පිළිකා රෝහලේ ළඟදීම ඇටමිදුළු බද්ධය සිදුවේ!

ජීවිතය ගැන බොහෝ දේ කතා කරන්න ඉඩ ඉතුරු වුණු වේලාවක ජීවිතයට වටිනාකමක් දිය යුතුයි කියලා හිතුණු වේලාවක ආයේමත් මහරගම ජාතික පිළිකා ආයතනයට පාර දිගේ අපි ගොඩ වැදුණා. ඒ හුස්මක් ඉල්ලන මොහොතක් ජීවත් වෙන්න වරමක් ඉල්ලන ජීවිත වෙනුවෙන් යමක් කරන්න.

ඔයාට අපි පසුගිය සතියේ ලියුකේමියාව නමැති පිළිකා රෝගී තත්ත්වය පිළිබඳව කිව්වා. ඒත් එක්කම ඒ ලිපිය අවසානයේදී අපි ඔයාට පුංචි ඉඟියක් දුන්නා. ඒ ඉඟියෙන් කිව්වේ ඔයාට ඔයා හඳුනන කෙනෙක් හරි ලියුකේමියා රෝගයෙන් පෙළෙනවා නම් ආයෙත් බය වෙන්න දෙයක් නැහැ කියලයි.

මේ තරම් කාලයක් ලංකාවේ රජයේ රෝහල්වල විශේෂයෙන් මහරගම පිළිකා රෝහලේදීවත්, ලියුකේමියාව සඳහා වන ඇටමිදුළු බද්ධය නමැති ශල්‍යකර්මය කළේ නැහැ. ඒ වෙනුවට යම් පුද්ගලයෙක් ලියුකේමියා රෝගයෙන් පෙළෙනවා නම් ඒ පුද්ගලයා විදෙස් රටකට ගිහින් ශල්‍යකර්මය කළ යුතුයි. නමුත් ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා.

නමුත් තවදුරටත් ඒ තත්ත්වය ඒ විදියට තිබෙන එකක් නැහැ. මොකද මහරගම ජාතික පිළිකායතනයේ මහල් 7කින් යුතුව ඉදිවන නව ගොඩනැඟිල්ලේ ලියුකේමියා රෝගය සඳහා වන ඇටමිදුළු බද්ධය ශල්‍යකර්මය සිදුකරන්න සියල්ල සූදානම් වනවා. මේ ගැන ඔයාට තොරතුරු කියන්න ඕන නිසාම අපි මහරගම ජාතික පිළිකායතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා මුණගැසුණා.

අධ්‍යක්‍ෂතුමනි, මේ තරම් කාලයක් ලංකාවේ ඇටමිදුළු බද්ධය සඳහා ප්‍රතිකාර තිබුණේ නැහැ නේද?

ඔව්, දැනටත් ලංකාවේ රජයේ රෝහල්වල ඇටමිදුළු බද්ධ සඳහා පහසුකම් නැහැ. දැනට ඉතා විශාල මුදලක් වියදම් කරලා විදෙස් ගත වෙලා තමයි ප්‍රතිකාර ගන්න වෙන්නේ. ඒ හැරුණාම ලංකාවේ තිබෙන පෞද්ගලික රෝහල් දෙකක ඉතා විශාල මුදලකට මෙම සැත්කම් සිදුවනවා.

ඇයි මේ තරම් කාලයක් ලංකාවේ ඇටමිදුළු බද්ධය කළේ නැත්තේ?

ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණයත්, උපකරණත් සහ ඔෟෂධ වර්ගත් හුඟක් මිල අධිකයි. එම ඔෟෂධ නොමැති වීම උපකරණ නොමැති වීම තමයි ප්‍රධානතම හේතුව වුණේ.

ආරම්භයේදී ප්‍රතිකාර සඳහා වැය වන මුදල් ප්‍රමාණය විශාලයි නේද?

ඔව්, ආරම්භයේදී මේ ප්‍රතිකාර ලබාදීම සඳහා විශාල මුදලක් වැය වෙනවා. හේතුව සියලුම උපකරණ සහ අනෙකුත් අවශ්‍ය සියලුම ද්‍රව්‍ය සඳහා මුදල් වියදම් වෙන නිසා. නමුත් දිගටම එම මුදලම වැය වන්නේ නැහැ.

මේ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඒකකයට රෝහලේ ඉඩකඩ වෙන් කරලද තියෙන්නේ?

මෙම රෝහලේ අලුතින් ඉදිවෙන මහල් 7ක් සහිත “රසාවි” ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම වෙන් වෙන්නේ මේ සඳහා තමයි.

ඒ ගොඩනැඟිල්ල පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ගොඩනැඟිල්ලක් නේද?

ඔව්, අහමඩ් තේ අපනයන ව්‍යාපාරිකයන්ගේ සම්පූර්ණ අනුග්‍රහයෙන් තමයි මේ ව්‍යාපෘතිය සිදු කෙරෙන්නේ.

ඇටමිදුළු බද්ධය සඳහා පුහුණු වෛද්‍ය කාර්ය මණ්ඩලයක් රෝහලේ ඉන්නවද?

දැනට ජාතික පිළිකායතනයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, ඔෟෂධවෙදීන්, රසායනාගාර සේවකයන්ගෙන් සමන්විත 20ක පමණ පිරිසක් මේ වෙද්දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිළිගත් රෝහලක මේ පිළිබඳව සම්පූර්ණ පුහුණුව ලබමින් ඉන්නවා.

ඒ පුහුණුව සඳහා අනුග්‍රහය සපයන්නේ කවුද?

එම පුහුණුව සඳහා රජයේ මූල්‍යමය දායකත්වයක් අවශ්‍ය වන්නේ නැහැ. ඒ සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහ අනෙකුත් දානපතියන්ගෙන් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා.

අස්ථිමිදුළු හෙවත් ඇටමිදුළු ප්‍රතිකාරය සඳහා කුමන විදියේ වෛද්‍ය කණ්ඩායමක්ද අවශ්‍ය වන්නේ?

විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්. එනම් පිළිකා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රුධිරය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කණ්ඩායමක සහභාගිත්වයෙන් ඉටුවනවා.

ප්‍රථම සැත්කම සඳහා දැන් සූදානම්ද?

එහි ප්‍රථම ඇටමිදුළු බද්ධය කිරීමේ ශල්‍යකර්මය සඳහා රෝගියා සූදානම් කිරීමේ කාර්ය 2015 ජූලි මාසයේ ආරම්භ වෙනවා. 2015 සැප්තැම්බර් පමණ වෙද්දී ඒ කටයුත්ත නිමා කරන්න පුළුවන්.

මේක විශාල සේවාවක් නේද?

ඔව්, ලංකාවේ ඉන්න ලියුකේමියා රෝගය සහිත රෝගීන්ට ලොකු සහනයක්. හුඟක් ආර්ථික අපහසුතා තිබෙන අයට ලොකු දෙයක් මේ විදියට ලංකාවේදීම ඇටමිදුළු බද්ධය කරගන්න පුළුවන් වන එක. මොකද අපි මේ සඳහා මුදල් අය කිරීමක් කරන්නේ නැහැ.

ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ලබපු විශාල ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්විය හැකියි නේද?

ඔව්, අපේ රටේ සෞඛ්‍ය සේවය ජනතාව ගැන සිතන ජනතාවට යහපත් සෞඛ්‍ය සේවයක් ලබාදෙන තැනක්. දියුණු සෞඛ්‍ය පහසුකම් සහිත රටක් බව පෙන්වා දෙන්න මෙය තමයි හොඳම උදාහරණය. අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය ලද ජයග්‍රහණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

රෝහලේ දැනට ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ගන්න අය කීයක් විතර ඉන්නවද?

අවුරුද්දකට ළමයි 250ක් පමණත්, තරුණ අය 250ක් පමණත් ඉන්නවා. කොහොමත් සාමාන්‍ය ප්‍රතිශතයක් ලෙස ගත්විට දාහක් පමණ ප්‍රමාණයක් ඉන්නවා.

කවුද මුලින්ම තෝරාගන්නේ? ඒ කියන්නේ මොන වගේ මට්ටමක ඉන්න අයවද තෝරා ගන්නේ?

අපි දැනට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ වැඩි කාලයක් ජීවත් විය හැකි ර්භතබඪනචත ර්රඥතධථච වර්ගයේ රෝගීන් සඳහා ඇටමිදුළු බද්ධය කරනවා. ඉන්පසුව රෝගියාට යහපත් ජීවිතයක් ගත කිරීමට සහ අකාලයේ මියයෑමෙන් වැළකීමට හැකි වනවා.

ඇටමිදුළු බද්ධය කළ රෝගීන් ජීවත් විය යුතු විශේෂ ක්‍රමයක් තිබෙනවාද?

ශල්‍යකර්මයෙන් පස්සේ පළමු මාස කීපය තුළ හොඳ පෝෂණ තත්ත්වයක් ලබාගන්න ඕන. සෑම විටම පෝෂදායී ආහාර වර්ග ගත යුතුයි. ඒ වගේම විවිධ ආසාදනවලට ගොදුරු නොවී සිටීමත් ඉතාම වැදගත් වනවා. සැත්කම සාර්ථක වූ පසුව සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි.

රෝගියාට අවශ්‍ය නම් රෝහලේ නැවතී සිටිය හැකිද?

ගෘහස්ථ පරිසරය සුදුසු නැත්නම් රෝහලේ ඉන්න පුළුවන්. නමුත් ගෙදර පරිසරය හොඳ නම් ගෙදරත් ඉන්න පුළුවන්. ඒ පිළිබඳව අපි රෝගියාව දැනුවත් කරනවා.

සැත්කම පියවර වශයෙන්ද සිදුවෙන්නේ?

ඔව්. පියවර රාශියක් තිබෙනවා. නමුත් සියල්ලම අවසාන වෙනකල් රෝහලේ රැඳී ඉන්න අවශ්‍ය නැහැ. ඇවිත් අවශ්‍ය පියවරවලට සහභාගි වෙලා ඇටමිදුළු බද්ධ කළාට පස්සේ සාර්ථක වනතෙක් පරිස්සමෙන් ඉන්න පුළුවන්.

සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකියි කියන්නේ?

එතැනදී බර වැඩ කරන්න, තමන්ගේ එදිනෙදා නිවෙසේ වැඩ කරන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වගේ දේවල් කරන්න පුළුවන්. සැත්කම සාර්ථක වුණාට පස්සේ ඒ පුද්ගලයා තවදුරටත් රෝගියෙක් නෙවෙයි සාමාන්‍ය මනුස්සයෙක්.

දැන් සියලුම කටයුතු අවසාන වෙලා නේද තිබෙන්නේ?

ඔව්, පුහුණුවට ගිය වෛද්‍යවරුන් ආයෙත් ආවාම ඉදිරි වැඩකටයුතු සියල්ල කරන්න පුළුවන්. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ඕස්ට්‍රේලියානු රජය සහ දානපතියන්ගේ සහාය අපට ලැබෙනවා.

අවසාන වශයෙන් මොනවද කියන්න තිබෙන්නේ?

රෝහලේ රෝගීන් සඳහා අප වෙත බොහෝ පරිත්‍යාග ලැබෙනවා. එම සියලු පරිත්‍යාග අපි රෝගීන් වෙත ලබාදීමට අපි සියලුදෙනා බැඳී ඉන්නවා. ඒ වගේම ඉදිරියේදීත් ලැබෙන සියලුම පරිත්‍යාග අපි සතුටින් භාර ගන්නවා. අපට හැමදාම දානපති පරිත්‍යාගශීලීන්ගේ සහාය අවශ්‍යයි. ඒ වගේම රෝහලේ කිසිම ප්‍රතිකාරයකට අපි මුදල් අය කරන්නේ නැහැ. රජයේ රෝහලක් විදියට නොමිලේ යහපත් සේවාවක් සැපයීමට අපි බැඳී සිටිනවා.

මම පසුගිය සතියේ ඔයාට කිව්වේ මෙන්න මේ කතාව තමයි. “පිළිකා හැදෙන්නේ කරුමෙට” කියලා හිතන අයටත් දැන් හිත හදාගන්න පුළුවන්. තවදුරටත් පිළිකාව කරුමයක් නොවේ. ඒ නිසා සතුටින් ඉන්න. දැන් ඔයාගේ ජීවිතයට වටිනාකමක් තිබෙනවා.

ආටිගල – මව්බිම

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435