ප‍්‍රති ත‍්‍රස්ත පනත දැන් ‘‘උතුර-දකුණ’’හැමටමයි

දෙමළ ජනතාවට දෙනු ලැබූ පොරොන්දු දිගින් දිගටම හැම ආණ්ඩුවක් විසින්ම කඩා දමනු ලැබූ හෙයින් උතුරේ පැන නැගුණ තරුණ සන්නද්ධ කි‍්‍රයාකාරිත්වය පෙන්වා එය දෙමළ තරුණ ත‍්‍රස්තවාදය යැයි කියූ ආණ්ඩුව, 1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික ප‍්‍රතිපාදන) පනත යැයි මෙය සම්මත කර ගත්තේය. එය දෙමළ ත‍්‍රස්තවාදය මර්දනය කිරීමට පමණක් යැයි කීවේය. එනිසා වැඩි  විරෝධයක් දකුණෙන් පැන නොනැගුණි.

නමුත් එම පනත යටතේ මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුයේ විජය කුමාරතුංග, ෆීලික්ස් පෙරේරා ඇතුළු දකුණේ ආණ්ඩු විරෝධී කි‍්‍රයාකාරීන්ය. ආණ්ඩුව කියූ අයුරු මෙය දෙමළ ත‍්‍රස්තවාදයට එරෙහිව පමණක් යොදා ගන්නා පනතක් නොවේ යැයි දකුණේ සිංහල ජනතාවට එනිසා තේරුම් ගැනීම අසීරු නොවුනි.

එසේ තාවකාලික යැයි කියා සම්මත කළ ‘‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’’ 1982 අංක 10 දරණ සහ 1988 අංක 22 දරණ සංශෝධන මගින් ස්ථාවර පනතක් බවට පත් කරනු ලැබිණ.

එතැන් සිට එම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අතිශය දරුණු පනතක් ලෙස කි‍්‍රයාත්මක කරන්නට විය. ඒ සමග එයට එරෙහිව ජනතා විරෝධයක් ගොනු විය. ඒ විරෝධය පසුගිය ආණ්ඩුව කාලයේ වඩාත් උත්සන්න විය. එම විරෝධය ජාත්‍යන්තර අවධානය සමග මෙම පනත අහෝසි කරන මෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමත් දිගින් දිගටම ඉල්ලා සිටින ලදී. 2015 බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ එම පනත අහෝසි කිරීමට පොරොන්දු වූයේ වඩාත් සාධාරණ යුක්ති සහගත පනතක් ගෙන ඒමට පොරොන්දු වෙමින්ය. ඒ සඳහා මේ ආණ්ඩුව ‘‘ප‍්‍රති ත‍්‍රස්ත පනත’’ නමින් පනතක් කෙටුම්පත් කර සම්මත කිරීමට සැළසුම් කර ඇත. එය අතිශය භයානක ප‍්‍රතිපාදන සහිත යැයි ශී‍්‍ර ලංකා මානව හිමිකම් කොමිසම ඇතුලූ වෘත්තීය සමිති හා වෙනත් බොහෝ ජන සංවිධාන දැන් කරුණු දක්වති.

එම පනතට අනුව ත‍්‍රස්තවාදියා යනු

  • කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් ජනතාව බිය ගැන්වීමේ අරමුණින් කි‍්‍රයා කරන්නා.
  • ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක යම් කි‍්‍රයාවන්ට විරුද්ධ වන්නා හා එසේ විරුද්ධ වීමට හෝ වැළැක්වීමට ජනතාව පොළඹවන්නා.

මෙම පනතට අනුව ‘‘ත‍්‍රස්තවාදී කි‍්‍රයා’’ වනුයේ

  • අත්‍යාවශ්‍ය සේවා කි‍්‍රයාකාරිත්වයට බාධා කිරීම.
  • අත්‍යාවශ්‍ය සේවා හෝ සැපයීමට සම්බන්‍ධ යටිතල පහසුකම් හෝ ප‍්‍රවර්ධන පහසුකම්වලට බාධා ඇති කිරීම හෝ ඒ වෙනුවෙන් මැදිහත්වීම.
  • සංඥා සම්පේ‍්‍රෂණයක් සහ වෙනත් යම් සංඛ්‍යාත පදනම් වූ සම්පේ‍්‍රෂණ පද්ධතියක් ඇතුළුව යම් ඉලෙක්ට්‍රොනික්, ඇනලොග්, ඩිජිටල් හෝ වෙනත් රැහැන් සහිත හෝ රැහැන් රහිත සම්පේ‍්‍රෂණ පද්ධතියකට අවහිර කිරීම.

ත‍්‍රස්තවාදියා රැඳවුම් භාරයට ගැනීම හා දඩූවම් ලබාදීම

  • පොලිස් අත්අඩංගුවට පත් අයෙකු දින 14ක් රැඳවුම් බාරයේ තබා ගැනීම සඳහා නියෝග නිකුත් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට ලබාදී ඇත.
  • දැනට පවතින රැඳවුම් බන්ධනාගාරවලට අමතරව රැඳවුම් මධ්‍යස්ථාන නම් කිරීමේ ප‍්‍රතිපාදන මෙහි ඇත.
  • සැකකාරියක් විමර්ශණය සඳහා රැඳවුම් බාරයට ගැනීමේ දී කාන්තා පොලිස් නිලධාරිනියන් අවශ්‍ය නැති බව ද සඳහන් වේ.
  • ආරක්‍ෂක ඇමතිවරයාට ඕනෑම සංවිධානයක් තහනම් කිරීමට ද කි‍්‍රයාත්මකවීම වැළැක්වීමට ද බලය ලබා දී ඇත.
  • පවතින සාමාන්‍ය නීතිය යටතේ සඳහන් ඇතැම් අපරාධ ‘‘ත‍්‍රස්තවාදී කි‍්‍රයා’’ ලෙස අර්ථ ගන්වා ඇත.

මෙයට නිතැතින්ම හැම පැත්තෙන්ම විරෝධයක් මතුව ඇති බැවින් මේ පනත් කෙටුම්පත වහා සම්මත කර කි‍්‍රයාත්මක කිරීමට මේ ආණ්ඩුවට ඉදිරි මැතිවරණයක් හමුවේ පහසු නැත. එහෙත් මෙය අනාගතයේ දී හෝ සම්මත කර ගැනීමට මේ ආණ්ඩුවේ ආර්ථික හා දේශපාලන මූලෝපාය විසින් බල කෙරෙන්නේය.

ඉදිරියේ දී කවර ආණ්ඩුවක් බලයට පැමිණිය ද මේ විවෘත වෙළඳපල ආර්ථිකය සමග 2011 අපේ‍්‍රල්-මැයි මාසවල එවකට පැවති ආණ්ඩුව උත්සාහ ගත් අයුරු සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් කෝටි ගණනක්වන සේවකයින්ගේ මුදල් ජාවාරම්කාරයින්ගේ ලාභ රේට්ටු වැඩිකර ගැනීම වෙනුවෙන් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීමට විවිධ හේතු දැක්වීම්, යෝජනා සමග පියවර ගනු ඇත. ඒ වෙනුවෙන් නැවතත් පසුගිය ආණ්ඩු සමයේ මෙන් ‘‘විශ‍්‍රාම වැටුප’’ තොරොම්බල් කරනු ඇත.

මේ ගමන යන්නට ජාවාරම්කාර ව්‍යාපාරිකයින් ඉල්ලා සිටින කොන්දේසි ඉටු කරන්නට මේ ආණ්ඩුව කල් තියා සූදානම් වන්නේය. ඒ වෙනුවෙන් ඔවුන් කම්කරු නීති සියල්ල තනි නීති කෙටුම්පතකට හකුලා තවමත් ප‍්‍රසිද්ධ නොකර ඒ වෙනුවෙන් සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් කැමැත්ත ලබාගත හැකිදැයි උත්සාහ කරමින් සිටියි. එහි මූලිකම කාරණාව වන්නේ, රැුකියාවේ සුරක්ෂිතතාවය අහෝසි කිරීම වෙනුවෙන් රැකියාවේ කොන්දේසි තීන්දු කිරීමේ පූර්ණ නීතිමය බලය හාම්පුතුන්ට ලබාදීම ය.

මේ යහපාලන ආණ්ඩුවට හෝ ඊළඟ ආණ්ඩුවට හෝ ‘‘ප‍්‍රති ත‍්‍රස්ත පනත’’ අවශ්‍ය වන්නේ එවැනි බලහත්කාර ගමනක් යන්නට ය. මේ මොහොතේ ප‍්‍රතිත‍්‍රස්ත පනත හකුලා ගැනීමට බල කිරීමේ වගකීම හා අවශ්‍යතාවය අපට ඇත්තේ අනාගත ආණ්ඩුවල එවැනි බලහත්කාරකම් නවතා ගැනීම වෙනුවෙනි. ඒ වෙනුවෙන් සෑම වැඩපලකම සේවක කමිටු පිහිටුවමින්, ඒවා ඒකාබද්ධ ප‍්‍රාදේශීය  කමිටු ලෙස තහවුරු කරමින් පෞද්ගලික අංශයේ ලක්ෂ 80 ට අධික සේවක සේවිකාවන්ගේ නිදහස හා අයිතිවාසිකම් සඳහා ජාතික කම්කරු සමු`ඵවක් කැඳවීමට සූදානම් වෙමු.

නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමය විසින් වැඩකරන ජනතාව වෙත බෙදාහැරීම සඳහා සකස් කළ පත්‍රිකාවකින් උපුටා ගන්නා ලදි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435