ප‍්‍රචණ්ඩත්වයේ ගොදුරක් වූ අපේ ගැහැණිය

කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප‍‍්‍රචණ්ඩත්වය ශී‍්‍ර ලංකාවේ තවමත් නොවිසඳුණු ප‍්‍රශ්නයකි. කාන්තා ප‍්‍රචණ්ඩත්වය වනාහි ඔවුන්ගේ මානව හිමිකම් දැඩිව උල්ලංඝනය කිරීමකි. කාන්තා ප‍්‍රචණ්ඩත්වය හා එහි නෛතික තත්ත්වය සම්බන්ධයෙන් වන දැනුම්වත් කිරීමක් සිදු කිරීමට අප සිතුවේ එය කාන්තාවන්ට කිසියම් හෝ මොහොතක උපකාරී විය හැකි නිසයි.

කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප‍‍්‍රචණ්ඩත්වය එක් රටකට හෝ කලාපයකට සීමා වෙන්නෙ නැහැ. විවිධ සමාජ-දේශපාලන, ආර්ථික, සංස්කෘතික, ආගමික, ගෝත‍්‍රික සහ වාර්ගික පුරුදු මත බොහෝ විට එය කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට වෙනස් ආකාරයෙන් බලපෑම් ඇති කරනවා. කාන්තා ප‍්‍රචණ්ඩත්වය කියන්නෙ කුමක්ද කියලා කාන්තාවො හුඟ දෙනෙක් දන්නෙ නැහැ වගේම ඒ සඳහා තිබෙන නෛතික ක‍්‍රමවේද ගැනත් හුඟ දෙනෙක් දැනුවත් වෙලා නැහැ. මේ නිසාම කාන්තා ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවො වින්දිතයින් බවට පත් වී අනේකවිධ දුක් වේදනාවන් සඟවාගෙන සිටිනවා. කාන්තාවට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දැනුවත්ව සිටීම වැදගත් වන්නේත් ඒ නිසාමයි.

හිංසනයට පත් වන්නෝ කවුද ?

වයස, සමාජ පන්තිය, වර්ගය, ආගම, කුලය, හා ස්ථානය යන මේ ආදීන්ගේ කිසිම විශේෂත්වයකින් තොරව කාන්තාවන් හා ගැහැණු ළමුන් හිංසනයන්ට ගොදුරු වීම සිදු වෙනවා.

කාන්තාවන්ට එරෙහිව බහුලව සිදු කෙරෙන ප‍‍්‍රචණ්ඩ ක්‍රියා

සහකරුගෙන් එල්ල වන ප‍‍්‍රචණ්ඩත්වය, භීෂණය, වෛවාහික ලිංගික අතවර, ලිංගික අපචාර හා ප‍‍්‍රචණ්ඩත්වය සහ/හෝ හිංසනය, දෑවැදි සම්බන්ධ හිංසනය, සහකරු නොවන අයගෙන් එල්ල වන හිංසනය, ගෘහ සේවකයන්ට එල්ල වන හිංසන හා අඩන්තේට්ටම්, මානව පුද්ගල ජාවාරම් හා කාමෝද්දීපන ප‍‍්‍රබන්ධ වැනි වෙනත් ආකාර අපයෝජන සමාජ සිරිත් විරිත්, සංස්කෘතිය, සම්ප‍‍්‍රදාය සහ/හෝ ආගම මුවාවෙන් කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට සිදු කෙරෙන හිංසාකාරී වත් පිළිවෙත් ද ඇතුළුව කාන්තාවන්ට එරෙහිව සිදුවන ප‍‍්‍රචණ්ඩත්වයන් බොහෝය.

ගැහැණු ළමුන්ට එරෙහිව බහුලව සිදු කෙරෙන ප‍‍්‍රචණ්ඩ ක්‍රියා

ඉහත සඳහන් ප‍‍්‍රචණ්ඩ ක්‍රියාවන්ට අමතරව ගැහැණු ළදරු ඝාතන, බාලවයස්කාර විවාහ හා බලෙන් විවාහ කිරීම් ද ගැහැණු ළමුන්ට එරෙහිව සිදු කෙරෙන ප‍‍්‍රචණ්ඩ ක්‍රියා අතරට ඇතුළත් වේ.

මේවා සිදු විය හැක්කේ කොහේ ද ?

නිවස, පවුල තුළ, ජන සමූහ, වැඩපොළ හා සේවා ස්ථාන, පොදු ගොඩනැගිලි හා ස්ථාන, ගමනාගමනය කෙරෙන වාහන, බස් නැවතුම්පොළවල් ආදී මගී සේවා ස්ථාන, යන මේ ආදී  ඕනෑම තැනකදී ද එසේම ස්වභාවික ව්‍යසන, රටවල් අභ්‍යන්තර අවුල් වියවුල් හා ගැටුම්, යුද්ධ හෝ පොදු කලකෝලාහාල යනාදී විවිධ අවස්ථා හා ඒ හේතුවෙන් අභ්‍යන්තර අවතැන් වීම් බහුලව වන විට දී ද කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි ප‍‍්‍රචණ්ඩකාරී තත්වයන් හා සිදුවීම් උද්ගත විය හැකිය.

කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය සහ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ විධිමත් නිර්වචන ස්ත‍්‍රීන්ට එරෙහි සියලූ‍ ආකාර වෙනස්කම් පිටුදැකීමේ ජාත්‍යන්තර සම්මුතිය (සීඩෝ සම්මුතිය) මගින් වෙනස්කම් පිළිබඳ ප‍්‍රශ්නය ඉස්මතු කිරීම තුළින් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අඩිතාලමක් සපයා ඇත.

එහි කාන්තාවන්ට එරෙහි වෙනස්කම් මෙසේ නිර්වචනය කොට ඇත.

‘‘කාන්තාවන් විසින්, ඔවුන්ගේ විවාහක / අවිවාහක බව නොතකා, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව මත පදනම්ව මානව හිමිකම් සහ දේශපාලන ආර්ථික, සමාජීය, සංස්කෘතික, සිවිල් හෝ වෙනත්  ඕනෑම ක්ෂේත‍්‍රයක මූලික නිදහස හඳුනාගැනීම, භුක්ති විඳිම හෝ භාවිත කිරීමේ හැකියාව හානි කිරීමේ හෝ අහෝසි කිරීමේ අරමුණ හෝ අභිප‍්‍රාය ඇතිව, ලිංගිකත්වය මත පදනම්ව සිදුකරන යම් වෙනස්කම, බැහැර කිරීම හෝ සීමා කිරීම”‍

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව හඳුනාගෙන එය නිර්වචනය කළ ප‍්‍රථම ජාත්‍යන්තර ලේඛනය වන්නේ 1993 වසරේ ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියයි. මෙය වියානා ප‍්‍රඥප්තිය ලෙසද හැඳින්වෙනවා.

එහි පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප‍්‍රචණ්ඩත්වය මෙසේ නිර්වචනය කොට ඇත

‘‘ශාරීරික, ලිංගික හෝ මානසික අනතුරක් හෝ දුක් පීඩාවක් හෝ ඇති කරන හෝ ඇති කිරීමට හැකියාවක් ඇති ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පදනම් කොට ගත්  ඕනෑම ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවකි. එවැනි ක‍්‍රියා සිදු කරන බවට බිය ගැන්වීම පෙළඹවීම හෝ පොදු හෝ පෞද්ගලික ජීවිතයේ නිදහස හිතුමතේ අහිමි කිරීමද කාන්තාවට එරෙහි ප‍්‍රචණ්ඩත්වයයි.’’

වියානා සම්මුුතියේ දෙවැනි වගන්තියෙන් ස්ත‍්‍රීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වයට ඇතුළත් කරුණු වන්නේ,

පහර දීම, නිවසේ ගැහැණු දරුවන් අපයෝජනයට ලක් කිරීම, දෑවැදි සම්බන්ධ ප‍්‍රචණ්ඩත්වය, වෛවාහක ලිංගික අතවර, ස්ත‍්‍රී ලිංග අවයව ඡේදනය හා කාන්තාවන්ට හානිකර එවැනි සම්ප‍්‍රදායික සිරිත්, සැමියා නොවන අයගෙන් සිදු වන ප‍්‍රචණ්ඩත්වය මෙන්ම සූරාකෑමට අදාළ ප‍්‍රචණ්ඩත්වය ඇතුළත් පවුල තුළදී හෝ අධ්‍යාපනික ආයතනයකදී හෝ වෙනත් ස්ථානයකදී සිදුවන ශාරීරික, ලිංගික සහ මානසික ප‍්‍රචණ්ඩත්වය ලිංගික අතවර, ලිංගික අපයෝජනය, සේවා ස්ථානයකදී සිදු වන ලිංගික අතවර සහ බිය වැද්දීම්, නීති විරෝධී ලෙස ස්ත‍්‍රීන් ප‍්‍රවාහනය සහ බලයෙන් ගණිකා වෘත්තියේ යෙදවීම ඇතුලත්වූ සාමාන්‍ය ප‍්‍රජාව තුළදී සිදු වන ශාරීරික, ලිංගික සහ මානසික ප‍්‍රචණ්ඩත්වය,සහ සිදු වන ස්ථානය කෙබඳු වුවද රජය විසින් අනුමත කරනු ලබන හෝ ඉවසා සිටින ශාරීරික ලිංගික සහ මානසික ප‍්‍රචණ්ඩත්වයයි.

මෙම ප‍්‍රඥප්තිය මඟින් ප‍්‍රචණ්ඩත්වය පිළිබදව පුළුල් අර්ථකථනයක් ලබා දෙයි.

සම්ප‍්‍රදායික හෝ ආගමික හේතූන් මත කාන්තාවන්ට මුහුණ පෑමට සිදු වන ප‍්‍රචණ්ඩත්වයෙන් ඔවුන් ආරක්ෂා කිරීමට රජයට ඇති වගකීම පැහැර හැරිය නොහැක.

ප‍්‍රචණ්ඩත්වය වැලැක්විම සඳහා පුළුල් වැඩසටහන් ක්‍රියාවට නැංවීම , ජාතික සැලැස්මක් ක‍්‍රියාත්මක කිරීම සහ ජාත්‍යන්තර සහයෝගීතා ජාල පිහිටු වීම වැනි දේ ඇතුළත් පුළුල් වගකීම් සමුදායක් රජය සතු වේ. රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශ වල ක‍්‍රියාදාමයන්ට රජය වගකිව යුතු අතර, එමඟින් පොදුවේ සිදු වන සහ පෞද්ගලික ක්ෂේත‍්‍රයන්හී ප‍්‍රචණ්ඩත්වයද ආවරණය වේ.

කාන්තාවන් හා ගැහැණු ළමයින්ට එරෙහිව ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම වූ ප‍‍්‍රධාන හිංසන

ප‍්‍රචණ්ඩත්වයන් වන්නේ,

ශාරීරික හිංසනය

ශාරීරික හිංසනය යනුවෙන් හැඳින්වෙන්නේ ශාරීරික පීඩා, තුවාල හෝ මරණය පවා සිදු කළ හැකි ලෙස පුද්ලයෙකු වෙත එල්ල කරන අනිසි බලපෑමක් හෝ ප‍්‍රචණ්ඩත්වයකි. කම්මුළට ගැසීම, සිරුරට පහර දීම, අත් ඇඹරීම, පිහියෙන් ඇනීම, ගෙළ මිරිකීම, පිළිස්සීම, උගුර හිර කිරීම, පයින් ගැසීම, යම් වස්තුවකින් හෝ ආයුධයකින් පහර දීම, තර්ජනය කිරීම, ගැසීම, තල්ලූ කිරීම ආදී වශයෙන් පුද්ගලයෙකුට ශාරීරික ආපදාවක් සිදු වන ලෙස හිංසා කිරීම හා මිනී මැරීම ශාරීරික හිංසනයට ඇතුළත් වේ.

වාචික හිංසනය

වාචික හිංසනය චිත්තාවේගාත්මක හා මානසික හිංසනයෙහි තව පැත්තක් විය හැකි අතරම ඊට දායක වන්නක්ද විය හැකිය. චිත්තාවේග හා මානසික හිංසනය බාහිරින් එතරම් නොපෙනෙන  දෙයක් හෙයින් එක්තරා දුරකට යටපත් කළ හැකිය. එහෙත් එමගින් කාන්තාවගේ ආත්ම ප‍්‍රතිබිම්බය මෙන්ම මානසික සුවය හානි වන අතර එය ශාරීරික හා ලිංගික හිංසනය සේම බරපතළ වූ හිංසනයකි. අයුතු ලෙස බලය පෙන්වීම හා හිරිහැර කිරීම කෑ ගැසීම, බැණ වැදීම, මදි පුංචිකම් කිරීම මීට අයත් වේ.

මානසික හිංසනය

චිත්තාවේග සේම මානසික හිංසනය යනු කිසියම් පුද්ගලයෙකුව මානසිකව බිඳ දැමීම අරමුණු කරගත් හිංසනයයි. නිතර බැණ වැදීම, තර්ජනය කිරීම, මදි පුංචිකම් කීම හෝ කිරීම, කෑ ගැසීම, නිවසටම හිර කර තැබීම, අත්හැර දැමීම හෝ අපයෝජනය කරන බවට තර්ජණය කිරීම, බඩු බාහිරාදිය කඩා බිඳ විනාශ කිරීම, තනි කිරීම, කොන් කිරීම හෝ හෙළා දැකීමද මානසික හිංසනයට ඇතුළත් වේ.

ආර්ථික හිංසනය

ආර්ථික හිංසනය යනු මූල්‍ය සම්පත් ඉපයීමට ලාභ ලැබීමට හෝ භුක්ති විඳීමට පුුද්ගලයෙකු සතු නිදහස වැළැක්වීමට, අහිමි කිරීමට, අහිතකර බලපෑමක් ඇති වීම වැළැක්වීමට කි‍්‍රයා කිරීම හෝ එසේ තැත් කිරීමයි. ගෙදර දොර හෝ පෞද්ගලික විය පැහැදම් සඳහා මිල මුදල් නොසැපයීම, ආහාර පාන හා අනෙකුත් පහසුකම් නොසැපයීම, රැුකියාවක නිරත වීම, පාලනය කිරීම හෝ වැළැක්වීම, ආර්ථික හිංසනයයි.

ලිංගික හිංසනය

ලිංගික හිංසනය යනු  ඕනෑම වටපිටාවක් තුළ පීඩාවට පත් පුද්ගලයා සමඟ ඇති සම්බන්ධය නොතකා ඕනෑම අයෙකු තවත් අයෙකුගේ ලිංගිකත්වයට එරෙහිව බලහත්කාරයෙන් ලිංගික කි‍්‍රයාවක් සිදු කිරීම හෝ එසේ කිරීමට තැත් කිරීමයි. එනම් තර්ජනය, බිය ගැන්වීම, බලහත්කාරයෙන් අතවර කිරීම සහ ලිංගික සංසර්ගයේ යෙදීම,  ව්‍යභිචාරය, ලිංගික හිංසනය, අරිසි ලිංගික කාර්යයන් බලෙන් කරවීම, හෝ අන් අය සමඟ ලිංගික සංසර්ගයෙහි යෙදීමට බල කිරීමයි.

අන්තර්ජාල තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඔස්සේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කිරීම

අන්තර්ජාල තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඔස්සේ සිදු කෙරෙන හිංසනය යනු ජංගම දුරකථනය හා අන්තර්ජාලය සහ සන්නිවේදන තාක්‍ෂණය ඔස්සේ සිදු කෙරෙන ප‍්‍රචණ්ඩත්වයයි. කාමෝද්දීපන රූප චිත‍්‍ර හා ප‍්‍රබන්ධ ආශි‍්‍රත හිංසන, රහසින් කාන්තාවන් පසුපස යාම, අන්තර්ජාලය අසභ්‍ය ලෙස ප‍්‍රයෝජනයට ගැනීම, කාන්තාවන්ගේ හෝ ගැහැණු ළමයින්ගේ ඡුායාරූප/රූප අනවසරයෙන් ජාලගත කිරීම, හෝ ජංගම දුරකථනවලට බහාලීම, අන්තර්ජාල වෙබ් අඩවි හෝ ජංගම දුරකථන හෝ බහුලව සංසරණය වන විද්‍යුත් ජාල ඔස්සේ කාන්තාවන්ට හෝ ගැහැණු ළමුන්ට අවමාන තර්ජන එල්ල කිරීමද මීට ඇතුළත්ය.

ශ‍්‍රී ලංකාවේ කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහිව බහුලවම සිදුවන ප‍‍්‍රචණ්ඩත්වයන්,

  • ගෘහස්ථ ප‍‍්‍රචණ්ඩත්වය
  • ලිංගික හිංසනය
  • ස්ත‍්‍රී දූෂණය
  • ව්‍යාභිචාරය
  • බරපතල ලිංගික අපහරණය
  • මානව පුද්ගල ජාවාරම (කුට්ටනය)
  • තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ප‍‍්‍රචණ්ඩත්වය

ශ‍‍්‍රී ලංකාව ස්ත‍‍්‍රී-පුරුෂ සමාජභාවයේ සමානාත්මතාව කරා යන ගමන තුළ වැදගත් පියවර කිහිපයක් ගෙන තිබෙනවා. රටවල් විසින් කාන්තා අයිතිවාසිකම් වැඩි දියුණු කිරීම සඳහා ජාතික සැලසුම් සකස් කළ යුතු යැයි නිර්දේශ කළ ‘කි‍්‍රයාව සඳහා වූ බීජිං ප‍‍්‍රකාශනය හා වේදිකාව’ (Beijing Declaration and Platform for Action)

සඳහා ගෝලීය එකඟතාව පළ වීමට දෙවසරකට පෙර එනම් 1993 දී එය කාන්තා ප‍‍්‍රඥප්තියක් සම්මත කළේ ය. තවද ශ‍‍්‍රී ලංකාව 2005 දී සම්මත කළ ගෘහස්ත ප‍‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත සිවිල් පිළියමක් සම්පාදනය කරමින් පවුල තුළ ප‍‍්‍රචණ්ඩත්වයට විසඳුම් සෙවීමට උත්සාහ දරයි.

දණ්ඩ නීති සංග‍‍්‍රහයෙහි සංශෝධනයන් සිදු කරමින් කාන්තාවන් උදෙසා පවත්නා නීතිමය රැුකවරණයේ විෂය ක්ෂේත‍‍්‍රය පුළුල් කිරීම පිණිස දැනට පවතින නීති ශක්තිමත් කිරීම ද සිදු කර ඇත. ලිංගික දූෂණය, ව්‍යභිචාරය හා ලිංගික අපයෝජනය, අඩන්තේට්ටම් කිරීම හා සූරා කෑම සමන්විත වන්නේ කුමක් දැයි නිර්වචනය කළ 1995 අංක 22 දරණ සංශෝධනය ද මීට ඇතුළත් වේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ලිංගික සහ ස්ත‍‍්‍රී-පුරුෂ සමාජ භාවය පදනම් කර ගත් ප‍‍්‍රචණ්ඩත්වය පිළිබඳ ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් සැකසීමේ කි‍්‍රයාවලියෙහි නිරතව සිටී.

(උපුටා ගැනීමකි – roar.media)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435