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් එතැන ඉඳගෙන ඉන්න ඕනෑ. ඒ අය ක්ෂේත්‍රයේ යන්නේ නැති නිසා ඒවා ප්‍රායෝගික නැහැ කියලා ඒ අයට තේරෙන්නේ නැහැ. පොළක ගේට්ටු එකක් විතරක් අරින්න කියලා තිබුණා. ගම්වල ගේට්ටු තියන පොළවල් සාමාන්‍යයෙන් නැහැ. එවැනි ප්‍රායෝගික නැති දේ තිබුණා. මාර්ගෝපදේශන මාලා හදලා මිනිස්සු ස්වේච්ඡාවෙන් ඒවා පිළිපදිනවා කියලා අත්සන් කරලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ගෙනිහින් දෙන්න කියලා කිවුවා. එහෙම කරන්න මිනිස්සුන්ට වුවමනාවක් නැහැ. ඒ නිසා ඒවා ක්‍රියාත්මක වුණේ ම නැහැ. හැබැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කොවිඞ් පාලන කාලය පුරාවට කළේ අපිට බාධා කරන එකයි. උදාහරණයක් ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඒ දිනවල ප්‍රවාහන ප්‍රශ්නය තිබූ නිසා සෞඛ්‍ය අමාත්‍යවරිය සමග තිබූ සාකච්ඡාවකින් පසු ලංකාවේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අමතර වාහනය බැගින් යැවුවා. නමුත් අඩුම ගණනේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ රත්නපුර දිස්ත්‍රික්කයේවත් ඒ වාහන තියාගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අය ඉඩ දුන්නේ නැහැ. ඒ අය මැදිහත්වෙලා පීඑච්අයි ලාට වාහන ඕන නැහැ කියලා ඒ වාහන ආපහු යැවුවා. රෑ වැඩ කරන නිසා කෑම සපයා ගන්න කියලා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට ලක්ෂය බැගින් ලබා දී තිබුණා. ඒ ලක්ෂයෙන් රුපියලක්වත් රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට දුන්නේ නැහැ. ඇතැම් දිස්ත්‍රික්කවල සුළු ප්‍රමාණවලින් ඒවා දීලා තිබුණා. ගොඩක් තැන්වල දුන්නේ නැහැ. එවැනි බාධා කිරීම් දිගට ම සිදු වුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රබල සෑම තැනකම ඒ දේ සිදුවුණා.

දැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා. තවත් වෘත්තීය සමිති ගණනාවක් ඊට සහාය දක්වා තිබෙනවා. මේ වන විට බලධාරීන්ගේ ප්‍රතිචාරය මොකක් ද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමග දින දෙකක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ සෑම අවස්ථාවකම මේ බලය පැවරීම කරන්න ඕනෑ කියන දේ ඒ දෙදෙනාම පිළිගත්තා. අනෙක් දේ ජනතාව පීඩාවට ලක්වන නිසා පීඑච්අයි ලා ට බලය දෙන්නේ නැහැ කියන ප්‍රකාශය අමාත්‍යවරිය කළේ නැහැ කියලා කියනවා. එහෙම නම් ඒ ප්‍රකාශය නිවැරදි කරලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න කියලා අපි ඉල්ලුවත් එහෙම කළේත් නැහැ. එහෙම නිවේදනයක් නිකුත් නොකළේ ඒ ප්‍රකාශය කළ නිසා කියලායි දැන් අපිට හිතන්න වෙන්නේ. අනෙක් දේවල් සම්බන්ධයෙනුත් තවම විසඳුමක් ලැබිලා නැහැ. ඒ දෙගොල්ලාම කිවුවේත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේකට එකඟ නොවීම එක්ක මේක විසඳගන්න බැහැ කියන එකයි. 22 වන දාත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අපිවත් දෙගොල්ලාම සාකච්ඡාවකට කැඳවා තිබෙනවා. මේක ඇත්තටම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට බලපාන කාරණයක් නෙමෙයි. මේවායින් පේන්න තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සතුව තියනවා කියන කාරණය යි.

සාකච්ඡාව- ඉඳුනිල් උස්ගොඩ ආරච්චි (රාවය)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435