පොදු ප්‍රවාහන සේවාව තුළ කාන්තාවන් මුහුණදෙන අමිහිරි අත්දැකීම්

“මම සෙරෙප්පුව අතට ගන්නද? නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බැහැල යනවාද?”

බස් රිය තුළ දී එක්තරා පුද්ගලයෙකුගෙන් දිගින් දිගටම සිදු වූ හිංසා ඉවසා ගත නොහැකිව කොළඹ පෞද්ගලික බැංකුවක ලේකම්වරියක ලෙස සේවය කරන කේශිකා රණසිංහ එසේ පැවසුවාය.

ශ්‍රී ලංකාවේ දිනපතා සිය ගමන් බිමන් සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන පුද්ගලයන්ට මෙවැනි සිද්ධීන් සුලභව දැකිය හැකිය, ඇසිය හැකිය.

ශ්‍රී ලංකාවේ බස්රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ගෙන් 90%ක් එම ප්‍රවාහන මාධ්‍ය ඇසුරේදී ලිංගික හිංසනයට ලක්වන බව එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල (UNFPA) විසින් 2017 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. මේ අතරින් වඩාත් පීඩාවට පත්ව ඇත්තේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිත කරන කාන්තාවන්ය. නමුත් ඒ සම්බන්ධයෙන් පොලිස් රැකවරණය පතන්නේ අදාළ කාන්තාවන් අතුරෙන් 4%ක පමණ පිරිසක් බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශයේ දත්ත අනුව පෙනී යයි.

කාන්තාවන් අතුරෙන් 50%ක් රැකියා සඳහා යාමේදීත් 28%ක් අධ්‍යාපන කටයුතු සඳහා යාමේදීත් 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා යන අතරවාරයේදීත් පොදු ප්‍රවාහන සේවාවලදී ලිංගික හිංසනයට ලක් වෙති.

මෙම සමීක්ෂණය සඳහා දිවයිනේ සෑම පළාතක්ම නි‍යෝජනය වන පරිදි වයස අවුරුදු 15 – 35 අතර කාන්තාවන් 2500ක් සහභාගි වී තිබුණි. ඔවුන්ගෙන් 90%ක්ම බස් රථ හෝ දුම්රිය තුළදී විවිධ අන්දමින් ලිංගික හිංසනයට ලක්වී ඇත. හිංසනයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් 74%ක් පැවසුවේ තම සිරුරෙහි කොටස් සිතාමතා ස්පර්ශ කිරීමට පුරුෂයන් පෙළඹුණු බවය. ඉන් 52%ක් පැවසුවේ විවිධ පුද්ගලයන් ලිංගික අවයවය තම සිරුරේ ඇතිල්ලීම කළ බවය. අශෝබන ලෙස අසුන් ගන්නා පුරුෂයන් නින්දේ පසුවන බව අඟවා අනවශ්‍ය ලෙස තමන් ස්පර්ශ කළ බව 52.25% කාන්තාවෝ පැවසූහ.

පුරුෂයන් අනවශ්‍ය ලෙස සිය සිරුරට බරවීම වීම, ලිංගික අවයව ප්‍රදර්ශනය කිරීම, කකුල පෑගීම, අතින් ඇල්ලීම, අනවශ්‍ය ලෙස සිරුරු දෙස බලා සිටීම, අසභ්‍ය වදන් පැවසීම, දුරකථන අංකය ඉල්ලා කරදර කිරීම සහ ජංගම දුරකථනයේ ඇති අසැබි දසුන් පෙන්වීමට උත්සහ කිරීම වැනි ලිංගික හිංසනයන්ට 60%ක් කාන්තාවන් ගොදුරු වී තිබේ.

එමෙන්ම, ඔවුන් අතුරෙන් 82%ක් වෙනත් අය එලෙස හිංසනයට ලක්වනු දැක තිබේ.

රජයේ ආයතනයක උසස් තනතුරක් දරන අනුෂිකා කඹුරුගමුව පැවසුවේ, “මමත් පාසල් යන කාලයේදී පොදු බස්රථයක් තුළ ලිංගික හිංසනයට මුහුණ දීලා තිබෙනවා. ඇත්තටම ප්‍රශ්නය වන්නේ අපි කව්රුත් මේ ගැන කතා කරන්න අකමැති වෙන එකයි. ආසියාතික රටවල්වල කාන්තාවන් පාරේදී, ගෙදරදී හෝ කාර්යාලයේදීවත් තමන්ට සිදු වූ හිංසනය ගැන කතා කරන්නේ නැහැ. පොදු ප්‍රවාහන සේවය තුළ ගැහැණු කෙනෙක් යම් හිංසනයකට ලක් වෙනවානම් ඒ ගැන හඬ නගන්න ඕනෙ. නමුත් අවාසනාවට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. එකක්, කාන්තාවන් ලැජ්ජයි මේ ගැන කතා කරන්න. ඒ වගේම මේ ගැන හඬ නැගුවත් බොහෝ විට කව්රුත් සොයා බලන්න නැහැ. පිහිට වෙන්න එන්නෙත් නැහැ. අඩුම තරමේ තමන් හිංසනයට ලක් කරන පුද්ගලයා බස් රථයෙන් බස්සන්න කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ” යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල සැකසූ වාර්තාවට අනුව හිංසනයට ලක්වන්නේ තරුණ කාන්තාවන් පමණක් නොවේ. කුඩා දැරියන්, තරුණියන් මෙන්ම මහලු කාන්තාවන්ද මෙම හිංසනයට ගොදුරු වේ.

මෙහි ඛේදජනකම තත්ත්වය වන්නේ 74%ක් කාන්තාවන් පොදු ප්‍රවාහන සේවාවලදී එල්ලවන ලිංගික හිංසන පිළිබඳ පැමිණිලි කළ හැකි දුරකථන අංකයක් පවා නොදැන සිටීමය.

යම් අවස්ථාවක ‘ඔබ හිංසනයට ලක්වන්නේ නම්’ එය තවදුරටත් ඉවසා සිටීමට අවශ්‍ය වන්නේ නැත. වර්තමානයේ බොහෝ දෙනෙකු සතුව ජංගම දුරකථන ඇති බැවින් මෙවැනි අවස්ථාවක දී 119 හෝ 1938 යන අංක අමතා පොලිසියේ සහාය පැතිය හැකි බව පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය දන්වා සිටී. මේ අතරතුර එම සිද්ධිය පිළිබඳ අවට සිටින පිරිස දැනුවත් කිරීමද අවස්ථානුකූලව කළ යුතුය.

පොලීසියට දැනුම් දෙන විට බස් රථයේ අංකය සහ මාර්ග අංකය ද සඳහන් කළ යුතුය. ඉන්පසු ගමන් ගන්නා මාර්ගයේ පිහිටා ඇති පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට හැකි වනු ඇත.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435