පානම් පත්තුවේ කඳුළු මත හෝටල්…?

තිස්‌වසරක යුද්ධය පැවතියේ භූමිය බෙදාගන්නටය. රජයේ හමුදා මේ බෙදුම්වාදය පරාජය කළා යෑයි කියනු ලැබේ. එහෙත්, තිස්‌වසරක්‌ තිස්‌සේ යුද්ධය නිසා ආරක්‍ෂා වුණු, වනාන්තර, කළපු, යනාදී පරිසර පද්ධති රැසක්‌ අද ධනය, බලය, දේශපාලන උවමනා එපාකම් හා ආරක්‍ෂක හමුදා අවශ්‍යතා මත දැඩිව අනාරක්‍ෂිත වී ඇත. විල්පත්තුවේ මහා වනාන්තර විනාශය එවැන්නකි. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දැඩි අවශ්‍යතාව මත රජයේ ගණ වනාන්තර හෙක්‌ටයාර් 2500 ක්‌ පමණ විනාශ කර නැවත පදිංචිය නමින් ඉඩම් කොල්ලයක්‌ සිදුවෙමින් පවතී. රට වටා වෙරළ තීරයේ ද මෙවන් ඉඩම් බෙදාගැනීම් සහ අල්ලා ගැනීම් ගැන ඕනෑතරම් උදාහරණ අපට ලබාදිය හැකිය. එහෙත් ඒ බොහෝමයක්‌ කරුණු කාරණා පසෙකට තබා ඉඩම් කොල්ලයක්‌ වෙනුවෙන් දකුණ ලක පානම්පත්තුවේ ගැමියන් නඟන හඬ ගැන අපට කතාකරන්නට සිදුව ඇත්තේ එහි බලවත් අසාධාරණයක්‌ සිදුව ඇති නිසාය.

යුද්ධය නිමාවත් සමග රට වටා ආරක්‍ෂක කඳවුරු ඉදිකර, ආරක්‍ෂක මර්මස්‌ථානවල ස්‌ථානගත වන්නට ආරක්‍ෂක හමුදාව කටයුතු කිරීම රටේ ආරක්‍ෂාව පැත්තෙන් නිවැරැදි තීරණයක්‌ වන්නට පුළුවන, එහෙත්, ඉන් එහා ගොසින් ආරක්‍ෂක හමුදාව මෙරටේ සුන්දර, සංචාරකමය වශයෙන් වැදගත් පරිසර පද්ධති තුළ ස්‌ථානගත වෙමින් ඒවා හෝටල් හා අවන්හල් බවට පත්කර ගැනීම කුමන අරමුණකින් ඉටුකරන්නක්‌ද යන්න අපට පැහැදිලි නැත. මන්ද, මෙරටේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ඇති මහා සැලැස්‌ම (Master Plan) තවමත් මහජනතාව නොදන්නා බැවිනි. විටෙක මේ සෞන්දර්යාත්මක ආරක්‍ෂක හමුදා හෝටල් හා අවන්හල් ව්‍යාපෘති ඉදිවන්නේ මෙම හමුදාවන්ට රජය මගින් දරනු ලබන පිරිවැය අඩුකර, ස්‌වයංපෝෂිත ජීවිතයකට හුරු කරනු සඳහා විය හැකිය. එනම්, තමන්ගේ ආදායම් තත්ත්වය ඉහළ නංවාලීමට විය හැකිය. නැතහොත් අනාගතයේදී ශ්‍රී ලංකාව තුළ පාරිසරික සංචාරක කර්මාන්තය (Eco Tourism) සංවර්ධනය වුවහොත් ආරක්‍ෂක හමුදා ද ඊට තරගකාරීව මැදිහත් වීම සඳහා විය හැකිය. කෙසේ හෝ මෙසේ රටට සෞන්දර්යාත්මක වැදගත් මෝය, කළපු, ගංගා යනාදියේ ඉඩම් වෙන්කරවා ගැනීම නැති ප්‍රශ්න ඇතිකරන ව්‍යාපාරයක්‌ බව කිවයුතුව තිබේ. ඊට කදිම නිදසුන සැපයෙන්නේ වර්තමානයේදී පානම්පත්තුවෙන් උද්ගතව ඇති ඉඩම් ප්‍රශ්නයයි.

පානම හා ආශ්‍රිත ප්‍රදේශය බරතළ අයුරින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයට ගොදුරු වූ ප්‍රදේශයක්‌ බව අපි කවුරුත් දනිමු. එකල පානම ගම්මානය ඇතුළු ප්‍රදේශවල ජනයා කපා කොටා ඝාතනය කෙරුණු අතර, එවන් භීෂණයකට ආරක්‍ෂාව සපයා දුන්නේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි. එය තවමත් පානම ජනතාව අනුස්‌මරණය කරන්නේ භක්‌ති පූර්වකය. ඒ නැතත් එය රජයේ වගකීමකි. එහෙත් යුද උණුසුම මැද පානම්පත්තුවේ ජනතාව සතු පෞද්ගලික ඉඩම් සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු කැළෑ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ ආරක්‍ෂක හමුදා නතුකර ගන්නේ ආරක්‍ෂක කටයුතුවලට බව පවසමිනි. ඒ අනුව අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ශ්‍රාස්‌ත්‍රවෙල ග්‍රාම නිලධාරි වසමේ ශ්‍රාස්‌ත්‍රවෙල, රාගම්වෙල, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්‌සයාය ප්‍රදේශවල ජීවත් වූ ජනතාවගේ ජනාවාස, කෘෂිකාර්මික ඉඩම් හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර, කඩොලාන වනාන්තර, කළපු හා වෙරළ තීරයේ කොටස්‌ ඇතුළු අක්‌කර 1220 ක භූමි ප්‍රමාණයක්‌ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විසින් 2009 වසරේ සිට අනවසරයෙන් අත්පත් කරගෙන සිටින බව සිවිල් සංවිධාන එකමුතුවක්‌ කියා සිටී. මෙම අක්‌කර 1220 න් ශ්‍රාස්‌ත්‍රවෙල හා රාගම්වෙල ප්‍රදේශය ගුවන් හමුදාව මගින්ද, එගොඩයාය, හොරේකන්ද හා උල්පස්‌සයාය ප්‍රදේශ නාවික හමුදාව මගින්ද අත්පත් කරගෙන තිබේ. ඒ ජනාවාස හා වගාබිම් අක්‌කර 480 ක්‌ හා වන සංරක්‍ෂණ ඉඩම් අක්‌කර 840 ක්‌ වශයෙන් බව මෙම සංවිධාන කියයි.

පානම්පත්තුව සුරැකීමේ සංවිධානය අනුව යමින් පරිසර සංරක්‍ෂණ භාරය, ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය, ප්‍රජා අභිලාෂ ජාලය, ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරය, ඉඩම් අයිතිය සඳහා වන ජනතා සන්ධානය හා ට්‍රාන්ස්‌පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මෙසේ කරුණු දක්‌වමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙසේ බලහත්කාරයෙන් අත්පත් කරගත් ජනතාවගේ ඉඩම් හා වන සංරක්‍ෂණ ඉඩම් සියල්ලම නැවත නිදහස්‌ කර දෙන ලෙසය. එපමණක්‌ නොව, වන සතුන්ගේ වාසස්‌ථාන අවහිර කරමින් සකස්‌ කර ඇති විදුලි වැට ගලවා ඉවත් කර සියලු වන සතුන්ට නිදහසේ සැරිසැරීමේ අයිතිය යළි හිමිකර දෙන ලෙස ද ඔවුන් ඉල්ලා සිටී.

එසේම, දැනට ආරක්‍ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන සංචාරක හෝටල් මගින් ධීවර වෘත්තීන්හි නිරත ජනතාවට සිදුවන බාධා නතර කරන ලෙස හා ආරක්‍ෂක කඳවුරු අවශ්‍යතාව මත කැබිනට්‌ මණ්‌ඩලයේ තීරණයක්‌ අනුව අනුමත අක්‌කර 25 ක භූමිය පමණක්‌ ඔවුන්ගේ කටයුතු සඳහා පවරා ගෙන ඉහත ඉතිරි සියලු ඉඩම් පාරම්පරික ප්‍රදේශවාසීන් ඉඩම් හිමියන්ට හා වන සතුන්ට භුක්‌ති විඳීමට ලබාදෙන ලෙස මෙම සංවිධාන එකමුතුව වැඩිදුරටත් කියා සිටී.

වඩාත් විග්‍රහ කරන්නේ නම් මෙහි උද්ගතව ඇති තත්ත්වය හා ජනතා විරෝධය මෙවැනිය.

එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසු 2009 වසරේදී මෙසේ නාවික හමුදාව මගින් එගොඩයාය, හොරේකන්ද, හා උල්පස්‌සයාය ප්‍රදේශවල ජනතාවගේ වගා බිම්, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු වනාන්තර බිම් මෙසේ ආරක්‍ෂක හමුදා යටතට පවරාගෙන ඇත්තේ රණවිරු ගම්මානයක්‌ සහ වෙනත් ඉදිකිරීම් සඳහාය. මෙම වෙනත් ඉදිකිරීම් යනු ජාත්‍යන්තර සබඳතා මධ්‍යස්‌ථානයක්‌ යෑයි කියනු ලැබේ. කෙසේ හෝ 2010 වසරේදී නාවික කඳවුරක්‌ ලෙස දක්‌වමින් ඉදිකරන ලද ගොඩනැඟිලි අද ‘පානම ලැගුන් කබානා’ නමින් සංචාරක හෝටලයක්‌ බවට පත්ව ඇතැයි ඉහත සිවිල් සංවිධාන එකමුතුව කියා සිටී.
එසේම 2010 වසරේදී රාගම්වෙල හා ශාස්‌ත්‍රවෙල ප්‍රදේශයේ ජනතාවගේ නිවාස හා වගාබිම් නාඳුනන පිරිසක්‌ විසින් ගිනිතබා විනාශ කළ පුවත් එකල ජනමාධ්‍ය ද වාර්තා කළේය. ඉන්පසු සිදුවූයේ මෙම ඉඩම් පොතුවිල් පොලිසිය භාරයට පත්වීමය. මෙම ඉඩම් තුළට ගම්වාසීන් ඇතුළුවීම වසරක පමණ තහනමකට ලක්‌ව තිබූ අතර ඉන්පසු සිදුවූයේ එම ඉඩම් ගුවන් හමුදාව යටතට පත්වීමය.

අනතුරුව මෙසේ ගුවන් හා නාවික හමුදා යන අංශ දෙක මගින්ම අනවසරයෙන් පවරාගත් ඉඩම් වටා විදුලි වැට දෙකක්‌ ගසා වෙන් කරමින් වන සතකුට පවා ඇතුළුවීම අවහිර කර තිබේ.

මෙම සම්පූර්ණ ප්‍රදේශයම ප්‍රධාන අලි ගැවසුම් ප්‍රදේශයකි. ඒවා සියල්ලක්‌ අවහිරයට ලක්‌ව තිබේ. එසේම, පවුල් 350 කගේ ගොවිතැන් කටයුතු හා ධීවර කටයුතු අහිමිව අසරණ තත්ත්වයකට පත්ව ඇති බව ඉහත සංවිධාන එකමුතුව කියා සිටී.

කෙසේ හෝ පනත් කිහිපයක්‌ උල්ලංඝණය කරමින් මෙසේ සිවිල් ජනතාව හා වන සංරක්‍ෂණය සතු ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳව පානම්පත්තුව සුරැකීමේ සංවිධානය හා එක්‌ව සිවිල් සංවිධාන එකමුතුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට HRC/AM/105/10/B/OT යටතේ ලිත පැමිණිල්ලක්‌ කරනු ලැබ ඇත. ඒ පිළිබඳව පරීක්‍ෂා කළ මානව හිමිකම් කොමිසම මෙම ජනතාවගේ ඉල්ලීම් සාධාරණ බවත් ඔවුන්ට අයත් ඉඩම්වල ජීවත්වීමේ අයිතිය තහවුරු කරදෙන ලෙසටත් නිර්දේශ කර ඇත.

එසේම, රාගම්වෙල ජනතාව තම පාරම්පරික ඉඩම්වල රැඳී සිටීම නිත්‍යානුකූල නොවන බවට පොතුවිල් පොලිසිය මගින් ගම්වැසියන් හත්දෙනකුට එරෙහිව පවරා තිබූ 2009.11.26 දිනැති අංක 8455$PC/09 යටතේ පැවැති නඩු විභාගය අවසන් කළ පොතුවිල් මහෙස්‌ත්‍රාත්වරයා 2015.05.06 දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඉහත පුද්ගලයන් හත්දෙනා නිදොස්‌ කර නිදහස්‌ කර ඇත. එම නඩුව සඳහා ද පානම්පත්තුව සුරැකීමේ සංවිධානය හා සිවිල් සංවිධාන එකමුතුව පෙනී සිටියේය.

ඉහත සංවිධාන විසින් දිගින් දිගටම කරන ලද පැමිණිලි ප්‍රකාරව, ජනාධිපති හා අගමැතිවරුන්ගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස 2015.02.11 දින කැබිනට්‌ මණ්‌ඩලය විසින් ගත් තීරණයකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පාලනය වන ඉඩම් අක්‌කර 25 ක්‌ හැර ඉතිරිය ජනතාවට ලබාදීමට තීරණය වී ඇත. එහෙත් මේ දක්‌වා මෙම තීරණය පරිදි ජනතාවට ඉඩම් ලබාදීමට අම්පාර දිස්‌ත්‍රික්‌ ලේකම්වරයා හෝ ලාහුගල ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කර නැත.

තත්ත්වය මෙසේ තිබියදී ඉකුත් 14 හා 15 දිනවලදී මෙම ඉඩම් ගැටලුව පිළිබඳව සිවිල් සංවිධාන ජනමාධ්‍යවේදීන්ගේ විශේෂ නිරීක්‍ෂණ චාරිකාවක්‌ සිදු කෙරිණි. එහිදී අනාවරණය වූයේ ඉඩම් කොමසාරිස්‌වරයා විසින් මෙකී ඉඩම්වලින් අක්‌කර 166 ක්‌ නොහොත් හෙක්‌ටයාර් 66.119 ක්‌ ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්‌ථානයක්‌ ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්යාලයට පවරාගෙන ඇති ලියවිල්ලක්‌ තිබෙන බවයි. අක්‌කර 1220 ක්‌ වන මෙම සමස්‌ථ අල්ලා ගැනීම තුළ මෙම අක්‌කර 166 වෙන්කර දුන්නද තවත් අක්‌කර 1054 ක අයිතිය ජනතාවට ලැබිය යුතුය. ඒ සඳහා කැබිනට්‌ තීරණයක්‌ ද ඇත. එහෙත්, එම පවරා දීම් තවමත් ඇදි ඇදී යන නමුත්, ජාත්‍යන්තර සබඳතා කෙසේ වෙතත්, පානම කලපුව ප්‍රදේශයේ මෙම පවරා ගැනීමට අදාළව නාවික හමුදාව ‘පානම ලැගුන් කබානා’ ලෙස පුළුල් සංචාරක හෝටලයක්‌ නම් පවත්වාගෙන යනු ලැබේ. එයින් ගම්‍ය වන්නේ පොදු කටයුත්තක්‌ සඳහා යෑයි (අනවසර) පවරා ගන්නා ලද ඉඩම් වෙනත් අත්තනෝමතික ක්‍රියාවක්‌ සඳහා භාවිතයට ගෙන ඇති ආකාරයකි. එහෙයින් පානම ජනතාවගේ ඉඩම් අයිතියට බලවත් අසාධාරණයක්‌ වී තිබේ. ඔවුන් පානම්පත්තුව සුරැකීමේ සංවිධානය ලෙස සටන් කරන්නේ එම අසාධාරණය යළිත් සාධාරණීයකරණය කර ගැනීම සඳහාය.

ආරක්‍ෂාව හෝ වෙනයම් පොදු කටයුත්තක්‌ සඳහා ඉඩම් පවරා ගැනීම අවශ්‍යය. එහෙත් යුද්ධය නිමා වූ රටේ ආරක්‍ෂක හමුදා අතින් ජනතාවට මෙවන් අසාධාරණකම් සිදුවිය යුතු නොවේ. එසේ වන්නේ නම් යුද්ධය දිනූ ගෞරවය ඔවුන්ට ලැබෙනු වෙනුවට ‘යුද්ධය තිබුණා නම් හොඳය’ යෑයි ජනතාව කියනු ඇත.

ජගත් කණහැරආරච්චි – දිවයින

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435