ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා වහාම ඉවත් කරන්න

දේශපාලන හිත්වත්කම් මත සිදුකරනු ලැබූ අවිධිමත් පත්කිරීමක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්නැයි ලංකා බැංකු සේවක සංගමය ඉල්ලීම් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක මහතගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.

රජය සතු විශාලම සංවර්ධන බැංකුව වන ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව පසුගිය කාලය පුරාම දැඩි ලෙස දේශපාලනීකරණය කිරීමට උත්සාහ දැරූ අවස්ථාවන් රැසක් වාර්තා විය.

දේශපාලනික බඳවාගැනීම්, දේශපාලනික උසස්වීම් ආදිය දිගින් දිගටම බැංකුව තුළ ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ කළේ බැංකුවේ මෙන්ම පිළිගත් සියලූම ආචාර ධර්මයන්ට පටහැනිවය.

දේශපාලනික ලැයිස්තු හරහා බඳවාගැනීම් සිදුකිරීමට හා දේශපාලන පලිගැනීම් ලෙස හුවා දක්වමින් හිතවත් පාක්‍ෂිකයින්ට උසස්වීම් දීමට බරපතළ උත්සාහයන් ගනිද්දී ලංකා බැංකු සේවක සංගමය ලෙස දිගින් දිගටම විරෝධතාවය දක්වන ලදී.

මෙවන් දේශපාලන බලපෑම් ඉතාම අහිතකර අයුරින් ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවට බලපාමින් ඇති මොහොතක බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට එවකට පැවැති ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍යවරයාගේ බලපෑම මත යැයි කියමින් අයදුම්කරුවෙකු පත්කිරීම නිසා  බැංකුවේ ප‍්‍රගතිය සහ උන්නතියට සෘජුවම අහිතකර බලපෑම් ඇති කරන ලදී.

බැංකුවේ එවකට සභාපති ජේ.ටී.එස්.පී. කාරියවසම් මහතා පවසා ඇති බවට වාර්තා වන්නේ මෙය අග‍්‍රාමාත්‍යවරයාගේ බලපෑම මත කළ පත්කිරීමක් බවයි.

මෙලෙස දේශපාලනික අතපෙවීම් මත තෝරාගත් අයදුම්කරු ටී. කුහන් මහතා.

  • බැංකුවේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස මාස 9 කට අධික කාලයක් වැඩ බැලූවත් බැංකුවේ ප‍්‍රගමනයට කිසිදු පියවරක් නොගැනීම.
  • සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත්වූ අයදුම්කරුවන් අතුරින් අඩුම ලකුණු ලාභියාවීම සහ ඉදිරිපත් කළ ලේඛනවල නිවැරදිතාවය පිළිබඳ බරපතල ගැටළු පැවතීම.
  • 2019 ජනාධිපතිවරණයට දින 18 ක් තිබියදී මැතිවරණ කොමිසමේ උපදෙස් පවා නොතකා පත්වීම සිදුකිරීම.
  • ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සේවයේ යෙදී සිටියදී
  1. මූල්‍ය අක‍්‍රමිකතා පිළිබඳ චෝදනා ලබා ඇති කුප‍්‍රකට තිබීම.
  2. ටෙන්ඩර් ගණුදෙනුකරු පිළිබඳ අපකීර්තිමත් චෝදනාවලට ලක්වූ ඉතිහාසයක් තිබීම.
  3. අවදානම් කළමනාකරණ නොකිරීම නිසා විශාල මූල්‍ය පාඩු බැංකුවට සිදුකර තිබීම.
  4. චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් මුදල් අයථා පරිහරණය පිළිබඳ චෝදනාවට ලක්වීම, නිලධාරියෙක් වීම යන බරපතළ චෝදනාවන්ට ලක්වූ නිලධාරියෙකි.
  • ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවට පත්වීම් ලද මොහොතේ ඉදිරිපත් කළ ලේඛනවල ව්‍යාජ තොරතුරු සපයා ඇති බවටද තොරතුරු වාර්තා වේ.

එබැවින්, බරපතළ අඩුපාඩු සහිතව සිදුකර ඇති මෙම පත්වීම වහාම අවලංගු කරන ලෙස ඉල්ලා සංගමය වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වී ඇත.

මේ වනවිටත් ලංකා බැංකු සේවක සංගමයේ ප‍්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාවේ සාමාජිකත්වය මෙම සාමාන්‍යාධිකාරීවරයාගේ පත්වීම සම්බන්ධයෙන් සහයෝගය නොදීමේ ක‍්‍රියාමාර්ග යන නිරතවී සිටී.

අභිනවයෙන් පත්වූ ජනාධිපතිවරයාටත්, මුදල් ඇමතිවරයාටත් මෙම අවිධිමත් ආකාරයෙන් බඳවාගත් සාමාන්‍යාධිකාරීවරයා වහාම ඉවත්කර රාජ්‍ය බැංකුවකට සුදුසු සහ ගැලපෙන සාමාන්‍යාධිකාරීවරයකු පත්කරන මෙන් දැනුවත් කර ඇත.

මෙලෙස අවිධිමත් අයුරින් සාමාන්‍යාධිකාරීවරුන් බඳවාගැනීම රාජ්‍ය බැංකු ආකාර්යක්‍ෂම තත්වයකට පත්කර කොටස් වෙළඳපල හරහා විකුණා දැමීමේ සැලසුමක කොටසක්දැයි සංගමය සැක පළ කරයි.

මෙසේ සුදුසු නුසුදුසු සාමාන්‍යාධිකාරීවරුන් පත්කිරීමේ ක‍්‍රමය වහාම නතරකර විධිමත් අයුරින් සාමාන්‍යාධිකාරීවරයෙකු ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවට බඳවාගන්නා ලෙසත් එම විධිමත් ක‍්‍රමවේදය අවශ්‍ය අවස්ථාවලදී රාජ්‍ය බැංකුවලට සාමාන්‍යාධිකාරීවරුන් බඳවා ගැනීම්වලදී ක‍්‍රියාත්මක කරන ලෙසත් සංගමය ඉල්ලා සිටී.

ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා අවිධිමත් අයුරින් බඳවාගැනීම නිවැරදි කිරීමට කටයුතු සිදුනොවන්නේ නම් ඉදිරියේදී සියලූම රාජ්‍ය මෙන්ම පුද්ගලික අංශයේද බැංකුවල බරපතළ වෘත්තී‍ය සමිති ක‍්‍රියාමාර්ගයන් දියත් කිරීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435